VIP සමාජවාදය

1449

මේ දිනවල අලුත් සමාජ සංවාදයක් හටගෙන තිබේ. මේ සංවාදය පටන් ගන්නා ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත විසිනි. ශ්‍රී ලංකාවේ හෙදියන් ශාරීරික අභ්‍යාස ආයතන හෙවත් ජිම්වලට යැවිය යුතු බවත් එය නීතියක් වශයෙන්ම පැනවිය යුතු බවත් ලාල්කාන්ත මේ ළඟදී කීවේය. ඒ ප්‍රකාශයෙන් බලවත් සේ කිපුණු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිනී කවිරත්න ලාල්කාන්තගේ මතය තරයේ විවේචනය කරමින් එය අනුරාගය දනවන යෝජනාවක් බවත් ලාල්කාන්ත එසේ කීම භයානක වරදක් බවත් කියමින් හතර අතේ නෙළන්නට පටන් ගත්තාය. රෝහිනී කවිරත්න යනු මේ රටේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මහජන නියෝජිතවරියකි. සාමාන්‍යයෙන් ඕනෑම කෙනකු විපක්ෂයේ සිටින විට කාන්තා අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස යනාදිය ගැන දේශන පවත්වමින් ආතල් ගැනීමේ පුරුද්දක් තිබේ. අපගේ වැටහීමට අනුව රෝහිනී කවිරත්න එසේ නොවන අතර ඇය අවංකවත් සද්භාවයෙනුත් කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අතර ඕනෑම ආණ්ඩුවක කාන්තා කටයුතු ඇමැතිවරිය වීම සඳහා සුදුසුකම් සම්පූර්ණ කර ඇත. (මෙහිදී ඕනෑම ආණ්ඩුවක කීවාට ජේ.වී.පී. එක කවදාවත් ඇයට ඇමැතිකමක් දෙන්නේ නැත) හැබැයි මේ ළඟදී පාර්ලිමේන්තුවේදී ඇයට අතපසුවීමක් සිදුවිය. ඒ වූකලී කිහිපදෙනකු විසින් ඩයනා ගමගේ පෙරළාගත් බවට නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී කියූ කතාව ඇයට නෑසී යෑමය. මේ පෘතග්ජන ස්වභාවයයි.

ඔයිට වඩා වැදගත් දේවල් හිටපු ගමන් අපට නෑසී යයි. මෙකී ක්ෂණික දෝෂය හේතුවෙන් නලින් බණ්ඩාර කළ කතාව හෙළා දැකීමට රෝහිනී කවිරත්නට බැරි විය. හෙදියන් ජිම් යැවීමේ සංවාදයට අලුතින්ම එක්වී සිටින්නා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂය. පසුගියදා ෆේස්බුක් ඔස්සේ live පැමිණි නාමල් රාජපක්ෂ අදහස් දක්වමින් ලාල්කාන්තගේ එම අදහසට පක්ෂව කතා කර එතැන වැරැද්දක් නැති බවත් ලාල්කාන්තගේ චේතනාව හොඳ බවත් කීවේය. හෙදියන් ජිම් යැවීම ඉතාම හොඳය. ජිම් යැවීම පමණක් නොව ජිම්නාස්ටික් ඉගැන්වීම, බැලේ ඩාන්සින් ඉගැන්වීම් වැනි දේවලටද ඔවුන් යොමුකළ හැකි නම් මැනවි. හැබැයි ඒ සියල්ලටම පළමු අපේ රටේ හෙදියන් දැනට පවතින කුණු දේශපාලනයෙන් ගලවාගත යුතුය. හෙද හෙදි වෘත්තීය සමිති ඉතාම නරක තැනකට ගමන් කරමින් පවතී. අපි මෙහිදී හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට දොස් නොකියමු. උන්වහන්සේ මේ රටේ හෙදියන් එකතුකර වෘත්තීය සමිතියක් පිහිටුවා හෙදියන්ගේ අයිතිවාසිකම් දිනාදෙමින් හොඳ ආරම්භයක් දුන්නාහ. එහෙත් මේ වනවිට වැඩේ අලවී ඇති අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විවේක සුවයෙන් සිටීම සඳහා හෙද සංගමයේ නායකත්වය වෙනත් අතකට යා යුතුය. මේ විදිහට මහන්සි වෙන්නට ගියොත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් තව තවත් රෝගී වීමට ඉඩ තිබේ. උන්වහන්සේ නායකත්වයෙන් යනවාට හෙදියන් කැමති නැත. මේ නිසා හෙදියන් කොතරම් අකැමැති වුවද හෙද සංගමය ලෙඩුන් ගැන සිතන ප්‍රගතිශීලී මතවාදයක් ලබාදිය හැකි නායකත්වයකට යා යුතුය.

මේ රටේ හෙදියන්ගේ ජිම් කතාව එතැනින් නවතින අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කතාවක් කෙරෙහි අවධානය යොමුකිරීම මෙතැන් සිට සිදුවේ. ශ්‍රී ලංකාව තුළ මේ වනවිට VIP සමාජවාදීන් කොට්ඨාසයක් සිටින බවත් ඔවුන් ගමට පැමිණ නිර්දන පන්තිය සහ සමාජවාදය ගැන කතා කළත් ඔවුන්ගේ දරුවන් විදෙස් රටවල හොඳ අධ්‍යාපනයක් ලබන බවත් විපක්ෂ නායකවරයා හොරොව්පතානේදී පැවති ජන රැලියක් අමතමින් කියා තිබේ. එසේම VIP සමාජවාදීන් දෙදෙනකුගේ පාසලට තමා නොමිලේ බස් රථයක් ලබාදුන් නිසා එකී VIP සමාජවාදීන් තමා සමග තරහ වී ඇති බව ඔහු මෙම ජන රැලියේදී සඳහන් කළේය. සජිත් මේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගැන විය යුතුය. ජේ.වී.පී. හැරුනුකොට මාක්ස්වාදී ප්‍රතිපත්ති හෝ සමාජවාදී ප්‍රවේශයක් ගෑවුණු වෙනත් දේශපාලන පක්ෂ දැනට නැත. ලංකා සම සමාජ පක්ෂය තිබුණාට ඉන් වැඩක් නැත. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තිබුණාට එයින්ද වැඩක් නැත. දැනට වැඩක් ඇත්තේ මේ පක්ෂ දෙකේ කාර්යාල පිහිටි බිල්ඩින්ග් දෙක පමණි. විදේශ අධ්‍යාපනය ගැන අප තුළ විරෝධයක් නැත. ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඒ බව දැන සිටි අතර සජිත් ප්‍රේමදාස ඉගෙනගත්තේද එංගලන්තයේය. සජිත් ලද ඒ චාන්ස් එක සිය දරුවන්ට ලබා දීමට මේ රටේ දෙමාපියන් සියලුම දෙනා කැමති නමුත් අතේ සල්ලි නැතිකම නිසා ඒ අවස්ථාව ලබා ගැනීමට ඔවුන් තුළ හැකියාවක් නැත. ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කිහිපදෙනකුගේ දරුවෝ පිට රට උගනිති. වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගේ දරුවෝද විදේශීය අධ්‍යාපනය ලබති. මේ රටේ සිටින දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දරුවන් වැඩිදෙනකු ඉගෙනගන්නේ පිට රටය. එයට හේතුව සම අවස්ථා හිඟකමක් මේ රටේ අධ්‍යාපනය තුළ තිබීමය. කිසිවකුගේ දරුවෙක් පිට රටක ඉගනීම VIP තත්ත්වයක් ලෙස අර්ථ නිරූපණය කරන්නේ කෙසේද යන්න අපි නම් නොදනිමු. අප දන්නේ කොතනින් ආවත් අධ්‍යාපනය යනු උසස් දෙයක් බවය.

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෝ ඉතා පටු මතවාදවලට කොටුවී සිටිති. ජාත්‍යන්තරවාදීන් ලෙස පෙනී සිටින ඇතැම් ලිබරල් දේශපාලනඥයෝ තවමත් වැඩවසම් මතධාරීහු වෙති. සජිත් ප්‍රේමදාස පාසල්වලට School bus ලබාදීම විශිෂ්ට මෙහෙවරක් බව අපගේ මතය වේ. පාසල්වලින් සංවිධානය කරන විවිධ තරග ඉසව්, දේශන, සම්මන්ත්‍රණ ආදියට යෑමට බස් නැතිව පාර දිගේ කට්ට කන කුඩා දරුවන් අපි දැක ඇත්තෙමු. එබැවින් විපක්ෂ නායකතුමාගේ පාසල් බස් ව්‍යායාමයට අපි ගරු කරමු. එහෙත් VIP සමාජවාදය නමැති සංකල්පය සංශෝධනය විය යුතු බව අපි පෙන්වාදීමට කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment