Tilvin Silva – Divaina https://divaina.lk Epaper, Divaina, Island, Sri lanka, News, Newspaper. Sat, 19 Aug 2023 08:29:05 +0000 en-US hourly 1 https://divaina.lk/wp-content/uploads/2021/06/fav.jpg Tilvin Silva – Divaina https://divaina.lk 32 32 මෝල්ටාවේ ආයෝජන කතාවත් අයර්ලන්තයේ ගෙදර කතාවේ දෙක වගේ…හොයාගත්තොත් ඒ සේරම තෑගි කරනවා https://divaina.lk/%e0%b6%b8%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%86%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba/ https://divaina.lk/%e0%b6%b8%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%86%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba/#respond Sat, 19 Aug 2023 23:53:00 +0000 https://divaina.lk/?p=163730 ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා උත්තර දෙයි

ජේවිපේ – ජාජබ ප්‍රතිපත්තිවල කිසි වෙනසක් නැහැ

ජවිපෙ සාර්ථකත්වය දැක සතුරන් කලබල වෙලා

මෙරට ප්‍රබල දේශපාලනඥයකු සමඟ එක්ව ජනතා විමුක්ති පෙරමුණ යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශය විශාල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත්ව තිබේ.ඒ සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලවල සහ සමාජයේ නොයෙක් අදහස් පැතිර යමින් පවතින තත්ත්වයක් තුළ එකී කරුණු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මාතාව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කර ගත්තෙමු. පහතින් පෙළ ගැසෙන්නේ ටිල්වින් සිල්වා මහතා සමඟ සිදුකළ එම සාකච්ඡාවයි.

ප්‍රශ්නය – යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බව ජවිපෙට මේ දිනවල එල්ල වෙන ප්‍රධාන චෝදනාවක්. එම චෝදනාවලට පිළිතුරු දීමට ප්‍රථම පක්ෂයේ අරමුදල මේ වන විට පවතින්නේ මොනවගේ තැනකද වගේම එයට අරමුදල් ලැබෙන්නේ කෙසේද යන්න පක්ෂයේ ලේකම් ලෙස පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර – ජනතා විමුක්ති පෙරමුණේ ගිණුම් ඉතාම විනිවිද බවින් යුක්තව පවත්වාගෙන යන්නක් බව ප්‍රථමයෙන් කියන්න ඕන. අපගේ ගිණුම් පිළිගත් ආයතනයකින් විගණනය කර සෑම වසරකට වරක් මුදල් වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත ලබා දෙනවා. අපගේ පක්ෂයෙහි අරමුදල් කාගෙවත් පුද්ගලික නම් වලින් තියාගන්නේ නැහැ.

පක්ෂයේ අරමුදලට මුදල් ලැබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප්, හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප්, ඒ වගේම පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ වැටුප්, සහ අප හිතවතුන්ගේ පරිත්‍යාග වලින්.

අපේ සියලු ගනුදෙනු බැංකු හරහා වෙන ගනුදෙනු පමණයි. ඒ සියලු තොරතුරු අප ළඟ තිබෙනවා. කාට හරි සැකයක් තියෙනවා නම් ඒ සියලු ගනුදෙනු පරීක්ෂා කරන්න පුළුවන්.

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ සතුව ඇති අරමුදල් තව තවත් වර්ධනය කර ගැනීම සඳහා කිසියම් වූ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා ද? මම විමසන්නේ එම මුදල් වෙනයම් ආයෝජනය අවස්ථාවන් සඳහා යොදවා තිබෙනවා ද යන වග..

පිළිතුර – නැහැ. එහෙම කිසිම ක්‍රියාමාර්ගයක් අපි ගෙන නැහැ.

අපට ජංගම ගිණුමක් සහ ස්ථාවර ගිණුමක් තිබෙනවා. ඒ ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ. අප ගිණුම් පවත්වාගෙන යන්නේ එම රාජ්‍ය බැංකු දෙකේ පමණයි. ඒ හැර අපි වෙන කොහෙවත් මුදල් ආයෝජනය කර නැහැ. වෙන කොහේවත් ව්‍යාපාර කර මුදල් හොයන්න ගොස් නැහැ. අපට තියෙන්නේ සාමාජික මුදල්, මන්ත්‍රී මුදල් සහ හිතවතුන්ගේ ලැබෙන මුදල් මිසක් වෙන කිසිදු මුදලක් නෙමෙයි.

ප්‍රශ්නය – ඔබ එසේ කීවත් වත්මන් රජයේ ප්‍රබල දේශපාලනඥයෙකු සහ ප්‍රකට ව්‍යාපාරිකයකු සමඟ ඔබ පක්ෂය යුරෝපා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා චෝදනා කර තිබුණා. මෙය ප්‍රධාන මාතෘකාව වෙලා. එසේ චෝදනා කරන්නේ කලක් ඔබලා සමග එකට සිටි පිරිසක්. හිටපු සගයන් කරන චෝදනා බොරු වෙන්න බැහැ නේද ?

පිළිතුර – ඔය චෝදනා පට්ටපල් බොරු. ඔය චෝදනා කරන මහත්වරු කාටහරි කියන්න පුළුවන්ද ඔය කාරණය හරියටම ජනතා විමුක්ති පෙරමුණේ කාගෙ නමටද ඒ තියෙන්නේ කියලා. අහවලාගේ නම කියලා අහවල් රටේ අහවල් බැංකුව අහවල් ගිණුමේ වගේ හරියට කියන්න පුළුවන්ද? නැහැනේ. නිකං ප්‍රවෘත්ති සාකච්ඡාවල කට වාචාලකමට කියන කතා තමයි ඕවා. රට කියන්නෙත් නෑනේ මොකද්ද කියල හරියට.

ප්‍රශ්නය – මෝල්ටා රාජ්‍ය කියලා තමයි කියන්නේ

පිළිතුර – මෝල්ටාව කියලා අදාළ පුද්ගලයා කිව්වේ නැහැ. සමාජ මාධ්‍යවල තමයි මෝල්ටාව කියලා මතු කරලා තියෙන්නේ. රූපවාහිනි සාකච්ඡාවලදී අපේ නලින්ද සහෝදරයා ඔය ගැන මතු කළා. එතනදී කිව්වේ මොකක්ද. එතැනදී ඔහු කිව්වේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී කියන්නම් කියලා. ඉතින් අපි බලන් ඉන්නවා කියනකං. මීට කලින් කෙනෙක් අයර්ලන්ත ගෙයක් ගැන කියල නා ගත්තා. අන්තිමට අයර්ලන්තයෙ ගෙයක් නෑ. එයා නා ගත්තා විතරයි.

කවුරු හරි කෙනෙක් අපි මෝල්ටාවේ ආයෝජනය කරපු දෙයක් ගැන හොයල පෙන්නුවොත් අපි එය තෑග්ගක් ලෙස හොයා ගත්ත කෙනාට ලබා දෙනවා. සිරිමන්ත ඔයා හොයා ගත්තොත් ඒ සියලු දේවල් ටික ඔයාට අපි ලියාදෙනවා.

ප්‍රශ්නය – රටේ තියෙන තත්ත්වයේ හැටියට දැම්ම එහෙනම් වැඩේට බහින්න ඕන..

පිළිතුර – හහ් හහ් හා.. වැඩක් වෙන එකක් නැහැ. උත්සාහය අපතේ.

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය ඉලක්ක කරගනිමින් බොහෝ කරුණු කාරණා මේ දිනවල එළියට එමින් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

පිළිතුර – රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව දැන් රට විනාශ කරමින් යනවා. රටේ සම්පත් විකුණමින් යනවා. ඉන්දියාව සමග ගිවිසුම් ගහනවා. බදු බර වැඩි වෙනවා. ජනතාවට ජීවත්වීම බැරි තත්ත්වයක් උදා වී තිබෙනවා. එවන් තත්ත්වයක් තිබියදී ජාතික ජන බලවේගය වැටී ඇති රට ගොඩ ගැනීම සඳහා ජනතාව සමඟ එක්ව විශාල වැඩ කොටසක් සිදු කරමින් තිබෙනවා. රට විනාශ කරන රට පාවාදෙන රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පැත්තක තියලා රට හදන ජාතික ජන බලවේගයට මඩගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. අප දූෂණවලට එරෙහිව හඬ නගන කොට අපිත් දූෂිතයි කියලා පෙන්නන්න උත්සාහ කරන පිරිසක් ඉදිරිපත් වී සිටිනවා. ඔවුන් පැහැදිලිවම ඉටු කරන්නේ රනිල් වික්‍රමසිංහලා ඇතුළු දූෂිතයන්ගේ ඕනෑ එපාකම්. ඔවුන් ඇත්ත දූෂිතයන් ආරක්ෂා කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය විනාශ කර රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ නඩය ආරක්ෂා කිරීමේ කොන්ත්‍රාත් එක තමයි ඔවුන් මේ කරමින් සිටින්නේ.

ඇත්තටම අපිව මේ මඩවලින් වට්ටන්න බැහැ. අපි එම සීමාව දැන් පසු කර අවසන්. ජනතාව ඇත්ත දන්නවා. ඔවුන් ගැන අපට තිබෙන්නේ සාතිශය කනගාටුවක්.

ප්‍රශ්නය – ඔබතුමන්ලාගේ පක්ෂයට සැලසුම් සහගතව මඩ ප්‍රහාර එල්ල කරනවා නම්, කවුරුන් හෝ ඔබලාගේ පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණ කරනවා නම් ඊට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් හෝ මේ වන තෙක් දැමීමට කටයුතු නොකළේ ඇයි යන ප්‍රශ්නය මතුවෙනවා.

පිළිතුර – හැම චෝදනාවකටම පොලිසි යන්න පටන් ගත්තොත් පොලිසි යනවා හැරෙන්න වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. අත්‍යවශ්‍යම කාරණයකට උසාවි යනවා. ඒ හැරෙන්න අපි ගොඩක් දේවල් ගණන් ගන්නේ නැහැ. ඇත්තටම අපි නෙමෙයි උසාවි යන්න ඕන. ඔය චෝදනා ගේන මහත්වරුන්ට පුළුවන් අපට එරෙහිව ඇති තොරතුරුත් එක්ක ගොස් පොලිසියේ පැමිණිලි දාන්න. කට වාචාලකමට කියවනවාට වඩා ඒක හොඳයි. ආයෝජන කතාව සතපහකට අපි ගණන් ගන්නේ නැහැ. ජනතාව ඇත්ත දන්නවා. විහිළු කාරයන්ට එය බිඳින්න බැහැ.

ප්‍රශ්නය – රතු අලි පැටව් යන්න ඇතැමුන් ජනතා විමුක්ති පෙරමුණට කරන චෝදනාවක්. දැන් ඔබ, ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් කරන බව තවත් පාර්ශ්වයකට චෝදනා කරනවා. කවුරුන් කාගේ කොන්ත්‍රාත් කරනවද කියලා මේවා කියවන මහජනතාවට හිතාගන්න බැරුව යනවා.

පිළිතුර – මේ ආණ්ඩුව පෙරළලා අලුත් ආණ්ඩුවක් හදන්න අපි ගන්න උත්සාහය එක්සත් ජාතික පක්ෂයේ හරි රාජපක්ෂලාගේ හරි කොන්ත්‍රාත් එකක් ද ? අපට ලැබෙන ඕනෑම ඡන්දයක දී මේ රටේ බලය ගන්න අපි ගන්නා උත්සාහය කාගේහරි කොන්ත්‍රාත් එකක් ඉටු කිරීමක් ද ? හැබැයි බලයට එන්න හිතා ගන්නවත් බැරිව හිටපු රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දීපු එක මොන වගේ කොන්ත්‍රාත් එකක්ද ? එතකොට ඩීල් දාලා තියෙන්නෙ අපිට ද ඒ අයද ?. ඒ වගේම හොර පාස්පෝට් අහුවෙච්ච වෙලාවේ ඒ අයව බේර ගත්තේ කවුද ? ඒ අය මත යැපෙන රැඩිකල් විරුද්ධවාදීන් කවුද යන්න ජනතාව දැන් දන්නවා. ඇත්තටම මේ මිනිස්සු ගැන පත්තරේක අකුරු අමුණන එක අපරාදේ. රටේ ජනතාව දැන් ඇත්ත දන්නවා. අපිට රතු අලි පැටව් කිව්ව මිනිස්සුගේ ඇත්ත ඩීල් ජනතාව දන්නවා. තවදුරටත් බොරු කියලා ජනතාව රවටන්න බැහැ. ඕව කියලා මිනිස්සුන්ව රවට්ටන්න පුළුවන් කියලා හිතනවා නං ඊට වඩා මෝඩ කමක් තවත් නැහැ.

ප්‍රශ්නය – නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම තනතුරට පැමිණි පසු ජනතා විමුක්ති පෙරමුණ බොහෝම නිහඬ පිළිවෙතක කටයුතු කරන බව ඇතැමුන් චෝදනා කරනවා.

පිළිතුර – ඉතිහාසය හරියට කියව ගත්තොතින් සිහිබුද්ධියක් තියෙන මිනිස්සු එහෙම කියන්නේ නැහැ. අපිට රතු අලි පැටව් කියලා දිගටම චෝදනා කළේ පොහොට්ටුවේ උදවිය. අන්තිමට ඔවුන් නැවතුනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගෙන. ඒ විතරක් නෙමෙයි, ඔහු යටතේ ඇමැතිකමුත් අරගෙන ඒ ජනාධිපතිව ආපහු ජනාධිපති කරන්නත් හිතාගෙන ඒ සඳහා දැන් නැවත වැඩ කරගෙන යනවා. රතු අලි ද අලි පොහොට්ටු ද. රතු අලි කිව්ව කට්ටිය අන්තිමට රනිල්ව වන්දනාමාන කරගෙන රනිල්ව ඉස්මුදුනේ තියාගෙන දැන් මල් පහන් පූජා කරන තත්ත්වයට පත්කරගෙන තිබෙනවා.

ඇත්තටම අනුර කුමාර දිසානායක සහෝදරයා තමයි පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිපුරම විවේචනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. අපි කිසිවිටකත් නිහඬ පිළිවෙතක් අනුගමනය කර නැහැ.

පළාත් පාලන මැතිවරණය කල් දාපු වෙලාවේ පසුගිය පෙබරවාරි මාසයේ 26 වැනි දා අපි කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක් කළා. රනිල්ගේ ආණ්ඩුව එහිදී අපට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරය කොතරම් දැවැන්ත ද කිව්වොත් අපේ රත්නපුරේ සහෝදරයෙක් මියගියා. ඒවා අමතක වෙන්න බැහැ. තවමත් අවුරුදු 45ක ඉංජිනේරු මහත්තයෙක් සිහි නැතිව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඊට පසුව පැවැත්වූ උද්ඝෝෂණ වලට ප්‍රහාර එල්ල කළා. කවුරු හරි කියනවා නං අපේ උද්ඝෝෂණවලට ගහන්නෙ නැතුව වෙන ඒවට ගහනවා කියලා එහෙම කියන අයගේ මොළේ පරික්ෂා කරන්න ඕන.

ප්‍රශ්නය – ලේකම්තුමා ඇතැම් අය එලෙස චෝදනා කරන්න තවත් හේතුවක් තිබෙනවා. ඒ තමයි ජාතික ජන බලවේගය සංවිධානය කරන රැලි වලට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලැබෙන බවට හැඟවෙන වීඩියෝවක් මෑතකදී සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම. පොලිස් නිල සුනඛයන් යොදවා ස්ටේජ් පවා සෝදිසි කරනවා එහි දැක්වෙනවා. එතරම් සැලකිල්ලක් ලැබෙන්නේ කොහොමද ?

පිළිතුර – රැලිවලට නෙමෙයි, එක රැලියකට. ජාතික ජන බලවේගය මේ වන විට ලංකාව පුරා දිස්ත්‍රික් සමුළු ආසන සමුළු සියයකට වැඩි ප්‍රමාණයක් පවත්වා තිබෙනවා. විශේෂයෙන් කොළඹ ගම්පහ සමුළු ගණනාවක් පවත්වා තිබෙනවා. ඔය එකකටවත් පොලිසියෙන් ඇවිත් නැහැ. මේ සිදුවීම සිදුවී තිබෙන්නේ මොරටුවේ. මොරටුව භාර පොලිස් ප්‍රධානියා රැස්වීම තිබෙන ස්ථානය සෝදිසි කළ යුතු බවට අපේ සංවිධායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඊට අපගේ සංවිධායකයන් එකඟතාව පළ කර තියෙනවා. එසේ නොකර ඉන්න බැහැ. ඊට එකඟ වීම අපේ යුතුකමක් සහ වගකීමක්. එතැන සිදු වී ඇත්තේ එපමණයි. එතන සෝදිසි කළේ ඇයි ද යන ප්‍රශ්නය අහන්න ඕනේ අපෙන් නෙවෙයි. මොරටුව භාර පොලිස් ප්‍රධානියාගෙන්. ඊට පසුව අපි පැවැත් වූ රැස්වීම්වලට පොලිස් බල්ලෝ හරි පොලිස් විශේෂ කාර්ය බළකාය හරි කවුරුත් ආවෙ නැහැ. එක සිද්ධියක් අල්ලගෙන එය සමස්තයක් කිරීම තමයි ඔය කරන්න හදන්නේ.

ඇත්තටම මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන ජනබලවේගයේ අතිශය සාර්ථක ඉදිරි ගමන දැක සතුරන් සේරම කලබල වෙලා. අතට අහුවෙන හැම දෙයින්ම ගහන්න පටන් අරගෙන. වදිනවාද නැද්ද කියලා බලන්නෙත් නැහැ. ඒ සියලු අයට අපට කියන්න තියෙන්නේ එක දෙයයි. ඔබලා ගහන මඩ අවලාද වදින සීමාවේ නෙවෙයි දැන් අපි ඉන්නේ. අපි ඉන්නේ ඊට එහා සීමාවක. ඔය මහන්සියේ තේරුමක් නැහැ.

අපි අපේ සාර්ථකත්වය මනින්නෙ මිතුරන්ගේ ප්‍රශංසාවෙන් නොව සතුරන්ගේ කලබල වී පහරදීමෙන්.

ප්‍රශ්නය – මගේ අවසාන ප්‍රශ්නය. ඔබ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්. දැන් ඔබලා ඉදිරියට යන්නේ ජාතික ජන බලවේගය ලෙස. ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර යම් අසමානතාවන් තිබෙන බව ඇතැමුන් සඳහන් කරනවා.

පිළිතුර – එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ.එහෙම අදහසක් හදන්න යම් පිරිසක් අසාර්ථක උත්සාහයක් ගන්නවා. එවැනි පරස්පරයක් මවාපාන්න යම් පිරිසක් කටයුතු කරමින් ඉන්න බව අපි දන්නවා. යම් පිරිසක් ජාතික ජන බලවේගය එක ප්‍රතිපත්තියක සහ ජනතා විමුක්ති පෙරමුණ එක ප්‍රතිපත්තියක වගේ කතාවක් මවමින් ඉන්නවා. ඒවා සමහරුන්ගේ හිත හදාගන්න කරන කතා. අපි සහ ජාතික ජනබලවේගය අතර ප්‍රතිපත්ති වල කිසිදු වෙනසක් නැහැ. අපි එක අරමුණක ඉන්නේ. ඒ හොඳ රටක් හදන්න එක. ඒ වෙනුවෙන් අප කැපවී කටයුතු කරනවා. එවැනි කැපවී කටයුතු කරන පිරිසක් අතරේ සිදු වන වචනයක දෙකක සිදුවීමක් අල්ලාගෙන පරස්පර තිබෙන බව පෙන්නන්න ගන්නා උත්සාහයන් ළාමක බොළඳ ප්‍රතිඵල නැති උත්සාහයන් බව කියා තියන්න ඕනෑ.

සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර

]]>
https://divaina.lk/%e0%b6%b8%e0%b7%9d%e0%b6%bd%e0%b7%8a%e0%b6%a7%e0%b7%8f%e0%b7%80%e0%b7%9a-%e0%b6%86%e0%b6%ba%e0%b7%9d%e0%b6%a2%e0%b6%b1-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%ba/feed/ 0
රනිල්ගෙ බොරු වලේ වැටෙන්නෙ නෑ! https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bd%e0%b6%ab%e0%b7%94-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/ https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bd%e0%b6%ab%e0%b7%94-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/#respond Sat, 25 Feb 2023 23:46:00 +0000 https://divaina.lk/?p=130355 මැතිවරණයකට බාධා කිරීම වසර තුනක් සිරගත කළ හැකි වරදක්
ජනාධිපතිවරයාගේ ලණු කන්න එපා….

“ආණ්ඩුවට සදාකාලිකව ඡන්දය තියන්නෙ නැතිව ඉන්න බෑ. ආණ්ඩුව මාස හයක් නම් ඡන්දය කල් දාන්නෙ අපි මිනිස්සු එකතු කරනවා ඒ ඡන්දය තියෙන මොහොතෙ ආණ්ඩුව පරද්දවන්න. අපි මහජන බලය පෙන්වනවා. ඒ නිසා ඡන්දය කල් දාන එක ආණ්ඩුවට උත්තරයක් නෙවෙයි…” වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ ‘ඉරිදා දිවයින’ සමග පැවැති සාකච්ඡාවකදී එසේ ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා මහතා ය. ඔහු කළ සම්පූර්ණ සාකච්ඡාව මතු දැක්වේ.

දේශපාලන පක්ෂවල මැතිවරණය සඳහා පවතින උනන්දුව පිළිවෙළට ගත්තොත් එහි ඉහළින්ම ඉන්නෙ ජාතික ජනබලවේගය. ආර්ථිකයත් කඩා වැටී තිබෙන මොහොතක ජාතික ජනබලවේගය මැතිවරණයට මේ තරම් උනන්දු ඇයි?

ඇත්තටම හේතුව තමයි අපේ රටේ ජනතාවට වසර හැත්තෑපහක් තිස්සෙ කරපු දේශපාලනය එපා වෙලා ඒ අත්දැකීමෙන් ජනතාව ඒ දේශපාලනයෙන් ඉවත්වෙලා ජාතික ජනබලවේගය වටා එකතුවෙලා තියෙනවා. ඒ එකතු වෙමින් ඉන්නෙම පළාත් පාලන මැතිවරණයෙන් එහාට ගිහින් මේ රටේ වෙනසක් කරන්න. ඒ නිසා විශාල බලවේගයක් එකතු වුණාම ඒ බලවේගයේ ජයග්‍රාහි මානසිකත්වයක් තියෙන්නෙ. ඒ නිසාම ලොකු උනන්දුවක් තියෙනවා. අනිත් අයට උනන්දුව නැත්තෙ එකක් එයාලට ගමට යන්න බෑ. ගෙයක් ගෙයක් ගාණේ යන්න අමාරුයි. එයාලට සමාජෙට මුහුණ දෙන්න බෑ. ඒ නිසා එයාල ඡන්දයට අකැමැතියි. හැංගිලා ඉන්නෙ. එහෙම ප්‍රශ්නයක් නැත්තෙ ජාතික ජන බලවේගයට. ඉතින් ජාතික ජන බලවේගය අලුත් යමක් කරන්න විශාල උනන්දුවකින් වැඩ කරමින් යනවා.

හැබැයි ඔබලා කොච්චර උනන්දුවකින් වැඩ කළත් රාජ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස මැතිවරණය සඳහා තවමත් ක්‍රියාත්මක වෙලා නෑනෙ?

වෙලා තියෙන්නෙ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා නෑ නෙමෙයි, ක්‍රියාත්මක වෙන රාජ්‍ය යාන්ත්‍රණයට ජනාධිපතිවරයා අනවශ්‍ය ලෙස බාධා කරමින් ඉන්නවා. මොකද අපේ රටේ මැතිවරණ තියන්නෙ මැතිවරණ කොමිසම. ජනාධිපති නෙමෙයි, අගමැති නෙමෙයි. මැතිවරණ නීතිය අනුව මැතිවරණයක් ප්‍රකාශයට පත්කළාම ඊට අදාළ සේවා සපයන ආයතන පොලිසිය, රජයේ මුද්‍රණාලය වැනි ආයතන නීතියෙන් බැඳිල ඉන්නවා මැතිවරණය කරගෙන යෑමට සහය ලබා දීමට. මීට කලින් හැම ඡන්දයක්ම වුණෙත් එහෙමයි. කව්රුවත් ඒක ප්‍රශ්න කරන්න ගියෙත් නෑ. මේ සැරේ ප්‍රශ්නය තමයි මේ සැරේ ඡන්දය ප්‍රකාශයට පත් කරන්න කලින් ඉඳන්ම ජනාධිපතිවරයා මේ ඡන්දය වළක්වන්න උත්සහ ගනිමින් හිටියෙ. ඔහු කිව්වෙ මැතිවරණය තියන්න සල්ලි නෑ කියල. ඇත්ත ගත්තොතිත් සල්ලි නෙවෙයි නැත්තෙ ඔහුට ඡන්දයි නැත්තෙ. එතකොට ඔවුන්ගෙ ජන වරමේ ප්‍රමාණය හෙළිදරව් වෙන නිසා මේ ඡන්ද ප්‍රතිඵලයට බයයි. ඒ නිසා ප්‍රකාශයට පත් කරපු ඡන්දය නවත්වන්න අධිකරණයටත් ගියා. ඒකත් හරි ගියේ නෑ. ඇප මුදල් ගැනීම වළක්වන්න දිසාපතිවරුන්ට ලියුම් ගහල ඒකත් හරි ගියේ නෑ. දැන් අපි වගකීමෙන් කියනවා ජනාධිපතිවරයා විසින් රජයේ මුද්‍රණාලයාධිපතිනිය කැඳවල ඇයට බලපෑම් කරල මේ මුද්‍රණ කටයුතු වළක්වන්න කටයුතු කරල තියනවා. ඒ අනුව තමයි ඇය සල්ලි නැත්නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්නෙ නෑ කියල මැතිවරණ කොමිසමට ලියුමක් එවන්නෙ. මේ තියෙන්නෙ හිතාමතාම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මැතිවරණයට බාධා කිරීමක්. අපි මේ නිලධාරීන්ට කියන්නෙ ජනාධිපතිවරයාගේ ලණු කාලා අමාරුවේ වැටෙන්න එපා. අනිවාර්යයෙන් මැතිවරණ නීතිය අනුව මැතිවරණයකට බාධා කිරීම වසර තුනක් සිරගත කළ හැකි වරදක්. ජනාධිපතිවරයට නම් මේ වෙලාවේ මුක්තිය තියන නිසා බේරෙනවා. නමුත් රාජ්‍ය නිලධාරීන්ට ඒක නෑ.

මුද්‍රණාලයාධිපතිනිය කටයුතු කරන්න ඕන රජය කියන විදියට නේද?

ඇයට කිව්වොත් රජයෙන් මුද්‍රණ කටයුතු කරන්න ඇය බැඳි ඉන්නෙ මුද්‍රණ කටයුතු කර දෙන්න. නැතිව නවත්වන්න නෙවෙයි. ඒ වගේම මැතිවරණයක් ප්‍රකාශයට පත්කළාම එතෙක් සිට මැතිවරණ කොමිසම විසින් ඉල්ලා සිටින දේ කර දෙන්න ඇය බැඳී සිටිනවා. ඇය එය පැහැර හැරියොත් ඇයට එරෙහිව නඩු පවරල හිරේ යවන්න විතරක් නෙවෙයි විශාල වන්දි මුදලක් ලබා ගන්නත් පුළුවන්. නිලධාරීන්ගේ වගකීම සමාජයට වග වීම. අපි කියන්නෙ නිලධාරීන් ව්‍යවස්ථාවට අනුව වැඩ කරන්න.

ව්‍යවස්ථාදායකයත් විධායකයත් කියනව නම් මැතිවරණ පවත්වන්න මුදල් නෑ කියල විධායකය වන ජනාධිපතිවරයා හෝ ව්‍යවස්ථාදායකයේ සාමාජිකයින් නීතිය ඉදිරියට පමුණුවන්න පුළුවන්ද?

අපේ රටේ මුදල් පාලනය කරන්නෙ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවෙන් නොවැම්බර් මාසේ අයවැයක් ගෙනල්ලා ඒ අයවැය අනුමත කරල මේ හැම ආයතනයකටම මුදල් අනුමත කරල තියෙන්නෙ. ඒ නිසා දැන් ආයෙ කියන්න බෑ සල්ලි නෑ කියල. අනික මේ වෙලාවේ ඒ අය ඕන නැති වැඩවලට ඕන තරම් සල්ලි වියදම් කරනවා. නිදහස සමරන්න කෝටි හතලිහක් නාස්ති කළා. අනික මේ ආණ්ඩුව කියන හැමදේම පරස්පරයි. එක පැත්තකින් කියනවා රනිල් වික්‍රමසිංහ ආවට පස්සෙ ආර්ථිකය හැදීගෙන එනවා, අපේ විදෙස් සංචිත පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා, රුපියල ශක්තිමත් අපට මුදල් එනවා වගේ කතා. එහෙම කියල අනෙක් පැත්තෙන් ආයෙ කියනවා, මුදල් නෑ අත්‍යවශම දේ විතරක් කරන්න වගේ කතා. ඒ නිසා අනිවාර්යෙන් මේ ප්‍රෝඩාවට එරෙහිව අපි නීතිය ඉදිරියට යනවා.

මේ වාතාවරණයට එරෙහිව මැතිවරණයක් දිනා ගැනීම වෙනුවෙන් පක්ෂයක් ලෙස ගන්න වෙනත් ක්‍රියාමාර්ග මොනවද?

තාම මැතිවරණ කොමිසම නිල වශයෙන් කිව්වෙ නෑ ඡන්දය තියන්නෙ නෑ කියල. ඡන්ද පත්‍රිකා බෙදා හැරීම කල් දැම්මා කිව්වට ඡන්දය කල් දානවා කියල මැතිවරණ කොමිසම කිව්වෙ නෑ. නිශ්චිත වශයෙන් ඡන්දය කල් දැම්මොත් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. මැතිවරණය කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානතම අවස්ථාවක්. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සියල්ල එකතු කරගෙන අපිට සටන් කරන්න පුළුවන්. ඒ වගේම ජාතික සහ ජාත්‍යන්තර බලවේග සියල්ලටම අපි කතා කරනවා. අපි ජනතාව ඒකරාශි කරනවා. ආණ්ඩුවට සදාකාලිකව ඡන්දය තියන්නෙ නැතිව ඉන්න බෑ. ආණ්ඩුව මාස හයක් නම් ඡන්දය කල් දාන්නෙ අපි මිනිස්සු එකතු කරනවා ඒ ඡන්දය තියෙන මොහොතෙ ආණ්ඩුව පරද්දවන්න. අපි මහජන බලය පෙන්වනවා. ඒ නිසා ඡන්දය කල් දාන එක ආණ්ඩුවට උත්තරයක් නෙවෙයි මීට වඩා නරක් වෙනවා.

මහජන බලයක් හදල මහජන බලය පෙන්වන්න ගියොත් නැවතත් අසූ අට අසූ නවයක් නිර්මාණය වෙයිද?

පැහැදිලිවම අපි දන්නවා ඒ වගේ උගුලක් තමා මේ අටවල තියෙන්නෙ. මොකද මේ ඉන්නෙ ජේ.ආර්. ගෙ බෑණනෙ. ජේ. ආර්රුත් බලය තියාගන්න අසූ තුනේ මැතිවරණය කල් දාල රට ලේ විලක් කෙරෙව්වා. ඒ අත්දැකීම් තියන නිසා රනිල් අටවන උගුල්වල පය නොතියා යන්න තරම් අවබෝධයක් අපිට තියනවා. ඒ නිසා රනිල් කපන බොරු වළවල්වල අපි වැටෙන්නෙ නෑ. අපි කලබල වෙන්නෙ නැතිව ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී විදියට සටන් කරල ජනතාවගේ ශුද්ධ වූ ඡන්ද අයිතිය දිනා දීලා ඒ ශක්තියෙන් මාලිමාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය ස්ථිරසාර වැඩ පිළිවෙළකට අපි යනවා.

ජාතික ජන බලවේගය මැතිවරණය ජයග්‍රහණය කරල බලය ගත්තත් රටක් කරගෙන යන්න තරම් ඔබලට ජාත්‍යන්තර සබඳතා නෑ කියල තමා කියන්නෙ?

මුලින්ම ඒකෙන් කියවෙනවා අපි දිනනවා කියන එක. ඒක සතුටක්. අනික ජාත්‍යන්තර සබඳකම් කියන්නෙ යාළුකම් නෙවෙයි. කාටද එහෙම තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එහෙම තියෙනව නම් මේ අමාරු වෙලාවේ රටවලින් මුදල් ටිකක් ඉල්ලගන්න තිබුණනෙ. හැබැයි තාම බැරි වෙලා තියෙනවා. අඩුම ගාණේ ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරගන්නවත් බැරි වෙලා තියනවනේ. එයාල කරල තියෙන්නෙ ලෝකයෙන් ණය අරන් කාල කාල රට ණය කරල තියෙන එක. ජාත්‍යන්තර සබඳතා කියන්නෙ රටවල් රටවල් අතර තියෙන සබඳතාවයට. රටවල් අතර මිසක් මිනිස්සු අතර ජාත්‍යන්තර සබඳතා නෑ. මෝදි – රනිල් වික්‍රමසිංහ සබඳතා කියල වර්ගයක් නෑ. රටවල් රටවල් අතර පවතින ජාත්‍යන්තර සබඳතා ඉතාම ගෞරවනීය ලෙස පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව දැනුම අද්දැකීම සියල්ල අපිට තියෙනවා. පසුගිය කාලේ ලංකාවේ ප්‍රබල ප්‍රමුඛ සියලුම තානාපති කාර්යාල අනුර දිසානායක සහෝදරයා හමුවෙලා සාකච්ඡා කළා. අපේ වැඩ පිළිවෙළට ප්‍රසාදය පළ කළා. ඒ කියල අපි කාටවත් යට වෙන්න යන්නෙත් නෑ.

භාණ්ඩාගාරය හිස් කියල කියනවනෙ. හිස් වුණ භාණ්ඩාගාරයක් එක්ක රටක් හදන්නෙ කොහොමද?

භාණ්ඩාගාරය හිස් කළේ මේ පාලකයොනෙ. හිස් වුණ භාණ්ඩාගාරයේ තිබ්බ දේවල් ටික ඒගොල්ල ගාව තියෙනවා. අපි මේ ආණ්ඩුව ගත්ත ගමන් මේ රටේ මහා පරිමාණ වංචා දූෂණ කරපු අයට නඩු පවරනවා. නඩු අහල ඉතා ඉක්මනින් ඒ හරහා හොරකම් කරපු සල්ලි පවරගන්න පුළුවන් කියල අපි විශ්වාස කරනවා. දෙක අපි ඒත් එක්කම නිෂ්පාදන ආර්ථිකයක් පටන් ගන්නවා. ඒ සඳහා සැලසුම් අපි හදල තියෙන්නෙ. හිටපු ජනාධිපතිවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන විශ්‍රාම වැටුප් ඇමැතිවරුන්ට දෙන වරප්‍රසාද අපි නවත්වනවා. ඒ හරහා විශාල මුදලක් රාජ්‍ය වියදමින් අපිට ඉතිරි වෙනවා. වංචා දූෂණ නැති වෙනකොට විදේශීය ශ්‍රමිකයින් රටට මීට වඩා මුදල් එවන බව අපි දන්නවා. කෙටි කාලීනව රටේ ආර්ථිකය ගොඩ ගන්න ඒක විශාල දායකත්වයක් වෙනවා. අපි එන්නෙ එහෙම වැඩපිළිවෙළක් ඇතිව.

සාකච්ඡා කළේ
තිස්ස ගුණතිලක

]]>
https://divaina.lk/%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b7%80%e0%b6%bb%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bd%e0%b6%ab%e0%b7%94-%e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1/feed/ 0