x-press pearl පරිසර විනාශයේදී රජයේ ආයතන පෙනී සිටින්නේ නැව වෙනුවෙන්ද? – පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති

259

නීතිය වෙනුවෙන් ඔබ සෘජුවම මැදිහත්වන්නෙක්. පරිසරය ආරක්ෂා කරන්න තිබෙන නීතිවල තත්ත්වය කෙබඳුද?
 

 මම ආඩම්බර වෙනවා මා දන්න විධියට නීතිඥයෙක් ලෙස මා තමයි වැඩිම පරිසර නඩු ගණනකට පෙනී ඉඳල තිබෙන්නේ. පරිසර නඩු 400ට වඩා වැඩි ප්‍රමාණයකට මගේ ජීවිත කාලය තුළ පෙනී සිට තිබෙනවා. මේ වන විටත් පරිසර නඩු හතළිස් ගණනකට මම සම්බන්ධ ව සිටිනවා. මේවා දැනට කෙරෙමින් පවතිනවා. මෙයින් තිහක් විතර පරිසර යුක්ති කේන්ද්‍රය සම්බන්ධ ඒවා. සෙසු ඒවා පරිසර යුක්ති කේන්ද්‍රය සම්බන්ධව නැති ඒවා. මේ පරිසර සටන කියන එක එසේත් නැතිනම් පරිසරය සුරැකීමේ අරගලය, මානයන් සහ කෝනයන් ගණනාවක් තිබෙන දෙයක්. අපේ හිතවත් පරිසරවේදීන් මේ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් විශාල මාධ්‍යමය මෙහෙවරක නිරතව සිටිනවා. තවත් අය බැනර්, පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනය කරමින් මේ පණිවිඩය ඉදිරියට ගෙන යමින් සිටිනවා. තවත් සමහරු පොත් පත් ලියනවා, පරිසරය ආරක්ෂා කරන්න. ඒ විතරක් නොවෙයි විවිධාකරයෙන් පරිසර සංරක්ෂණයට සමහරුන් පෙළඹෙනවා.

 නීතිඥයෙකුට බොහොම ලේසියෙන් කරන්න පුළුවන් පරිසර සටන වන්නේ අධිකරණය හරහා කෙරෙන පරිසර සටනයි. එය අපේ අනෙක් සහෝදරයන්ට ඒතරම් පහසු සටනක් නොවෙයි. අධිකරණය හරහා කෙරෙන පරිසර සටන අතට ගන්න හැමෝටම අමාරුයි. නීතිය කියන්නේ පරිසර සටනේදී ශක්තිමත් අවියක්. පරිසර සටනට නීතිය නැමැති අවිය යොදාගැනීම පිළිබඳව අපේ රටේ නීතිඥයන්ට තිබෙන උනන්දුව හා අත්දැකීම් ගැන මම කනගාටු වනවා. එපමණක් නොව නීතිඥයන් මේ පිළිබඳව සොයා නොබැලීම පිළිබඳව කනගාටු වනවා. බොහෝ පරිසර සංරක්ෂණය කිරීමේ වුවමනාවෙන් කටයුතු කරන ආයතන මේ නීතිය සහ අධිකරණය නමැති උපක්‍රම සහ ආයතන හරහා මේ පරිසර සටන වඩාත් තීව්‍ර කිරීම සහ මුවහත් කිරීම සහ සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට නොදැනුවත්කම සහ නොතේරුම් කම ගැන මා කනගාටු වනවා. නමුත් මගේ ජීවිතයේ අත්දැකීම් ගෙන බලන විට මම හිතන්නේ අන් සියලුම සටන්වලට වඩා මම නොබියව කියනවා, අධිකරණය හා නීතිය හරහා උකහා ගන්න ප්‍රතිඵලවල පැවැත්ම ස්ථීරයි සහ ප්‍රබලයි. සමහරවිට අපි ලිපියක් ලියලා, සාකච්ඡාවක් තියලා, උද්ඝෝෂණයක් තියලා ඒ වෙලාවට බොරු පොරොන්දුවක් දෙන්න පුළුවන් අපි ආයෙ මෙය කරන්නේ නැහැ කියලා. නමුත් ආයෙ මාස කිහිපයකින් එයම කරනවා. අධිකරණ තීන්දුවක් එහෙම ලේසියෙන් තවම නොසලකන මට්ටමට අපේ සමාජය පත්වෙලා නැහැ. මා ආරාධනා කරනවා, නීතිය පිළිබඳව යම් දැනුමක් ඇති අයට, උනන්දුවක් ඇති සියලුම දෙනාට අධිකරණය හරහා කෙරෙන පරිසර සටනට එකතු වන්න කියා. මේක එක්කෙනෙකුට දෙන්නනෙකුට තනිව කරන්න පුළුවන් දෙයක් නැහැ. මේ සටනට අලුත් පරම්පරාවක් නිර්මාණය විය යුතුයි. අපෙන් පසුව මේ සටන අතරමං වුණොත්, පරිසර සටනේ මහා විශාල රික්තයක් ඇති වෙනවා. ඒ රික්තය පුරවන්න අවශ්‍යයි. ඒ රික්තය පුරවන්න අලුත් පරම්පරාවක් නිර්මාණය විය යුතුයි. මම හිතන්නේ ඒ පිළිබඳව උනන්දුවක්, දැක්මක් ඇති පිරිසක් බිහිවිය යුතුයි. අපෙන් පසුව මේ සටන භාරදෙන්නේ කාටද කියන කාරණය ගැන අපි නිරන්තරයෙන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, අපට බරපතළ පුද්ගලික ප්‍රශ්න ඇතිව තිබෙනවා. විදේශයකට යන්න විදියක් නෑ. මේ නඩු වලට පෙනී සිටින්න අවශ්‍ය වන නිසා. මේ පරිසර නඩු ගොඩ ගැහිලා. මේවාට අත්උදවු දෙන්න කෙනෙක් නැහැ. මේ භාරදෙන්නේනේ කාටද? කියන කාරණය මතුවනවා. මෙහිදී පරිසර යුක්ති කේන්ද්‍රයෙන් ලබා දෙන සහාය අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි.

පරිසර යුක්ති කේන්ද්‍රය පරිසර නීති හා සම්බන්ධව සිටින්නේ කොයි ආකාරයෙන්ද? එහි වත්මන් සභාපතිවරයා වශයෙන් ඔබේ අදහස කුමක්ද?

 පරිසර යුක්ති කේන්ද්‍රය නිර්මාණය කිරීමටත් මා මුල්වූ අයෙක්. එහි ආරම්භක සිවු දෙනා අතර මාද සිටිනවා. ඊට කලින් මා වැඩ කළේ සී/ස පරිසර පදනමේ. පරිසර යුක්ති කේන්ද්‍රය හරහා අලුත් ගමනක් ආරම්භ කළා. ඒ ගමන අදටත් ඒ සියලු දෙනා හා එක්ව අත්වැල් බැඳගෙන ගමන් කරමින් සිටිනවා. පරිසර යුක්ති කේන්ද්‍රය හරහා තමයි මේ පරිසරය ආරක්ෂා කිරීමේ කාර්යයට වඩාත් නිවැරදිව සහ වඩාත්  ප්‍රායෝගිකව, වඩාත් පදනමකින් අපට සම්බන්ධවීමට අවස්ථාව ලැබුණා. අදටත් පරිසර නඩු හතළිස් ගණනකින් නඩු තිහකටත් වඩා පරිසර යුක්ති කේන්ද්‍රය හරහා ගෙන යන නඩුකර. විශාල ප්‍රමාණයක් පරිසර යුක්ති කේන්ද්‍රයේ වැඩ තමයි සිදු කරන්නේ. එපමණක් නොව පාරිසරික නීතිඥ සංගමයේත් සභාපතිවරයා වශයෙන් මා කටයුතු කරමින් සිටිනවා. පරිසර නීතිඥ සංගමයේත් කිහිප දෙනෙක් හා එක්ව අපි ලිපි ලියනවා, විරෝධතාවන් දක්වනවා. අදහස් ප්‍රකාශ කරනවා. නමුත් අපි ප්‍රාදේශීය මට්ටමින් සහ දේශීය මට්ටමින් මීට වඩා මැදිහත්වීමක් අවශ්‍ය වනවා. බොහෝ දෙනෙක් නීතිය දකින්නේ නැහැ. පොලිසිය, රජයේ නිලධාරීන් මෙන්ම සමහර අවස්ථාවල මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයේ නිලධාරීන් නීතියේ නොදැනුවත්කම අපට හරි ප්‍රශ්නයක්. අධිකරණය ඉදිරියේ පවා විනිශ්චයකාරවරුන් මේ පරිසර නඩු නිතර නිතර අහන්නේ නැති නිසා ඒ අයටත් පරිසර විෂය අලුත් විෂයක් වෙනවා. අපි ඒ දුෂ්කරතාත් මැඬගෙන තමයි, සමහර වෙලාවට අධිකරණයට කරුණු දැක්වීම් පවා සිදුකරන්නේ. අධිකරණයත් දැනුවත් කරමින් තමයි මෙය සිදුකරමින් පවතින්නේ. එසේ වන්නේ අධිකරණයටත් සමහර නීති කලාතුරකින් ඉදිරිපත් වන නිසයි. මේ නිසා විනිශ්චයකාරවරුන්ටත් මේ නීතිය විමර්ශනාත්මකව බලන්නත් නීතිය පරිශීලනය කිරීමේ අවස්ථාවද උදාවනවා.

 මේ රටේ නීතිය උල්ලංඝනය කරමින් වැරදි සිදුකිරීමටයි ඇතැමුන් උත්සුක වන්නේ. එසේ කරන නඩු අතර මේ වන විට ඔබ පෙනී සිටි ප්‍රසිද්ධ නඩු තිබෙනවා. විදේශයන්ගෙන් කුණු කන්ටේනර් රට තුළට ගෙන ඒම ඉන් එකක්.

 අපි නඩු දැමීමෙන්ම කරන්නේ හැම තිස්සේම නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ නිලධාරීන් පෙළඹවීමට කටයුතු කිරීමයි. අධිකරණයෙන් අපට පක්ෂපාතී තීන්දුවක් නොලැබුණත් නඩුවක් දැමීම හරහා අපි කරන්නේ උදාහරණයක් ලෙස ආයතන 10කට විරුද්ධව නඩුවක් දානවා නම් එම ආයතනයේ ඉන්න ප්‍රධානීන් ප්‍රධාන මට්ටමේ සිටින නිලධාරීන් 10ක් – 15ක් එකතු වෙලා නීතිය හරිද වැරදිද? මොකක්ද අපි අතින් වෙලා තිබෙන වැරැද්ද? සහ නීතිය පිළිබඳව අධ්‍යයනයක යෙදෙනවා. ඒ ආයතන 10ට විරුද්ධව නඩු දැම්මොත් එක ආයතනයක 10 ගණනේ සම්බන්ධ වුණොත් නිලධාරීන් 100 දෙනෙක් විතර සම්බන්ධ විය හැකියි. මේ ආකාරයෙන් නීතිය පිළිබඳව සොයන්න අවශ්‍යයි. නීතිය කැඩුවොත් නඩු දමාවි යැයි බියක් ඔවුන් තුළ ඇතිවනවා. ඒව තමයි නඩු දැමීම හරහා ඒ අනුව නීතිය පිළිබඳව අධයනයක් කරන්න පෙළඹෙනවා. ඒ අනුව තමයි රාජ්‍ය තන්ත්‍රය තුළ නීතිය ක්‍රියාත්මක කරන්න පෙළඹීමත්, ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන්න කැමති නිලධාරීන්ට අපි සහයෝගයක් වනවා. ඒ විතරක් නොවෙයි, නීතිය කඩන අයව බිය ගන්වනවා. ඒක තමයි අපේ ඉලක්කය වන්නේ. අපි අවසාන තීන්දුවක් ලබා ගන්නේ අපේ දෙවන ඉලක්කයයි. රජයේ ආයතනවලට නඩු දැමීමෙන් නීතිමය සාකච්ඡාවක් ඒ ඒ ආයතන තුළ ගොඩනැගෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් තුළ නැඹුරුවීමක් වනවා.

පරිසරය වෙනුවෙන් ඉදිරිපත්වන සෑම නඩුවකටම පාහේ හේතුව මධ්‍යම පරිසර අධිකාරිය, වන හා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු තම රාජකාරිය හරි හැටි ඉටු නොකිරීම නොවේද..?
 

 බොහෝ විට මතුව තිබෙන්නේ එය තමයි. සමහර විට දේශපාලන තීරණ, එසේත් නැතිනම් නිලධාරීන්ගේ වැරදි තීරණ නිසා මේ නීතිය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැහැ. නීති අඩුපාඩු කියනවට වඩා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. අඩුපාඩු තීයෙන්න පුළුවන්. පරණ නීති තියෙන්න පුළුවන්. නමුත් මුලින් තියෙන නීතිවත් ක්‍රියාත්මක කරන්න අවශ්‍යතාවක් නැහැ. රජයේ නිලධාරීන්ගේවත්, රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේවත් උනන්දුවක් නැහැ. කවදාවත් නිලධාරීන් උනන්දු නොවෙන්නේ රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන් උනන්දු නොවන නිසයි. දැන් අපේ ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ අපේ වනගහනය එන්න එන්නම අඩු වනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වුණොත් වන්නේ පරිසර පද්ධතිවල සමතුලිතතාව පවත්වාගෙන යෑම අසීරු වනවා.

 ඒක පරිසර පද්ධතියක පැවැත්ම අනතුරට ලක්වූ ගමන් එකට බද්ධ වූ සෙසු පරිසර පද්ධතීන් විනාශ වනවා. පරිසර පද්ධතීන් තුළ සමතුලිතතාව නැතිවූ ගමන් මේ මිහිතලයේ විශේෂයෙන් කැලෑව කියන දේ පරිසර පද්ධතියක අත්‍යවශ්‍ය දෙයක්. කැලෑව විතරක් නෙවෙයි පරිසර පද්ධතිය කියන්නේ. වැව් තියෙනවා. ගංගා තියෙනවා. වාතය, ගහකොළ, ජලය මේ සෑම දෙයක්ම එකට තියෙන්නේ. කැලෑව කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. කැලෑවේ ගස් ටික කපාගෙන හේන් ගොවිතැන් කරන්න දුන්නොත් පරිසර පද්ධතියේ තිබිය යුතු ප්‍රතිශතයට වඩා අඩු වනවා. එවිට සමතුලිතතාව වෙනස් වන්නට පුළුවන්. මෑතකදී සංවේදී කලාපයක හෝටලයක් හදන බවට රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුට එරෙහිවත් චෝදනා නැගෙනවා.

මේ රටේ මෑතකදී ඇති වූ විශාල පරිසර ඛේදවාචකයක් වූයේ x-press pearl නෞකාව හේතුවෙන් ඇතිවූ ප්‍රශ්නය. මේ වෙනුවෙන් වගකිව යුතු රාජ්‍ය ආයතනවල මැදිහත්වීම ගැන ප්‍රශ්න ඇතිවුණා. බලාපොරොත්තු වූ වන්දි මුදල් නොලැබීමටත් මෙය හේතුවක් වුණාද?

 x-press pearl නැව ගැන නඩු 03ක් මා පරිසර යුක්ති කේන්ද්‍රය මැදිහත්ව සිදුකරනවා. ඒ නඩු තුනේදීම රජය මගින් දක්වන සහයෝගය ඉතාමත්ම අල්පයි. ඒ විතරක් නොවෙයි රජය කළ යුතු වන්නේ නිසි වන්දියක් ලබාගෙන මේ වගේ දෙයක් නැවත සිදු නොවන්න වග බලා ගැනීම. නමුත් රජය එහෙම කරන්නෙත් නැහැ. අපට අධිකරණය හරහා කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. මට හිතාගන්න බැහැ රජයේ ආයතන හා නිලධාරීන් කවුරු වෙනුවෙන්ද පෙනී සිටින්නේ? විනාශ කරපු නැව් වෙනුවෙන්ද? එහෙම නැත්නම් රටේ ජනතාව වෙනුවෙන්ද? ඒ අය පඩි ලබන්නේ මේ රටේ ජනතාවගෙන් කියන දේ අමතක වෙලාද කියා ප්‍රශ්න කරන්න සිදුවනවා.

එදා MT New Diamond නෞකාව විනාශ වුණා. ඒ අවස්ථාවේදීත් කළ යුතු දේ හරියට ඉටු නොවුන බව කියැවෙනවා. අද තත්ත්වය මෙලෙසයි. ඉදිරියේදීවත් මේ හා සම්බන්ධ සමුද්‍රීය පරිසර දූෂණ පාලන අධිකාරිය වගේ ආයතන වෙනසකට සූදානම් වේ යැයි ඔබ සිතනවාද?
 

 මෙතෙක් කිසිම රාජ්‍ය ආයතනයක් පරිසරය සංරක්ෂණය කිරීමේදී වෙනසකට යොමු වේ යැයි කියා මා හිතන්නේ නැහැ. එහෙම යන්න දෙන්නෙත් නෑ. ඒකට හේතුව දූෂණය කිරීමට යොමුවී සිටින පුද්ගලයන් දූෂණ ක්‍රියා සිදු කිරීමට ඉඩ සැලසෙන පරිදි ඊට අවශ්‍ය හිඩැස් තියාගෙන කටයුතු කරන්න සූදානම්වයි සිටින්නේ. හිඩැස් ටික වැහුවනම් දූෂණය කරන්න ඇහිරෙන නිසා සහ තම තමන්ට අවැසි වාසි ප්‍රයෝජන ගන්න නොහැකි වන නිසා මේ විධියටම යන එක ඒ අයට වාසියි. රජයේ බලධාරීන්ගේ අවධානය යොමු වී නැහැ මේ පිළිබඳව. ඒ අය වුණත් නිවැරදිව කටයුතු කරන්නේ නැහැ, මේවා ජනතාවට අවශ්‍ය වන ආකාරයට වෙනස් කිරීමට. ඒවා වෙනස් වූවොත් ඒ අයගේ කටයුතුවලට අහිතකරයි.

විල්පත්තු නඩුව මේ රටේ කාගෙත් අවධානයට යොමු වූ නඩුකරයක්. මේ වන විට එහි තත්ත්වය කෙබඳුද?
 

 විල්පත්තු නඩුකරයේ මේ වන විට පරිසර යුක්ති කේන්ද්‍රය තීන්දුව ලබාගත්තා, බදියුදීන්ගේ වියදමින් පැළ හිටවන්න කියා. පසුව බදියුදීන් ඇපීල් කළා. ඇපීල් එකේදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළා මේ ක්‍රියාවට එය බාධාවක් නැති බව. රජය මේ වෙනුවෙන් කටයුතු කර තිබෙන ප්‍රමාණය මදි. බදියුදීන් ගෙවන්නේ නැත්නම් අවශ්‍ය මුදල් අයකර ගැනීමට කටයුතු කිරීම රජයේ වගකීමක්. මුදල් අයකර ගැනීමට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. අධිකරණය හරහා එම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතු වනවා. නමුත් රජය එසේ සිදුකරන බවක් පෙනෙන්නට නැහැ. රජය මෙතැනදී අපි නඩු දාලා නියෝග අරන් දෙනකන් බලා ඉන්න බවක් පෙනෙන්නට තියෙන්නේ.

x-press pearl පරිසර විනාශයේදී රජයේ ආයතන පෙනී සිටින්නේ නැව වෙනුවෙන්ද? - පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති


ජ්‍යෙෂ්ඨ නීතිඥ  රවීන්ද්‍රනාත් දාබරේ
සටහන  රන්ජන් කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment