SLT-MOBITEL 2024 වර්ෂයේ ප්‍රථම අර්ධය තුළ සිය ආදායමේ සාමාන්‍ය වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී ඇත. එමෙන්ම පිරිවැය කළමනාකරණ වැඩසටහන් ඔස්සේ සිය පිරිවැය සීමා කරගැනීමටද සමාගමට හැකි වී තිබේ.
මෙම වර්ධනය, අභියෝගකාරී වෙළඳපොළ තත්වයන් පැවති අවස්ථාවක පවා හොඳින් එම අභියෝගවලට මුහුණ දීමට සහ අවශ්‍ය පරිදි අනුගත වීමට SLT-MOBITEL සමත් වී ඇති බවට සාක්ෂි දරයි. ආදායමේ වර්ධනය සහ පිරිවැය කළමනාකරණ වැඩසටහන් සාර්ථක වීම හේතුවෙන් සමාගමේ අංශ රැසක යහපත් ප්රවණතා දැකගැනීමට හැකි වී තිබේ.
2024 මුල් මාස 6 තුළ සමූහයේ ආදායම රු. බිලියන 53.5 ක් වූ අතර, එය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 1.6% ක වර්ධනයකි. සමූහයේ දළ ලාභය 4.0% කින් වර්ධනය වී රු. බිලියන 20.9 ක් ලෙස වාර්තා වී ඇති අතර, පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ 38.1% ක් වූ දළ ලාභාන්තිකය මෙම කාලසීමාව තුළදී 39.0% දක්වා ඉහළ ගොස් තිබේ. පාරිභෝගිකයන් ඉවත් වීම සහ නව සම්බන්ධතා සඳහා ඉල්ලුම අඩු වීම වැනි වෙළඳපොළ අභියෝග හමුවේ පවා මෙම සාමාන්‍ය වර්ධනය වාර්තා කරගැනීමට හැකි වී ඇත.
මෙම මාස 6 ක කාලසීමාව තුළ සමූහයේ මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 17.1% කින් වර්ධනය වී රු. බිලියන 18.0 ක් ලෙස වාර්තා වී ඇති අතර, මෙහෙයුම් ලාභය 54.5% කින් වර්ධනය වී රු. බිලියන 3.6 ක් ලෙස වාර්තා වී තිබේ. මෙහෙයුම් ඉපැයුම් ලාභාන්තිකය 29.2% සිට 33.6% දක්වා වර්ධනය වී ඇති අතර, එය සේවා ප්‍රමිතිය අඛණ්ඩව පවත්වා ගන්නා අතරම මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට සමූහයට හැකි වී ඇති බවට මනා සාක්ෂියකි.
ප්‍රධාන වශයෙන් පොළී අනුපාත පහළ යාම නිසා සමූහයේ පොළී වියදම් 19.5% කින් පහළ යාම හේතුවෙන් මූල්‍ය වියදම් පහළ ගොස් ඇත. මෙමගින් සමූහයේ ලාභය වර්ධනය වී ඇති අතර, 2023 ප්‍රථම අර්ධයේ වාර්තා වූ රු. මිලියන 1159 ක අලාභයට සාපේක්ෂව මෙම කාලසීමාවේදී ශුද්ධ අලාභය රු. මිලියන 323 කට සීමා වී තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ආදායම 2024 ප්‍රථම අර්ධයේදී 0.9% කින් වර්ධනය වී රු. බිලියන 35.0 ක් ලෙස වාර්තා වී තිබේ.
සමාගමේ මෙහෙයුම් ලාභයද 2.9% ක වර්ධනයක් පෙන්නුම්කර ඇත. වාර්ෂික නඩත්තු වියදම්, කුලී පදනම මත ලබාගැනීමේ වියදම් සහ අලුත්වැඩියා හා නඩත්තු වියදම් ආදිය අවම කරගැනීමේ ක්‍රමෝපායික උත්සාහ නිසා මෙහෙයුම් වියදම් අඩු වී ඇති අතර, එමගින් සමස්ත ලාභදායීත්වය ඉහළ ගොස් තිබේ. පොළී අනුපාත පහළ යාම නිසා සමාගමේ මූල්‍ය වියදම් 27.2% කින් පහළ ගොස් ඇත. මේ නිසා, 2023 ප්‍රථම අර්ධය තුළ වාර්තා කළ රු. මිලියන 401 ක අලාභයට සාපේක්ෂව මෙම කාලසීමාව තුළදී රු. මිලියන 272 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමාගමට හැකියාව ලැබිණි.