SHMA සහ වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව ස්විස් ඉගෙනුම් ක්‍රමවේද ඇතුළත් නව අධ්‍යයන පාඨමාලාවක් හඳුන්වා දෙයි

52

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක්වන බවර් සමාගමට අනුබද්ධිත ස්විස් හොස්පිටැලිටි ඇන්ඩ් මැනේජ්මන්ට් ඇකඩමි (Swiss Hospitality) Management Academy- SHMA ආයතනය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ පසුගියදා විශේෂ අවබෝධතා
ගිවිසුමකට අත්සන් තැබීය.

ඒ, තිරසාර වර්ධනය සඳහා කුසලතා (Skills for Sustainable Growth -SSG) නම් වූ සිය විශේෂ පුහුණු වැඩසටහන රට පුරා විසිරුණු තෝරාගත් අධ්‍යයන මධ්‍යස්ථානවලදී ආරම්භ කිරීම වෙනුවෙනි.

2019 වසරේ සිට වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම සහයෝගීතාවට එළඹීම සුවිශේෂී සන්ධිස්ථානයකි. මෙම ව්‍යාපෘතියේ අධ්‍යයන කටයුතුවලට අදාළ සැලසුම් ක්‍රියාවලිය මේ වනවිටත් ක්‍රියාත්මක වේ. ඒ යටතේ, SHMA ආයතනය, වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්‍යයන මධ්‍යස්ථාන ඇගයීමේ සහ තෝරාගැනීමේ කටයුතු මෙන්ම ඊට අදාළ යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ කටයුතු සිදුකරමින් සිටියි. එහි අභිප්‍රාය වන්නේ, අධ්‍යයන ධාරිතා ඉහළ නැංවීම සහ වර්තමාන අධ්‍යයන අන්තර්ගත, විෂයමාලා සහ ඉගැන්වීම් ක්‍රමවේද අන්තර්ජාතික ප්‍රමිතියට සමපාත කිරීමයි.

ව්‍යාපෘතියේ පළමු අදියර 2025 වසර තෙක් ක්‍රියාත්මක වීමට නියමිත ය. ඒ යටතේ සිසුන් 2,240 දෙනෙකුට පුහුණුව හිමිවනු ඇති අතර, වෘත්තීය පුහුණු අධිකාරියේ ආචාර්ය මණ්ඩලයට ද විශේෂ පුහුණුවක් හිමි වේ.

බවර් සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂිකා පවිත්‍රා සමරසිංහ, SHMA හි පීඨාධිපති ඩැනියෙලා මුණසිංහ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති උපාලි කැප්පෙටිපොළ, බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් සහ ස්විස් තානාපති ඩොමිනික් ෆර්ග්ලර් යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment