Uber Eats සේවාවට ඊ-පැදි (e-cycles) එක් කෙරේ

39

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආහාරපාන බෙදාහැරීමේ සේවාව වන Uber Eats, තම සේවාවට විදුලි පාපැදි හෙවත් ඊ-පැදි 100 ක් එක්කිරීමට පියවර ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ විශාලතම පාපැදි නිෂ්පාදන සමාගම විසින් ‘Voltage Edition’ නමින් බෙදාහැරීමේ සේවාවන් සඳහා විශේෂයෙන් නිපදවා ඇති මෙම ඊ-පැදි, පැයට කිලෝමීටර් 30 ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි අතර, එක් ආරෝපණයකින් කිලෝමීටර් 100 කට වැඩි දුරක් ගමන් කරයි. ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ සේවාවන් සඳහා පාපැදි භාවිතා කිරීම ආරම්භ කළ ප්‍රථම සේවාවද Uber Eats වීම විශේෂත්වයකි.

ඊ-පැදි මගින් සාමාන්‍ය පාපැදිවලට වඩා විශාල දුරක් ආවරණය කළ හැකි අතර, ඒවා සාම්ප්‍රදායික යතුරුපැදි වලට වඩා නඩත්තු කිරීමද පහසු ය. පැය 4 ක් තුළ බැටරිය ආරෝපණය වන නිසා ප්‍රමාදයන් අවම වන අතර, ඉන්ධන පිරිවැයට සාපේක්ෂව වියදම්ද අවම වේ. මේ නිසා ඩිලිවරි සේවාවන්හි යෙදෙන්නන්ට වැඩි බෙදාහැරීමේ වාර ගණනක් සම්පූර්ණ කරමින්, වැඩි ආදායමක් ලබාගැනීමට අවස්ථාව හිමි වේ. මෙවැනි පියවර ඔස්සේ, 2040 වසර වන විට තම ප්‍රවාහන සේවාවන් සඳහා තිරසාර ක්‍රම පමණක් භාවිතා කිරීම Uber Eats හි බලාපොරොත්තුව වී ඇත.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment