Wild Life ෆොටෝග්‍රැෆි කියන්නේ මට භාවනාවක් – ප්‍රවීණ වන ජීවී ඡායාරූප ශිල්පී – නීල් ප්‍රනාන්දු

235

වන ජීවී ඡායාරූප ශිල්පියකු ලෙස ඔහු කොපමණ කැපකිරීම් කර තිබේද යන්න සහ ඒ සඳහා ඔහුට කෙතරම් දක්ෂතාවක් හා කලාත්මක ඇසක් තිබේද යන්න මට තේරුම් ගියේ ලැප්ටොප් පරිගණකය තුළින් හා වැඩිමනත් ඔහුගේ අමතර හාඩ්ඩිස්ක් (External Hard Disk) එක තුළින් ඔහුගේ ඡායාරූප ගොනු එකින් එක පෙරළා ඔහු ඒවා මට පෙන්වද්දීය. සැබැවින්ම ඔහුගේ ඒ වන ජීවී ඡායාරූපකරණය තුළ මම යම් විශේෂත්වයක් දකිමි. විටෙක ඉතා හොඳම ඡායාරූපය තමන්ට එනතුරුම එකම දර්ශනයක පින්තූර සීයක්-දෙසීයක් තරම් ඔහු රූප ගත කර ඇත. මේවා අතර කලාත්මක ඡායාරූප පමණක් නොව, සත්ත්ව ලෝකයේ බොහෝ සිදුවීම්ද නිරූපණය වේ. විටෙක එම ඡායාරූප ලබාගෙන ඇත්තේ කෙන්යාවේ මසයිමාරා වැනි වනෝද්‍යානයකය. නැත්නම් ඉන්දියාවේ පන්නා වයිල්ඩ් ලයිෆ් රිසර්ව් හිදීය. නැතහොත් ජර්මනියේ වනෝද්‍යානයකදීය. එසේත් නැතිනම්, විල්පත්තුව, කුමන හෝ යාල වැනි ශ්‍රී ලංකාවේ වනෝද්‍යානයක ය. එනමුත් මා සිත් ගත් ඔහුගේ බොහෝ ඡායාරූප ඔහු ලබාගෙන තිබුණේ ඔහුටම අයත් එළුවන්කුලම Cloud Nine Lanka Resort පාරිසරික නිකේතනය තුළදී බව මට සිතුනි. මන්ද, අප ඉතාමත් කලාතුරකින් දකින හෝ ජීවිත කාලය තුළදී අපට දක්නට නොලැබෙන උනහපුළුවා සහ බෝදිලිමා වැනි සතුන්ගේ අගනා ඡායාරූප රැසක් ඔහු එහිදී ලබාගෙන තිබීමය.

අද අප මෙසේ Wildlife – eye තුළින් හඳුන්වාදෙන වන ජීවී ඡායාරූප ශිල්පියා සැබැවින්ම වෘත්තීය ඡායාරූප ශිල්පියකු නොවේ. ඔහු වත්තල පිහිටි Paradise Toys නම් BOI ජර්මන් සමාගමේ වසර 33 ක සේවා අත්දැකීම් ඇති එහි සාමාන්‍යාධිකාරීවරයාය. එසේම, එළුවන්කුලම Cloud Nine Lanka Resort හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ය. ඔහු නම් නීල් හර්මන් ප්‍රනාන්දු ය. නමුත් ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු ඔහු දන්නේ නීල් ප්‍රනාන්දු ලෙසට ය. ඔහුගේ වන ජීවී ඡායාරූපකරණය ගැන කතා කරන්නට මා ඔහු මුණ ගැසුණේ ඔහුගේ කාර්යාල පරිශ්‍රයේදීය. මේ හමුවට ප්‍රවීණ, ප්‍රකට වන ජීවී ඡායාරූප ශිල්පී රොහාන් ෆොන්සේකා මහතාද සහභාගී වූ අතර, අප වන දිවි ඡායාරූපකරණය ගැන සේම, නීල්ගේ වන දිවි චාරිකා ගැනද කතා කළේ ඔහුගේ අතින්ම අපට හදා දුන් ඉස්තරම් උණුසුම් කෝපි කෝප්පයක රස බලමිනි.

Wild Life ෆොටෝග්‍රැෆි කියන්නේ මට භාවනාවක් - ප්‍රවීණ වන ජීවී ඡායාරූප ශිල්පී - නීල් ප්‍රනාන්දු

“මගේ ගම රද්දොළුව. මම මූලික අධ්‍යාපනය ලබාගත්තේ සීදූව ‘දවිසමර මහා විද්‍යාලයෙන්’ සහ කඳාන ‘දි මැසිනොද් විද්‍යාලයෙන්.’ මගේ පවුලේ ඔක්කොම 5 දෙනයි. අම්මයි තාත්තයි, නංගියි මල්ලියි, මම පවුලේ වැඩිමලා. තාත්තා රජයේ ඉංජිනේරු සංස්ථාවේ සේවය කළේ. අම්මා රස්සාවක් කළේ නෑ. මම විවාහකයි. බිරිඳ රනිල්කා ප්‍රනාන්දු ගුරුවරියක් හැටියට සේවය කළා. දුව නිත්මා, පුතා දනුල දෙන්නම රැකියාවල් කරනවා.

කොහොම හරි පාසල් අධ්‍යාපනෙන් පස්සෙ මම කර්මාන්ත ශාලා ආශ්‍රිත රැකියාවල් කිහිපයක්ම කළා, මට ගැලපෙන රස්සාව ලැබෙනකම්. ඒ අනුව තමයි දැන් සේවය කරන ජර්මන් සමාගමට මම සම්බන්ධ වුණේ මීට වසර 33 කට කළින්. තවමත් මේ රස්සාව මම ඉතාමත් තෘප්තිමත්ව කරගෙන යනවා විතර නෙමෙයි, මෙතනදී තමයි මම වන ජීවී ඡායාරූපකරණයට අත් පොත් තබන්නෙත්. ඒ ක්ෂේත්‍රයේ දියුණුවක් ලබනවා පමණක් නොව, විදෙස් සංචාර ඔස්සේ වන ජීවී ඡායාරූප එකතුවට අලුත් අලුත් ඡායාරූප එකතු කරගන්නෙත්, ආයතනය තුළ වෙනමම, පරිසර ලෝලී සහ ඡායාරූප සංගමයක් හදන්නෙත් මේ රස්සාව නිසාමයි. ඒ සඳහා ඉතා ඉහළින්ම ජර්මන් මව් සමාගම හා එහි කළමනාකාරිත්වය මට අදටත් සහයෝගය දෙනවා. ඒ වගේම මම රස්සාවට ඇවිත් තමා මගේ අධ්‍යාපන සුදුසුකම් හදාගත්තේ. CMA (Aus), MBA (UK) කියන සුදුසුකම් හදාගෙන මම මේ වන විට Business Psychology පිළිබඳ ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනීම කරනවා” යයි නීල් ප්‍රනාන්දු තම කතා බහ ආරම්භ කරමින් අප සමග කීය.

Wild Life ෆොටෝග්‍රැෆි කියන්නේ මට භාවනාවක් - ප්‍රවීණ වන ජීවී ඡායාරූප ශිල්පී - නීල් ප්‍රනාන්දු

”ඇත්තටම මම ඡායාරූපකරණයට ආවෙ අහම්බෙන් කිව්වොත් ඒක වැරදි නෑ. ඒකට මග පෙන්වල මම එතනට ගෙනාපු ගුරුවරයා තමයි රොහාන් ෆොන්සේකා කියන්නෙ. මට හැම දේටම ගුරුවරයෙක් බැගින් ඉන්නවා. මොකද මම හැමවෙලාවෙම මගේ කටයුතුවලදී ඒ ඒ ක්ෂේත්‍රයට අදාළ දැනුම ගන්නේ ඒ අයගෙන්. කැමරා ගැන මට ඉන්න ගුරුවරයා තමයි රොහාන් ෆොන්සේකා කියන්නේ. ඒ නිසා ඔහුට තියන ගෞරවය අදත් හෙටත් හැමදාමත් මගේ තියනවා.” ඔහු රොහාන් දෙස නෙත් යොමමින් මට කියයි.

“මටත් කැමරාවක් තිබුණා. ඒක මම භාවිතා කළේ සංචාරයක් යනකොට, විශේෂයෙන් රට යනකොට මගේ මතක සටහන් තියාගන්න. ඔය අතර 2010 දී වගේ මගේ කැමරාව කැඩුණා. ඊට පස්සෙ ආයතනයේ යම් උවමනාවකට කැමරාවක් අරන් එන්න මම කෙනෙක් යැව්වා රොහාන් අය්යා ළඟට. මොකද ඉස්සර අපේ ෆැක්ටරියේ ෆොටෝ ගන්න වැඩ කළේ රොහාන්. එයා අපට අරන් දුන්න කැමරාව Cannon 70D වර්ගයේ එකක්. මේක ගෙනාවහම අපට ඒකෙන් ෆොටෝ ගන්න බැහැ. මොකද ඒක ඉගෙන ගන්න ඕන. අපි ඒ ගැන රොහාන් අයියට කිව්වහම මෙයා කිව්වා ඔව් ඒක ඉගෙනගන්න ඕන තමයි කියල. ඒකට මගේ ළඟට එන්න කියල. අපි ඉතිං කීපදෙනෙක් ඔන්න කැමරා පාඩම ඉගෙන ගන්න ගියා මාස හයක් විතර. රොහාන් අයියා මේ වැඩේටම සිලබස් එකකුත් හැදුවා. ඡායාරූපකරණය ඔහු මට A-Z කියල දුන්නා. එහෙම තමයි කැමරාකරණය ඉගෙන ගත්තෙ. ඒ නිසා ඒ ගෞරවය ඔහුට යායුතුමයි. ඒ විතරක් නෙමෙයි අපට කැලේ යන්න පුරුදු කළෙත් මෙයාම තමයි. පළමු ටුවර් එක අපිව විල්පත්තු එක්කන් ගියා. ඒ ටුවර් එක නතර උනේ මින්නේරියෙත් ගිහිල්ලා. කොහොම හරි කෝස් එක ඉවරවෙනකොට අපි ටුවර් 20-30 ක් විතර ගිහිල්ලා තිබ්බා. ඒ අතර එඩිටින්, කරන වැඩත් ඔහුගේ ඡායාරූප ඇකඩමියෙන් මම ඉගෙන ගන්නවා” ඔහු රොහාන් ෆොන්සේකා දෙසත්, මා දෙසත් වරින් වර බලමින් පවසයි.

Wild Life ෆොටෝග්‍රැෆි කියන්නේ මට භාවනාවක් - ප්‍රවීණ වන ජීවී ඡායාරූප ශිල්පී - නීල් ප්‍රනාන්දු

නීල් කියන්නේ වසරකට ඔහු සාමාන්‍යයෙන් වනගත චාරිකා 15 කටත් වඩා යන බවයි. විටෙක මසකට චාරිකා දෙකක්වත් යන බවත් ඒ සඳහා ආයතනයෙන් තමන්ට නිදහස ලබා දී ඇති බවත් ඔහු කියයි.

“ඇත්තටම මම වන ජීවී ඡායාරූපකරණය කරන්නෙ විනෝදාංශයක් ලෙස හා මගේ මානසික සුවය සඳහා පමණයි. කාර්ය බහුල රාජකාරි ජීවිතයෙන් යම් නිදහසක්, මානසික විවේකයක් ලබන්න තමයි මේ සංචාර මම යන්නෙත්, වන ජීවී ඡායාරූපකරණය මම කරන්නෙත් මානසික ආතතිය නැති කරගන්න, එය නියුට්‍රල් කරගන්න මට තියෙන හොඳම ඖෂධය තමයි කැලේ සහ වන ජීවීන්. කරන රස්සාවෙන් කවදාවත් අපි තෘප්තිමත් වෙන්නෙ නෑනෙ. මොනදේ කළත් මදි කියල හිතෙනවනෙ. ඇත්ත ඒකනේ. ඉතිං රස්සාව කියන්නෙ ස්ටේ‍රස්ම තමයි. නමුත් කැලේ යන එක හැමදාම නැවුම් අත්දැකීම් ලැබෙන දෙයක්. අපට එහිදී දක්නට ලැබෙන දේවල් සහ අපි ලබා ගන්නා ඡායාරූප (Actions and Shots) හැමදාම වෙනස්,

Wild Life ෆොටෝග්‍රැෆි කියන්නේ මට භාවනාවක් - ප්‍රවීණ වන ජීවී ඡායාරූප ශිල්පී - නීල් ප්‍රනාන්දු

ඒවගේම නැවුම්. ඒ නිසා මේක හොඳ හොබී එකක් වගේම පරිසරයට අනුගතවෙලා කරන භාවනාවක්. කෙටියෙන්ම කියනවනම් ස්ටේ‍රස් වැඩිවෙනකොට නියුට්‍රල් වෙන්න තියෙන හොඳම හොබී එක තමයි මට නම්, වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆි කියන්නේ. අනික කළින් වගේ නෙමෙයි දැන් කැලේ ටුවර් එකක් ගහන්න පෙර වගේ හතර ගුණයක් විතර වියදම් වෙනවා. ඒත් අපි තාමත් යනවා. මම ෆොටෝ ගන්න ජීවත් වෙන්නෙත් නෑ. ඒ වගේම මම ෆොටෝ ගහල ජීවත් වෙන්නෙත් නෑ. ඒ නිසාමයි අක්කර දාහතහමාරක ඉඩමක් අරගෙන මම එකෝ රිසොර්ට් එකක් පටන් ගත්තෙත්. විල්පත්තුවට යාබද එළුවන්කුලමෙන්. ඒකෙ විවිධ වර්ගයේ කුරුල්ලන් විතරක් නෙමෙයි, උනහපුළුවන්, බෝදිලිමන් වගේ සත්තුත් ජීවත් වෙනවා. ඇත්තටම අපි යමු මේ වනාන්තරයේ දවසක් සුන්දරත්වය විඳින්න.” ඔහු කතාව අතරතුර අපට ආරාධනයක්ද කරයි.

“අපි ආයතනවල වගකීම් දරන රස්සා කරන අය. නිතරම අහන්න ලැබෙන්නෙ ප්‍රශ්න, ගැටලු. මුහුණ දෙන්න වෙන්නෙ මනස වෙහෙසෙන වැඩවලට. මම හොඳටම අත්දැක්ක දෙයක් තමයි කැලේ ටුවර් එකක් ගිහිල්ල ආපුවහම ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න හරිම පහසුයි. මොකද අපි මනස නිදහස් වෙලා එන්නෙ. හැමදාම ප්‍රශ්න ගොඩවල්වල ඉන්න අයට එහෙම මුහුණ දෙන්න අමාරුයි. මේ දෙකම මම අත්විඳලා තියන නිසා හොඳින් දන්නවා. ඇත්තටම මට නම් ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ දෙන්න තියන හැකියාව ශක්තිය ඉතා ඉහළයි. ඒ වගේම කෙනෙකුගේ දෙයකට සාවධානව අහුන්කන්දීමේ හැකියාව මේ නිසා අපට ලැබෙනවා වගේම ඒකට විසඳුමත් දෙන්න පහසුයි කියලයි මට කියන්න තියෙන්නේ” නීල් පවසයි.

Wild Life ෆොටෝග්‍රැෆි කියන්නේ මට භාවනාවක් - ප්‍රවීණ වන ජීවී ඡායාරූප ශිල්පී - නීල් ප්‍රනාන්දු

පිළිසඳර –
ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment