මාළු හොරු (02)

895

මෙයට පනස් අවුරුද්දකට පෙර ඉන්දියාවෙන් අපට තිබූ ලොකුම කරදරය කල්ලතෝනි උවදුර බවත් පනස් අවුරුද්දකට පසු ඉන්දියාවෙන්ම එන ලොකුම කරදරය තමිල්නාඩුවේ ධීවරයන් මෙහි පැමිණ මාළු හොරකම් කරගෙන යෑම බවත් අපි ඔබට ඊයේ මේ තීරුව ඔස්සේ පැහැදිලි කළෙමු. එකී මාළු හොරකම යනු තමිල්නාඩුවෙන් එන එකෙක් හෝ කිහිපදෙනෙක් පෑලියගොඩ මාළු මාර්කට් එකට පැන මාළු පෙට්ටි කිහිපයක් සොරාගෙන ඒවා තමිල්නාඩුවට ගෙන ගොස් විකිණීම නොවේ. තමිල්නාඩුවේ සිටින දෙමළ ධීවරයන් දහස් ගණනක් අපේ සාගර කලාපයට පැමිණ අපේ රටට අයත් මත්ස්‍ය සම්පත හොරෙන් බාගෙන යෑමය. මාළු හොරකම සහ කල්ලතෝනි උවදුර අතරවාරයේදී එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ට යුද පුහුණුව දී ඉන්දියාව අපට දුන් වධය ගැන මෙහිදී සාකච්ඡුා කරනු නොලැබේ. ඉන්දියානු මාළු හොරුන් ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද කල්හි ඔවුන් බේරා ගැනීම සඳහා තමිල්නාඩුවේ සිටි සියලූ මහ ඇමැතිවරු පසුගිය කාලයේදී සර්කස් පෙන්වූහ. සමහරවිට ඒ සර්කස්වල ප‍්‍රතිපලයක් වශයෙන් අපේ අත්අඩංගුවේ සිටි චෞර ඉන්දියානු ධීවරයෝ තමිල්නාඩුවට ආපසු භාරදෙන ලදහ. තමිල්නාඩු ප‍්‍රාන්තයේ දැනට සිටින මහ ඇමැති එම්. කේ. ස්ටාලින් කියන පරිදි ඉන්දියානු මාළු හොරුන් ලංකාවට පැමිණ මාළු හොරකම් කිරීමේ ප‍්‍රශ්නය විසඳීම සඳහා රාජ්‍යතාන්ත‍්‍රික මැදිහත්වීමක් අවශ්‍ය ය. මෙය හරිම විකාර කතාවකි. හොරෙක් ගෙයක් බිඳීමට ආ විට ඔහු සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන පොලිස් දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අමාත්‍යාංශය සාකච්ඡුා පවත්වන්නේ නැත. එසේම කසිප්පුකාරයෙක් කසිප්පු පෙරමින් සිටියදී හසු වූ කල ඔහු සම්බන්ධයෙන් ගත යුතු පියවර තීන්දු කිරීම සඳහා සුරාබදු කොමසාරිස් සහ පොලිස්පතිතුමා සාකච්ඡුා කරන්නේ ද නැත. තායිලන්ත මුහුදේ මාළු සොරකමේ යන එකාට දෙවරක් නොසිතා වෙඩි තබනු ලැබේ. ඇමරිකානු සාගර කලාපවල වෙන රටකින් පැමිණ චූන් එකට මාළු බෑවත් මහ මුහුදේ පීනන්නට සිදුවේ. මාළු හොරුන්ට වෙඩි තැබිය යුතු බවත් ඔවුන් මහ මුහුදට වීසි කළ යුතු බවත් අප යෝජනා කරන්නේ නැත. හොඳම වැඬේ එම්. කේ. ස්ටාලින් තමන්ගේ මාළු හොර කල්ලිය ලංකාව පැත්තට නොඑවීමය.

අවුරුදු 30 ක් තිස්සේ පැවති ජන වාර්ගික යුද්ධය තුළ උතුරු නැගෙනහිර සාගර කලාපවල මාළු ඇල්ලීමට සිංහල ධීවරයන් ගියේ නැත. එයට හේතුව සිංහල ධීවරයන් මෙන් වෙස් වලාගත් කොටි ත‍්‍රස්තවාදීන් කුඩා ප‍්‍රහාරක බෝට්ටුවල නැගී නාවික හමුදාවට පහරදීමය. මෙවැනි ව්‍යාකූල අවස්ථාවලදී හොරා කව්ද, හොරාගේ අම්මා කව්ද යනාදිය හඳුනාගැනීමට නොහැකිව නාවික හමුදාව හතර අතේ වෙඩි තබන්නට පටන් ගනී. මීට ඇති බිය නිසා යුද සමයේදී හැකි තරම් මහා සාගරයෙන් ඈත්ව සිටීමට සිංහල ධීවරයෝ පියවර ගත්හ. මේ නිසා රාත‍්‍රී හත ඉක්මවන විටම උතුරු නැගෙනහිර මුළු සාගරයම ඉන්දියානු මාළු හොරුන්ගෙන් පිරී යන්නට විය. ඔවුන් මාළු හොරකම් කළේ කොටි සංවිධානයේ ආරක්ෂාව යටතේය. තමන්ට දෙන ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියානු මාළු හොරු කොටි සංවිධානයට කප්පම් ගෙවූහ. යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකා මුහුද නාවික හමුදාව අතට පත්විය. මෙවිට තමිල්නාඩුවෙන් චෞර මාළු බෝට්ටු මෙහි පැමිණීම අඩුවිය. ඒ වන විට එක රැයකට ට්‍රෝලර් යාත‍්‍රා 100 ක් පමණ තමිල්නඩුවෙන් නික්මී මෙරට සාගර කලාපයට රිංගූහ. මේ ට්‍රෝලර් මගින් මසුන් මරන ලද්දේ Bottom
Trawling නමැති ක‍්‍රමයටය. මෙය ජාත්‍යන්තර සාගර නීති යටතේ 100% ක් තහනම් ය. මෙහිදී සිදුකෙරෙන්නේ සාගරයට අධි බලැති විදුලි පහන් එළි එල්ලකොට ට්‍රෝලරයේ ඇති විශාල ටර්බයින දෙකක් මුහුදු පත්ලට යවා මුහුද කැලතීමය. මෙවිට ආත භූත වන සියලූ ජලජ ජීවීහු එහෙ මෙහෙ පීනන්නට පටන් ගනිති. ඒ අතර ක‍්‍රමානුකූලව එළන ලද දැල් මගින් ඒ සතුන් බාගනු ලැබේ. සාගර පත්ල කැළඹීමේදී මත්ස්‍යයන්ගේ පාරම්පරික වාස භූමි විනාශයට පත්වෙයි.

එසේම කුඩා මාළු බෝට්ටු 2000 ක් පැමිණ ලබා ගන්නා මත්ස්‍ය අස්වැන්න ට්‍රෝලර් 10 ක් යෙදවීමෙන් ලබාගත හැකිය. ඉන්දියානු සාගරයට අදාළ බෙංගාල බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය ජෛව විවිධත්වය බහුල සාගර කලාප වෙත්. ඉන්දියාව මෙයට වසර කිහිපයකට පෙර ලංකාව සහ තමිල්නාඩුව අතර මුහුදු තීරයේ නැව් ගමනාගමනය පහසු කරවනු පිණිස සාගර පත්ල හාරා ගැඹුරු කිරීමට තීරණය කළේය. මෙය සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය ලෙස හඳුන්වන ලදී. මෙකී ව්‍යාපෘතියට අදාළ සාගර කලාපය මුහුදු ඌරන්ගෙන් බහුලය. මුහුදු ඌරා වඳ වෙමින් පවත්නා ජලජ ජීවියෙකි. සේතු සමුද්‍රම් යටතේ කැණීම් යාත‍්‍රා දෙකක් පැමිණ පළමුවන හෑරීම පටන්ගත් කල්හි මුහුදු ඌරන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා එකී කැණීම් යාත‍්‍රා පලවා හැරීම පිණිස ඉන්දියානු පාරිසරික සංවිධාන මහ මුහුදට පැන්නාහ. ටික දවසකට පසු සේතු සමුද්‍රම් නවත්වා දමන ලදී. හාරන ලද මුහුදු කොටස වෙනුවෙන් ඉන්දියානු රුපියල් බිලියන කිහිපයක් අපතේ ගොස් තිබිණ. මේ කොටස අප විසින් දක්වන ලද්දේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව ආශ‍්‍රිත මුහුදු තීරය තුළ තෝරුන් මෝරුන් සහ හාල් මැස්සන්ට අමතරව සුවිශේෂ ජෛව විවිධත්වයක් තිබෙන බව පෙන්වීම පිණිසය. රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවලට කුද ගසා ගන්නා ලෙස කියා බොටම් ට්‍රෝලින් යාත‍්‍රාවලට වෙඩි තබන ලෙස අපි නාවික හමුදාවෙන් ඉල්ලමු. ලංකාවේ ධීවර බෝට්ටුවක් වැරදිලාවත් ඉන්දියාවට පා වුණොත් එහි සිටින ධීවරයන්ට සිදුවන්නේ ගුටි කා මැරෙන්නටය. ඒ නිසා පෙර කී වෙඩි තැබීමේ යෝජනාව සහේතුක ය.

ඉන්දියානු මාළු හොරුන් නිසා අවුරුද්දකට රුපියල් බිලියන 5.3 ක මාළු තොගයක් ලංකාවට අහිමි වෙයි. ඉන්දියානු මාළු හොරුන් පිටුපස සිටින්නේ තමිල්නාඩුවේ දේශපාලනඥයන් ය. ධනවත් දෙමළ මාළු මුදලාලිලා විසින් එම දේශපාලනඥයන් නඩත්තු කරනු ලැබේ. එසේ නඩත්තුවට සල්ලි හොයා ගන්නේ ලංකාවේ මත්ස්‍ය සම්පත කොල්ලකෑමෙනි. ඒ නිසා එම්. කේ. ස්ටාලින් පෙන්වන සර්කස් එක ඔහුගේ පැත්තෙන් සාධාරණය. එහෙත් මේ සර්කස් එක පෙන්වන හැම විටකම තමිල්නාඩුවේ දෙමළ දේශපාලනඥයන්ගේ ඇඳිවත ගැලවී යන හෙයින් ඊළඟට දකින්නට ලැබෙන දර්ශනය ඉතාම පිළිකුල් සහගතය.

advertistmentadvertistment
advertistmentadvertistment