ලී ක්වාන් යූ සිංගප්පූරුව යන රට නිර්මාණය කළේ බොහෝ අමාරුවෙනි. එක්දහස් නවසිය පනස් ගණන්වල මුල භාගය වනතුරුත් සිංගප්පූරුව නමැති රටක් ආසියාවේ තිබුණේ නැත. අද සිංගප්පූරුව තිබෙන තැන එදා තිබුණේ නමක් නැති කුඩා ධීවර ගම්මානයකි. එය මැලේසියාවට අයත් විය. එම භූමියේ තිබුණේ වැලි පස් පමණි. ගහ කොළ හෝ පානීය ජලය එහි තිබුණේ නැත. එහි ජන ප්‍රධානියා වූ ලී ක්වාන් යූ මේ නිසරු භූමිය රටක් බවට පරිවර්තනය කරන්නට 1965 දී තීරණය කොට එම අවුරුද්දේ අගෝස්තු 9 දා මැලේසියාවෙන් වෙන් විය. ලී ක්වාන් යූ සමග එක්වී අලුත් රටක් නිර්මාණය කිරීමට කැමැති වූ චීන සම්භවයක් ඇති මැලේසියානු ධීවරයෝ දහසක් පමණ මැලේසියාවේ පිහිටි සිය ගම් බිම් අතහැර පැදුරු කොට්ට හිස තබාගෙන අලුත් ජනාවාසයට පැමිණියහ. මුලදී කාන්තාරයක් වැනි මේ භූමියේ විසූ ජනතාවට තිබුණු එකම ආදායම් මාර්ගය වූයේ මැලේසියාවට මාළු විකිණීම පමණි. ලී ක්වාන් යූ චීන සම්භවයක් ඇති මැලේසියානු ධීවරයන් අමාරුවේ දමන බව කියමින් එවකට මැලේසියාවේ විසූ නායකයෝ සිනාසුනහ. ලී ක්වාන් යූ කෑම බීම හා වතුර හිඟය නිසා සිය අනුගාමිකයන් ද සමග ළඟදීම පරලොව යනු ඇතැයි මැලේසියානු නායකයෝ ප්‍රසිද්ධියේම කීහ. එහෙත් ලී ක්වාන් යූ වැඩේ අත්හැරියේ නැත. ඔහු සිය අනුගාමිකයන් එකතුකොට ඔවුන් සියලු දෙනාටම උදලු ලබාදී වැලි පස හාරා එහි යට තිබෙන සාරවත් පස ගොඩදමන ලෙස ඉල්ලා සිටියේය. වර්ග සැතපුම් 283 ක භූමි වපසරියකින් සමන්විත මේ ඉතා කුඩා භූමිය සාරවත් පස්වලින් වැසීමට හය මාසයක් තුළ ධීවර ප්‍රජාවට හැකි විය. ඊළඟට තවත් ප්‍රශ්නයක් මතු විය. ඒ වූකලී පස සාරවත් වුවද සිංගප්පූරුව තවදුරටත් ගහ කොළ නැති කාන්තාරයක් පමණක් වීමය. සිංගප්පූරුවේ වැවීම සඳහා තමන්ට ගස් ලබා දෙන්නැයි ලී ක්වාන් යූ ආසියාවේ රටවලින් ඉල්ලා සිටියේය. ඒ ඉල්ලීම ඇසූ මැලේසියානු නායකයෝ ගසක් තබා තණකොළ පැලයක්වත් ලී ක්වාන් යූ ට ලබාදීම ප්‍රතික්ෂේප කළේය. එම ඉල්ලීමට සවන් දී ලී ක්වාන් යූ ට උදව් කළේ ශ්‍රී ලංකාවේ අගමැතිව සිටි ඩඩ්ලි සේනානායක පමණි. ලංකාවේ වනාන්තරවලට ගොස් ඕනෑ තරම් පැළ වර්ග ගලවාගෙන යන ලෙස ඔහු ලී ක්වාන් යූ ට දැන්වීය. යාත්‍රා කිහිපයක් කුලියට ගත් සිංගප්පූරු ධීවරයෝ ලංකාවට පැමිණ ඇති තරම් ගස් ගලවාගෙන ගියහ. මේ පැළෑටි මහා වෘක්ෂයන් බවට පත්වී අදටත් සිංගප්පූරුවේ ජාතික උද්‍යානයේ පවතී. රටේ ගහ කොළ ඇතිවීමත් සමගම වතුර ප්‍රශ්නය විසඳින. ඒ අතර ලී ක්වාන් යූ මුළු ලෝකයටම ආමන්ත්‍රණය කරමින් සිංගප්පූරුවට පැමිණ කර්මාන්ත පටන් ගන්නා ලෙසත් එරට බද්දෙන් නිදහස් වෙළෙඳ කලාපයක් බවත් ප්‍රකාශයට පත් කළේය. සිංගප්පූරුව දියුණු වීමට පටන්ගන්නේ එතැන් සිටය. ඊළඟට ලී ක්වාන් යූ ලෝකයේ හොඳම වරායවලින් එකක් සිංගප්පූරුවේ ඉදි කළේය. ලංකාවේ වරාය කම්කරුවන් නිතර වැඩ වර්ජනය කරනු දුටු ඔහු එම වර්ජන නිසා අපහසුවට පත්වන නැව් තම වරායට කැඳවාගෙන අඩු ගාස්තු ක්‍රමයක් යටතේ සේවා සපයන්නට පටන් ගත්තේය. සිංගප්පූරුව අද වනවිට ලෝකයේ තිබෙන ධනවත්ම රාජ්‍යවලින් එකකි. රට තුළ තඹ සල්ලියක හොරකමක් සිදුවීමට ඉඩ නොදුන් මේ ධෛර්ය සම්පන්න රාජ්‍ය නායකයා සොරුන්ට දැඩි දඬුවම් පැන වූයේය. පසුකාලයේදී ස්වකීය ජීවන අත්දැකීම් සහ දේශපාලන අත්දැකීම් අලළා ලී ක්වාන් යූ විසින් පොතක් ලියන ලදි. From Third World To First නමැති මේ පොතේ එන පරිදි තුන්වන ලෝකයේ දේශපාලනඥයන් බලයෙන් යම් තරමකට වැඩි වන්නේද, ඔවුන්ගේ ගෙවල්ද ඒ තරමටම ලොකු වන්නේය. ඔවුනට බිරින්දෑවරු ගහනයක්ම සිටින්නේය. ඔවුන් සතු දේපළ සහ රන් අබරණද විශාල නොව සුවිශාල වන්නේය. තුන්වන ලෝකයේ පිහිටි මෙකී දූෂිත ලක්ෂණ සහිත රටවල ව්‍යාපාර හෝ කර්මාන්ත කරන සිංගප්පූරු ජාතිකයන් පෙරකී දුර්ගුණ සිංගප්පූරුවට ගෙන ඒමෙන් වැළකී සිටිය යුතුය.
එදා ලී ක්වාන් යූ තුන්වන ලෝකයේ දූෂිත රටවල් ලෙස හඳුනාගත් රටවල් අතර ලංකාව ද ස්ථිර වශයෙන්ම තිබෙන්නට ඇත. අපේ රට 1948 සිට දූෂිත ය. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදියා එදා නිදහස ලබා දුන්නේ දූෂිත හොරෙකුටය. මේ හොරා එදා පටන්ම කළේ හොරකමය. අද පාර්ලිමේන්තුවෙන් නෙරපා දමා ඇති සිංගප්පූරු ප්‍රවාහන ඇමැතිතුමා වැනි අය මේ රටේ දේශපාලනය තුළ ඕනෑ තරම් දැකිය හැකිය. හැබැයි මේ හොරුන්ට විරුද්ධව අතක් එසවීමට කව්රුවත් සූදානම් නැත. එයට හේතුව එසේ ඔසවන අත සදාකාලිකවම අහිමි කරගැනීමට කව්රුත් අකමැති වීමය. මේ රටේ දේශපාලනය කරන වැඩිහරියකට දූෂණ වංචා පිළිබඳ නඩු තොග පිටින් තිබේ. එහෙත් අවසන් ඵලයේදී ඒවායින් නිදහස් වී පිරිසිදු පුද්ගලයන් ලෙස සමාජයට අවතීර්ණ වන ඒ හොරු නැවත වරක් සිය චෞර චක්‍රය කරකැවීමට පටන් ගනිති. හැම දේශපාලන නායකයකුම දුවන්නේ ඡන්ද ගොඩවල් පසුපසය. ජනතාවගේ ඡන්දයෙන් බලයට එන ජනතා නියෝජිත චෞරයන්ගේ සහය මේ නායකයන්ට නිතරම අවශ්‍යය. ඒ නිසා මේ රට දියුණු කළ හැක්කේ ජන වරමකින් තොරව බලයට එන නායකයකුට පමණි. එවැනි නායකයකුට කා සමගවත් කිසිදු බැඳීමක් නැත.
]]>ශිෂ්ටාචාරයේ ආරම්භයත් වරාය නමැති සංකල්පයේ ආරම්භයත් එකට ආරම්භ වූ බව පෙනේ. මුලින්ම වරායක් ලෙස හඳුන්වන ලද්දේ මුහුදින් වෙන්වූ ගොඩබිම් දෙකක් තුළ පිහිටි පිහිනාගෙන හෝ ප්‍රාථමික මුහුදු යාත්‍රාවල නැගී හෝ මිනිසුන්ට ගොඩබැසිය හැකි ස්ථානයකි. මුලදී වරාය යනු නිකන්ම නිකන් වෙරළකි. ප්‍රාථමික මිනිසුන් සාගරය හරහා වෙනත් ගොඩබිම් බලා ගියේ එක්කෝ කෑම සෙවීමටය. නැත්නම් එම ආගන්තුක ගොඩබිම්වල කුමක් තිබෙනවාද යන කුතුහලය සංසිඳවා ගැනීමටය. මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ දියුණුව පිටුපස කුතුහලය නමැති සාධකය ද අඩුවක් නැතිව තිබිණ. නිකන්ම නිකන් වෙරළකට දිගින් දිගටම මිනිසුන් ගොඩබසින විට එතන කිසියම් කාර්යබහුල තත්ත්වයක් හටගනී. එවිට මිනිස්සු තමන්ට අභිමත පරිදි තමන් ගොඩබසින වෙරළ සකස් කර ගනිති. ලෝකයේ පැරණිම වරාය අවුරුදු 4500 කට පෙර සාදන ලදි. රතු මුහුදේ ඊජිප්තු වෙරළේ පිහිටි එම වරාය නයිල් නිම්නය සහ රතු මුහුද යා කරන එකම මාර්ගය විය. අවුරුදු 4500 ට පෙර ඊජිප්තුවේ රතු මුහුදු වෙරළේ එවැනි වරායක් තිබූ බව සොයාගන්නා ලද්දේ 1832 දීය. මේ වරාය මීට අවුරුදු 4500 ට පෙර කොතරම් දියුණු තත්ත්වයක පැවැතියේ ද යත් ලෝකයේ මුල්ම නැංගුරම් 100 ක් එම ස්ථානය කණිද්දී හමුවිය. ඊට අමතරව වරායට ගෙනෙන බඩු තැන්පත් කිරීම සඳහා මැටිවලින් සාදන ලද විශාල දරණු තොගයක් ද කැණීම්වලදී හමුවිය. මේ වරාය සාදා තිබූ ඊජිප්තුවේ හතරවෙනි රාජවංශ සමයේ තොරතුරු සහිත පැපිරස් පත්‍ර ද එහි විය. මේ වරායේ ජැටියක් තිබී නැත. එයට හේතුව නැංගුරම් සහිත විශාල බෝට්ටු මිස නැව් මේ වරායට නොපැමිණීමය. එකල විශාල නාවික යාත්‍රා ලොව කිසිම රටක තිබුණේ ද නැත. මෙහිදී නෝවාගේ යෝධ නැව පිළිබඳ සංකල්පය සාකච්ඡා කරනු නොලැබේ. ඉතිහාසය යනු ප්‍රබන්ධ සහ සාක්ෂිවල එකතුවකි. මෙහිදී ප්‍රබන්ධය කුමක්ද සාක්ෂිය කුමක්ද යන්න වෙන්කර ගැනීම දුෂ්කරය. නෝවාගේ නැවේ කැබලි ලෙස සැලකෙන ලී පතුරු සොයාගෙන ඇත. නෝවාගේ නැව යන සංකල්පයට අපි අභියෝග නොකරමු.
කොළඹ වරාය අවුරුදු 2000 ක් පරණය. ඉන්දියන් සාගරය හරහා වෙළඳාමේ ගිය රෝමන්, අරාබි, චීන වෙළෙන්දෝ තමන්ගේ නැව් නැවැත්විය හැකි ලංකාවේ හොඳම ස්ථානය තෝරා ගැනීමෙන් පසු එම ස්ථානය පාදක කරගෙන කොළඹ වරාය ක්‍රමයෙන් ගොඩනැගිණ. එකල කොළඹ යන වචනය පවා තිබුණේ නැත. 1505 දී පෘතුගීසිකාරයන් කොළඹ වරායට පැමිණ වසර කිහිපයක් තුළ එය යම් ප්‍රමාණයකට සංවර්ධනය විය. 1638 දී ඕලන්ද ජාතිකයෝ මේ වරාය තවත් දියුණු කළහ. 1796 දී බ්‍රිතාන්‍යයට නතුවූ කොළඹ වරාය පසු කාලයේදී ජාත්‍යන්තර වරායක් බවට පත්වීම සඳහා මූලික පියවර තැබීය. අද වනවිට කොළඹ වරාය තුළ ජාත්‍යන්තර මට්ටමේ කන්ටේනර් පර්යන්ත හතරක් ඇත. නැගෙනහිර පර්යන්තය ඉදිකෙරෙමින් පවතින අතර බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ද ආරම්භ වනවා ඇත. 2016 දී කොළඹ වරාය දකුණු ආසියාවේ විශාලතම සහ කාර්යබහුලතම වරාය බවට පත්වේ. මේ මාසයේ 13,14,15 යන තෙදින වෘත්තීය සමිති විසින් නවතන්නට යන්නේ මේසා විශාල ඉතිහාසයක් තිබෙන වරායකි. මෙහිදී තවත් වැදගත් කතාවක් කියමු. අප දන්නා පරිදි කොළඹ වරායට හිමි තැන මේ වනවිට ලැබී ඇත්තේ සිංගප්පූරුවේ වරායට ය. දේශපාලනඥයන්ගේ හිඟන වැඩ සහ වෘත්තීය සමිතිවල කුහුක වැඩ නිසා මේ තත්ත්වය ඇති විය.
සිංගප්පූරුව යනු 1963 වන විටත් ධීවර ගම්මානයකි. චීන සම්භවයක් ඇති ධීවරයෝ එහි වාසය කළහ. මේ ධීවර ගම්මානය රටක් බවට පත්කිරීම සඳහා නායකත්වය ගන්නේ ලී ක්වාන් යූ ය. එකල සිංගප්පූරුව නමැති ධීවර ගම්මානයේ තිබුණේ මුහුදු වැලි සහිත සුදුපාට පසක් පමණි. මේ පසේ ගස් වැවීමට නොහැක. ඒ නිසා ලී ක්වාන් යූ පිටරටවලින් පස් ගෙන්වා මේ ධීවර ගම්මානය පුරා ඇතිරුවේය. අවුරුදු තුන හතරක් වහින විට මේ අලුත් පස මහ පොළොව සමග බද්ධ විය. හැබැයි මේ ධීවර ගමේ කිසිම තැනක ගස් තිබුණේ නැත. මෙවිට ලී ක්වාන් යූ අහල පහල රටවලින් ගස් වර්ග ඉල්ලා සිටියේය. ඔහුට ගස් ලබා දුන්නේ ලංකාව පමණි. එවකට සිටි ශ්‍රී ලංකා අගමැති ඩඩ්ලි සේනානායක කැමති තරමක් ගස් නොමිලයේ ශ්‍රී ලංකාවෙන් ගලවාගෙන යන ලෙස ලී ක්වාන් යූට දැන්වීය. සිංගප්පූරුව පුරා අදටත් වැවී තිබෙන්නේ ඒ ගස්ය. සිංගප්පූරුව යම් තරමකට දියුණු වූ පසු ලී ක්වාන් යූ ලංකාවේ සංචාරයක නිරත විය. ඒ අතර ලංකාවේ වරාය වර්ජනයක් ඇති විය. එහි බියකරු බව දුටු ලී කවාන් යූ වහාම සිය රටට ගොස් වහාම සියලුම වැඩ වර්ජන තහනම් කළේය. අදටත් එම රටේ වැඩ වර්ජන තහනම් ය. අද වන විට සිංගප්පූරුව ලෝකයේ දියුණුම රටවලින් එකකි.
]]>ජපානය යනු දෙවැනි ලෝක යුද්ධයේදී සම්පූර්ණයෙන් සමතලා වූ රටකි. ජලකර හා පරමාණු බෝම්බ දෙකක් දමා විනාශ කෙරුණු මේ රට දශකයක කාලයක් තුළදී කෙලින් හිටගත්තේය. ඊළඟ අවුරුදු 10 න් පසු ආසියාවේ වැඩිම සල්ලියක් වැඩිම සාක්ෂරතාවක් තිබූ රට බවට එය පත්විය. මේ කියන කාලයේදී ශ්‍රී ලංකාව යනු ආර්ථික මොඩ්ල් එකකි.
සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි නැගී එන ආසියානු බලවේග සියල්ලම ශ්‍රී ලංකාව දෙස බලාගෙන කෙළ ගිල්ලාහ. ශ්‍රී ලංකාව තරමට දියුණු විය හැකි නම් එය හොඳටම ඇති බව සිංගප්පූරුවේ නිර්මාතෘවරයා වූ ලී ක්වාන් යූ තම රටේ ජනතාවට නිතරම කීවේය. සිංගප්පූරුව වූකලී මෙයට අවුරුදු 50 ට 60 ට පෙර තිබුණේ මැලේසියාවේ යට කෑල්ලේ පිහිටි ධීවර ගම්මානයක් ලෙසය.
මේ ගමේ මුහුදු වැලි පමණක් විය. ඊට අමතරව ධීවරයන්ගේ පැල්පත් දහස් ගණනක්ද ගම්මානය පුරා තිබිණ. එම වැලි තලාව මැලේසියාවෙන් ඉල්ලාගත් ලී ක්වාන් යූ සිය සහෝදර ධීවර ප්‍රජාව සමග එක්වී පෙර කී බිම් කෑල්ල රටක් බවට පරිවර්තනය කිරීමට පටන් ගත්තේය. එකල සිංගප්පූරු භූමියේ පොල් හැර අන් කිසිදු වැවිල්ලක් තිබුණේ නැත. එයට හේතුව එය ලුණු මිශ්‍ර වැලි වලින් පමණක් පරිපූර්ණ වූ බැවිනි.
සිංගප්පූරුව රටක් බවට පත් කිරීමට නම් ඒ මත සාරවත් පස් අතුරා ගස් සිටුවිය යුතු බව ලී ක්වාන් යූ ට වැටහිණ. ඔහු එවිට අහල පහළ රටවලින් හියුමස් පස් ඉල්ලාගෙන ඒවා පෙරකී භූමිය මත ඇතිරුවේය. ඊළඟට ඔහුට ගස් අවශ්‍ය විය. කාන්තාරයක් වැනි සිය බිම් කඩ වනාන්තරයක් කිරීම සඳහා අහල පහළ රටවලින් ඔහු විසින් ගස් ඉල්ලන ලද නමුදු ඒවා ලබා දුන්නේ ශ්‍රී ලංකාව පමණි. ජනාධිපති ලී ක්වාන් යූ ට කතා කළ එවකට සිටි අගමැති ඩඩ්ලි සේනානායක කැමති තරමක් ගස් මේ රටෙන් උදුරාගෙන යන ලෙස කීවේය. ඒ අනුව සිංගප්පූරුවෙන් පැමිණි නැව් අපේ රටේ ගස් ලක්ෂ ගණනක් ගලවාගෙන ගොස් එහි ඉන්දවීය. මේ ගස් අදටත් සිංගප්පූරුවේ තිබේ. සිංගප්පූරුව ක්‍රමයෙන් ගොඩයන අතර හතර අතේ දේශපාලනය වනමින් සිටි ශ්‍රී ලංකාව ක්‍රමයෙන් බංකොලොත් වීමට පටන් ගත්තේය.
මේ අතර එක්දහස් නවසිය හැට ගණන් වලදී කොළඹ වරායේ වැඩවර්ජනයක් හට ගත්තේය. එබැවින් කොළඹ වරායෙන් තෙල් ගසා ගැනීමට සහ සර්විස් කර ගැනීමට පැමිණි නැව් නන්නත්තාර වූහ. එවිට එම නැව්වලට කතා කළ ලී ක්වාන් යූ තම වරායෙන් තෙල් ගසා ගන්නා නැව්වලට නොමිලේ සර්විස් එක දෙන බව පැවසුවේය. සිංගප්පූරු වරාය ලෝකයේ ඉහළම වාණිජ්‍ය වරාය වලින් එකක් බවට පත්වන්නේ මේ සිද්ධියෙනි. තමන්ගේ වරාය දියුණු වීමට තුඩු දුන් ශ්‍රී ලංකාවේ වරාය වැඩ වර්ජනයෙන් පාඩමක් උගත් ලී ක්වාන් යූ සියලු ආකාරයේ වැඩ වර්ජන තහනම් කළේය. අදටත් සිංගප්පූරුවේ සේවකයෙක් වැඩ වර්ජනය කළොත් නොඑසේ නම් උද්ඝෝෂණයක් කළොත් බෙල්ලට දෙකක් දී පස්සා පැත්තට පයින් ගසා හිරේ දමනු ලැබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන පරිදි ඇෆ්ගනිස්ථානයට පමණක් දෙවැනි වීමට ශ්‍රී ලංකාවට සිදුවන්නේ කොරෝනා සහ දූෂණය නිසාම පමණක් නොවේ. මේ රටේ රාජ්‍ය අංශයේ වැඩ කිරීමේ සංස්කෘතිය අන්තිම තුච්ඡය. හැමෝම හැමවිටම බලන්නේ උද්ඝෝෂණය කිරීමට හෝ පඩි සහිතව වැඩ වර්ජනයක් කිරීමටය.
ලංකාවේ දේශපාලනය දූෂිත බව ඇත්ත. 1948 සිට මෑතක් වන තුරුම මේ රට පාලනය කළ කට්ටිය රටේ භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම සුද්ද කළ බවත් ඇත්ත. එසේ කියා රටේ ඉතිරි ටික සුද්ද කිරීම ජනතාව විසින් කරනු නොලැබිය යුතුය. මේ රටේ සෑම දිනකම කුමක් හෝ අරගලයක් පවතී. එක්කෝ එය අත්අඩංගුවේ සිටින වසන්ත මුදලිගේ බේරා ගැනීම සඳහා වූ අරගලයකි. පාරේ මිනිසුන් අරගල කලේ යැයි කියා උසාවිය හෝ රිමාන්ඩ් එක සැකකරුවන් එලියට දමන්නේ නැත. එසේ නැත්නම් රාජ්‍ය අංශයේ කුමක් හෝ ආයතනයක් සාරියක් හෝ කලිසමක් හෝ ජංගියක් හෝ වෙනුවෙන් වැඩ වර්ජනයක් කරයි. ආණ්ඩුව මගින් ඉතා ක්‍රමානුකූල ලෙස මේ වැඩ වර්ජන දියකර හරින නිසා අරගල හෝ වර්ජන සතු බලය ඉතා ශීඝ්‍ර ලෙස දියාරු වීමට පටන්ගෙන තිබේ. මේ මගින් කම්කරුවා හෝ ශ්‍රමිකයා දෙකේ කොලයට ඇද වැටේ. මෙය වූකලී ශ්‍රී ලංකාවට ටුවරිස්ට්ලා එන කාලයකි. එහෙත් ලංකාව තුළ වැඩ වර්ජන හෝ කම්කරු සටන් ඇත්නම් ටුවරිස්ට්ලා මෙහි එන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු මාලදිවයිනට යති.
පාරේ සිටින අරගලකරුවන්ගෙන් ගුටි කා මැරෙන්නට කිසිදු ටුවරිස්ට් කෙනෙක් කැමති නැත. ශ්‍රී ලංකාව යනු ස්වභාවයෙන්ම සංග්‍රහශීලී රටකි. අපේ රටට ටුවරිස්ට්ලා පැමිණීමට ප්‍රධාන හේතු තුනක් තිබේ. ඉන් පළමුවැන්න මේ රටේ ඇති ඉර අව්වය. දෙවැන්න රට වටා ඇති මහ මුහුදය. තුන්වැන්න රට වැසියාගේ සංග්‍රහශීලී ස්වභාවය ය. මේ තුනම තිබුණොත් හැර එකක් වෙනුවෙන් මෙරටට පැමිණීමට ටුවරිස්ට්ලා කැමති නැත. දේශපාලනඥයන්ගේ අක්‍රමිකතා දූෂණ සහ වංචා කම්කරු අරගල සහ කම්මැලිකම යන කාරණා නිසා මේ රටේ ඉදිරි ගමන වැළකී තිබේ. අවුරුදු පහෙන් පහට රටේ පාලනය වෙනස්වීම කෙතරම් දුරට ඵලදායිද යන කාරණය දැන් මතුව තිබේ. මේ ලෝකය තුළ ඇත්තේ එකම එක සමාජවාදී රටක් පමණි. එය වූකලී උතුරු කොරියාවය. ඒ රටේ අභ්‍යන්තරය ගැන පිටස්තර ලෝකය කිසිවක් දන්නේ නැත. ඒ රටේ සිටින අයද පිටස්තර ලෝකය ගැන කිසිවක් දන්නේ නැත. ඒ රට හැරුණු විට මෙලොව ඇති සෙසු සියලු රටවල් ධනවාදී රටවල් වෙති. මෙකී ධනවාදය ප්‍රජාතන්ත්‍රවාදය යන දේශපාලන වචනයෙන් හඳුන්වනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදය තුළ ප්‍රසිද්ධියේ දූෂණ සහ වංචා සිදුවෙයි. සමාජවාදය තුළදී ඒවා හොරෙන් සිදුවෙයි. දූෂණ වංචා සහ වෙනත් අවකල් ක්‍රියා ප්‍රසිද්ධියේ සිදුවන විට ඒවා නිවැරදි කිරීමේ අවස්ථාව ආණ්ඩුවට ඇත. සමහරවිට එය නිවැරදි කිරීම සඳහා නීතියේ ආධිපත්‍ය පාවිච්චි කිරීමට සිදුවේ. මේ රටේ පාලකයන් දැඩි තීරණ නොගෙන තවදුරටත් සරල ලෙස මේ රට පාලනය කරන්නට ගියහොත් තව ටික කාලයකින් සිදුවනු ඇත්තේ ශ්‍රී ලංකාව පළමුවැනි තැනට විත් ඇෆ්ගනිස්ථානය දෙවැනි තැනට පත්වීමය.
]]>