bad weather conditions in Sri Lanka – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Mon, 17 Oct 2022 03:27:59 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg bad weather conditions in Sri Lanka – Divaina https://divaina.lk 32 32 මරණ 5යි – තුඹලියැද්දම මළගමක් වෙයි https://divaina.lk/%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-5%e0%b6%ba%e0%b7%92-%e0%b6%ad%e0%b7%94%e0%b6%b9%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%90%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%b8-%e0%b6%b8%e0%b7%85%e0%b6%9c%e0%b6%b8%e0%b6%9a/ https://divaina.lk/%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-5%e0%b6%ba%e0%b7%92-%e0%b6%ad%e0%b7%94%e0%b6%b9%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%90%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%b8-%e0%b6%b8%e0%b7%85%e0%b6%9c%e0%b6%b8%e0%b6%9a/#respond Sun, 16 Oct 2022 23:46:00 +0000 https://divaina.lk/?p=104510 අනේ අම්මේ… අයියේ ඔයාලා නැතුව අපි ඉන්නේ කොහොමද?

පස් කන්දට බිලිවූ මව සහ සොහොයුරාගේ වියෝවින් තනිවූ  10 හැවිරිදි නෙතුම් වැළපෙයි

දිස්ත්‍රික්ක 11 කට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (16 දා) වනවිට මරණ 05 ක් වාර්තා වී පවුල් 15,404 කට අයත් පුද්ගලයන් 61,467 ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තාවී ඇත.

ත්‍රිකුණාමල මුතූර් ප්‍රදේශයෙන් අකුණු සර වැදීමෙන් එක් මරණයක් සහ කෑගල්ල වරකාපොල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් නාය යෑමෙන් මරණ දෙකක් වාර්තා වී තිබේ.

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් තිදෙනකුට තුවාල සිදුවී ඇත. අතුරුදන්වීම් වාර්තාවී නොමැති අතර නිවාස 05 ක් සම්පූර්ණයෙන් විනාශවී තවත් නිවාස 193 කට අර්ධ හානි සිදුවී ඇත. පීඩාවට පත් පවුල් 439 කට අයත් පුද්ගලයන් 1927 දෙනෙකු ආරක්ෂක ස්ථාන 21 ක රඳවා තබා ඇත.

හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, කළුතර, ගම්පහ, කොළඹ, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ජනතාව පීඩාවට පත්ව තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 14823 කට අයත් පුද්ගලයන් 59277 ක් පීඩාවට පත්ව තිබේ. ආරක්ෂක ස්ථානවල රඳවා ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ පීඩාවට පත්වූ පිරිස් වේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ලැබුණු වර්ෂා පතනයත් සමග කළු, කැලණි, ගිං යන ගංගාවලත් අත්තනගලු ඔයේ ජල මට්ටමත් ඉහළ යමින් පැවැතියත් ඊයේ (16 දා) දිනයේදී වර්ෂාපතනයේ අඩුවීමත් සමග එම ජලාශවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පැමිණෙමින් තිබූ බව වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්. සුගීෂ්වර මහතා පැවසීය.

ඇතැම් ප්‍රදේශවල ජලය බැස යෑම සෙමින් සිදුවන බවත් එම ප්‍රදේශවලටද සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබුණහොත් අද (17දා) දිනය වනවිට ගංගාවල ජල මට්ටම අඩුවක් සිදුවිය හැකි බවත් ඔහු කීය.

දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරි කලාපය වන උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපයේ බලපෑම හේතුවෙන් දැනට පවතින තද වැසි තත්ත්වය තවදුරටත් ලබන 23 වැනිදා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අතුල කරුණානායක මහතා ‘දිවයින’ට පැවසීය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බව ද ඒ මහතා කීය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ හැකියාවක් පවති.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද ඒ මහතා කීය. ඒ අනුව ජනතාවට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමෙන් සිදුවිය හැකි ජීවිත සහ දේපළ අනතුරු අවම කරගත හැකි බවට ද හෙතෙම වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, සරත් ආනන්ද ලියනගේ – වරකාපොල, රොෂාන් ජයරත්න, අරණායක, කෑගල්ල – පහළවත්ත, මාතලේ විශේෂ – නිමල් ගුණතිලක


අනේ අම්මේ…. අයියේ ඔයාලා නැතුව අපි ඉන්නේ කොහොමද?- තනිවූ 10 හැවිරිදි නෙතුම් වැළපෙයි

සරත් ආනන්ද ලියනගේ – වරකාපොළ

“අනේ අම්මේ, අයියේ දැන්වත් නැගිටින්න, ඔය දෙන්නා නැතිව අපි ඉන්නේ කොහොමද? මොන වරදක් කළාටද අපේ අම්මයි, අයියටයි මෙහෙම දෙයක් වුණේ” යැයි 10 හැවිරිදි නෙතුම් නිම්සර පුංචි පුතු හැඬූ කඳුළින් පවසනු ඇත. එහෙත් ඒ දුක නිවනු කාට හැකිද?

වරකාපොළ, තුඹලියැද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට 14 වැනිදා පස්වරුවේ පස් කන්දක් කඩා වැටීමෙන් අවාසනාවන්ත අන්දමින් මියගිය එකම පවුලේ මවගේ සහ පුත්‍රයාගේ තොරතුරු සොයා ගිය ගමනේදී එම බාල පුත්‍රයා එසේ කියා සිටියේය.

මෙහිදී පස් කන්දට යටවී සුන්බුන් අතර සිරවී සිටි ගෙහිමියා වන ගොඩයලාගේ ප්‍රේමසිරි මහතාව (55) යුද හමුදා නිලධාරීන් සහ ගම්වාසීන් මහත් පරිශ්‍රමයක් දරා බේරාගෙන වරකාපොළ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්හ.

මෙම සිද්ධියෙන් මියගොස් තිබුණේ 52 හැවිරිදි පුෂ්පරාණි සහ ඇයගේ වැඩිමහල් පුත්‍රයා වන 23 හැවිරිදි දිල්ෂාන් ධනුෂ්ක නමැති තරුණයෙකි.

මෙම පස් කන්ඩිය දෙමහල් නිවස මතට කඩා වැටෙන අවස්ථාවේ ප්‍රදේශයට ධාරානිපාත වැසි ඇද හැලෙමින් පැවැති බව ප්‍රදේශවාසීහු කියා සිටියහ.

තවදුරටත් හැඬූ කඳුළින් කතා කළ 10 හැවිරිදි පුංචි පුතු නෙතුම් මෙසේද කියා සිටියේය.

මම එදා 14 වැනිදා හවස ටියුෂන් පන්තියට ගියා. හරියට වැස්ස. සුළඟත් එක්ක වැස්ස තිබුණා. ක්ලාස් එකේ ඉගෙන ගන්න අතරේ ආරංචි වුණා ගෙදරට කරදරයක් වෙලා කියලා. පස්සේ මම ආවා. ඒ එනකොට අපේ තට්ටු දෙකේ ගේ පේන්න තිබුණේ නැහැ. පස්වලින් යටවෙලා. ඒ වෙලාවෙත් හරියට වැස්ස. ගමේ අයයි, ආමි එකේ මාමලයි පස් ඉවත් කරනවා දැක්කා. ඒ වෙලාවේ තාත්තව බේරාගෙන රෝහලට යැව්වා. පස්වලට යටවෙලා අනේ මගේ අම්මේ, අයියේ දැන්වත් ඔයාලා

නැගිටින්නකෝ. ඔයගොල්ලො නැතිව අපි කොහොමද ජීවත් වෙන්නේ.

මෙම සිද්ධියේදී දිවි බේරාගත් ගෙහිමියා වන ප්‍රේමසිරි මහතා මේවනවිට වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. මෙම සිද්ධියෙන් ඔහුගේ පාදයේ අස්ථිවලට හානි සිදුවී ඇති බව එම රෝහලේ ප්‍රකාශයෙක් ‘දිවයින’ ට පැවසීය.

ප්‍රේමසිරි මහතා ප්‍රදේශයේ දක්ෂ වඩු කාර්මිකයෙක්ද වෙයි.

මෙම සිද්ධිය 14 වැනිදා පස්වරු 3.00 ට සිදුවීමත් සමග එම ස්ථානයට කෑගල්ල සහ අඹේපුස්ස හුද හමුදා කඳවුරුවල නිලධාරීහු 75 ක් හා ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව පස්වලට යටවූ මව හා පුත්‍රයා මුදාගැනීමේ මෙහෙයුම්වල නිරත වූහ. බැකෝ යන්ත්‍රයක්ද ඒ සඳහා යොදාගනු ලැබීය.

වර්ෂාව මධ්‍යයේ මෙහෙයුම ක්‍රියාත්මක විය. 15 වැනිදා අලුයම 3.00 ට පමණ වනවිට මවගේ සිරුර සොයා ගත් අතර පුත්‍රයාගේ සිරුර සොයාගන්නා විට එදින උදේ 9.00 පමණ වී තිබිණි. මළ සිරුර දෙකම වරකාපොළ රෝහලට යවා ඇත.

මෙම ඛේදවාචකය සිදුවූ දෙමහල් නිවස පිටුපස පිහිටි කන්ද අඩි 100 ක් පමණ උසකින් යුතු අතර කන්ද නිවසට කඩා වැටීම නිසා දෙමහල් නිවස තිබූ ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිව පස් හා සුන්බුන්වලින් පිරී තිබිණි.

ඒ අසල වූ ගරාජයේ තිබූ වාහන 3 කටද තවත් නිවාස කීපයකටද සුළු හානි සිදුවී තිබේ.

මෙම සිද්ධිය සිදුවීමත් සමඟ ආරක්ෂක අංශ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීහු එම ප්‍රදේශයට ගොස් නිරීක්‍ෂණ චාරිකාවක නිරතවූ අතර එහිදී අවදානමක් ඇති නිවාස 6 ක පුද්ගලයන් ඉවත් කර ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට පියවර ගත්හ.

පස් කන්ද කඩා වැටී නිවස විනාශවී යෑම හේතුවෙන් මරණයට පත් මවගේ සහ පුත්‍රයාගේ දේහයන් ප්‍රේමසිරි මහතාගේ ඥාති සොහොයුරකුගේ නිවසේ මේ වනවිට තැන්පත් කර තිබේ.

සිද්ධියවූ නිවසේ ඇති කරන සුනඛයා පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ සුන්බුන් අතරින් එළියට පැන දිවි බේරාගෙන තිබේ.

මෙහිදී ප්‍රදේවාසීහු කීප දෙනෙක් මෙසේ අදහස් දැක්වූහ.

අපිට ස්ථිර නිවසක් දැන්වත් ලබාදෙනවා නම් අපි යන්න ලෑස්තියි. අපි ඉන්නේ අවදානම් තැනක. මේ අවාසනාවන්ත සිද්ධිය අපිට දරාගන්න බැහැ. අපිට ඉන්න තැනක් දැන්වත් දෙන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී කථා කළ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා මෙසේ කියා සිටියේය.

මේ වෙලාවේ ආනාරක්ෂිත ස්ථානවලින් ඉවත්වෙලා ආරක්ෂිත ස්ථානවලට යන්න කියලා මේ සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ පදිංචිවෙලා ඉන්න ජනතාවට උපදෙස් දුන්නා. මේ වෙන කොටත් ජනාධිපතිතුමා හා ජනාධිපති ලේකම්තුමා දුරකථන ඔස්සේ මා හට උපදෙස් දුන්නා මේ අවාසනාවන්ත සිද්ධියෙන් මිය අයගේ පවුලට අවශ්‍ය පහසුකම් කඩිනමින් සිදු කරලා දෙන්න කියාල. ඒ වගේම අනෙකුත් නිවැසියන්ගේ ගැටලු ප්‍රශ්න සොයා බලන ලෙසත් දැනුම් දුන්නා.

මෙම අවාසනාවන්ත ඛේදවාචකයෙන් වරකාපොළ, තුඹලියැද්ද ප්‍රදේශයම එකම මළගමක් බවට පත්වී තිබේ.

මෙහිදී කතා කළ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් රංගන සජීව අත්තනායක මහතා මෙසේද කීය. මේ ප්‍රදේශය අධි අවදානම්ද? නාය යන සුළුයිද කියලා පරීක්‍ෂා කරනවා. මේ පදිංචි අය ඉවත් කරන්න ඕනද කියලා සොයා බලනවා. ඉවත් කරන්න ඕනේ අය තාවකාලික ස්ථානවල රඳවලා වෙනත් පදිංචි කිරීමේ ක්‍රමවේදයකට යොමු කරගන්නවා.
 

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b6%bb%e0%b6%ab-5%e0%b6%ba%e0%b7%92-%e0%b6%ad%e0%b7%94%e0%b6%b9%e0%b6%bd%e0%b7%92%e0%b6%ba%e0%b7%90%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%b8-%e0%b6%b8%e0%b7%85%e0%b6%9c%e0%b6%b8%e0%b6%9a/feed/ 0