V 8 සදාචාරය සහ ප‍්‍රාඩෝ (අ)මානුෂිකත්වය

290

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා අලූතින් වාහන දෙසිය ගණනක් පිටරටින් ගෙන්වීමට ආණ්ඩුව විසින් ගන්නා ලද තීරණය වහාම අත්හිටුවනු ලැබ ඇත. ගෙන්වීමට නියමිතව තිබුණේ ප‍්‍රාඩෝ සහ V 8 වාහන ය. මේ ප‍්‍රාඩෝ රථයක් රුපියල් ලක්ෂ හාරසිය පනහකි. V 8 රියක් රුපියල් ලක්ෂ හයසීයකි. රටේ විදේශ විනිමය අර්බුදයක් නිර්මාණය වී තිබෙන මෙවැනි වෙලාවක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා අලූත් වාහන ගෙන්වනු ලැබීමේ ක‍්‍රියාවලිය නිසා මේ රටේ ජනතාව ආණ්ඩුවට හෙණ ඉල්ලන්නට පටන් ගත්තේය. ඉහත වාහන තොගය ගෙන්වීමට රුපියල් බිලියන ගණනාවක් වැය වේ.

එය එක්තරා ණය පහසුකමක් යටතේ ලැබෙන අතර ලංකා බැංකුව මගින් ණයවර ලිපි විවෘත කර ගෙන්වීමට නියමිත විය. ශ‍්‍රී ලංකාව මේ වෙලාවේ සිටින්නේ කොවිඞ් එන්නත මිලට ගැනීමට පවා අතේ ශතේ නැතිවය. පවතින ආර්ථික අර්බුදය දිගටම තිබුණොත් මේ රටේ ජනතාව කොතරම් අපහසුවකට පත්වනවා ද යත් ඔවුන්ට ඇඳුම් සෝදා වේලෙන තුරු නිරුවතින් ගෙවල් තුළ සැඟව සිටීමේ තත්ත්වයක් මතුවන්නේය. ඔවුන් එක ඇඳුමකින් සහ එක වේලකින් දිවි ගැට ගසාගන්නා තරමට දිළිඳුවීමට නියමිතය. යුරෝපය අපට දෙන ජී.එස්.පී. ප්ලස් සහනය අත්හිටුවීමේ තර්ජනයක් ද මතුව තිබේ. මෙවැනි දෙයක් සිදු වුණොත් ඇමරිකන් ඩොලරය රුපියල් තුන්සීය දක්වා ඉහළ යෑමට නියමිතය. මීට අවුරුදු දෙකහමාරකට පෙර ඇමරිකන් ඩොලරයක මිල රුපියල් එකසිය අසූවකි. කොවිඞ් වසංගතය නිසා එය රුපියල් දෙසීය වී රුපියල් දෙසිය විස්ස තෙක් ඉහළ නැග තිබිණ.

ඒ අතර මීට දෙමසකට පෙර චීනය ඩොලර් මිලියන පන්සියයක Soft Loan එකක් හෙවත් සහන ණයක් අපට ප‍්‍රදානය කළේය. එම මුදල අපේ ආර්ථිකය විසින් අවශෝෂණය කරගන්නා ලද දිනයේ උදේ වරුවේදී රුපියල් දෙසිය විස්සේ ඩොලරය රුපියල් එකසිය අනූ ගණන් දක්වා පහත බැස්සේය. එහෙත් සවස් වනවිට ඩොලරය නැවතත් රුපියල් දෙසිය විස්සට නැග්ගේය. අපේ ආර්ථිකයේ පවතින මෙකී විචල්‍යභාවය තාවකාලිකව හෝ නවත්වා දැමීමට ඩොලර් බිලියන දෙක තුනක්වත් දිගු කාලීන සහන ණයක් ලෙස හෝ ආදායමක් ලෙස අපගේ ආර්ථිකයට ඇතුළත් විය යුතුය.

එහෙත් එවැනි ණය සහන හෝ පරිත්‍යාග ලබාදෙන නත්තල් පප්පලා නත්තල් කාලයේදීවත් අපට සිටියේ නැත. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය තුළ සිදුවන ගනුදෙනු සලකා බැලීමේදී වාහන දෙතුන් සීයක් ගෙන්වීමට විදේශ විනිමය පාස් කිරීම එතරම් ලොකු දෙයක් නොවේ. ආර්ථිකයක් ලෙස එය දරා ගැනීමට අපට හැකිය. වාහන නොගෙන්වා කරන ඉතිරි කිරිල්ල සමාන වන්නේ අවුරුද්දේ වියදම අඩු කිරීම සඳහා රබර් සෙරෙප්පු දෙකක් ගැනීමෙන් වැළකී සිටීමට ය. මේ රටේ ජන ජීවිතයට අනුව එක් පුද්ගලයකුට අවුරුද්දක කාලයක් ජීවත්වීම සඳහා සාමාන්‍යයක් වශයෙන් ගත් කල රුපියල් දෙලක්ෂයක් වැය වේ. රබර් සෙරෙප්පු දෙකක මිල රුපියල් එකසිය අනූ නවයයි ශත අනූවකි. සෙරෙප්පු ගැනීම අත්හිටුවා රුපියල් දෙසීයක් ඉතිරි කිරීමෙන් පෙර කී රුපියල් දෙලක්ෂයේ වියදම පිරිමසා ගත නොහැක.

මන්ත‍්‍රීවරුන්ට වාහන ගෙන්වීම නැවැත්වීම පිළිබඳ ආර්ථික විග‍්‍රහය මෙය වුවත්, මේ රට මේ වෙලාවේ පවතින තත්ත්වයට අනුව වාහන ගෙන්වීම සඳහා රුපියල් බිලියන කිහිපයක් වැය කිරීම අමානුෂිකය; සදාචාර විරෝධීය. ඉහත සඳහන් අමානුෂික සහ සදාචාර විරෝධී කටයුත්ත සාධාරණීකරණය කිරීම සඳහා ප‍්‍රසිද්ධියේ කතා කළ මන්ත‍්‍රීවරු දෙතුන් දෙනෙක් සිටිති.

ඉන් පළමුවැන්නා ඡන්දෙන් පසු යට ගොස් සිට මේ ළඟකදී ගොඩ ආ නාලක ගොඩහේවා ය. දේශපාලනඥයන්ට යමක් ලැබීමේදී ඒ දෙස ක්‍රෝධයෙන් නොබැලිය යුතු බව ගොඩහේවාගේ මතය වේ. ඇමැතිවරුන්ට හැමවිටම හමුවන්නේ පැරණි ඇමැතිවරුන් භාවිතා කළ වසර දහයක් පැරණි වාහන යැයිද ඔහු කියයි. ඇමැතිවරුන් සඳහා සෙකන්ඞ් හෑන්ඞ් වාහන ගෙන්වනු නොලැබේ. ඒවා බ‍්‍රෑන්ඞ් නිව් වාහන වන අතර රජයේ වියදමින් සර්විස් කර, රජයේ වියදමින් ස්පෙයාර් පාට්ස් දමා, රජයේ වියදමින් තෙල් ගසා, රජයේ වියදමින් ජීවත්වන ඇමැතිවරුන් විසින් පරිහරණය කරනු ලැබේ. ඇමැතිතුමා පැරදී ගෙදර යනවිට වාහනයේ සුක්කානම, එන්ජිම, සීට් හෝ ෆ්ලෝ බෝඞ් එක ගලවාගෙන ගෙදර ගෙනයන්නේ නැත. (මේ එකක්වත් නැතිව වාහනය පිටින්ම ගල් කරගන්නා වංචනික ඇමැතිවරු ද සිටිති.) මේවා ඉතා ලස්සනටත් පිරිසිදුවටත් අමාත්‍යාංශයේ ගාල් කර තබන අතර ඊළඟට එන ඇමැතිට තිබෙන්නේ එහි නැගී ගමන් බිමන් යෑමය. වාහනය අවුරුදු දහයක් පැරණි වුවත් කලට වෙලාවට සර්විස් කර ස්පෙයාර් පාට්ස් මාරු කරන බැවින් එය යම් ප‍්‍රමාණයකට බ‍්‍රෑන්ඞ් නිව් ය. ගොඩහේවාට ලැබෙන්නට ඇත්තේ ද මෙවැනි වාහනයකි. ඔහු පෙන්වන්නට උත්සහ කරන්නේ ඇමැතිවරුන්ට බක්කි කරත්ත ලැබෙන බවකි.

මෙසේ වාහන ගෙන්වීමට පක්ෂව කතා කළ මීළඟ ඇමැතිවරයා ලොහාන් රත්වත්ත ය. එම වාහන ශ‍්‍රී ලංකාවට ගෙන්වන්නේ ක්‍රෙඩිට් ලයින් එකක් හෙවත් ණය පහසුකමක් යටතේ බැවින් ඉන් රටට කිසිදු බරක් නොවන බව හෙතෙම සිරස රූපවාහිනියට පැවසීය. ණයට බඩුවක් ගත්විට ණය ගැතියාට එය බරක් නොවන්නේ එම ණය සඳහා පොල්ලක් තැබුවොත් පමණි. එවිට ණය හිමියා නන්නත්තාර වන අතර ණය ගැතියාට කිසිම පාඩුවක් සිදු නොවේ. මන්ත‍්‍රීවරුන්ට අලූත් වාහන ගෙන්වීම පිළිබඳ කතා වස්තුවේදී පොලූ තැබිය නොහැක. ලොහාන් රත්වත්ත චූටි ළමයෙකි. තවමත් ඔහු සිටින්නේ කඩෙන් ටොෆියක් ගෙන එයට මුදල් නොගෙවා පැන දුවන ළමා කාලයක ය.

මේ වාහන වෙනුවෙන් කතා කළ ඊළඟ තැනැත්තා පොහොට්ටු මන්ත‍්‍රී වසන්ත යාපා බණ්ඩාර ය. ඔහුගේ පක්ෂපාතීත්වයේ කිසියම් සාධාරණත්වයක් තිබේ. වැඩිදෙනා නොදන්නවාට මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන්ගෙන් පහළොස් දෙනෙක් පමණ පාර්ලිමේන්තු එන්නේ බස් එකේය. හතර අතේ ණය වී ඡන්ද කර ජයග‍්‍රහණය කළත් ඔවුන්ට වාහන නැත. මේ රටේ ජනයා නොදන්නවාට ණයකාරයන්ගෙන් බේරීම සඳහා ඇතැම් විට කොළඹට වී සැඟවී සිටින්නට ද මේ මන්ත‍්‍රීවරුන්ට සිදුවී තිබේ. අගමැති දහනායක ගාල්ලේ සිට කෝච්චියේ නැගී උදේට කොළඹ ආවාක් මෙන් අද සිටින මන්ත‍්‍රීවරුන්ට කෝච්චි සහ බස්වල කොළඹ පැමිණිය නොහැක. ඒ නිසා වාහන නැති සියලූ මන්ත‍්‍රීවරුන්ට මොකක් හෝ වාහනයක් ලබාදීම රජයේ වගකීම බවට පත්වේ. ඒ හැරෙන්නට දැනට රජයේ වාහන තිබෙන මන්ත‍්‍රීවරුන් මේ ආණ්ඩු කාලය නිමවන තුරුම ඒවා පමණක්ම පාවිච්චි කළ යුතු බව අපගේ වැටහීමය.

advertistmentadvertistment
advertistmentadvertistment