sunil ariyarathna – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Wed, 28 Jun 2023 15:07:25 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg sunil ariyarathna – Divaina https://divaina.lk 32 32 මහාචාර්ය සුනිල් ආරියරත්න වසර විසිතුනකට පසු සුදු සෙවණැලි සිනමාපටය ගැන කතා කරයි https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%86%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-2/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%86%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-2/#respond Wed, 28 Jun 2023 23:39:00 +0000 https://divaina.lk/?p=153633 ප්‍රවීණ සාහිත්‍යවේදී පියදාස වැලිකන්නගේ සූරීන්ගේ වසර හැත්තෑ හතරක ලේඛක දිවියට උපහාර පිරිනැමීමේ ‘සාහිත්‍යවේදී පියදාස වැලිකන්නගේ සම්භාවනා’ උළෙල පසුගිය දා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වීර පුරන්අප්පු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහි දී කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිදුකළ මුඛ්‍ය දෙසුම ඇසුරින් මෙම ලිපිය සැකසිණි.

මා සාහිත්‍ය රසිකයකු වුව ද, නවකතා රසිකයකු නොවෙමි. මා නවකතාවක් කියවන්නේ ඉතාමත් කලාතුරකිනි. මාගේ වැඩි ඇල්ම බැල්ම ඇත්තේ කවිපොත් කියවීමට ය. එමෙන් ම, ගීත කලාව ගැන ද මගේ උනන්දුවක් තිබේ.

මහාචාර්ය සුනිල් ආරියරත්න වසර විසිතුනකට පසු සුදු සෙවණැලි සිනමාපටය ගැන කතා කරයි

එකදහස් නමසිය අනූනවයේ දී පමණ මා අම්මාවරුන්ගේ අසනීපයකින් එක්තැන්ව සිටිය දී අහම්බෙන් මෙන් ‘සුදු සෙවණැලි’ නවකතාව කියවීමි. ‘සුදු සෙවණැලි’ නවකතාව යනු පියදාස වැලිකන්නගේ මහත්මයාගේ මහා සාහිත්‍ය ධාරාවෙන් බිංදු මාත්‍රයකින් අසෙන් අසකි.

මෙම නවකතාව කියවීමෙන් පසුව මම මහත් කම්පාවකට පත්වීමි. මා පොත කියවා අවසන් කළේ දෑස් කඳුළින් පුරවාගෙන ය. අමුතු ම ආකාරයේ අත්දැකීමක් වූ එයින් චිත්‍රපටයක් කළ හැකි නොවේ ද යන්න ඒ සමඟ ම මා සිත තුළ ඇති වූ අදහසකි.

මහාචාර්ය සුනිල් ආරියරත්න වසර විසිතුනකට පසු සුදු සෙවණැලි සිනමාපටය ගැන කතා කරයි

ඒ වනවිට මා, වැලිකන්නගේ මහත්මයා දැන හඳුනාගෙන නොසිටි හෙයින්, ඔහුගේ දුරකථන අංකය ලබා ගත්තේ, ගොඩගේ මහත්මයාගෙනි. අනතුරුව වැලිකන්නගේ මහත්මයාට මගේ ඒ අදහස පැවසීමි. එහෙත්, ඔහුගේ පිළිතුර වූයේ, වසර හතරකට පහකට පෙර චිත්‍රපට නිෂ්පාදකයකු වන හර්ෂ කුමාර නවරත්න එය මිල දී ගෙන ඇති බව ය. හර්ෂ කුමාර නවරත්න යනු ඒ වනවිට ද තිරගතව තිබූ ‘සාගර ජලය මඳි හැඬුවා ඔබ සන්දා’ චිත්‍රපටයේ සම නිෂ්පාදකවරයා ය. එහි අනෙක් නිෂ්පාදකවරයා ලෙස්ටර් ජේම්ස් පීරිස් ය.

අනතුරුව මම හර්ෂ කුමාර නවරත්නගෙන් මේ පිළිබඳව විමසුවෙමි. ඔහුගේ පිළිතුර වූයේ පරාක්‍රම නිරිඇල්ල එය අධ්‍යක්ෂණය කරන්නට යන බවත්, දින දෙකකින් ඒ සම්බන්ධ පිළිතුරක් ලබාදෙන බවත් ය. දෙදිනකට පසු ඔහු ‘සුදු සෙවණැලි’ චිත්‍රපටයට නැගීමේ අයිතිය මා වෙත ලබාදුන්නේ ඒ වනවිට ඔහු වැලිකන්නගේ මහත්මයාට ලබා දී තිබූ මුදල පවා ආපසු ලබාගැනීම ප්‍රතික්ෂේප කරමිනි. සැබැවින් ම එය සිනමා ක්ෂේත්‍රයේ අයකු වෙතින් ලැබේ යැයි සිතිය නොහැකි අන්දමේ උදාර කටයුත්තකි. ‘සුදු සෙවණැලි’ නවකතාව මා වැලිකන්නගේ මහත්මයාගෙන් ලබාගන්නේ ඒ ආකාරයට ය.

මේ වනවිට සිංහල සිනමාවට වසර හැත්තෑවක් පමණ ගත වී ඇති අතර, චිත්‍රපට දහසකට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය වී තිබේ. එයින් චිත්‍රපට හැට හැත්තෑ ගණනක් ම නිර්මාණය වූයේ නවකතා ඇසුරිනි.

පියදාස වැලිකන්නගේත්, මාත් අතර දෙදාහ වසරේ ආරම්භ වූ ඒ මිත්‍රත්වයට මේ වනවිට වසර විසිතුනකි. එම බැඳීම අත්‍යන්තයෙන් ම වැඩිවූවා මිස කිසිවිටෙක එය දෙදරා නොගියේ ය. මා එසේ පවසන්නේ නවකතා චිත්‍රපටවලට නැගීමට ගිය බොහෝ අවස්ථාවල නවකතාකරුවා සහ චිත්‍රපටකරුවා අතර පැවැති සම්බන්ධතා දෙදරා යන නිසා ය.

මුලින් ම නවකතාවක් සිනමාවට පිවිසියේ නමසිය පනස්තුනේ දී ය. ඒ, ඩබ්ලිව්.ඒ. සිල්වාගේ ‘කැලෑ හඳ’ ය. එම චිත්‍රපටයේ සිට ම සිදුව තිබෙන්නේ නවකතාකරුවා සහ චිත්‍රපටකරුවා අතර පැවැති සම්බන්ධතාව දෙදරා යෑම ය. ඩබ්ලිව්.ඒ. සිල්වා, බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නට එරෙහිව පැනවූ නඩුවක් පවා මීගමුව උසාවියේ තිබේ. ඒ, නිර්මාණාත්මක ප්‍රශ්නයක් නිසා නොව, චිත්‍රපටය විශාල වශයෙන් ලාභ ලැබුව ද, ගිවිස ගෙන තිබූ ලාභයෙන් සියයට දෙකක මුදල ඩබ්ලිව්.ඒ. සිල්වාට ලබා නොදීම නිසා ය.

වැලිකන්නගේ මහත්මයාත්, මාත් අතර ද එවැනි දෙදරා යැවීම් කරන්නට අපේ සමහර ලේඛකයෝ ලිපි පවා ලියූ හ. අප දෙදෙනා සම්බන්ධ කර ‘සිළුමිණ’ පුවත්පතට ලියූ එවන් පිටු භාගයක ලිපියක් අදටත් මා වෙත තිබේ.

නවකතාකරුවාගේ නවකතාවක් චිත්‍රපටයක් වනතෙක් එය අයත්වෙන්නේ නවකතාකරුවාට පමණි. එහෙත්, එය චිත්‍රපටයක් වූ විට තවත් අයකුගේ නමක් ඊට ඈඳෙයි. එවිට ඔවුන් දෙදෙනා අවුස්සා තබා කිසියම් දෙදරීමක් ඇති කරන්නට කෙනකුට හැකියාව තිබේ. අප අතර ද එවැනි දෙදරීමක් ඇති කරන්නට සමහරුන් උත්සාහ ගත්ත ද, වැලිකන්නගේ මහත්මයා ඒ කිසිවක් ගණන් නොගෙන කටයුතු කිරීම නිසා එය වැළකිණි. එනිසා ම, ‘සුදු සෙවණැලි’ හරහා මට ඉතා විශිෂ්ට උදාර මිනිසෙක් හඳුනාගන්නට අවසථාව ලැබිණි.

‘සුදු සෙවණැලි’ යනු ඉතා විශිෂ්ට නවකතාවකි. එක්දහස් අටසිය හතලිස් අටේ කැරැල්ල පසුබිම් කර ලියැවුණු මෙම නවකතාවේ එන ඕවිල්ලේ සුමංගල නමින් පැවිදි වී සිටි සුදුබණ්ඩා නමැති පුද්ගලයා පුරන්අප්පුගේ කැරැල්ලට එකතු වන අතර, කැරැල්ල පරාජය වීමෙන් පසු ඔහු කොළඹට පලායයි. එය කියවද්දී මගේ මතකයට නැගුණේ 1971 සහ 1989 අපේ රටේ ඇති වූ කැරැලි ය. අවුරුදු දහයක් කොළඹට වී සිටි ඔහු කරත්ත විස්සකින් යුත් නඩයක් සමඟ නැවත ගමට එයි.

මා මෙය මැල්සිරිපුර ප්‍රදේශයේ රූපගත කරද්දී පුදුමයකට මෙන් වැලිකන්නගේ මහත්මයා නවකතාවේ ලියා තිබූ ආකාරයට ම එවැනි කරත්ත විස්සක් ම යොදාගන්නට අපට හැකි වී ය. ඒවා ද එසේ මෙසේ කරත්ත නොව, අඹරාව සහිත කරත්ත ය. එහෙත්, මෑතක දී කතරගම ප්‍රදේශයේ මා කළ රූපගත කිරීමකට එවැනි එක් කරත්තයක් හෝ සොයාගැනීමට නොහැකි වූ අතර, කරත්තයක් සොයා ගත්ත ද, කරත්තයේ බැඳීම සඳහා පුරුදු පුහුණු කළ ගොනකු සොයාගැනීමට නොහැකි වී ය.

සුදුබණ්ඩා ගමට එනවිට ඔහුගේ සොහොයුරා සිය බිරිඳ දූෂණය කළ කෝරාළ මරා දැමීම නිසා සිරගෙදර ය. බෝගම්බර සිරගෙදර රූගත කිරීම් කරන්නට අපට හැකි වූ අතර, ලින්ටන් සේමගේ හීන්බණ්ඩාගේ චරිතයටත්, රොෂාන් පිලපිටිය සුදුබණ්ඩාගේ චරිතයටත් පණ පෙවූ හ.

මෙම නවකතාව දිගු කාලයක් පුරා දිවයන්නකි. සුදුබණ්ඩා ගම පැමිණෙන විට හීන්බණ්ඩාට දාව සුදුමැණිකේට කොයින්මැණිකේ සහ ටිකිරිබණ්ඩා නමින් දරුවන් දෙදෙනෙකු සිටි අතර, හීන්බණ්ඩා සිරෙන් නිදහස් වී පැමිණෙන විට සුදුබණ්ඩාට දාව සුදුමැණිකේට සුන්දර බණ්ඩා නමින් තවත් ළමයකු සිටී. මෙම නවකතාව තුළ සුන්දර බණ්ඩා විවාහ වීම, ටිකිරි බණ්ඩා දිසාපතිවරයකු වී අනුරාධපුරයට යෑම, කෝපි වගාව පැමිණීම හා එය අභාවයට ගොස් තේවතු සංස්කෘතිය ආරම්භවීම, දෙමළ ජනතාව පැමිණ ලයිම් කාමර ඇතිවීම, දුම්රිය ලංකාවට පැමිණීම වැනි පැය දෙකේ චිත්‍රපට තුනක් පමණ කළ හැකි දීර්ඝ විස්තර සඳහන් වේ.

එමෙන් ම, සුදුබණ්ඩා සහ සුදුමැණිකේ අතර කායික සම්බන්ධතාවක් ඇති වූ ආකාරය ඔහු මෙහි ඉතාමත් විචිත්‍රවත් ලෙස විස්තර කර තිබේ. මේ සියල්ල එම නවකතාවේ එන සුවිශේෂ සිදුවීම් වුව ද, ‘සුදු සෙවණැලි’ චිත්‍රපටයට නැගීමේ දී මේ සියලු කොටස් කපා දමන්නට සිදුවී ය. එහි දී ඒ සියල්ල ඉවසා සිටින්නට මේ ප්‍රබුද්ධ නවකතාකරුවා කටයුතු කළේ ය. එසේ නොවී නම් ඔහුත්, මාත් අද ඡන්මාන්තර වෛරක්කාරයෝ ය.

මේ වනවිට නවකතා විශාල ප්‍රමාණයක් සිනමාවට නැගී ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණයක් ඩබ්ලිව්.ඒ. සිල්වාගේ නවකතා ය. ‘කැලෑහඳ’, ‘හිඟන කොල්ලා’, ‘විජයබාකොල්ලය’, ‘හඳපාන’, ‘දෛවයෝගය’ යනාදි වශයෙන් නවකතා රාශියකි.

මීට සුවිශේෂ හේතුවක් තිබේ. එනම්, ඒවා මුල, මැද, අග සහිත චිත්‍රපටකාරයින්ට ම කියාපු අපූරු නවකතා වීම ය. චිත්‍රපටයකට හොඳ ප්‍රබල කතාවක් තිබිය යුතු බව චිත්‍රපටකරුවකු ලෙස මම ද විශ්වාස කරන දෙයකි. එසේ නොවන නවකතා ද සිංහල සිනමාවට නැගී තිබේ. සිනමාවට නැගී ඇත්තේ ඩබ්ලිව්.ඒ. සිල්වාගේ නවකතා අටක් වුව ද, ටී.බී. ඉලංගරත්නගේ නවකතා ඊටත් වැඩි ප්‍රමාණයක් සිනමාවට නැගී තිබේ.

එසේ වෙන්නේ කෙසේ ද?. ටී.බී. ඉලංගරත්න ‘අඹ යහළුවෝ’, ‘විලම්භීත’ වැනි හොඳ නවකතා මෙන් ම, කබල් නවකතා ද ලියා තිබේ. එම කබල් ම නවකතා ද චිත්‍රපට ගතකර තිබේ. ඒ ඇයි?. ඒ ඔහු කැබිනට් ඇමැතිවරයකු වීම නිසා එතුමාගෙන් යම්-යම් ප්‍රයෝජන ගැනීම සඳහාය.

එසේ නොවේ නම්, ප්‍රේමදාස මහත්මයාගේ නවකතා චිත්‍රපට ගත කරයි ද?. ඊට වඩා හොඳ නවකතාකරුවන් රටේ නොසිටියේ ද?. ඔහුගේ ‘රන් මිණි මුතු’, ‘හිතවතිය’ සහ ‘ජීවන කඳුළු’ යන නවකතා තුන ම සිනමාවට නැගිණි. ඒ අනුව බලන විට ප්‍රේමදාස මහතා ද චිත්‍රපටයට නගන්නට තරම් හොඳ නවකතා ලියූ නවකතාකරුවෙකි. මෙය ටී.බී. ඉලංරත්න මහතාගේවත්, ප්‍රේමදාස මහතාගේවත් වරදක් නොව, චිත්‍රපටකරුවන්ගේ වරදකි. මන්ද මෙම තේරීම් සිදුවන්නේ එක්-එක් අනියම් ලාභ අපේක්ෂාවන් ඇතිව නිසා ය.

මෙම ‘සුදු සෙවණැලි’ සැඟව තිබුණේ ඒවා අතර ය. හර්ෂ කුමාර නවරත්න එය මිල දී ගෙන නොතිබුණේ නම්, එය මට නොලැබෙන්නට ඉඩ තිබිණි. 1986 දී ‘සුදු සෙවණැලි’ වසරේ හොඳ ම නවකතාව බවට පත්වන අතර, ඒ ඇසුරින් මා කළ චිත්‍රපටය 2002 වසරේ නිෂ්පාදනය වූ හොඳ ම චිත්‍රපටය ලෙස ජනාධිපති සම්මානය හිමිකර ගත්තේ ය. එහි සම්පූර්ණ ගෞරවය හිමිවෙන්නේ පියදාස වැලිකන්නගේ මහතාට ය.

මන්ද? මෙම චිත්‍රපටය කිරීම සඳහා මා පාදක කරගන්නේ එතුමා ඒ නවකතාවෙන් ඉදිරිපත් කළ අමුද්‍රව්‍යයන් ය. එහි දී එතුමාට ස්තූතිවන්ත වෙන්නේ මා පමණක් නොවේ. තවත් දහතුන් දෙනකුගේ ස්තූතිය එතුමාට හිමි වේ.

ඉන් පළමුවැන්නා මම ය. ජනාධිපති සම්මානය මට හිමිවෙන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ලෙස නොවේ, චිත්‍රපට නිෂ්පාදක හැටියට ය. සල්ලිකාරයකු නොවන මා චිත්‍රපට නිෂ්පාදකයකු බවට පත්වෙන්නේ ආචාර්ය තිස්ස අබේසේකර චිත්‍රපට සංවර්ධන අරමුදලක් ඇතිකර චිත්‍රපට කිරීම සඳහා දහදෙනකුට ලක්ෂ පනහ බැගින් ප්‍රතිපාදන ලබාදීම නිසා ය.

‘සුදු සෙවණැලි’ නවකතාවෙන් මා චිත්‍රපටයක් කරන්නට යන වග දැන සිටි ඔහු එහි තිරපිටපත ඉදිරිපත් කරන ලෙසත්, ඊට ලක්ෂ පනහක මුදලක් ලබාදිය හැකි බවත් පැවසී ය. ඒ අනුව, චිත්‍රපට සංස්ථාව දුන් මුදලින් මා ඉබේ ම චිත්‍රපට නිෂ්පාදකයකු බවට පත්වූ අතර, එම වසරේ හොඳ ම චිත්‍රපට නිෂ්පාදකයා බවට ද පත්වීමි. එමෙන් ම මා එහි හොඳ ම තිර නාටක රචකයා බවට ද පත්වූ අතර, එහි ගෞරවය ද වැලිකන්නගේ මහතාට හිමිවේ.

මා ලියූ තිර රචනය රූගත කිරීම්වලට පෙර එතුමාට කියවන්නට ලබා දුන් අතර, මාතලේ, රත්තොට සහ තවත් ප්‍රදේශ කිහිපයක දින හතළිස් පහක් පමණ එහි රූගත කිරීම් සිදුකරද්දී එතුමා දිනකට දෙකකට වඩා එහි නොපැමිණියේ ය.

‘සුදු සෙවණැලි’ චිත්‍රපටයේ හොඳ ම සහාය නිළිය අයිරාංගනී සේරසිංහ, හොඳ ම ගායිකාව නන්දා මාලනී, හොඳ ම කලා අධ්‍යක්ෂ ධර්මසේන හේමපාල, හොඳ ම වේෂ නිරූපන ශිල්පී ඉමල් ශානක පීරිස්, හොඳ ම සහාය නළුවා ලින්ටන් සේමගේ, හොඳ ම නිළිය වසන්ති චතුරාණි, හොඳ ම නැගී එන නළුවා ප්‍රථමවරට සිනමාවට පිවිසි රොෂාන් පිලපිටිය යි.

මෙම සියලු සම්මානවල ගෞරවය මම අද මෙහි දී පියදාස වැලිකන්නගේ මහතා වෙත පුදකරමි. එතුමා එම නවකතාව මා වෙත ලබා නොදෙන්න පෙර සඳහන් කළ කිසිවෙක් සම්මානයට පාත්‍ර නොවෙති. එතුමාට මා චිරජීවනය පතමින් එතුමාගේ උණුසුම් තාරුණ්‍යය එතුමාගේ අභිනව නවකතාව තුළින් ද මතුවේවා යි පතමි.

සටහන – අනුර බී. සෙනෙවිරත්න
සංස්කරණය – රුවන් ජයවර්ධන

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%84%e0%b7%8f%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b7%8a%e0%b6%ba-%e0%b7%83%e0%b7%94%e0%b6%b1%e0%b7%92%e0%b6%bd%e0%b7%8a-%e0%b6%86%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%bb%e0%b6%ad%e0%b7%8a-2/feed/ 0
ආනන්ද සමරකෝන් සූරීන්ගේ ගීතයෙන් පිළිබිඹු වන ජාතික සහජීවනය https://divaina.lk/%e0%b6%86%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b6%9a%e0%b7%9d%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c/ https://divaina.lk/%e0%b6%86%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b6%9a%e0%b7%9d%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c/#respond Wed, 01 Feb 2023 23:39:00 +0000 https://divaina.lk/?p=125617 ආනන්ද සමරකෝන් අපට නො ඇසෙන ගීතයක, අපේ ජීවිතයට මිහිරකි; අපේ බසට මිහිරකි; සංගීතයට නවතාවකි; අපට ඉදිරිපිටින් අපට පාර කැපූ කලාකරුවාගේ අවසන් ගමන අපට ඉවසිය නොහෙන දුකකි. සැබෑ වචනයේ යථාර්ථය, මේ ලියන ‘වගතුග’ ලියුම්කරුට වුවද, සෞන්දර්ය රසාකරයෙන් මහඟු පබැඳුම් සෙවීමට සිත මෙහෙයවන අවස්ථාව සැලසුණේ සමරකෝන් නිසා බවයි…

1962 අප්‍රේල් 8 වැනිදා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සිය ‘ලංකාදීප වගතුග’ තීරුවෙන් මෙසේ කියා සිටින්නේ, තමන් ගීත රචනා කලාවට යොමු වුණේ ආනන්ද සමරකෝන් නිසා බවයි.

“ඉගෙනීම අවසන් කොට ගුරුවරයෙකු සේ සේවය කිරීම සඳහා කොළඹ නගරයට පැමිණි මට, බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ගේ දේශනයකට සවන් දීමට අවස්ථාව ලැබිණි. ගීත රචකයෙකු වීම තම ජීවිතයේ එක් අරමුණක් ඉෂ්ට වීමකැයි ඒ මහතා එහිදී සඳහන් කළේ ය. මා ද ගීත රචකයෙකු වුවහොත් මැනවැයි එවේලේ මට නිකමට සිතිණ.

(මහගමසේකරගේ ගීත (1984) තෙවන මුද්‍රණය)

නූතන ගීත රචක පරපුරේ හැමෝම පාහේ කියන්නේ තමන්ගේ පූර්වාදර්ශ ගුරුවරයා, මාර්ගෝපදේශකයා, මහගම සේකර බවයි. එය අද සම්මුතියක් බවට පත්ව ඇත්තේ, වත්මන් පරපුරේ නර්මාණවල සේකර ලක්ෂණ අඩුවැඩි වශයෙන් දක්නට ඇති බැවිනි. ඒ අනුව, සුභාවිත සිංහල ගීත කලාවේ සමාරම්භකයා ආනන්ද සමරකෝන් ය. දෙවැන්නා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ ය. තෙවැන්නා මහගමසේකර ය.

යම් රටක් ජාතික රාජ්‍යයක් බවට පත් වූ පසු එරට සමස්ත ජනතාව විසින් ගයනු ලබන ගීතයකට නිල පිළිගැනීමක් ලැබෙයි. ඒ, ජාතික ගීය යි. කවර රටක හෝ ඒ වරම හිමිවන්නේ එකම එක් පුද්ගලයෙකුට පමණි. දෙවැන්නකු බිහිවන්නේ නැත. ශ්‍රී ලංකාවේ ඒ අතිදුර්ලභ වරම හිමිකරගනු ලැබුවේ ද ආනන්ද සමරකෝන් විසිනි.

මේ ශ්‍රේෂ්ඨයා පිළිබඳ මෙතෙක් සිදු කර ඇති එකම ශාස්ත්‍රීය පර්යේෂණය, මහාචාර්ය සුනිල් ආරියරත්න 1988 පළ කළ ‘ආනන්ද සමරකෝන් අධ්‍යයනය’ පමණි. එහි දෙවැනි මුද්‍රණයක් 1999 දී ද විස්තෘත මුද්‍රණයක් 2011 දී ද පළ කර ඇත. එම කෘතියේ, 2002 වසරේ දී ලේක්හවුස් ආයතනයේ ‘සිළුමිණ’ පත්‍රයේ අනුග්‍රහයෙන් පැවැති ‘ජනසෙත’ ව්‍යාපෘති මාලාවේ එක් පියවරක් වශයෙන් ශ්‍රී ලංකා ජාතික ගීයේ ඉහළ ප්‍රමිතිගත පටිගත කිරීමේ ව්‍යායාමයේ දී හටගත් ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳ තොරතුරු ද අන්තර්ගත වෙයි.

මහාචාර්ය ආරියරත්නගේ එම අධ්‍යයනයේ අන්තර්ගත තොරතුරු ඔස්සේ සමරකෝන් පිළිබඳ නව කියැවීමකට එළැඹීමත්, සමරකෝන් පිළිබඳ මෙතෙක් සිදු කළ කියැවීම නව දිශානතියකට ගෙන යෑම කෙරෙහි නිදහසේ 75 වැනි ජයන්තියේ දී අවධානය යොමු කිරීම වැදගත් යැයි සිතමි.

යම් පුද්ගල චරිතයක් දෙස නව ආකල්පයකින් බලා විමසුමක් කළ හැක්කේ කෙසේ ද? ඒ පිළිබඳ නිදර්ශනයක් සැපයීම වැදගත් යැයි මම කල්පනා කරමි.

ආනන්ද සමරකෝන් පිළිබඳ මහාචාර්ය ආරියරත්න ගෙන් පසු නව පර්යේෂණයක් සිදු වී නොමැති හෙයින්, එබඳු නව එළැඹුමක් කරා යෑමට මට නව මූලාශ්‍ර සම්පාදනය වී නැත. එහෙත්, දැනට ශේෂව පවත්නා තොරතුරු ගවේෂණයෙන් ද පුද්ගලයෙකු සම්බන්ධව හෝ කිසියම් සිදුවීමක් සම්බන්ධව නව කියැවීමකට ප්‍රවිෂ්ට වීමට විචාරකයෙකුට පුළුවන්කම තිබෙන බවයි, මා විශ්වාස කරන්නේ.

1941 – 1944 අවධියේ යාපනයේ චුන්නාකම්හි පළ වුණු Kesari Peoples Weekly පුවත් පතට Through Shantiniketan Eyes (ශාන්ති නිකේතනයේ ඇසින්) යන හිසින් එදිරිවීර සරච්චන්ද්‍ර ලියූ ලිපි පෙළ මගින්, ශාන්ති නිකේතනය සහ තාගෝර්තුමා ගැන නිරාවරණය නොවූ තොරතුරු රාශියක් සිංහල පාඨකයින්ට දැනගන්නට හැකි විය.

මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර්තුමා තෙවරක් ශ්‍රී ලංකාවට සැපත් විය. ඒ 1922 දී 1930 දී සහ 1934 දී ය. එතුමාගේ තුන්වැනි ගමන, ශ්‍රී ලාංකේය සංස්කෘතියේ හැරවුම් ලක්ෂ්‍යයක් විය.

යටත් විජිත බවට පත් කවර හෝ රාජ්‍යයක ආවේණික සංස්කෘතික මුල් උදුරා දැමීමට ක්‍රියා කිරීම අධිරාජ්‍යවාදයේ අනිවාර්ය ක්‍රියාවලියකි. තමන්ගෙකම මදිපුංචිකමක් සේ සිතන පරාදීන මනසක් සහිත ස්වදේශික ජනතාවක් බිහි කිරීම ඔවුන්ගේ අභිප්‍රාය වෙයි. ජාතිකත්වය – අපේකම යටපත් කර පරගැති මනසක් ඇතිකර ගත් ස්වදේශිකයන්ට වරප්‍රසාද පිරිනමා, ඔවුන් ගැත්තන් කරගන්නා අධිරාජ්‍යවාදීහු ජාතික සාරධර්ම වනසාලමින් ඔවුන්ගේ කාර්ය සාධනය කර ගනිති.

ඉන්දියාව – ශ්‍රී ලංකාව ඇතුළු පෙරදිග යටත් විජිත සියල්ලේ ම සිදුවූයේ මේ ක්‍රියාවලිය යි.

1934 මැයි 9 වැනි දා 40 දෙනෙකුනේ යුත් සංස්කෘතික කණ්ඩායමක් සමග මෙහි පැමිණි තාගෝර්තුමා, උදය ශංකර්ගේ ශාප් මෝචන් නෘත්‍ය නාටකය රඟ දක්වා, තවත් සංගීත සන්දර්ශන රැසක් පැවැත්වීය. ඉන් ප්‍රීති ප්‍රමෝදයට පත් අපේ කලාකරුවෝ රැසක් භාරතය බලා ගොස් අපේ කලාවේ අක්මුල් සොයන්නට වූහ.

නිමල් වෙල්ගම, දේවාර් සූරියසේන, සරණගුප්ත අමරසිංහ,අනංගලාල් අතුකෝරාල, ලයනල් එදිරිසිංහ, පණීභාරත, චිත්‍රසේන, වසන්ත කුමාර,ඩබ්ලිව්.බී.මකුලො ලුව, අමරදේව, රංගනාථ, ගංගානාථ, ප්‍රේමකුමාර එපිටවෙල, සෝමබන්ධු විද්‍යාපති, ශේෂා පලිහක්කාර, මර්සලීන් ජයකොඩි පියතුමා, එදිරිවීර සරච්චන්ද්‍ර, සේන වලවේ, මුනිදාස පාලයන්ගොඩ,

නන්දකුමාර දසනායක, එඩ්වින් සමරදිවාකර, උපසේන ගුණවර්ධන, සුනිල් සාන්ත සහ ආනන්ද සමරකෝන් ඒ අතර ප්‍රමුඛයෝ වෙති. ඔවුන්ගේ ඉන්දියානු සංක්‍රමණයට හේතුකාරක වූයේ, අධිරාජ්‍ය විරෝධී තාගෝර්තුමන්ගේ දේශනයේ අන්තර්ගතය යි.

“ජාතියක සංස්කෘතික අභිලාෂයන් බිඳවැටීම, එම ජාතියේ ආත්මය විනාශයට පත්වීම යි. ජාතියක නිර්මාපකයා වූකලී චිරන්තනව වැඩුණු නෛසර්ගික බුද්ධි මහිමය යි. තමන්ට ආවේණික සංස්කෘතික සම්භවයෙන් වියෝ වන ජාතියක්, සිය පෞරුෂයත්, අනන්‍යතාවත් වනසා ගනී.

එවිට ජාතිය නිසැකයෙන්ම බලලෝභීන්ගේ ගොදුරක් බවට පත් වේ. බටහිර අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාවේ අපරූපීය සංස්කෘතියක් නිර්මාණය කළේ ඒ සඳහා ය.

1939 දී ශාන්ති නිකේතනයට ගිය සුනිල් සාන්ත එහි නතර නොවී ය. ශාන්ති නිකේතනය ඔස්සේ ගොස් ඔහු නතර වූයේ ලක්නව් භාත්කණ්ඩේ සංගීත පීඨයේ ය. එහි පස් අවුරුදු පාඨමාලාව නිම කර සුනිල් සාන්ත පෙරළා පැමිණෙන්නේ 1944 දී ය. 1936 දී ශාන්ති නිකේතනට යන ආනන්ද සමරකෝන්, තුන් අවුරුදු පාඨමාලාවෙන් හය මාසයක ඉගෙනීමෙන් පසු ශ්‍රී ලකාවට පැමිණෙයි.

සමරකෝන් පෙරළා එනවිටත්, අපේ රට යටත් විජිත පාලනයෙන් ගැලවී නැත.

  • මවුනි දිවි දෙමී ගැතී
    නොවෙමි බැඳීම් නමා ශීර්ෂෙ –
    මෙමගෙ ජන්ම භූමි

    ආනන්ද සමරකෝන් සිය රට පැමිණෙන්නේ තාගෝර් ආභාසයෙන් සැකැසුණු මනැසකින් යුක්තව යි.

● ආනන්ද සමරකෝන්ගේ මතය

“… පැරණි ජනකවියේ නොහොත් ජනප්‍රිය සංගීතයෙන් ලබාගත් රසයත් විනෝදයත් අද වංග ජාතිකයෝ නූතන සංගීතයෙන් ලබා ගනිති. බෙංගාලයේ ප්‍රචාරය වී තිබෙන ජනප්‍රිය සංගීතය නිදර්ශනයක් කොටගෙන අපට ද ලංකාවේ ජනප්‍රිය සංගීතය නිපදවා ගත හැකි ය.

මෙය ජනකවි පදනම් කොට කළයුත්තකි. දැනට ලංකාවේ භාරතීය ශාස්ත්‍රීය සංගීතයෙන් ගත් රාගතාල අනුවයි, ගීත ගයන්නේ. ලංකාවේ ද වංග දේශයේ කළ දේ ම කළ හැකි ය. නමුත්, අද එයට විශාල බාධාවක් වී තිබෙන්නේ භාරතයෙන් ගලා එන හින්දුස්තානි සරල සංගීතය යි.

ආනන්ද සමරකෝන් මේ පුනරුච්චාරණය කරන්නේ රබීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ ගී මඟයි.

සංස්කෘතකරණය වූ වංග බසින් රචනා කළ ඉන්දියානු ජාතික ගීය,

“ජන ගණ මන අධිනායක ජයහේ
භාරත භාග්‍ය විදාතා
පංජාබ සින්ධු ගුජරාට

මරාටා ද්‍රාවිඩ උච්චල වංගා…’ යනාදි වශයෙන් ඉන්දියානු වාසීන් එකමුතු විය යුතු බව කී තාගෝර්තුමා අනුව යමින් ම ඒ තනුවට ම ලියූ ගීයක්මයි ආනන්ද සමරකෝන් තම ප්‍රථම ගීතය ලෙස ග්‍රැමෆෝන් තැටියට නඟන්නේ.

“ජන සැම මන අධිපතියෙනි තුති වේ
රකිනු මැනව ලක් මාතා
හැර ජාති වංශ ආගම් කුල බේදා
රුදු වන් සැම අපවිත්‍රා
සෝදා ජලයෙනි මහවැලි ගංගා
ශුද්ද කරන් ලක තුංගා
බැඳ අප සිත් පෙම් දමිනේ
පරහට වැඩ කරවමිනේ
සෙත දෙන්නට ලක් මාතා
ජය ජය මංගල වේ – ජය මංගල තුති ගී
පවසමු බැතිනී
තුති වේ තුති වේ තුති වේ – ඔබ හට ජය
තුති වේ
සියල් සිරින් අප ලක් දිවයින – දෙව් විමනක්
විය රමණී
සිටියෝ රජදරු පෙර අප නෑසියො දුක
නැතිවම සමගියෙනී
උතුමෙනි අද කිම සිදු වී – සමගිය අප’තර
නැති වී
සිරිත් ධර්ම වී භංගා
නැත නැත ඔබ හැර අන් කිසි සරණය – කළ
මැන සාමය ළඟා
තුති වේ – තුති වේ – තුති වේ – ඔබ හට ජය
තුති වේ…

මැද දිග අන්තරා කොටසක් තිබේ. නැවත ඔහු කියන දේ ඉතා වැදගත් වෙයි.

“බුදු රද – කිතු තුම ආදී උතුමෝ – දුන් මෙය දහමය රමණී කර අනුගමනය වඩනට සමගිය – ධෛර්ය කරන් අප බැතිනී

ලොව නෙක අන් සැම ජාතී
සමග සමගි සාමයෙනී
ඉන්ට අපට හැකි වේවා…

තාගෝර්තුමාගේ සංගීත ආභාසය පමණක් නොව, ආනන්ද සමරකෝන් ලබාගත්තේ.

එතුමාගේ පුළුල් සංගීත දෘෂ්ටිය මෙන් ම එතුමාගේ පුළුල් විශ්වීය දෘෂ්ටියත් ඔහු අගය කළ බවයි පෙනෙන්නේ. සමරකෝන් තාගෝර් සාහිත්‍යයෙන් ද ආස්වාදය ලැබුවාට කිසිදු සැකයක් නැත.

ඔහුගේ ගීතත්, සංගීතයත් වාගේම සාහිත්‍යයේ බලපෑමත් නිසා ගීතාංජලියට සමරකෝන් වශී වන්නට ඇත.

හැර ජාති වංශ ආගම් කුල බේදා
රුදු වන් සැම අපවිත්‍රා
සෝදා ජලයෙනි මහවැලි ගංගා
ශුද්ද කරන් ලක තුංගා

අපවිත්‍ර වූ ජාති – වංශ – ආගම් – කුලභේද මහවැලි ජලයෙන් සෝදා පවිත්‍ර කරන ලෙස සමරකෝන් අයැද සිටී. තවදුරටත් ඔහු කියා සිටින්නේ බුදුරදුන්, කිතුතුමන් දෙසූ රමණීය දහම අනුව සමගිය වඩන ලෙසයි. ලොව අන් සෑම ජාතියක් සමගම සමගියේ – සාමයෙන් ඉන්ට හැකි වේවායි ද එතුමා ප්‍රාර්ථනා කරයි.

අප අසා පුරුදු ‘පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලිවලට නොබෙදී’ ගීතයට පෙර ගීතාංජලී සමරකෝන් නොකියවා සිටීමට කොහෙත්ම ඉඩක් නැත.

“ Where the mind is without fear
and the head is held high,
where knowledge is free
Where the world has not been broken up
into
fragments by narrow domestic walls
Where words come out from the
depth of truth,
where tireless striving stretches its
arms toward perfection.
Where the clear stream of reason has
not
lost its way into the dreary desert
sand of dead habit
Where the mind is led forward by
thee
into ever widening thought and
action
In to that heaven of freedom, my
father,
Let my country awake!”

මෙම ගීයේ සේකරගේ අර්ථාන්විත පරිවර්තනය විශිෂ්ට ස්ථානයක් ගනී.

“පටු අදහස් නම් පවුරින් ලෝකය
කැබලිවලට නොබෙදී
ඥානය නිවහල් වී
බියෙන් තොරව හිස කෙළින්
තබාගෙන
හිඳිනට හැකි කොහිදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන
පියාණනේ
සත්‍යය පතුලින් ගලනා පිරිසුදු
වචන කොහිද ඇත්තේ
ගතානුගතිකව පැවතෙන සිරිතේ
මරු කතරට වැදිලා
නිර්මල ජල ධාරාව තර්කයේ
සිඳී ගිලී නොගියේ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ
පසු නොබසින වීරිය පිරිපුන් බව
දෙසට දෑත විදහා
සදා දියුණු වන සිතුවිලි උදෙසා
කම් කටයුතු උදෙසා
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා
ඇත්තේ කොතැනකදෝ
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට
මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ…

ආනන්ද සමරකෝන් නිබන්ධකයා ගණන් පොතේ වෙරහැ ගඟ ගැන ගීතයක් ලියා දඬුවම් වින්දාට පසු, විධිමත් ගීතයක් ලියන්නේ සිය මවගේ පාසලේ දරුවන්ට ප්‍රසංගයකට ගායනා කරන්නටයි. ඒ 1930 දශකයේ දී. කවර විෂයයක් ප්‍රස්තුත කරගෙන ගීතය ලියන්න දැයි මව කීවේ නැත. එහෙත් ඔහු ස්වමතය අනුව ලිව්වේ ජාතිකාභිමානී ගීතයකි. ඒතැන් සිට ම ඔහුට ජාතිකත්වය පිළිබඳ පුළුල් දැක්මක් තිබුණි.

‘නමෝ නමෝ මාතා’ ලියන්නට ආවේශය ලත් හැටි ඔහු වරෙක පුවත්පතකට විස්තර කළේ ය.

“නිදි නැති රාත්‍රියක මා කළ ප්‍රාර්ථනාව හිසින් 1951 නොවැම්බර් 25 දා, ඉරිදා ලංකාදීපයට කළ විස්තරය, මහාචාර්ය සුනිල් ආරියරත්න සිය ‘ආනන්ද සමරකෝන් අධ්‍යයනය’ කෘතියේ සඳහන් කර ඇත.

“…ඉන්දියාවේ හාපුරා සැරිසැරූ දින කීපයේ මවුබිමේ ස්වභාව සෞන්දර්යය, නටබුන්, නරවරයන් මතකයට නැඟී ඒ හැඟීමෙන් පිස්සෙක් වීමි. ඉන්දියාවේ සිට ලංකාවට එද්දී ඒ හැඟීම් යළි යළිත් බුරබුරා නැඟුණි. ස්වදේශානුරාගය පුබුදු කළ හැකි සමූහ ගීතයක අඩුපාඩුව දැනුණු අතර, ටී.ඩී.ජයසූරිය මහතා එවැනි ගීයක අවශ්‍යතාව පෙන්නුම් කර දුන්නේ ය. 1940 ඔක්තෝබර් 20 වැනිදා සවස ගෙදර ගියෙමි. මගේ දිවයින පිළිබඳ ඇති වූ උදාර සිතිවිලි හා සෞන්දර්යය පිළිබඳ රසික හැඟීම් කෙළවරක් නැත. කල්පනා කළෙමි; ඒ මේ අත ඇවිද්දෙමි. රාත්‍රී 10ට පමණ පහන් නිවා කළුවරේ ම කල්පනා කළෙමි; ඇඳට වී කල්පනා කළෙමි. තරමක නින්දක් ගියේය. අඩ සිහිනයකින් පෙනී ගිය පරිදි තනුවත්, එයට සරිලන පදමාලාවත් සමග ‘නමෝ නමෝ මාතා’ ගීය මනසේ සටහන් විණි. පසුදා උදේ එය ලීවෙමි. මේ, ජාතික ගීය ප්‍රබන්ධ වුණ හැටියි…

නිර්මාණාවේශය කෙබඳු එකක්දැයි, නිර්මාණකරුවන් නොවන අපට මැනවින් මේ විස්තරයෙන් ප්‍රත්‍යක්ෂ වෙයි. “නමෝ නමෝ මාතා ජාතික ගීයේදී ද ඔහු වඩාත් අවධාරණය කරන්නේ, ‘එක මවකගෙ දරු කැළ බැවිනා – යමු යමු වී නොපමා – ප්‍රේම වඩා සැම බේද දුරැර දා යන්නට ය.

සුජාතා’ (1953) චිත්‍රපටයට ලියන අපූරු දේශාභිමානී ගීතයක් ඔහු අවසන් කරන්නේ, “පෙම්බර ලක් මව අද දින නිදහස් සුවයෙන් නැළැවෙන්නී

සුවඳැති මල් පිබිදී කෙත් ගොයමින
බර වී සුළගේ රඟ දෙන්නී
සැරදේ…//

ශ්‍රී විභූතියෙන් සපිරුණු මේ
මවු බිම සුන්දර අති රමණී
සව්සිරියෙන් සරු කරනට අපි සැම
ඉදිරියට යමු හද බැතිනී
“මවු බිම සව්සිරියෙන් සරු කරන්නට
එක්වෙමු යි කියමිනි.

සැඩ සුළං’ (1955) චිත්‍රපටයට ලියන ‘ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමී…’ ගීතය යථාර්ථයට ළං වූ අර්ථවත් රචනාවක් ලෙසයි මා දකින්නේ.

“කෝ අනේ අද දිනේ – කිම වුණේද
දරුවනි අහො
නෑ පෙනෙන්ට කිසි තැනේ – කොයි ගියේද
මා දමා
පෙම්බර මා පැටවුනේ…

ඒ ඇමතුම ඉතාමත් හෘදයාංගමයි. “පෙම්බර මා පැටවුනේ යන යෙදුම සලකා බලන්න.

“දන අද දුකඳුරෙහි ගලී
ඇයි මේ ලෙස දිළිඳු වී…
ඇසැර බලව් හිඳ අවදිව
ලක යයි පරිහී…
සැහැසි ක්‍රියා නිතර කෙරෙති
දුසිරිතට ම ඇදි ඇදී
නොඉඳ මෙමර නින්දේ අද
එනු එනු පිබිදී//

මේ ලංකදීපයේ සුරම්‍ය
දූපුතුන් අපියි උතුම්
විනීත වූ ගුණාංග ලෝක
සාමයයි අපේ විකුම්
මෙදේ ගැනයි අපේ සටන්
අපේ අවී උතුම් දහම්…

ලොව රටවල් 10ක ජාතික ගීවල පදමාලා නැත. ඒ ්වා හුදු සංගීත ඛණ්ඩ පමණි.

මොරිටානියාව, යුරෝපා සංගමය, සෝමාලියාව, ස්පාඤ්ඤය, සැන් මැරීනෝ, රුසියානු ෆෙඩර්ෂණය, කටාරය, එක්සත් අරාබි ජනරජය, කජිකිස්තානය සහ තර්කිස්තානය ඒ රටවල් ය. ඊට හේතුව බහුජාතීන් සිටින ඇතැම් රටක එක් බසකින් ජාතික ගීය ගැයීම සෙසු භාෂා භාවිත කරන්නන් නො පිළිගැනීම යි.

“නමෝ නමෝ මාතා , ජාතික ගීයක් ලිවීමේ අපේක්ෂාවෙන් ලියූ රචනයක් නොවන බව ප්‍රකට කරුණකි. එහෙත්, එම පද රචනය සිංහල – දෙමළ – මුස්ලිම් කවර ජාතියකට වුවද පොදුවේ පරිහරණය කළ හැකි, අල්පමාත්‍ර වශයෙන් හෝ ජාතිවාදී හෝ වර්ගවාදී හෝ සමයවාදී ස්වරයකින් වියුක්ත ප්‍රබන්ධයක් වීම, එය ජාතික ගීය ලෙස තෝරා ගැනීමට විශේෂ හේතුවක් බවත්, එය සමරකෝන්ගේ බොහෝ දේශාභිමානී ගීවල දෘශ්‍යමාන වූ සද්ලක්ෂණයක් බවත් මහාචාර්ය සුනිල්

ආරියරත්න පෙන්වා දෙයි. සුනිල් සාන්ත ගයන අරීසෙන් අහුබුදු ලියූ, ‘ලංකා ලංකා පෙම්බර ලංකා’ ගීතය වුව සිංහලයන්ගේ ජාතික ගීය ලෙස විනා මුළු මහත් ශ්‍රී ලාංකේය ජනතාවගේ ජාතික ගීය ලෙස සැලකිය හැකි නොවේ.

සමරකෝන්ගේ ජාතික ගීයේ අයිතිය අහිමි වීම, තෑගි මුදල අයිති නොවීම, ගීත පදමාලාව ප්‍රාණවත් මදි යැයි චෝදනා කිරීම, වියරණදොස්, විකෘත පද බහුල වීම යනාදී අපවාද මැද ඔහු ජීවත් වූයේ දැඩි කලකිරීමකිනි.

තම ගීත රචනාවේ පද කිහිපයක් වෙනස් කිරීමෙන් මාරාන්තික වේදනාවට පත් ආනන්ද සමරකෝන්, තම ගීතයේ පූර්ණ දෙමළ පරිවර්තනයක් 1949 පෙබරවාරි 4 වැනිදා කොළඹ ටොරිංටන් චතුරස්‍රයේ (නිදහස් චත්‍රරස්‍රයේ) ස්වාධීන අනුස්මරණ ගොඩනැඟිල්ල විවෘත කරමින් පැවැත්වූ නිදහස් උත්සවයේ දී ගායනා කිරීම ගැන සතුටට පත් විය. ගීතයේ පද පෙළ දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලද්දේ, දෙමළ උගතෙකු වූ පණ්ඩිත එම්.නල්ලතම්බි මහතා විසිනි.

1949 නිදහස් දින උළෙලට පස්වරු 4.00ට අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා සැපත් වෙද්දී දෙමළ භාෂාවෙන් ජාතික ගීයත්, සරඹ පෙළපාලිය නිමා වී අග්‍රාමාත්‍යවරයා නික්ම යද්දී සිංහල භාෂාවෙන් ජාතික ගීයත් ගායනා විය.

එතරම් ගැහැට මැද්දේ ජයග්‍රහණය අත්කරගත් ගීතයේ අක්ෂරයක් හෝ වෙනස් කිරීමට අකැමැති වූ ආනන්ද සමරකෝන්, ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට කැමැත්ත පළ කිරීමට තරම් පුළුල් දැක්මක් ඇති ප්‍රබුද්ධයෙක් විය.

සිංහලෙන් ජාතික ගීය යන ශීර්ෂ පාඨයෙන් ද දෙමළෙන් ‘තමිල් දේශීය ගීතම්’ යන ශීර්ෂ පාඨයෙන් ද ඉංගිරිසි බසින් ‘නැෂනල් සෝංග්’ යනුවෙන් ද නිදහස් දින උත්සව න්‍යාය පත්‍රයේ සඳහන් විය. සමරකෝන් තම ගීතයේ දෙමළ පරිවර්තනය ගැනත්, එය දෙමළ බසින් ගැයීම ගැනත් සතුටු වූයේ, මෙරට සියලු ජාතීන්ගේ එක්සත්භාවය ඔහුගේ සමස්ත කලාවේ ම අපේකෂාව වූ හෙයිනි.

ආනන්ද සමරකෝන් වැනි කලාකරුවෙකුගේ පෘථුල සමාජ දැක්ම ජාතික සහජීවනය ප්‍රාර්ථනා කරන සැමගේ අගැයීමට පාත්‍ර වියයුතු නොවේ ද?

පසුකාලීනව මහා වර්ගවාදී යුද්ධයක් බවට පත් වූ ජතික අරගල, අළු යට ගිනි පුපුරු ලෙස පවතිද්දී ම ආනන්ද සමරකෝන් හඳුනාගන්නට ඇත. ඔහු නව යෞවනයේ සිට ම ජාතීන්ගේ එකමුතුව ප්‍රාර්ථනා කළ, පුළුල් ජාතිකත්වය හඳුනාගත් දේශප්‍රේමී කලාකරුවෙකු බව මගේ නිගමනය යි.

● තිලකරත්න කුරුවිට බණ්ඩාර
සංස්කරණය – රුවන් ජයවර්ධන

]]>
https://divaina.lk/%e0%b6%86%e0%b6%b1%e0%b6%b1%e0%b7%8a%e0%b6%af-%e0%b7%83%e0%b6%b8%e0%b6%bb%e0%b6%9a%e0%b7%9d%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b7%96%e0%b6%bb%e0%b7%93%e0%b6%b1%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9c/feed/ 0