චීන පොහොර නැව අපිට තිබ්බ ඩොලර් පොල්ල

252

මෙරට ගොවිජනතාව වසර ගණනාවක සිට රසායනික පොහොර භාවිතයෙන් වගාකටයුතු සිදුකරනු ලැබීය. එහෙත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් රැයකින් රසායනික පොහොර තහනම් කරනු ලැබීය. ඒ සමග මුදල් අමාත්‍යාංශය විසින් 2021 වර්ෂයේ මැයි මාසයේ සිට රසායනික පොහොර ආනයනය තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. මෙම තීරණය නිසා මෙරට කෘෂිආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවූහ. එවායේ අනිටු විපාක මේ වනවිට රට්ටුන්ට විඳීමට සිදුවී ඇත.

රසායනික පොහොර තහනම් කිරීමට ගත් තීන්දුවත් සමග 2021/2022 මහ කන්නයේ සිට මෙරට වගා කටයුතු සඳහා කාබනික පොහොර පමණක් භාවිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කරනු ලැබීය. එහෙත් මහ කන්නය සඳහා ප්‍රමාණවත් ලෙස කාබනික පොහොර මෙරට නිෂ්පාදනය කොට නොතිබුණි. හිටපු ජනාධිපතිවරයාගේ වටේ සිටි විද්වතුන් කිහිපදෙනකුගේ උපදෙස් මත ගනු ලැබූ මරිමෝඩ තකතීරු මෙම තීන්දුවත් සමග කාබනික පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට සිදුවිය. වී වගාව සඳහා හෙක්ටයාර් 500000කට අවශ්‍ය කාබනික පොහොර මෙටි්‍රක්ටොන් 96000ක් චීනයෙන් ආනයනය කිරීමට රජය විසින් තීන්දු කළ අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවිය.

මේ සඳහා ප්‍රසම්පාදන හා තාක්ෂණික කමිටුවක් මෙන්ම කාබනික පොහොර විශේෂඥයකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට කටයුතු කරනු ලැබීය. කාබනික පොහොර මෙටි්‍රක්ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 446 ක මිලකට ආනයනය සඳහා චීනයේ සීමාසහිත කින්ඩාඕ සීවින් බයෝටෙක් සමාගම තෝරාගෙන තිබුණි. නිර්දේශිත කාබනික පොහොර මෙටි්‍රක්ටොන් 96000ක තොගයෙන් සියයට 60ක් ලංකා පොහොර සමාගම විසින් හා සියයට 40ක් කොමර්ෂල් පොහොර සමාගම මගින් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබුණි.

මෙකී කාබනික පොහොර තොගය ආනයනය කිරීමට පෙර පළමු සාම්පලය ලෙස ග්‍රෑම් 500ක පොහොර සාම්පලයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නොරුවේ පිහිටි රසායනාගාරය වෙත යවා පරීක්ෂාකොට තිබුණි. එහෙත් එම රසායනාගාර පරීක්ෂාවේ දි සිදුකොට තිබුණේ නයිට්‍රජන් හා බැරලෝහ පමණි. පොහොර සාම්පල ජීවානුහරණය කර තිබේද හානිකර ක්ෂුද්‍රජීවීන් සිටින්නේ ද යන්න පරීක්ෂාවට ලක්කර නොතිබුණි. දෙවන සාම්පලය ලෙස ගෙන්වූ පොහොර කිලෝග්‍රෑම් 10න් එක් සාම්පලයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික ශාක නිරෝධායන සේවය මගින් ද තවත් සාම්පලයක් කාර්මික තාක්ෂණ ආයතනය මගින් ද පරීක්‍ෂාකොට තිබුණි. තවත් සාම්පලයක් මොරටුව ප්‍රදේශයේ පුද්ගලික රාසයනාගාරයක් මගින් පරීක්‍ෂාකොට තිබුණි. මෙකී පරීක්‍ෂණ ප්‍රතිඵල අනුව අදාළ පොහොර තොග ජීවානුහරණය කර නොමැති බව රසායනාගාර පරීක්‍ෂණ වාර්තා තුනෙහිම ඇතුළත්ව තිබුණි. ඒ විතරක් නොව ජාතික ශාක නිරෝධායන සේවය මගින් සිදුකළ පරීක්‍ෂණයට අනුව අර්වීනියා හා බැසිලස් යන හානිකර බැක්ටීරියාවන් අඩංගු බවට වාර්තා වී තිබුණි.

මෙකී කමිටුව විසින් හිතකර බැක්ටීරියා අඩංගුවිය හැකි පොහොර ජීවානුහරණය කළ පොහොර යන නිර්වනය පදනම් කොටගෙන මෙම පොහොර ගෙන්වීමට නිර්දේශ ලබාදී තිබුණි. මෙම නිර්දේශය මෙම මතභේදාත්මක ගනුදෙනුවට එක් ප්‍රධාන හේතුවක් වී ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

කෙසේවුවත් සැපයුම්කාර චීන පොහොර සමාගම විසින් ක්ෂුද්‍රජීවි අඩංගු නොවන ජීවානුහරණය කළ පොහොර ලබාදෙන බවට සහතික වී තිබුණි. එහෙත් සැපයුම්කාර චීන පොහොර සමාගම විසින් ගිවිසුමේ සඳහන් කොන්දෙසි උල්ලංඝනය කරචීන් චීනයේ කින්ඩාඕ වරායේ සිට කොළඹ වරයාට පොහොර මෙටි්‍රක්ටොන් 20550ක් එවා තිබුණි. සැපයුම්කාර සමාගම විසින් එවනු ලැබූ අශූචි පොහොර නෞකාව පිළිබඳ ඒ වනවිටත් රට තුළ දැඩි කථාබහක් නිර්මාණය වී තිබූ අතර ගොවීන්ගෙන්ද රජයට දැඩි විරෝධයක් එල්ල වී තිබුණි. ඒ විතරක් නොව අදාළ සැපයුම්කාර සමාගමට ශාක නිරෝධායන පනතට අනුව ජීවානුහරණය නොකළ කාබනික පොහොර තොගයක් ලංකාවට ගොඩබෑමට නොහැකිවීම හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් ද නිර්මාණය වී තිබුණි. ඒ වනවිට චීනයේ අශූචි පොහොර නෞකාව වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීමටද කටයුතු කර තිබුණි.

ඒ වනවිට රට තුළ ගොවි විරෝධයන්ද උත්සන්න වී තිබුණි. අවසානයේ රජයේ පොහොර සමාගම් දෙක මගින් ගිවිසුම් ප්‍රකාරව පොහොර සැපයුම්කරු විසින් කටයුතුකර නොතිබූ බැවින් සැපයුම්කරුට එරෙහිව කොළඹ වාණිජ්‍ය මහාධිකරණයේදී නඩු පවරනු ලැබීය. අදාළ සැපයුම්කරු වෙත ණයවර ලිපි මත ගෙවීම් වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස අදාළ පොහොර සමාගම් දෙක විසින් අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබීය. අධිකරණය මගින් ගෙවීම අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය. අවසානයේ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සිද්ධීන් සැලකිල්ලට ගනිමින් සැපයුම්කරු විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට ප්‍රතිචාර දක්වමින් නඩුව සමථයකට පත්කරණු ගනු ලැබිණි. එහෙත් මෙකී නඩු නිමිත්ත සම්බන්ධයෙන් බලපා ඇති බෝහෝ කරුණු සම්බන්ධ වගකීම සැපයුම්කරු වෙත විතැන් කිරීමට තිබුණි. නමුත් මෙකී ගනුදෙනුව තුළ සැපයුම්කරුගේ කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් කිසිදු අවධානයකින් තොරව මෙකී ගනුදෙනුවට සම්බන්ධ නිලධාරීන් නඩුව සමථයකින් අවසන් කිරීමට කටයුතු කර තිබූ බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

අවසානයේ චීන අශූචි පොහොර තොගයේ පිරිවැයෙන් සියයට 75ක් සඳහා නොසැපයූ පොහොර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.9කට සමාන රුපියල් මිලියන 1382ක අත්තිකාරම් මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දී තිබුණි. චීන අශූචි පොහොර ගනුදෙනුව නිසා රජයට වී ඇති පාඩුව රුපියල් මිලියන 1382කි. විගණනය මගින් කුමන නිර්දේශ ඉදිරිපත් කළද ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩාවට ලක්ව සිටින රට්ටුන්ට මෙකී පාඩුව දැරීමට සිදුවන බව සක්සුදක් සේ පැහැදිලිය. අනික් කාරණය වන්නේ සමථ කොන්දේසි අනුව අපේක්ෂිත සංයුතියෙන් හා ප්‍රමිතියෙන් යුතු පොහොර නැවත සැපයිය යුතු බවට කොන්දේසියක් අදාළ සමාගමට පනවා තිබුණි. එහෙත් මේ දක්වා ප්‍රමිතියෙන් යුත් පොහොර තොගයක් තියා පොහොර ඇටයක්වත් අදාළ සැපයුම්කාර සමාගම විසින් මෙරටට ලබා දී නොතිබුණි.එමෙන්ම අදාළ සමාගම විසින් ප්‍රමිතිගත පොහොර ලබානොදීම තුළ ඒ සඳහා ගෙවූ මුදල අයකර ගැනීමට හැකියාවක් නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. මේ නිසා පොහොර සඳහා ගෙවූ මුළු මුදලම රජයට සිදුවූ පාඩුවකි.

අත්තිකාරම් ගෙවීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට සිදුවී ඇති රුපියල් මිලියන 1382ක පාඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිවයුත්තන්ට එරෙහිව නඩු පවරා අයකරගතයුතු බවට ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශ කොට ඇත. විගණන කාර්යාලය මගින් ද මෙකී පොහොර ගනුදෙනුවේ පාඩුව නිලධාරීන් පිට පටවා ඇත. මේ සඳහා වගකිවයුතු බව කියන දේශපාලනඥයන් සියලු චෝදනාවලින් නිදහස්කොට ඇත්තේය.

එමෙන්ම අදාළ පොහොර සැපයුම්කාර සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන වන්දියක් ලබාගැනීමටත් මෙරට නීතිරීති ප්‍රකාරව ගිවිසුම්වලට අනුකූලව ක්‍රියා නොකළ උක්ත සැපයුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුළ අසාදු ලේඛනගත කිරීමටත් නිර්දේශ කර ඇත. මෙකී පොහොර ගනුදෙනුව නිසා ගණනය කර නොමැතිව ඇති පාඩුව අතිවිශාලය. මක්නිසාදයත් 2021/2020 මහ කන්නයේ දි වී වගාවට යෙදීම සඳහා සැලසුම් කළ කාබනික පොහොර මෙටි්‍රක්ටොන් 96000ක් නොයෙදීම නිසා අහිමි වූ අස්වැන්න නිසා ආර්ථිකයට වූ පාඩුව ගණනය කර නැත. ඒ විතරක් නොව, විනාශකාරී බැක්ටීරියා සහිත පොහොර තොගයක් රට තුළට ඇතුළු කිරීමට උත්සාහ කිරීම වෙනුවෙන් අපේක්ෂිත වන්දිය ගණනය කර නොමැති අතර, කාබනික පොහොර සැපයීම වෙනුවෙන් ඇතිකරගත්

ගිවිසුම මත රජයට අනාගතයේදී යම් වන්දියක් ගාස්තුවක් වියදමක් ගෙවීමට සිදුවුවහොත් එම පාඩුව පිළිබඳවද විගණනය මගින් අනාවරණය කොට ඇත. පොහොර නෞකාව සඳහා මුදල් ගෙවීමේදී අදාළ සුරක්ෂණයන් කල්ඉකුත්වීමට පෙර මුදල් කරගැනීම හෝ සුරක්ෂණයන්ගේ කාලය දිර්ඝකර ගැනීමට කටයුතු කර නොතිබුණි. මෙකී පොහොර සැපයුම්කාර සමාගම සමග ඇතිකරගෙන තිබූ සමථ කොන්දෙසි ප්‍රකාරව ණයවර ලිපියේ හා කාර්යසාධන බැඳුම්කරයේ කාලය දීර්ඝකර එය වලංගුව තබාගත යුතුව තිබුණි. එහෙත් 2022 වර්ෂයේ මාර්තු මස 12 වැනි දින ණයවර ලිපිය හා මාර්තු 24 වැනි දින කාර්යසාධන බැඳුම්කරය කල්ඉකුත් වී තිබුණි. එම නිසා ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකිවයුත්තන් සිය වගකීම් පැහැරහැර ඇති බවට විගණන වාර්තාවේ සඳහන් වේ.

විගණන වාර්තාවට අනුව චීන අශූචි පොහොර නෞකාවේ නියැදි ගෙන්වාගෙන රසායනාගාර පරීක්‍ෂාවන්ට ලක්කිරීමට පෙර තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් සැපයුම්කරුගෙන් පොහොර ගෙන්වීමට නිර්දේශ ලබා දී තිබූ බව එහි සඳහන් කොට ඇත. පොහොර ගෙන්වීම සඳහා 2021 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිද දින අනුමැතිය ලබා දී තිබුණි. ජාතික ශාක ආරක්ෂක පනතට හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියට අනුව ජීවානුහරණය කළ පොහොර සැපයීමට ඇති හැකියාව හා අපේක්ෂිත පොහොර පූර්ව සුදුසුකම් ලේඛන හා ලංසු ලේඛන සඳහන් ප්‍රමිතියෙන් යුක්ත වන්නේ ද යන්න නියැදි ගෙන්වා ගෙන රසායනාගාර පරීක්‍ෂණයන්ට ලක්කිරීමට පෙර තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් පොහොර ගෙන්වීමට නිර්දේශ කොට තිබුණි.

එමෙන්ම තාක්ෂණික ඇගයීමේ කමිටුවේ සභාපතිවරයා පමණක් එක් එක් ලංසුකරුගේ පූර්ව සුදුසුකම් පරීක්‍ෂාවට අදාළ ලියකියවිලිවලට අත්සන් තබා ඇති බැවින් අනිකුත් තාක්ෂණික ඇගයීම් කමිටු සාමාජිකයන් තාක්ෂණික ඇගයීම්වලට සහභාගි වී නොතිබුණු බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

අවසානයේ දී රසායනාගාර පරීක්‍ෂණවලදී දෙවතාවකදි අසමත්ව තිබූ විනාශකාරී බැක්ටීරියා සහිත නොසැපයූ චීන කාබනික පොහොර නෞකාව සඳහා වන්දි ගෙවීමට සිදුවූයේ රටේ ජනතාවටය. කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාද පවසන්නේ චීන පොහොර නැවට ගෙවනු ලැබූ ඩොලර් මිලියන 6.9 මුදල රටේ ජනතාවගෙන් අයකර ගැනීමට සිදුවී ඇති බවය.

● ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment