Politicians – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Fri, 13 Jan 2023 17:28:32 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Politicians – Divaina https://divaina.lk 32 32 හැම තැනම ජරාව https://divaina.lk/%e0%b7%84%e0%b7%90%e0%b6%b8-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%b8-%e0%b6%a2%e0%b6%bb%e0%b7%8f%e0%b7%80/ https://divaina.lk/%e0%b7%84%e0%b7%90%e0%b6%b8-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%b8-%e0%b6%a2%e0%b6%bb%e0%b7%8f%e0%b7%80/#respond Fri, 13 Jan 2023 23:52:00 +0000 https://divaina.lk/?p=122065 ශ්‍රී ලංකාවේ සමෘද්ධිලාභීන්ගෙන් 40% ක් පමණ සමෘද්ධි දීමනාව ලැබීමට නුසුදුස්සන් බව ලෝක බැංකුව කළ සමීක්‍ෂණයකදී හෙළි වී තිබේ. මෙහිදී හෙළිදරව් වී තිබෙන වැදගත් ම කාරණය වන්නේ නුසුදුස්සන්ට සමෘද්ධිය දෙන විට එසේ දෙන නිලධාරීන් එම දීමනාවෙන් කොටසක් ජරාව වශයෙන් කා දමන බව ය. සමෘද්ධි දීමනාව ලබාදීමේ වැඩපිළිවෙළට පළාතේ මන්ත්‍රී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම නිලධාරි සහ සමෘද්ධි නිලධාරි යන මහත්වරුන් හෝ නෝනලා සම්බන්ධය. කිසියම් පුද්ගලයෙකුට සමෘද්ධි දීමනාව සැපයීම සුදුසු ද යන්න මූලික වශයෙන් තීරණය කරන්නේ ග්‍රාම නිලධාරි ය. පසුව එම ඉල්ලීම සමෘද්ධි නිලධාරියා විසින් ‘ටියුන් අප්’ කරනු ලබයි. මීට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිර්දේශය ද සමෘද්ධිය ලබාදීම සඳහා අවශ්‍ය ය. මේ හැම තැනම නිලධාරීන් සිටින අතර ඔවුන් අතරින් සමහරකුට ජරාව දීමෙන් වැඩේ ගොඩදමා ගතහැකි ය.

ඉන්දියාව හා ලංකාව යන රටවල ජරාව දීම සහ ගැනීම සංස්කෘතියේ කොටසක් බවට පත්ව තිබේ. පොලිසිය විසින් අප දැමූ පැමිණිල්ල විභාග කළ විට ඕඅයිසීට ජරාවක් දීමට අප තුළ සිතක් පහළ වේ. එසේම අප විසින් පවත්වාගෙන යනු ලබන අපායක් වැනි කුණු ජරා හෝටලයට පනින පීඑච්අයි ට මුදලින් ගනුදෙනුවක් දී නඩු නොගොස් සිටීම අපට මෙන්ම පීඑච්අයිට ද පුරුදුය. ඇතැම් පීඑච්අයිලාගේ කෙරුවාව හොඳටම බලාගත හැකි මෑත කාලීන අවස්ථාවක් වූයේ කොවිඩ් වසංගතය පැමිණි වකවානුව ය. එම වකවානුව තුළදී කොවිඩ් වැළඳුනු ධනවත් පුද්ගලයන් සම්බන්ධයෙන් පීඑච්අයිලා අනුගමනය කළ ක්‍රියාමාර්ගය ඉතාම පක්‍ෂග්‍රාහී විය. ඔවුන් එවැනි දේ කරන ලද්දේ අරක්කු බෝතලයක් හෝ රෝස් කළ කුකුළකු වෙනුවෙනි. දේශපාලනඥයා ඡන්දදායකයාට රස්සාවක් දෙන අතර එම රස්සාවේ සෑම පියවරක් වෙනුවෙන් ම රටේ සිටින අය කප්පම් ගනිති. අප පෙර ද සඳහන් කළ පරිදි දූෂණය සහ වංචාව අපේ සංස්කෘතියේ කොටසක්ව තිබේ.

සමෘද්ධි ව්‍යාපාරය යනු යූඑන්පී ජනසවියේ ශ්‍රී ලංකා මුහුණුවර වේ. ජනසවිය අරඹන ලද්දේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ය. ස්ථිර වශයෙන් ම සාමාන්‍ය මිනිසාගේ මිතුරකු වූ හෙතෙම තම මිතුරා නංවාලීම සඳහා ඔහුට ගෙයක් දොරක් ලබාදීමෙන් ද, රස්සාවක් ලබාදීමෙන් ද, රස්සාවක් ලබා දීමට නොහැකි නම් එය ලැබෙන තුරු ජනසවිය ලබාදීමෙන් ද උදව් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ පොදුජන එක්සත් පෙරමුණ බලයට පැමිණි පසු ජනසවියේ හැඩය වෙනස් කර පොඩි තීන්ත පාරක් ගා සමෘද්ධිය නමැති නම එයට තබන ලදී. ප්‍රේමදාස ජනාධිපතිගේ කාලයේදී ජනසවිය දීමේදී සිදු වූ වංචනික ක්‍රියා ප්‍රමාණය 5% ක් නම් චන්‍ද්‍රිකා බලයට පැමිණි පසු එය 50% දක්වා ඉහළ නැග්ගේය. හොරකම යනු පුරුදු වූ විට අපමණ සනීපයක් දෙන ක්‍රියාවකි. මෙය කොතරම් සැපදායකද යත් හොරකම ම ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ලෙස යොදාගත් නිලධාරීහු ද දේශපාලනඥයෝ ද අද මේ රටේ සිටිති. අප දන්නා පරිදි ගම් මට්ටමේ සිටින ඇතැම් සිල්ලර කඩ මුදලාලිලාටද සමෘද්ධිය ලැබේ. ගමේ ප්‍රධානතම කසිප්පු ව්‍යාපාරිකයාට ද සමෘද්ධි දීමනා ලැබෙන අතර කසිප්පු පෙරීමට දිනකට අවශ්‍ය කරන ඊස්ට් ටිකවත් ගැනීමටවත් එම මුදල ප්‍රමාණවත් නැත. මේ නිසා සමෘද්ධිය යනු පුනරීක්‍ෂණය කළ යුතු සහ සංශෝධනය කළ යුතු දේශපාලන සහ ආර්ථික ක්‍රියාවලියක් බවට පත්ව තිබේ. සමෘද්ධිය බොහෝ විට මන්ත්‍රීතුමාගේ ඥාතීන්ට ලැබේ. මස්සිනාට ලැබෙයි. මස්සිනාගේ බිරිඳගේ මල්ලීටත් ලැබේ. ඒ මල්ලීගේ කසාද පවුලටත්, පෙම්වතියටත් ස්ථිරවම ලැබේ.

සමෘද්ධිය වැනි දීමනාවක අරමුණ වන්නේ දුප්පත්කම නැතිකිරීම නොව පොහොසත්වීමේ ගමන ආරම්භ කරන තුරු දුප්පතා පණපිටින් තබා ගැනීමය. එහෙත් අද ක්‍රියාත්මක වන වැඩපිළිවෙළට අනුව සමෘද්ධිය නිසි තැනට නොයන බැවින් එමගින් ලොකු විභවයක් රටට නොලැබේ. සමෘද්ධිය ප්‍රතිසංවිධානය කරන්නේ කෙසේද යන්න වෙනම කතන්දරයකි. දේශපාලනඥයන් සහ නිලධාරීන් නැති ලෝකයක මෙකී ප්‍රතිසංස්කරණය ඉතාම හොඳින් කළ හැකිය. එහෙත් අපේ කරුමයට එවැනි ලොවක් දැනට පහළවන්නේ නැත. එබන්දක් පහළවන විට මනුෂ්‍ය වර්ගයා මේ ලෝකයෙන් වඳව ගොස් ය.

]]>
https://divaina.lk/%e0%b7%84%e0%b7%90%e0%b6%b8-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%b8-%e0%b6%a2%e0%b6%bb%e0%b7%8f%e0%b7%80/feed/ 0
එවන් ස්වර්ගරාජ්‍යයේ දොරටුව අමන දේශපාලනඥයන්ට ඇරේවිද? https://divaina.lk/%e0%b6%91%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%9c%e0%b6%bb%e0%b6%a7/ https://divaina.lk/%e0%b6%91%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%9c%e0%b6%bb%e0%b6%a7/#respond Tue, 27 Dec 2022 23:55:00 +0000 https://divaina.lk/?p=118578 මුළු මහත් කිතුනු ප්‍රජාවගේම ඉමහත් ගෞරවයට පාත්‍ර වී සිටින ශුද්ධෝත්තම පාප් වහන්සේ මෙන්ම ශ්‍රී ලංකාවේ කිතුනු ජනතාවගේ බුහුමනට ලක්ව සිටින මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේද මෙවර නත්තල් දේව පූජාවන්ට සහභාගි වෙමින් අවධාරණය කරන ලද්දේ හරය වසයෙන් ගත් කල එක හා සමාන අදහස් බව පෙනේ. වතිකානුවේ බැසිලිකා දෙව් මැඳුරේ නත්තල් දිව්‍ය පූජාවට එක්වු ශුද්ධෝත්තම පාප් වහන්සේ ප්‍රකාශ කළේ ධනය හා බලකාමය හඹා යන මිනිසුන් නිසා ලෝකයේම සියලු ජනතාවගේ ජීවන අපේක්‍ෂාවන් මෙන්ම ආගමික සංස්කෘතියද අනතුරට පත්ව තිබෙන බවය. පන්නිපිටියේ ක්‍රිස්තු රජාණන්ගේ දේවස්ථානයේ පැවති මෙරටේ ප්‍රමුඛ නත්තල් දේව මෙහෙයට එක්වූ මැල්කම් කාදිනල් හිමිපාණන් විසින් අවධාරණය කරන ලද්දේත් මිනිසාගේ වටිනාකම රඳාපතින්නේ ඔහු සතු ධනය, බලය හා බලපුළුවන්කාරකම මත නොවන බවය. කිතු සමිඳුන්ගේ වදන් උපුටා දැක්වූ කාදිනල් හිමියන් අවධාරණය කළේ ධනවතකුට ස්වර්ග රාජ්‍යයට ඇතුල්වීම ඔටුවකුට ඉඳිකටු සිදුරෙන් රිංගා යෑමටත් වඩා අසීරු කාර්යක් බවය.

කාදිනල් හිමියෝ මෙහිදී බුදුන් වහන්සේ වදාල තෘෂ්ණාව හෙවත් ආශාව නිසා පුද්ගලයා විනාශයට පත්වන නියත දහම ගැනද සිහිපත් කළහ. ඇත්ත වසයෙන්ම කාදිනල් හිමියන්ගේ සමස්ත අදහස තුළම පිළිරැව් දුන්නේ අන් කිසිවක් නොව අද සමාජ ආර්ථික හා දේශපාලන වසයෙන් දැඩි අර්බුදයක හිරවී සිටින අපේ සමාජ ඛේදවාචකයේ රිද්මය බව නිසැකය. දේශපාලනඥයන් විසින් බලයත් ධනයත් මත පදනම්ව මේ රට වනසා දැමූ ආකාරය කාදිනල් හිමියන් පෙන්වා දුන්නේ දැඩි සංවේගයකින්ද යුතුවය. මේ රට ලෝකය අබියස ලැජ්ජාවට පත් කිරීමටත් ජනතාව හිඟාකන තත්ත්වයට ඇද වැටීමටත් හේතු වූයේ ඒ මුග්ධ දේශපාලනයම බව කාදිනල් හිමියෝ පැවසූහ. මෙම පාරිභෝගික සමාජ ක්‍රමය විසින් නිර්මාණය කරන ලද්දේ සිත්පිත් නැති සදාචාර විරෝධී වටිනාකම් මැනවැයි සිතන පතන බහුතර පිරිසක් බව අප විසින්ද නොයෙක් වර සඳහන් කරන ලද විවේචනයකි.

අපට තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ආණ්ඩුක්‍රමයක් වුවද ඒ කිසිදු ලක්‍ෂණයක් හෝ ගුණයක් අපට දැක ගත හැකිද? කාදිනල් හිමියන් නිවැරදිවම දැක්වූ ආකාරයටම මෙරටේ සමාජ මතු මහලට නැග ගත් අයගෙන් බහුතරයක් බලකාමී හා ධනලෝභී ආත්මාර්ථකාමී හා පුහු අහංකාරකම්වලින් හිස් උදුම්වා ගත් අය නොවෙත්ද? නීතිය හා යුක්තිය ඒ බලවතුන්ගේ වචන හා ක්‍රියාකාරකම් වී තිබේ. අද වනවිට මුල් බැස ගෙන තිබෙන ඒ පවුල් කේන්ද්‍රීය දේශපාලනයට ප්‍රබල සමාජ විරෝධතා එල්ල වුවත් තවමත් එය වටාම භ්‍රමණය වන දේශපාලන ක්‍රියාන්විතය වෙනස් වී නැත. මේ දේශපාලනයට බලය හා ධනය විනා පොදු ජන අභිලාෂයන් කිසිවක් අදාළ නොවන බවද නිසැකය. දූෂණය, වංචාව, නාස්තිය, අල්ලස, හොරකම ආදී සියලු අපචාරවලින් කුණුවී ගිය සමාජයක වින්දිතයන් බවට පත්වීමට සිදු වූයේ ඒ කිසිවකට සම්මාදම් නොවූ බහුතර ජනතාවකට බවද රහසක් නොවේ.

එවන් ස්වර්ගරාජ්‍යයේ දොරටුව අමන දේශපාලනඥයන්ට ඇරේවිද?

ප්‍රචණ්ඩත්වය හා සාහසිකත්වය විසින් වෙලා ගන්නා ලද සමාජයක පාතාලයේ මෙහෙයුම්වලද නිමක් නැත. ඒවාට බොහෝ විට හේතු වී ඇත්තේ මත්කුඩු වෙනත් දූෂිත ගනුදෙනු හා නීති විරෝධී ක්‍රියාකාරකම්ය. මේ වන විට පොදු ජන සමාජයම තිගැස්සීමකට මෙන්ම මහා කම්පනයකටද පත්කර තිබෙන මත්කුඩු උවදුර පිළිබඳ සත්‍ය සැඟව තිබෙන්නේද අඳුරු තිරය පසුපස බව නිසැකය.

රටක සංවර්ධනය, ඉදිරි ගමන මෙන්ම සමාජ සදාචාරාත්මක ප්‍රතිපත්ති සමුදාය සුරක්‍ෂිත වන්නේ එරටේ පාලන භාරකාරත්වයේ ගෞරවනීය හැසිරීම් අනුවය. සදාචාරය හා දුරාචාරය වෙන වෙනම හඳුනා ගත හැකි සමාජ දේශපාලන විඥානයක් ජනතාවට මෙන්ම පාලකයන්ටද තිබිය යුතුමය. එහෙත් මෙරටේ උත්තරීතර ආයතනය වන ව්‍යවස්ථාදායකය නියෝජනය කරන බහුතරයක් ඒ කිසිවක් නොතකන්නෝද? යන්න උත්තරයක් නැති ප්‍රශ්නයකි. වරප්‍රසාද ප්‍රභූත්වය වැනි හිමිකම් සතු පිරිසක් ප්‍රශ්න කිරීම බොහෝ විට දැලි පිහියෙන් කිරි කෑමක් වැන්න. එහෙත් අද ඒ කුලකයට අයත් වන ඇතැම් කෙනෙක් විසින් නගනු ලබන චෝදනා විවේචන සුළුපටු නොවේ.

මෙහිලා අප උපුටා දක්වන්නේ පසුගිය දිනක ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු මෙන්ම නිදහස ජාතික සභාවේ ප්‍රමුඛයකුද වන ඩලස් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයකි. ඔහු සඳහන් කළේ මෙරටේ තිබෙන තැබෑරුම් හෙවත් මත්වතුර වෙළඳශාලා හාරදහසකට වැඩි සංඛ්‍යාවෙන් අඩක් අයිති වන්නේ දේශපාලනඥයන්ට ඔවුන්ගේ නෑයන්ට හා ඇතැම්විට විශ්‍රාමිකව සිටින දේශපාලනඥයන්ට බවය. ව්‍යවස්ථාදායකය නියෝජන කරන තැබෑරුම්කාරයන් ගැනද ඔහු පවසා තිබේ. මේ මත්වතුර වෙළඳාම නීතියට එකඟ වුවද එහි සදාචාරාත්මක බව බරපතළ ප්‍රශ්නයකි. ජනතා නියෝජිතයන් ලෙස වරප්‍රසාද ලබන ඒ බාර් හිමිකරුවන් විසින් සමාජයට එක් කරන්නේ කිසිසේත් යහපත් දේවල් නොවන බව ඉතා පැහැදිලිය. මේ අය මත්ද්‍රව්‍ය මර්දනය සඳහා කතා කිරීමට පවා ප්‍රශ්නකාරී බව සමහරු පෙන්වා දෙති. ඩලස් මන්ත්‍රීවරයාගේ ඇඟවුම වන්නේද එයයි. රට හදන ජනතාවට නීති සම්පාදනය කරන කේන්ද්‍රයක ගෞරවය, අභිමානය රඳා පවතින්නේ ගර්හිත වෙළඳාම් හෝ නීතිය අතට ගත් දූෂිත ගනුදෙනුකරුවන්ගෙන් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත.

නීති සම්පාදනය, සමාජ සාධාරණත්වය හා ජාතික සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කිරීම රටක පුරවැසියන්ගේ මෙන්ම රට කරවන පාලකයන්ගේද වගකීම බව පුන පුනා කිව යුතු නැත. උඳු වපුරා මුං අපේක්‍ෂා කළ නොහැකි වන්නා සේම දූෂිත, වංචනික හා අධම පාලනයකට දායක වු දේශපාලනඥයන් බහුල රටක අපට තබා ගත හැකි බලාපොරොත්තුව කුමක්ද? විනය, සංවරය, සදාචරාත්මක වටිනාකම් සියල්ල ඒ සමාජ අවපාතය නමැති චණ්ඩ කුණාටුවෙන් ගසා ගෙන යෑමද වැළැක්විය නොහැක.

මෙරටේ උග්‍ර ආර්ථික අර්බුදයක් තිබෙන බවට ආණ්ඩුව මෙන්ම ආණ්ඩුවේ පෙරමුණේ රාලලාගේ අඳෝනා කන්දොස් ක්‍රියාවක් වන තරමටම ඇසෙයි. පළාත්පාලන මැතිවරණයට සැරසෙන බව රටට ප්‍රදර්ශනය වුවත් එය කල්දැමීම සඳහා ආණ්ඩුව කවර හෝ උප්පරවැට්ටියක් යෙදිය හැකි බව විපක්‍ෂයේ විවෘත චෝදනාවකි. මේ එබඳු මැතිවරණයකට උචිත අවස්ථාවක් නොවන බව සැබෑවකි. එබඳු අතිරේක වැයක් දැරීමට තබා ඉන්ධන ඖෂධ වැනි අත්‍යවශ්‍ය දේවල් ගෙන්වා ගැනීමටවත් මූල්‍ය ශක්තියක් නැති අවස්ථාවකි. එහෙත් ආණ්ඩුව අරපිරිමැස්මෙන් හෝ ජනතාවගේ පීඩාවන් පිළිබඳව සංවේදී බවකින් කටයුතු කරන බවක් කිව හැකිද? මැති ඇමැතිවරුන්ගේ සුඛෝපභෝගී රථ පෙළපාලි, ඔවුන් පිරිවරාගෙන ඉගිලෙන වාහන වෙනත් වියදම් ආදිය ගැන රටම දනිති. ඉහළින් රටට දෙන ආදර්ශය කිසිසේත් මෙවන් කඩා වැටුණු සමාජ ආර්ථිකයකට උචිත නොවේ.

දේශපාලනඥයන් බලයට පත්ව නායකයන් ඇමැතිවරුන් ලෙස මේ රටට කර තිබෙන විනාශයේ ශේෂ පත්‍රය ජනතාව පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවද දන්නා දෙයකි. ඔරොත්තු නොදෙන තරම් ඇමැතිවරුද, රාජ්‍ය ඇමැතිවරුද රටේ ආර්ථිකය මත පිනුම් ගසති. ඒ මදිවාට තවත් ඇමැතිකම් බලාගෙන සිටින පිරිසක්ද වෙති. ඇත්ත වසයෙන්ම අද මෙරටේ තිබෙන්නේ නීතියට එකඟ වුවත් ජනතා වරමක් සහිත පාලනය කැයි කිව නොහැක. නිදහස ජාතික සභාවේ ඩලස් නිවැරදිව පෙන්වා දෙන ආකාරයටම මේ දෙවසරකට වැඩි කාලය ඇතුළත ජනාධිපතිවරුන් දෙදෙනෙක් අගමැතිවරුන් තිදෙනෙක් හා කැබිනට් මණ්ඩල හතරක් කටයුතු කර තිබුණත් රටට අත්වු සුගතියක් නැත. පළාත් පාලන ඡන්දය පැවැත්වීමෙන් රටේ ජනමතය පිළිබඳ නිවැරදි තක්සේරුවක් ලබා ගත හැකි බව ඔවුන්ගේ තර්කයක් වී තිබෙන්නේද ඒ පසුබිම තුළය. ආණ්ඩුව එයට උඩින් පැන යෑමට හෝ වංගු ගැසීමට හෝ මාන බලන්නේ ඒ රහස ලෝක ප්‍රජාවගෙන්ද වසන් කිරීමට ද විය හැකිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට මේ දේශපාලන අස්ථාවරත්වය සමග ඉදිරියට යෑම දුෂ්කර බවද නිසැකය. ඔහුගේ ආර්ථික හා සාධනීය සැලසුම්වලට සහාය දෙන බව විපක්‍ෂයෙන් ප්‍රකාශ වුවත් මෙතෙක් ඔහුගේ බොහෝ කටයුතු සඳහා දුන් සහායක් නැති බවද පෙනේ. රටේ ආර්ථික හා ආහාර සුරක්‍ෂිතාව උදෙසා ජනාධිපති රනිල් දක්වන අවධානය අගය කළ යුතුය. එහෙත් ඔහුගේ ආර්ථික දැක්මේ පදනම අධික බදු බර නිසා ජනතාවට සිදුවන පීඩාව සුළුපටු නොවේ. එසේම අද දෙන්නම් – හෙට දෙන්නම් කිය කියා කල් මරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.3 අනුග්‍රහය තවත් කල් යමින තිබේ. එයත් බාලගිරි දෝෂයට හසු වූවක් වැන්න.

ආණ්ඩුවේ බදු සංශෝධනය ආර්ථික විශේෂඥයන්ගේද විවේචනයට ලක්ව තිබෙන්නකි. රුපියල් ලක්‍ෂයේ බදු සීමාව නිසා ආර්ථිකය තවත් හැකිලෙන බව ඔවුන්ගේ විවේචනයකි. රුපියල් ලක්‍ෂයකින් මධ්‍යම පාන්තිකයාටද ජීවිතය පවත්වා ගෙන යෑම අභියෝගයකැයි ඔව්හු පවසති. එසේම ඇමැතිවරුන් හා නිලධාරීන් එකතු වී රජයට හිමිවිය යුතු බදු ආදායම් අහිමි කර ඇති බවද ඔවුන්ගේ තවත් චෝදනාවකි. වෘත්තිකයන් රට හැර යන්නේද මේ බදු පිළිවෙත නිසා බවද පැවසේ. සුළු කර්මාන්ත හා අපනයනකරුවන් දැඩි අර්බුදයක හිරවී සිටින්නේද මේ බදු සංශෝධනය නිසාය. ඇත්ත වසයෙන්ම බදු ක්‍රමය විදුලි බිල ඉහළ දැමීම වැනි කරුණුවලදී ආණ්ඩුව හිතු මතයට අසංවේදී අයුරින් ක්‍රියා කරන බවට විවේචනයක්ද ඇත. එසේම කෙබඳු ආර්ථික කඩා වැටීමක් තිබුණත් රාජ්‍ය මූල්‍ය විනය පිරිහී තිබෙන ආකාරය ගැනද විවේචන ඇසෙයි.

ඇමැතිවරුන්ට රාජ්‍ය ඇමැතිවරුන්ට ඔවුන්ගේ කාර්ය මණ්ඩලවලට කිසිදු අඩුවකින් තොරව සුව පහසු ජීවිත ගෙවීමට හැකිය. ජනතාව බදු මුදල් ගෙවා ඒ අයට සුව පහසු ජීවිත ගෙවීමට අවකාශ ලබා දීම කෙතරම් සාධාරණ දැයි ආණ්ඩුවේ නායකයෝ කල්පනා කළ යුතුවෙති. එසේම ජනතා මුදලින් යැපෙන ඇතැම් දේශපාලන චරිතවල කියුම් කෙරුම් මෙන්ම හැසිරීම් පිළිබඳව ද මේ දිනවල බරපතළ විවේචන නැගෙයි. සමාජ මාධ්‍යවල සංසරණය වන ඇතැම් රූපරාමු සත්‍ය හෝ නිවැරදි නම් අපට කීමට සිදුවන්නේද මේ රට අන්තිම අශීලාචාර, ග්‍රාම්‍ය වනචර හා අශ්ලීල, අශෝබන ම්ලේච්ඡයන්ගේ දේශයක් බවට පත් වෙමින් තිබෙන බවය. අනුන්ගේ සාක්කුවට රිංගා පික්පොකට් ගහන එකාත් මෙන්න හොරෙක් මෙන්න හොරෙක් යැයි දුවන්නා සේ වලත්තකම් පාදඩකම් කරන එකාත් අපට අපහාස කරනවායි කියමින් ජනතාවට කියන්නේ නම් එතැන ඇත්තේද බරපතළ අවුලකි. විසඳා ගත නොහැකි උභතෝකෝටිකයකි. එහෙත් නීතිය ඉදිරියේ මේවායේ ඇත්ත නැත්ත හෙළිවන තෙක් අපි බලා සිටිමු.

මේ අතර අද බුදුන් වහන්සේට මෙන්ම ඒ උතුම් දහමට අවමන් කරන දේශපාලන මුග්ධ ක්‍රියාකාරකම් ගැනද වචනයක් කිව යුතුය. විශේෂයෙන් ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිධුරයක් හොබවන ඩයනාගේ ගංජා විශ්ලේෂණය බුදුසමයට කළ නිගාවක් බව හෑගොඩ විපස්සි හිමියෝ ජනාධිපති රනිල්ට ලිපියකින්ම දැනුම් දී තිබේ. මන්ත්‍රී වරප්‍රසාද භාවිත කරමින් ඒ අයුරින් විකෘති අදහස් සමාජයට ඉදිරිපත් කළ නොහැකි බව උන්වහන්සේ පෙන්වා දෙයි. බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි සමයෙහිදීත් උන්වහන්සේට නිගා කළ බමුණන් නිගන්ටයන්, තීර්ථකයන් චිංචිමානවිකාවන් ඇතුළු විවිධ පිරිස් වූහ. එහෙත් බුදුන්ගේ කිතු ගොස බුදුදහමේ ආලෝකය අඩු නොවීය. එසේ වුවද මේ අවිචාර යුගයේ තත්ත්වය එසේ නොවේ. පාලි හා බෞද්ධ විශ්වවිiාලයේ ශිෂ්‍ය භික්‍ෂූන් අතර බේබද්දන් තලේබාන් වර්ගයේ අමන මහණුන් සිටින බවට චෝදනා තිබේ. ඒ භූමියේ තිබුණු ජය ග්‍රී මහා බෝධි අංකුරය මුළින් සිඳවූ බවද කියති. පාලි බෞද්ධ සරසවිය කමටහන් වඩන භාවනා මධ්‍යස්ථානයක් විය යුතු නොවූවද එහි භික්‍ෂුවගේ ප්‍රතිරූපය සුරැකිය යුතු බවට විවාදයක් නැත.

මෙරටේ සිංහල බෞද්ධ සංස්කෘතිය අනුව සංඝයා වහන්සේ යනු සැරියුත් මුගලන් මහරහතුන්ගේ පරපුරෙන් එන සඟරුවනක් සේ පිළිගනු ලබන පාදෝවනය කර වන්දනා කරන උත්තම පිරිසකි. ඒ භික්‍ෂු සංස්ථාව සුරැකීම මහනාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි පාලකයන් විසින් ඉටු කළ යුතු වගකීමකි. කුරාණයට හෝ මුස්ලිම් ආගමට අපහාස කළ සල්මන් රුෂ්ඩි වැනි ලේඛකයෝද සිටිති. එහෙත් ඔවුන්ට මුහුණ දීමට සිදුව තිබෙන අභියෝගය බරපතළය. අපට කිසිසේත් එබඳු සංස්කෘතියක පොලිසි අවශ්‍ය නැත. එසේ වුවද රටේ ඉහළම ආයතනයක් නියෝජනය කරමින් ඒ ආගමික නායකයන් හා සංස්කෘතිය විකෘති කිරීමට ඉඩදිය යුතු නැති බව නම් සඳහන් කළ යුතුමය. බෞද්ධ හින්දු, කිතුනු ඉස්ලාම් ආදී කවර ආගමක් සම්බන්ධයෙන් වුවද එබඳු විකෘතීන් සිදු විය යුතු නැත.

ගාමිණි සුමනසේකර

]]>
https://divaina.lk/%e0%b6%91%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%8a%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%9c%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%8a%e0%b6%ba%e0%b6%ba%e0%b7%9a-%e0%b6%af%e0%b7%9c%e0%b6%bb%e0%b6%a7/feed/ 0
ඒ ගොල්ලො ගෙදර යයි අපි හිරේ යයි……. https://divaina.lk/%e0%b6%92-%e0%b6%9c%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%9c-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%9a/ https://divaina.lk/%e0%b6%92-%e0%b6%9c%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%9c-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%9a/#respond Tue, 06 Dec 2022 23:50:00 +0000 https://divaina.lk/?p=114516 මේ රටේ දේශපාලනඥයන් සහ රාජ්‍ය සේවකයන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවෙමින් පවත්නා බව පෙනේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මැති ඇමැතිවරුන් විසින් දෙනු ලබන නියෝග නිලධාරීන් විසින් නොසලකාහරිනු ලැබීමේ ප්‍රවණතාවක් හටගෙන ඇත. මේ සම්බන්ධ උදාහරණ දෙකක් මෑත කාලීනව ඇති විය. ඉන් පළමුවැන්න නම් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සහ ඛනිජ තෙල් ඇමැති කංචන විජේසේකර අතර හටගෙන තිබෙන ආරවුලයි. විදුලි බිල වැඩිකළ යුතු යැයි කංචන විජේසේකර කියන අතර ජනක රත්නායක කියන්නේ එසේ විදුලිබිල නැංවීම වැරදි බවයි. තමා විදුලිබල පනතට ගරු කරන නමුත් ඇමැතිට ගරු නොකරන බව ජනක රත්නායක කියා තිබේ. එසේම විදුලිබිල වැඩි කළහොත් උසාවි යන බව ද ඔහු සඳහන් කර ඇත. මෙය බරපතළ අර්බුදයකි. පාලන තන්ත්‍රය තුළ වඩා බලගතු වන්නේ නිලධාරියා ද, නො එසේ නම් දේශපාලනඥයා ද වන ප්‍රශ්නය මෙහිදී හටගනී. කිසියම් පරිපාලන කටයුත්තක දී නිලධාරියා හා දේශපාලනඥයා යන දෙදෙනාම 50% පනහේ බලයක් සහිතව හැසිරුණොත් තීරණ ක්‍රියාත්මක වන්නේ නැත. තම 50% බලය අනුව තමා බලගතු බව නිලධාරියා සිතන අතර, තමා සතු 50% අනුව තමන්ට බලය ඇති බව දේශපාලනඥයා කල්පනා කරයි.

මෙහි දී පාර්ශ්ව දෙකට ම සමාන බලයක් තිබුණොත් දෙදෙනාගෙන් කවුරුවත් දිනන්නේ නැත. ඒ පිළිබඳ උදාහරණයක් ගෞතම බුදුන්වහන්සේ විසින් දෙසා වදාරනු ලැබ ඇත. කිසියම් පාර්ශ්ව දෙකක් අතර යුද්ධයක් නොහට ගැනීමට නම් එම පාර්ශ්ව දෙකම සමාන ලෙස බලවත් වියයුතු බව හෝ සමාන ලෙස බල ශූන්‍ය විය යුතු බව බුදුහු කියති. දෙගොල්ලන්ටම බලයක් නැත්නම් ඒ දෙගොල්ලෝම යුද්ධයකට යන්නේ නැත. එසේම දෙගොල්ලොට ම සමාන බලයක් ඇත්නම් ඒ දෙගොල්ලො ම යුද්ධයකට යන්නේත් නැත. එයට හේතුව සමාන බලයක් තිබෙනවිට දී ජයග්‍රහණයක් වාර්තාකර ගැනීමට බැරි වීමය. ඒ නිසා බලය යන සාධකයේ දී අඩුම ගණනේ 1% කවත් වැඩි ප්‍රතිශතයක් අවශ්‍ය ය. ආණ්ඩුව රජයේ දේපළක් පුද්ගලික අංශයට විකුණනවිට 51% ක් තමන් වෙත තබාගෙන 49%ක් එය මිලදී ගන්නාට ප්‍රදානය කරයි. එවිට වැඩි බලය හිමිකාරයා ආණ්ඩුව වන බැවින් අවසන් තීරණ ගැනීමේ දී ආණ්ඩුව ජයග්‍රහණය කරයි. මේ න්‍යායට අනුව ජනක රත්නායක සහ කංචන විජේසේකර යන දෙදෙනාම සමාන ලෙස බලගතු පුද්ගලයන් වූ විට ප්‍රශ්න විසඳාගැනීමට නොහැක.

මේ තත්ත්වය පිළිබඳ මෑත කාලීන දෙවැනි උදාහරණය වන්නේ ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක සහ ගමනාගමන ඇමැති බන්ධුල ගුණවර්ධන අතර හටගෙන තිබෙන කාරණයකි. මාකුඹුරේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් පටන් ගන්නා විශේෂිත බස් සේවයක් තමන්ට නොදන්වා අවලංගු කිරීම නිසා ගමනාගමන මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය වහාම ඉල්ලා අස්විය යුතු බව ඇමැති බන්ධුල ගුණවර්ධන දන්වා ඇත. එහෙත් ඉල්ලා අස්වීමේ අදහසක් තමන් තුළ ඇති බවක් ගමනාගමන සභාපති කිංස්ලි රණවක පෙන්වන්නේ නැත. ඔහු කියන්නේ මේ රටේ පොදු දේපළ පුද්ගලික දේපළ ලෙස සැලකීමට ඇමැතිවරුන් පුරුදුව සිටින බවය. ලංකා ගමනාගමන මණ්ඩලය තමාගේ හෝ තම පවුලේ පුද්ගලික දේපළක් ලෙස බන්ධුල ගුණවර්ධන විසින් සලකනු ලබන බව මේ ප්‍රකාශයෙන් හැඟේ. අන්තිමේ දී මේ නඩුව විසඳීමට විධායක ජනාධිපතිතුමාට භාරවන අතර පැත්තක් ගැනීමට නොහැකිව ඔහු ද අමාරුවේ වැටේ. ජනක රත්නායක, කංචන විජේසේකර, කිංස්ලි රණවක, බන්ධුල ගුණවර්ධන යන හතරදෙනාම කෙළින් හෝ වක්‍ර ලෙස පොහොට්ටුවේ කට්ටිය වෙති. එතැන යූඇන්පී කාරයන් හෝ සමගි ජන බලවේගයේ කට්ටිය හෝ අනුර දිසානායකගේ කට්ටිය හෝ කුමාර් ගුණරත්නම්ගේ කට්ටිය නැත. මෙතැන දී කාකොටා ගන්නේ එකම ලයිට් වයර්එකේ වසා සිටි එකම ජාතියේ කුරුල්ලන් රැළකි.

1977 දී ජේ. ආර්. ජයවර්ධන ශ්‍රී ලංකාවේ බලය අත්පත් කර ගැනීමෙන් පසු ඔහුගේම මිනිහෙකු වූ අගවිනිසුරු නෙවිල් සමරකෝන් ඔහු සමග ගැටෙන්නට පටන් ගත්තේය. ජනාධිපතිවරයකු සහ අගවිනිසුරුවරයකු අතර ගැටුමක් හටගත්විට එය ලෙහෙසි කෙළියක් වන්නේ නැත. එම ගැටුමට මැදිවන අයට සිදුවන්නේ අලින් දෙදෙනකු ගහගන්නා විට ඒ මැදින් ගිය රිළවාට අත් වූ ඉරණමයි. දේශපාලනඥයන් සහ නිලධාරීන් එකිනෙකා සමග ගැටෙනවිට ජනතාවට ද රිළවුන් බවට පත්වීමට සිදුවන අතර එමගින් සිදුවිය හැකි අනර්ථය ඉතා දරුණුය. දේශපාලනඥයා බලගතු වූ විට නිලධාරියා බලගතු වීම ද භයානක ය. සෝවියට් සංගමයට කෙළවුණේ මුලින්ම දේශපාලනඥයා බලගතු වීමත්, ඊළඟට දේශපාලනඥයා පරදවමින් නිලධාරියා බලගතු වීමත් නිසා ය. දේශපාලන තීන්දු ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන් විසිනි. දේශපාලනඥයා කිසියම් වැරදි තීන්දුවක් දෙන බව නිලධාරියාට හැඟුණවිට ඔහු එම තීන්දුව ක්‍රියාත්මක කිරීම මඟහරියි. ඡන්දයෙන් පසු දේශපාලනඥයා පැරදුනහොත් ඔහුට ගෙදර යෑමට හැකිවන අතර, වැරදි තීන්දු ක්‍රියාත්මක කළ තමන්ට හිරේ යෑමට සිදුවන බව නිලධාරියා කියයි.

යහපාලන ආණ්ඩු කාලයේ දී මේ තත්ත්වය ඇස්පනාපිට ප්‍රදර්ශනය විය. ඊට පෙර පැවැති රාජපක්‍ෂ ආණ්ඩුවේ සිටි නිලධාරීන්ට උසාවි, පොලිසි පමණක් නොව, රිමාන්ඩ් හිරගෙදරට යෑමට පවා සිදුවිය. ඒ නිසා දේශපාලනඥයා ප්‍රකාශයට පත්කරන සෑම තීන්දුවක් දෙසම කිසියම් සැකයකින් බැලීමටත් එම තීරණ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමටත් නිලධාරියාට පුළුවන. මේ පුරුද්ද දිගේ ටික කලක් රට ගමන් කරනවිට නිලධාරියා ඉබේට ම බලගතු වීමට පටන් ගනී. මෙතැන් සිට ජනාධිපතිට සහ අගමැතිට රට පාලනය කිරීමේ දී දුෂ්කරතාවට මුහුණදීමට සිදුවේ. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා කිරීමට ඇත්තේ ඉතා සරල දෙයකි. ඒ වූ කලී තම තමන්ගේ ප්‍රමාණය කොතරම් ද යන්න දේශපාලනඥයන් සහ නිලධාරීන් වෙන වෙනම අවබෝධකර ගැනීමය.

]]>
https://divaina.lk/%e0%b6%92-%e0%b6%9c%e0%b7%9c%e0%b6%bd%e0%b7%8a%e0%b6%bd%e0%b7%9c-%e0%b6%9c%e0%b7%99%e0%b6%af%e0%b6%bb-%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b7%84%e0%b7%92%e0%b6%bb%e0%b7%9a/feed/ 0