Fishing industry – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 19 May 2023 11:56:31 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Fishing industry – Divaina https://divaina.lk 32 32 “කෑලි” හොයන් මුහුදේ ගිහින් මාළු ගේන අමුතු ක්‍රමේ https://divaina.lk/%e0%b6%9a%e0%b7%91%e0%b6%bd%e0%b7%92-%e0%b7%84%e0%b7%9c%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%af%e0%b7%9a-%e0%b6%9c%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/ https://divaina.lk/%e0%b6%9a%e0%b7%91%e0%b6%bd%e0%b7%92-%e0%b7%84%e0%b7%9c%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%af%e0%b7%9a-%e0%b6%9c%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/#respond Sat, 20 May 2023 23:50:00 +0000 https://divaina.lk/?p=145896 මේ කියන්නෙ අමුතු කතාවක් නෙවී. අපි හැමෝම දන්න කතාවක නොදන්න පැත්තක් ගැන. ඒකට ප්‍රවේශය ගන්න ඕන මේ විදිහට… ඔබ විශ්වාස කරනවද කිසිම වැඩකට නැතිව මහ මුහුදේ ඔහේ පාවෙන අපද්‍රව්‍ය මිනිස් ජීවිත ලක්ෂ ගාණක් ජීවත් කරනව කීවොත්. එහෙමත් නැතිනම් පවුල් දාස් ගණනකට කන්න බොන්න මාර්ගයක් හදනවා කීවොත්. නැත්නම් ඔය ඔහේ පාවෙන වස්තූන් රුපියල් කෝටි ගණන් රටට හම්බකරල දීල තියනව කීවොත්. එහෙම කීවම ටිකක් අපභ්‍රංශ වගේ නේද? ඒක අපි කියමු තව ටිකක් විස්තරාත්මක විදියට. මහ මුහුදට ගහගෙන යන හෝ මිනිසා අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව මුහුදට එකතුවෙන පාවෙන වස්තූන් කාලයාගේ ඇවෑමෙන් ධීවරයන්ට මහානර්ඝ වටිනා දෙයක් බවට පත්වෙන වග ඔබ දැන සිටියාද? ඔව්… බහුදින යාත්‍රික ධීවරයෝ මාසයකට සරිලන විදියට කෑම වතුර තෙල් පුරවන් මහ මුහුදට යන්නෙ ඔවුන්ට පෙර තියා ඇනවුම් කරපු මාළු රොත්තක් ටැංකිවලට දා ගන්න නෙවෙයි. එතන තියෙන්නෙ වාසනාව උරගා බැලීමක්. මේ මොහොතේ සිට “ඔවුන්” කියන වචනය අයින් කරල “අපි” කියන වචනය පාවිච්චි කරන්නම්. දැන් අවුරුද්දක් තිස්සෙ මමත් ඒ විදියට වාසනාව උරගා බලන්න මුහුදට යන එකයි එහෙම කියන්න හේතුව. කලින් කීව වගේ මහ මුහුදට යන්නෙ අපිට කවුරුත් අරන් තියපු මාළු අල්ලන්න නෙවෙයිනෙ. ඒත් අපි යනවා මාළු ඉන්න තැන් හොයාගෙන. ඇත්තටම කොහොමද මේ මාළු ඉන්න තැන් හොයාගන්නෙ? ඔන්න දැන් තමා පෙර කී පාවෙන වස්තූන් අපේ පිහිටට එන්නේ. අන්න ඒ වස්තූන් හොයාගෙන තමයි දෙයියනේ කියල මුහුදට යන්නෙ. මුහුදට ගිය මොහොතේ සිට බෝට්ටුවෙ වහල උඩ නැගගෙන සුපරික්ෂාකාරීව වටපිට බලාගෙන ගමන් කරන ගමන් අප සොයන්නෙ අර වගේ වස්තුවක්. ඉතින් කොහොමද ඔය කියන නොවැදගත් පාවෙන දෙයක් අපිට ඔච්චර වැදගත් “වස්තුවක්” වෙන්නෙ.

● කෑලි

මේ ‘වස්තු’ ධීවරයෝ හඳුන්වන්නේ ‘කෑලි’ යන නමින්. මුහුදෙදි හම්බවෙන හැම කෑල්ලක්ම අපිට වැදගත් වෙන්නෙ නෑ.. අප සොයන්නෙ ටිකක් බර පන්තියේ කෑලි… උදාහරණ විදියට ලී කොට, භාවිතයෙන් ඉවත් වුණ දැල් ගුලි, නැව්වලින් වීසි කරන මහා කඹ වට්ටු, බෝට්ටුවලින් ගැලවුණ ෆයිබර් තට්ටු, වයර් ඔතල තිබුණ ඩප්පි රෝල්, නැව්වල බඩුබාහිරාදිය තියල තිබුණ ඩෙක් තට්ටු නොහොත් පැලට් ඉන් කිහිපයක් පමණයි. ඊට අමතරව ඉන්දියාව ලංකාව පැත්තෙන් මහා ගංවතුරක් එහෙම ගැහුවම ඒකට අහුවුන මහා ගස්මුල් පිටින් උදුරන් ඇවිත් ඈත දියඹ මුහුදේ පාවි පාවි තියනව අපිට හම්බවෙලා තියනවා… තව පාලම් පාරු, කැඩිච්ච ඔරු බෝට්ටු කොටස්, ඉන්දියාවෙ මිනිස්සු කාලයක් වන්දනාමාන කරපු ලී වලින් හදපු කෝවිල් ගෙඩි පිටින් පවා ගහගෙන ඇවිල්ලා ඈත මූදේ පාවෙවී තියනවා. ඉතින් කොහොමද ඔය බර කෑලි ඔච්චරම වටින වස්තුවක් බවට පත්වෙන්නෙ? එය සිදුවන්නේ. ටක්කෙටම මෙහෙමයි කියල විද්‍යාත්මකව කියන්න දැනුමක් අපට නැහැ.. ඒත් තේරෙන විදියට කියනව නම් ඔය බර කෑලී කල් ගතවෙද්දි පෙඳ කනවා, බෙල්ලො බැඳෙනවා, ඒ එක්කම ඒවා ආහාරයට ගන්න හීන් මාළුවක් එතැන බෝවෙනවා… කහ පැටි, පාරමුවෝ, කූණියෝ, අල්ලන කට්ටෝ තමයි ඔය කෑල්ලෙ මුල්ම අයිතිකාරයො වෙන්නෙ.. ඒ එක්කම කිරි බෝල්ලෝ, ලින්නො, ලේනවු පොතුබරි, හඳවරු වගේ අපි පරිභෝජනයට ගන්න මාළුන්ටත් ඔතන බෝවෙන්න මහ කාලයක් යන්නෙ නැහැ… කොටින්ම කීවොත් ඔය කියන කෑල්ලක් බෙල්ලො කන්න පටන් ගත්තට පස්සෙ මහා මාළු ජනපදයක්ම හැදෙන්න යන්නෙ සති තුනකට අඩු කාලයක්. මහ සාගරේ කියන්නෙ ජීවයේ උපත කියල කෙනෙක් කියනව නම් මම ඒකට කොන්දේසි විරහිතව එකඟ වෙනවා. මොකද ජීවය කියන දේ කොයිවෙලෙත් සාගරේ ජලය හා මුසුවෙලා පාවෙවී තියනවා. නිකන්ම පාවුණ කොට කෑල්ලක් ජීවින් දසදහස් ගණනකගේ නිවහනක් කරන්න සාගරයට ගතවෙන්නෙ හරිම සුළු වෙලාවක්. ඔන්න දැන් තමා මේ ‘ධීවරයා’ නියම පොයින්ට් එකට එන්නේ.

"කෑලි" හොයන් මුහුදේ ගිහින් මාළු ගේන අමුතු ක්‍රමේ

මාළු ජනපදයේ වැදගත් මාළු වර්ග දෙකක් ඉන්නවා. ඒ තමයි බෝල්ලෝ, ලින්නෝ… මෙතැනින් මිනිස් වර්ගයාට වගේම මත්ස්‍ය විලෝපිකයන්ගෙත් ප්‍රියතම ආහාරය වෙන්නෙ ලින්නො තමයි. ලින්නො කියන්නෙ ඉතාම කුඩා කාලයක් ඇතුළත අති විශාල පරිමාණයෙන් බෝ වෙන මාළු.. විලෝපිකයන්ගෙ ගොදුරක් වුණත් නොවුණත් ලින්නන්ගෙ ආයුෂ දවස් 45කට වැඩි වෙනවනම් කලාතුරකින් තමයි.. ඉතින් කොහොමද අපට මේ මාළු දකින්න පුළුවන් වෙන්නේ? හිතනවද අපි බෝට්ටුවෙන් ගිහිල්ලා ‘කෑල්ලට’ කිට්ටු කරපු ගමන් ඔක්කොම මාළු උඩට ඇවිල්ලා පොලළිමට පෙනිල යනව කියල.. නෑ…. දැන් තමයි සෙල්ලම පටන් ගන්නෙ… ඔය වගේ වටිනා වස්තූන් සොයාගෙන යන මුහුදු ගමනේදී ඕක ඉස්සෙල්ලාම දකින්නෙ වහල උඩ ඉඳන් උකුසු ඇස් දාගෙන ඉන්න අප වැනි අයම තමයි. ඈත තියාම ඔය පේන්නෙ මොකක්ද කියන්න අත්දැකීම් තියන ධීවරය දන්නවා. දවසේ වාසනාව කියල කෑල්ලක් දැක්කම ඒකට කිට්ටු කරන්නේ හිතේ දහසක් බලාපොරොත්තු තියාගෙන. ඉතින් අප දකින ඔය කෑල්ලේ මාළු ඉන්නව කියන මුල්ම ඉඟිය අපිට ලැබෙන්නෙ බෝට්ටුවෙ අවරෙන් අපි එල්ලගෙන යන තනි තංගුවේ පන්න කෑලිවලින්… පන්න කෑල්ලක් කියන්නෙ අඟල් එක හමාරක විතර බිලී කටුවක් අමුණපු කූනියෙක්ගෙ විදියට හදපු කෘතීම ඇමක්. ඉතින් ඔය කෑල්ලෙ චණ්ඩි ඉන්නව නම් අනිවාර්යයෙන් පන්නවලට ගහනවා. කවුද ඉතින් ඔය චන්ඩි? බලයො, කෙලවල්ලො, වන්නො, තෝරු , මහවැලියො, ලේනවු වගේ ස්පීඩ් මාළු… කෑල්ල ළඟින් යද්දි මාළු ගහනව කියන්නෙ බඩුම තමා ඉතින්. දෙයියනේ කියල වස්තුවකුත් හම්බවුණා ඔන්න මාළුත් ගහනවා.. සුපුරුදු ලෙස සාමාන්‍යයෙන් ඔය වගෙ කෑල්ලක් අහු වුණ ගමන් අපේ අයට පිස්සු හැදෙනවා. ඔන්න ඉතින් දැන් වැඩ තමා. ඉස්සෙල්ලාම කරන්නෙ හෙමීට බෝට්ටුව කිට්ටු කරල අවුළුම් බිලිය ගහල කෑල්ල අල්ලගන්න එක. ඊට පස්සෙ ගේමට බස්සන්නෙ අපේ දියේ බහින උත්තමයා. බෝට්ටුවෙ යන හයදෙනා හෝ හත්දෙනාගෙන් දියේ බහින එකාට තියෙන්නෙ විශේෂ තැනක්… මොකද ඔහු තමයි කෑල්ලෙ විස්තරේ අනිත් සගයන්ට දෙන්නෙ. අපි සාමාන්‍යයෙන් ඔක්සිජන් ටැංකි නම් පාවිච්චි කරන්නෙ නැහැ ඒත් මාස්ක් එකයි ස්නෝර්කල් එකයි අනිවාර්යි.. අපේ දිය කාවා ඉතින් මාස්ක් එක දාගෙන කිලෝමීටර් විස්සක් තිහක් ගැඹුර මුහුදට බයක් හැකක් නැතිව පැනලා මාස්ක් එක නිසා ක්‍රිස්ටල් ක්ලියර් පේන කෑල්ල යට විස්තරේ උඩ ඉන්න අපිට කියනවා.

● කොඩිගහ
Discovery ‘explore your world”!!!..

මතකද ඔය වචන ටික කියන ගැහැනු කටහඬ? ඩිස්කවරි චැනල් එක මගේ ප්‍රියතම නාලිකාවක් වුණෙත් ඒ නිසයි. ඩිස්කවරි චැනල් එකෙත් මුහුද යට ජීවිතය ගැන කරපු වැඩසටහන් තමා මගේ ප්‍රියතම වැඩසටහන් වී තිබුණේ. ඉතින් මට තාම යන්තම් මතකයි මෙන්න මේ වගේ floating objects (පාවෙන වස්තු) හින්දා ඇතිවෙන මත්ස්‍ය ජනපද ගැන කරපු අමතක නොවෙන රූපරාමු. ගොඩාක් ධීවරයෝ වාසනාවන්තයි ඒ වගේ දර්ශන හැබැහින් දකින්න. හැම ධීවරයම ඒ කාලේ ඩිස්කවරි නොබැලුවට කොටින්ම ඩිස්කවරි කියන්නෙ මොකක්ද කියලත් නොදැන, කටින් කට ආපු මොකක්දෝ ආභාෂයකට කෑල්ල සුපිරි නම් “මචං මේක ඩිස්කවරි කෑල්ලක්” කියන්න පුරුදුවෙලා ඉන්නවා… ඇත්තටම අපිටත් අහන්න ඕන ඒ වචන ටික තමයි.. මොකද ඩිස්කවරි කෑල්ලක් කියන්නෙ ඒ කෑල්ලේ උඩින් පේන්න ඉන්න කහ පැටි, පාරමුවො, හඳවරු, පොතුබරි, ලේනවුන්ට අමතරව අපේ ප්‍රධාන ඉලක්කයක් වෙන ලින්නොත් යටින් ඉන්නව කියන එක… විශේෂයෙන් පන්න කෑලිවලට ලේනවු ගහනව කියන්නෙ ඒකේ ලින්නො ශුවර් කියන එක… මොකද ලින්නො ලේනවු බෝවෙන්නෙ එකට… විශ්වාස කරපන් දොරේ ලින්නො ඉන්නකොට ඉන්නෙ කූරි විසිතිස්දාහ බෝල ගැහිලා කැරකි කැරකි එකම තැන. බලන්න ලස්සනයි, හැබැහින් දැකපු නිසා කියන්නේ ඒ වගේ කෑලි ආයේ ඩිස්කවරිම තමයි… කෑල්ල ඩිස්කවරි වුණා කියන්නෙ කෑල්ලට කොඩිගහක් වැටුණා කියන එක තමයි. මොකක්ද මේ “කොඩිගහ” කොඩිගහක් කියන්නෙ අපේ අයිතියේ සංකේතය සහ මුරකරු.. කොඩිගස් හදන්නේ දිග කෙලින් උණගහකින්. උණගහේ යටට කිලෝ පහළොවක විතර කොන්ක්‍රීට්වලින් අලයක් හදනවා බර වැටෙන්න, ගහේ කාලක් විතර උඩට වෙන්න ලොකු රිජිෆෝම් බෝලයක් දානව එහා මෙහා නොවෙන්න. ගහේ අග්ගිස්සටම දානව කළු හෝ රතු කොඩියක් දහවල් කාලෙට ඈතට පේන විදිහට. කාලෙට කොඩිගහ නොහොත් අපේ කෑල්ල හොයාගන්නෙ කොඩිගහේ මැද්දට වෙන්න ටේප්වලින් අලවල දාන ප්‍රබල LED ටෝච් එකෙන්. ඒකෙ එළිය උපරිම හැතැප්ම 8ක් විතර වදිනවා… ඉතින් කොඩිකාර දියට දැම්මම ලස්සනට කෙලින් ඉන්නව වතුරෙ මාරියාවට උඩ පැන පැන.. සාමාන්‍යයෙන් ඕනම බෝට්ටුවක ඔයවගේ ස්ටෑන්ඩ්බයි කොඩිගස් පහ හයක්ම තියනවා. ඉතින් අර දියට දාපු කොඩිගහේ කඹය සම්බන්ධ කරනව අපේ කෑල්ලට, ඒ වැඩ රාජකාරී අවසන් කරල අපේ දියකාවා බෝට්ටුවට අරන් එහෙම්මම රේස් කරගෙන කෑල්ල වටේ වට තුන හතරක් ගහල ඈතට යනවා කෑල්ලෙන්… වට තුන හතරක් ගහන එක අනිවාර්යයි මොකද ලේනවු වගේ වේගවත් මාළු නිතරම බෝට්ටුව පස්සෙන් කෑල්ල අතහැරල එන්න බලනවා. උන්ගෙ කෝණයෙන් බැලුවම බෝට්ටුව කියන්නෙත් උන්ට ලොකු කෑල්ලක් නිසා, ඒ අවදානම නොගෙන කෑල්ලෙ මාළු කෑල්ලටම කරල තියන්න අපි නිතරම උත්සහ කරනවා… දැන් ඉතින් ඒ කෑල්ල අපේ. හැමෝම දන්න විදියට දැන් ලංකාවෙ බහුදින ධීවර යාත්‍රා අති විශාල ප්‍රමාණයක් තියනවා… අද වෙනකොට මහමුහුදේ ඔය කියන කෑලි හොයන්න පුදුම තරගයක් තියෙන්නෙ.. දවස ගාණේ බෝට්ටු දාස් ගාණක් ලංකාව අවට මුහුදත්, ජාත්‍යන්තර මුහුදත්, අනවසරයෙන් මාලදිවයින් මුහුදු සීමාවත් පීරනවා.. ඉතින් කොඩිගහක් දාන එක අයිතිය සංකේතවත් කරන්නෙ ඒ නිසා තමයි… මොකද සෙල්ලම් නෑ, ඒ දිරපු කොට කෑල්ල යටින් ඉන්නෙ රුපියල් මිලියන ගණනක් වටින මාළු. ඉතින් ඩිස්කවරි කෑල්ලක් හම්බවුණා කියන්නෙ ආපු ධීවරයන්ගෙත් බෝට්ටුවෙ අයිතිකාරයගෙත් වාසනාව තමයි..

● කෝස් දැල

"කෑලි" හොයන් මුහුදේ ගිහින් මාළු ගේන අමුතු ක්‍රමේ

කෝස් පන්නය කියන්නෙ හරිම අපූරු පන්න ක්‍රමයක්. අමතක කරන්න එපා කෝස් පන්නය කියන්නෙ මුහුදට පාවිච්චි කරන එක පන්න ක්‍රමයක් විතරයි කියන එක.. මොකද කෝස් පන්නයට අමතරව බලදැල් පන්නය ලෝන් පන්නයට වෙනමම සකසපු බහුදින ධීවර යාත්‍රා තියනවා.. ඒත් ලංකාවෙ අපි ගොඩාක් දුරට පාවිච්චි කරන්නෙ කෝස් දැල.. කෝස් දැල් තියන අපි තමයි ඔය කෑලි හොයන මිෂන් එකට මුහුදට එන්නෙ. අපේ ඒකම ප්‍රාර්ථනය ඉක්මනින්ම අපිට කෑල්ලක් මුණගැසේවා කියන එක.. එකක් බැරිනම් දෙකක්, දෙකක් බැරිනම් තුනක්, තුනක් බැරිනම් තියන කොඩිගස් ඔක්කොම දියට වැටෙනකල් කෝස් පන්නය කරන අපි කෑලි සොයනවා… අපේ පිපාසය සංසිඳුවෙන්නෙ අපි බෝට්ටුවේ ගෙනියන අයිස් කොට්ට ඔක්කොටම ගැලපෙන්න මාළු ටැංකිවලට දාගත්තට පස්සෙ තමයි.. කෑලි හොයල හොයල කොඩිගස් දාල දාල කොහොමද ඉතින් දැන් ඔය කෑලිවල ඉන්න මාළු ටැංකිවලට දාගන්නෙ? අරවගේ පන්න කෑලි දහයක් විතර ඇදගෙන ගිහින් මාළු ඇදලද? හිතන්නවත් බෑ… එහෙම කළොත් මාසයක්වත් යාවී… ඉතින් ඔන්න ඔතනදි තමයි අපි කෝස් දැල පාවිච්චි කරන්නෙ.. අපි දැන් සූදානම් වෙන්නෙ ඊළඟ දිනයේ හිරු උදාවෙත්ම කොඩිගහ දාපු කෑල්ල “වටකරන්න.” වටකරනව කියන්නෙ සෙල්ලම් වැඩක් නෙවී… අපි කරන්නෙ අනුන්ගෙ රටකට ගිහින් උන්ගෙ බලකොටුව වටකරල ඔක්කොම උන් එකසැරේ කොටුකරගන්නව වගේ වැඩක්…

ඒක හරියටම තිතට, වෙලාවට හුළං එන පැත්ත බලල, දියවැල යන දිශාව බලල කරන්න ඕන වැඩක්. කෝස් දැල සමන්විත වෙන්නෙ ඉපිලි මන්ද නොහොත් රිජිෆෝම් බෝල ඇමිණූ කඹය, බරු මන්ද නොහොත් යකඩ ගුලි වැලක් ඇමිණූ කඹය, ශකල් වළලු නොහොත් වැඩුණ මිනිසකුගෙ අතට දැමිය හැකි ප්‍රමාණයේ යකඩ වළලු 36ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හා එම වළලු ඇතුලතින් දමා ඇති කෝස් කඹය සහ 6 නයිලෝන් එකෙන් හදපු දැල්පීස් සහ මඩි දැලෙන්.. මඩි දැලේ නයිලෝන් එක ගොඩක් ශක්තිමත්. සාමාන්‍ය දැල් පීස් එකට වඩා හතර ගුණයක්වත් ශක්තිමත් සහ ඔය සියල්ල එකතුකොට නිර්මාණය කළ කෝස් දැල… වැඩේ ටිකක් සංකීර්ණයි වගේ නේද… උපරිම සරලව කියන්නම් හිත ඇතුලේ රූපයක් මවා ගන්න බලන්න. සාරියක් දික්ගැස්සුව කියල හිතන්න. දැලත් අන්න ඒ වගේ සෘජුකෝණාස්‍රයි. ඒක කෝස් දැල නම් සාරියේ උඩ ලයින් එකේ තමා ඉපිලි මන්ද තියෙන්නෙ. ඒ දැල වතුරට තිබ්බහම ගිලෙන්නෙ නැති වෙන්න.. බරු මන්ද නොහොත් යකඩ වැල තියෙන්නෙ සාරියේ යට තීරුවේ. බරු මන්දෙ යකඩ ගුලිවල බරට තමයි කෝස්දැල දික්ගැස්සිලා ලඹේට බහින්නෙ. බරු මන්ද තීරුවේ දිග හරියටම 36ට බෙදලා එක හා සමාන වූ දුර පරතරයකින් යුතුව පෙලගස්වල තියනව ශකල්වල 36ක්, අන්න ඒ වළලු ඇතුලෙන් ගිහිල්ලා තියනව කෝස් කඹය… නිකමට හිතන්න එකී කෝස් කඹය එක කොනකින් ගැටගහල අනිත් කොනින් ඇදගෙන ඇදගෙන ගියොත් මොකද වෙන්නෙ? යට බරු මන්ද පුනීලයක් වගේ වෙනකල් ඇකිලෙනව නේද? ඔන්න ඔය ටික තේරුණා නම් එච්චරයි.. තේරුණේ නැති එකෙක් ඉන්නව නම් වරෙල්ලා රස්සාවෙ යන්න තොපිට කියල කඹේ ගස්සවනවා ඉස්සරහම වාඩිකරවල පළු යන්න ජාතිය අමත අමත.

ඔන්න දැන් තමා අර මොහොත උදාවෙන්නෙ. සාමාන්‍යයෙන් කෝස්දැලක් දිගින් මීටර් 60ට වැඩි පළලින් මීටර 15ක් විතර. මුහුදෙදි දිග පළල කියන්නෙ බඹවලින් වුණාට මෙතැන තේරුම් ගැනීමේ පහසුවට මම මීටර් පාවිච්චි කරනවා. වටකරද්දි අපි අනිවාර්යයෙන් කෝස් දැලේ දිග පළල ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕන.. නැත්නම් උදේ පාන්දර වැඩේ දෙල් වෙනවා. ගොඩාක් කෝස් පන්න කාරයෝ වටකරන්නෙ උදේ හිරුනැගගෙන එද්දි. මොකද ඒ වෙලාවට තමයි විසිරිලා පුරහම පීන පීන ඉන්න මාළු කෑල්ල ළඟට කිට්ටු කරන්නෙ. අපි එක දැල් කොනක් කොඩ් ගහක අමුණල අනිත් දැල් කොන බෝට්ටුවේ අවරයෙන් ගැටගහලයි සූදානම්ව ඉන්නෙ.. ඉතින් කෑල්ල හරි මැදට හිටින විදිහට කොඩි ගහ සහිත කොන දියට තියාගෙන කෑල්ල වටේ රවුමක් ගහන්න තමයි තියෙන්නෙ… වීල් එකේ ඉන්න මරක්කලාහේ දක්ෂයෙක් නම් හරියටම අපි රවුම ගහල එනකොට සම්පූර්ණ දැල දියේ තියෙන්නත් ඕන, කවකටුවෙන් ගැහුවා වගේ ලස්සනට ඉපිලි මන්ද රවුමට තියෙන්නත් ඕන.. රවුම අවසානයි කියන්නෙ දියේ තිබ්බ කොඩිගහ ළඟටම කැරකිලා එනව කියන එකනෙ… කැරකිලා ඇවිත් කොඩිගහ අල්ලගත්තු සැනින් තමයි යුද්ධය ප්‍රකාශ කරන්නෙ.. මොකද වටේට දැල් හැඩය මීටර 15ක් ගැඹුරට තිබ්බට මදි මාළුන්ට යටින් තාමත් පිටවෙන්න පුළුවන්.. අන්න ඒ නිසා තමයි කෝස් කඹය එක කොනක් ගැටගහල අනිත් කොනෙන් ඇදගෙන යන්නෙ..

ඕඩි හෙලෙයි..
හේල්ලාල…
අල්ලාපන්…
ඕනීලේ.. අල්ලාපන්..

කෝස් කඹය අදින එක සෙල්ලමක් නෙවී… මතකයි නේද මේ අදින්නෙ යකඩ වළලු යකඩ ගුලිවලින් සමන්විත මන්දක් එකතු වෙනකල් කියල. ඉතින් මේ වැඩේට හැමෝගෙම සහය ඕන වෙනවා… සෙල්ලම් නෑ.. අල්ලාපන් .. ඕඩි හෙලෙයි.. හේල්ලාල.. එකෙක් හරි හොරට අදිනව කියල තේරුණොත්… මොකක්ද යකෝ කරන්නේ? ඇදපියවු බොරු නොකර.. ඔක්කොම සද්ද යටින් කෝස් වෙනකල් විතරයි . ඊට කලින් දවසෙ දැකපු ලින්නො බෝලේ කොටු කරගන්නයි ඕන.. කොටු කරගත්තොත් අපිට ගොඩ යන්න පුළුවන්… කොටු කරගන්න බැරි උනොත් ඊළඟ දවසෙත් කඹ ගහන්න තමයි වෙන්නෙ… මේක කෝස් දැල… නැත්නම් මේකට අපි සෙල්ලම් දැල කියනවනෙ. හයිය හත්තිය තියන මිනිස්සු තමයි මුහුදු යන්නෙ… ඔය හැමදේම කරන්නෙ මහා ජලකඳක් උඩ.

● මාළු අයින මඩි කරගැනීම

පැද්දෙන බෝට්ටුවක් උඩ ඉඳන්.. කඹේ වැඩේ ඉවරයි ඒත් වැඩේ ඉවර නෑ… මාළු අයින මඩි කරගන්න ඕන.. මඩි කරගන්නව කියන්නෙ දැලේ අවසාන කොනට මාළු අයින තල්ලු කරගන්න එක.. කඹේ වැඩේ ඉවරවුණ ගමන් හැමෝම එක්ක එකා වගේ දැල අල්ලන්න ඕන.. ඒ කීවේ සාරියේ එක්කොනක ඉඳල අනිත් කොනට වෙනකල් ඇදල ඇදල බෝට්ටුවට දාගන්න එක. එහෙම දාගෙන දාගෙන තමයි අන්තිමේ මඩි දැලට එන්නෙ… මඩි දැලේ තියන දැල් තංගුව සාමන්‍ය දැල් තංගුවට වඩා හතර ගුණයක් හයියයි… මොකද මාළු කිලෝ පහළොස් දාහක් කොටු වුණ වෙලාවක හරියට එක තැනකට බර වැටුණොත් බර බර ගාලා දැල ඉරාගෙන තමයි මාළුවො පිටවෙන්නෙ… ඔක්කොම මහන්සිය වතුරේ… ධීවරයන්ට එහෙම වුණ අවස්ථා අනන්තයි අප්‍රමාණයි.

කොහොම කොහොම හරි මාළු ටික මඩි කරන් ටැංකිවල තියන අයිස් ඇදලා අතංගුවෙන් ටැංකි වලට මාළු දාලා අයිස් ටික ගහගත්තට පස්සෙ තමා වැඩ පල ඉවරවෙන්නෙ… ඔය චක්කරේ අයිස් ඉවරවෙනකල්ම යනවා. මේ ගැන තවත් බොහෝ විස්තර තිබුණත් අදට මේ ප්‍රමාණවත් බවයි මම හිතන්නේ. කොහොමද ඔය ‘ කෑලි’ තියන තැන් හරියටම හොයාගන්නෙ, කොහොමද මුහුදෙ දියවැල් පාවෙන්නෙ, වාරකනටයි හරායටයි කොයි දිශාවලටද රස්සාවෙ යන්නෙ, කුණාටුවකට අහුවුණාම මොකද අපි කරන්නෙ, මාළු බෝ කරගන්න මිනිස්සු කෘතීම විදියට නිෂ්පාදනය කරපු බෝයාවල් මඩි ගැන විස්තර වගේ තව සෑහෙන දේවල් තිබෙනවා. මහ මුහුදේ අත්දැකීම් පොතක ලියල ඉවර කරන්න බැරි තරමට දිගයි.

කෞෂාල් රෝෂර්

]]>
https://divaina.lk/%e0%b6%9a%e0%b7%91%e0%b6%bd%e0%b7%92-%e0%b7%84%e0%b7%9c%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%af%e0%b7%9a-%e0%b6%9c%e0%b7%92%e0%b7%84%e0%b7%92%e0%b6%b1%e0%b7%8a/feed/ 0
ඉන්දීය කෘෂි ආර්ථික විප්ලවය https://divaina.lk/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%9a%e0%b7%98%e0%b7%82%e0%b7%92-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%8a%e0%b6%bd/ https://divaina.lk/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%9a%e0%b7%98%e0%b7%82%e0%b7%92-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%8a%e0%b6%bd/#respond Fri, 25 Nov 2022 23:49:00 +0000 https://divaina.lk/?p=112642 2030 වර්ෂය වනවිට ඉන්දියානු ආර්ථිකය ලොව තුන්වැනි විශාලතම ආර්ථිකය බවට පත්වීමට නියමිත බවට ආර්ථික විශ්ලේෂකයෝ මත පළකරති.

එවන් ඉලක්කයක් පෙරදැරි කරගෙන ඉන්දියාව ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා යන ගමනේදී ඉන්දීය කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට හිමි වන්නේ ඉතා වැදගත්
ස්ථානයකි.

වර්ෂ 2021 සිට 2022 අතර කාලයේදී ඉන්දීය ආර්ථිකයේ සමස්ත වටිනාකමෙන් කෘෂිකාර්මික හා ඒ ආශ්‍රිත අංශයේ දායකත්වය සියයට 18.8 කට ආසන්න ප්‍රමාණයක් විය.

ලෝක බැංකුව විසින් සම්පාදනය කරන ලද ප්‍රගති සමාලෝචන වාර්තාවකට අනුව 2020 වර්ෂය වනවිට ඉන්දියානු කෘෂිකාර්මික අංශයේ රැකියා අනුපාතය සියයට 41.5 ක් ලෙසට ගණන් බලා ඇත.

කෘෂි දේශගුණික කලාප 15 වැඩසටහන

කෘෂිකාර්මික පර්යේෂණ සඳහා වූ ඉන්දියානු කවුන්සිලයට අනුව, ඉන්දියාව කෘෂි-දේශගුණික කලාප 15 කට බෙදා එම කලාප තුළ විශාල වගා සංග්‍රාම ව්‍යාපෘති ආරම්භ කර ඇත. උදාහරණයක් ලෙසට බටහිර හිමාලය කලාපය තුළ එම ප්‍රදේශවල දේශගුණික කාලයන්ට අනුකූල වන ආකාරයට වගා කටයුතු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

ඒ අනුව මෙම කලාපයේ පහළ නිම්න බිම්වල සහල් වගා කරන අතර කඳුකර ප්‍රදේශවල ගිම්හාන සමයේදී බඩ ඉරිඟු වගා කරයි. ශීත ඍතුවේ වගා කරන භෝග වන්නේ බාර්ලි, ඕට්ස් සහ තිරිඟු ය. මීට අමතරව මෙම කලාපය තුළ ඇපල් වතු සහ පීච්, ඇප්රිකොට් ඇට, පෙයාර්ස්, චෙරි, ආමන්ඩ් වැනි සෞම්‍ය කලාපයේ වැවෙන පලතුරු වගාවද සරුවට සිදු කරයි.

ප්‍රදේශයේ ඇති තණබිම්වල බැටළුවන්, එළුවන්, ගවයන් සහ අශ්වයන් ඇති දැඩි කිරීම සිදු කරයි. මෙයින් අපට පැහැදිලි වන්නේ ඉන්දියාව කෘෂි දේශගුණික කලාප වෙන්කොට ඉන් ආර්ථිකයට උපරිම දායකත්වයක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

එමගින් විශාල වශයෙන් වගා කළ හැකි ඉඩම්වලින් උපරිම ප්‍රයෝජනය ගැනීමට ජාතික සැලසුමක් අනුව කටයුතු සිදු කරන ආකාරය දැකගත හැකිය. විවිධ පාංශු වර්ග, කාලගුණ රටා සහ භෝග වගා කිරීමේ හැකියාව ඇති දේශගුණික කලාප මෙමගින් හඳුනා ගෙන ඇත.

ඉන්දියාව ලෝකයේ ප්‍රමුඛම තැනට

ඉන්දියාව මේ වනවිට ලොව ප්‍රමුඛතම කිරි, කුළුබඩු, ධාන්‍ය වර්ග නිෂ්පාදකයා වන අතර සහල්, තිරිඟු, තේ, පලතුරු, එළවළු, උක් සහ කපු නිෂ්පාදනය අතින් ලෝකයේ දෙවැනි ස්ථානයේ පසුවෙයි. ඉන්දියාව එළවළු අතර අර්තාපල්, ළුෑණු, තක්කාලි, බණ්ඩක්කා, වම්බටු, ගෝවා සහ වට්ටක්කා විශාලතම නිෂ්පාදක රට බවට පත්ව ඇත.

මේ ආකාරයට මහා පරිමාණයෙන් කෘෂි භාණ්ඩ නිෂ්පාදනය කරන ලොව ප්‍රමුඛ රටක් බවට ඉන්දියාව පත්වීම මහා පරිශ්‍රමයක ප්‍රතිපලයකි. දියුණු කෘෂි දැණුම, නව පර්යේෂණ, පොහොර භාවිතය, ස්වභාවික විපත් කළමනාකරණය, යටිතල පහසුකම් දියුණු කිරීම, දේශගුණික විපර්යාසවලට මුහුණදීම ආදි ක්‍රියාදාමයන් රැසක ප්‍රතිපලයක් ලෙසට මෙම ජයග්‍රහණ ළගා කර ගෙන ඇත.

ඉන්දියානු කෘෂි කර්මාන්තයේ නිරත ගොවීන් මුහුණ දෙන තීරණාත්මක අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා රජය සහ අනෙකුත් සංවිධාන කටයුතු කරමින් සිටී. ඒ අනුව, පරිසරය සුරකින සහ ස්වභාවික සම්පත් රැකගනිමින් තිරසාර සංවර්ධන මූලධර්ම අනුගමනය කරමින් කෘෂි කර්මාන්තයට ඵලදායී විසඳුම් ගෙන ඒම මේ මගින් අපේක්ෂා කරනු ලබයි. විශේෂයෙන්ම පර්යේෂණ කටයුතු සහ නව කෘෂිකාර්මික තාක්ෂණයන් සඳහා රජයේ මුලපිරීම් සහ පෞද්ගලික අංශයේ ආයෝජන ඒ සඳහා ලබා ගැනීම හේතුවෙන් ඉන්දියාවේ කෘෂිකර්මාන්තයේ මුහුණුවර වෙනස් වෙමින් පවතී. කෘෂි අංශයට සම්බන්ධ නව ව්‍යවසායකයන් නව තාක්‍ෂණය හා දැනුම සමඟ ඒකාබද්ධ වෙමින් ඉන්දියානු කෘෂිකර්මාන්තය ප්‍රතිනිර්මාණය කරමින් සිටී. මෙම ක්‍රියාමාර්ග ඉන්දියාවේ කෘෂිකර්මාන්තයට ඇති අභියෝග ආපසු හැරවීමට ගත් කැපී පෙනෙන උත්සාහයන් වේ.

කෘෂි කර්මාන්තය සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම්වල වර්ධන වේගය 2021 දී සියයට 3.9 කින් වැඩි වී ඇත. 2025 වන විට ඉන්දියානු කෘෂිකාර්මික අංශය ඩොලර් බිලියන 24 දක්වා වර්ධනය වනු ඇති බවට සමීක්ෂණ වාර්තා මත ඉදිරිපත් කර ඇත. ඇස්තමේන්තු වාර්තා වලට අනුව 2021-2022 මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව ආහාර ධාන්‍ය මෙටි්‍රක් ටොන් 316.06ක් නිෂ්පාදනය කරනු ඇති බවට පුරෝකතනය කරයි. ආයෝජන, සංවර්ධන,

කර්මාන්ත හා අභ්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කරන පරිදි 2020 වර්ෂයේ සිට 2022 වර්ෂයේ මාර්තු දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන

2.55 ක පමණ විදේශ සෘජු ආයෝජන ගලා ඒම ඉන්දියානු ආහාර සැකසුම් අංශයට ආකර්ෂණීය වාතාවරණයක් උදාකර ඇති බවයි.

කෘෂි කර්මාන්තයට ඩ්‍රෝන යානා තාක්ෂණය

කෘෂිකාර්මික නව විප්ලවයක් සඳහා ඉන්දියානු රජය විසින් නවීන තාක්ෂණය හඳුන්වා දෙමින් සිටී. කෘෂි ඉඩම් ඩිජිටල්කරණය සහ ශාකවලට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය සහ පළිබෝධනාශක ඉසීම සඳහා ඩ්‍රෝන යානා හඳුන්වාදීම මේ වනවිට සිදුවෙමින් පවතී.

ඉන්දියාවට 2017 සහ 2020 අතර කෘෂි තාක්‍ෂණ අරමුදල් වශයෙන් ඩොලර් බිලියන 1ක් පමණ ලැබිණි. ඉන්දියාව තුළ කෘෂි තාක්ෂණික ව්‍යවසායකයන්ට අදාළව 2025 වර්ෂය වනවිට ඩොලර් බිලියන 30 ක පමණ ආයෝජන ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. වැඩිදියුණු කරන ලද භෝග බීජ, නව සත්ව අභිජනන සහ පශු සම්පත් සහ මත්ස්‍ය ප්‍රභේද, සහ වැඩිදියුණු කළ නිෂ්පාදන සම්බන්ධයෙන් නව තාක්‍ෂණය ගොවීන් වෙත ළඟාකර දීම සහතික කිරීම සඳහා, දිස්ත්‍රික් මට්ටමින් හා රටපුරා කෘෂි විද්‍යා කේන්ද්‍ර 729 ක ජාලයක් මේ වනවිට ඉන්දියාව පුරා පිහිටුවා ඇත.

Digital Agriculture Project

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් 2021 සැප්තැම්බර් මාසයේදී වැඩි පෝෂණ ද්‍රව්‍ය අඩංගු, දේශගුණයට අනුවර්තනය වීමේ හැකියාව ඇතුළු අද්විතීය ගුණාංග සහිත භෝග වර්ග 35 ක් හඳුන්වා දෙන ලදී. කෘතිම බුද්ධිය, දුරස්ථ සංවේදනය, භූගෝලීය තොරතුරු පද්ධති තාක්‍ෂණය, ඩ්‍රෝන යානා, රොබෝ විද්‍යාව සහ වෙනත් නවීන තාක්‍ෂණයන් මත පදනම් වූ කෘෂිකාර්මික මුලපිරීම් සඳහා, ඉන්දියානු රජය 2021-2025 වර්ෂයන් සඳහා ඩිජිටල් කෘෂිකර්ම මෙහෙයුම දියත් කර ඇත. ආහාර සැකසුම් කර්මාන්තය සඳහා නිෂ්පාදන-සම්බන්ධිත දිරිගැන්වීමේ යෝජනා ක්‍රමයක් සදහා ඩොලර් බිලියන 1.46 ක අයවැයක් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇත. මේ මගින් විදේශයන්හි ඉන්දියානු ආහාර සන්නාම දිරිගැන්වීම අරමුණු කර ඇත.

කෘෂිකර්ම හා ගොවි සුබසාධන අමාත්‍යාංශයේ වාර්තා අනුව 2020-2021 වර්ෂය තුළදී සහල් මෙටි්‍රක් ටොන් මිලියන 102.36 ක සහ ආහාර ධාන්‍ය මෙටි්‍රක් ටොන් 144.52 නිෂ්පාදනය කර ඇත. කාශ්මීරයේ වගා කළ චෙරි අස්වැන්නෙහි පළමු වාණිජ නැව්ගත කිරීම 2021 වර්ෂයේ ජූලි මාසයේදී ඩුබායි වෙත යවන ලදී.

වාරිමාර්ග පහසුකම්, ගබඩා කිරීම් සහ ශීතාගාර වැනි කෘෂිකාර්මික යටිතල පහසුකම් සඳහා වැඩි ආයෝජනයක් කිරීම හේතුවෙන්, ඉදිරි වසරවලදී ඉන්දියාවේ කෘෂිකාර්මික අංශය ඉහළ වේගයක් පෙන්නුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව 2022 වර්ෂය අවසාන වන විට ඉන්දියාවේ කෘෂි ආදායම දෙගුණයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අගමැතිවරයාගේ මත්ස්‍ය නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ යෝජනාව යටතේ මධ්‍යම රජය ධීවර කර්මාන්තය සඳහා ඩොලර් බිලියන 9 ක ආයෝජනයක් කිරීමටද අදහස් කරයි. 2024 – 2025 වනවිට මත්ස්‍ය නිෂ්පාදනය ටොන් ලක්ෂ 220 දක්වා වැඩි කිරීමට රජය බලාපොරොත්තු වේ.

වාර්තාගත විදේශ විනිමයක්

පවතින ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය තුළ වුවද 2020-2021 වර්ෂයේ දී ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 1,342.14 ක් වටිනා පලතුරු සහ එළවළු අපනයනය කර ඇති අතර එය ඩොලර් මිලියන 674.53 ක් වටිනා පලතුරු සහ ඩොලර් මිලියන 667.61 ක් වටිනා එළවළුවලින් සමන්විත විය.

නව අණ පනත්

වෙළෙඳපළ වර්ධනයට සහාය වන හිතකර රාජ්‍ය ප්‍රතිපත්ති රටේ කෘෂිකර්මාන්තයේ වර්ධනයට දායක කිරීමට ඉන්දීය රජය මූලික වී ඇත. රජය කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා විවිධ ප්‍රතිපත්ති දියත් කරමින් කෘෂිකාර්මික වර්ධනය දිරිගැන්වීමට සියලු උත්සාහයන් ගනිමින් සිටී. නිදසුනක් වශයෙන්, 2020 සැප්තැම්බර් මාසයේදී රජය විසින් කෘෂි ප්‍රතිසංස්කරණ පනත් තුනක් හඳුන්වා දෙන ලදී. එමගින් ගොවියාගේ නිෂ්පාදන වෙළඳ හා වාණිජ පහසුකම් වර්ධනය කිරීම, කෘෂි නිෂ්පාදන සදහා මිල සහතික කිරීම අපේක්ෂා කරයි.

එළඹෙන 2023 වර්ෂයේදී ගෝලීය ආහාර අර්බුදය ඉතා උග්‍ර අතකට හැරෙනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා අනතුරු අඟවා ඇති අවස්ථාවක එම අර්බුදයට සාර්ථකව මුහුණ දීමට ඉන්දියාව විසින් ගනු ලබන පියවරයන් අනෙකුත් රටවලට මහඟු ආදර්ශයක් වනු නොඅනුමානය.

උපාලි ද සේරම්

]]>
https://divaina.lk/%e0%b6%89%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%93%e0%b6%ba-%e0%b6%9a%e0%b7%98%e0%b7%82%e0%b7%92-%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a-%e0%b7%80%e0%b7%92%e0%b6%b4%e0%b7%8a%e0%b6%bd/feed/ 0