මාරියෝ වර්ගාස් ලෝසා
නොබෙල් සම්මානලාභී පේරු ජාතික ලේඛක මාරියෝ වර්ගාස් ලෝසා පසුගිය අප්‍රේල් 13 වැනිදා සිය දිවි සැරිය නිමා කළේය. මිය යන විට 89 හැවිරිදි වූ ලෝසා පිළිබඳව ශ්‍රී ලාංකේය පාඨකයන් හා විද්වතුන් අතර ප්‍රමාණවත් කතිකාවක් පැන නොනැගෙනා ලද්දේ ශ්‍රී ලාංකික පරිවර්තන සාහිත්‍යය තුළ ලෝසාගේ කෘති පරිවර්තනයට ලක් නොවීම හේතුවෙන් බව අපගේ අදහස ය. 2010 දි සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය ලෝසා වෙත පිරිනැමෙන අතර අපට ආගන්තුක වුවද ඔහු අග්‍රගණ්‍ය සාහිත්‍ය කෘති 30 කට අධික සංඛ්‍යාවක් සාහිත්‍ය ලෝකයට තිළිණ කොට ඇත්තේය.
ඔක්ටේවියෝ පාස්, ජූලියෝ කෝර්ටසාර්, ජෝර්ජ් ලුයිස් බෝර්ජස්, ගේබි්‍රයෙල් ගාර්ෂියා මාකේස්, කාලෝස් ෆුවෙන්ටස් සහ ඉසබෙල් ඇලෙන්ඩේ වැනි අනෙකුත් ප්‍රකට කතුවරුන් සමග වර්ගාස් ලෝසා ප්‍රධාන ලතින් ඇමරිකානු ලේඛකයෙකු ලෙස සැලකේ. The New Novel in Latin America (La Nueva Novela) නම් තම පොතේ, ලතින් ඇමරිකානු සාහිත්‍යයට වර්ගාස් ලෝසාගේ කෘති ඇති කළ ධනාත්මක බලපෑම පිළිබඳ ගැඹුරු සාහිත්‍ය විවේචනයක් කාලෝස් ෆුවෙන්ටස් ඉදිරිපත් කරයි. සාහිත්‍ය විචාරක ජෙරල්ඩ් මාටින්ට අනුව, “පසුගිය විසිපස් වසර තුළ වඩාත්ම සාර්ථක… නිසැකවම වඩාත්ම මතභේදාත්මක ලතින් ඇමරිකානු නවකතාකරුවා වන්නේ වර්ගාස් ලෝසා”ය.
ලෝසාගේ පළමු නවකතාව වන්නේ 1963 දී ඔහු පළ කළ The Time of Hero ය. 1965 දී, වර්ගාස් ලෝසා ඔහුගේ දෙවන නවකතාව වන The Green House තුළින් ගණිකා නිවාසයක් සහ එහි පැවැත්ම චරිතවල ජීවිතවලට බලපාන ආකාරය ගැන කතා කරයි. ලතින් ඇමරිකානු ආඛ්‍යානයේ වැදගත් හඬක් ලෙස වර්ගාස් ලෝසා තහවුරු කරමින් මෙම නවකතාව ප්‍රශංසාවට ලක් විය. ප්‍රවීණ උරුගුවේ ලේඛක ජුවාන් කාලෝස් ඔනෙට්ටි සහ ගේබි්‍රයෙල් ගාර්ෂියා මාර්කේස්ගේ කෘති සමග තරග කරමින් 1967 දී ඔයැ The Green House රොමුලෝ ගැලෙගෝස් ජාත්‍යන්තර සාහිත්‍ය උළෙලේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනා ගත්තේය. මෙම නවකතාව පමණක් කතුවරයා ලතින් ඇමරිකානු සාහිත්‍ය ලෝකයේ ප්‍රමුඛ ලේඛකයන් අතර තැබීමට තරම් ප්‍රමාණවත් සම්මාන රැස් කළේය. සමහර විචාරකයින් තවමත් The Green House වර්ගාස් ලෝසාගේ හොඳම හා වැදගත්ම ජයග්‍රහණය ලෙස සලකති. ලතින් ඇමරිකානු සාහිත්‍ය විචාරක ජෙරල්ඩ් මාටින් සඳහන් කරන්නේ ද ග්‍රීන් හවුස් ලතින් ඇමරිකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම නවකතාවලින් එකක් බවයි.
තම සාහිත්‍ය ජීවිතයට බෙහෙවින් බලපෑම් කළ කෘතිය වන්නේ ප්‍රංශ මහා ලේඛක ගුස්තාව් ෆ්ලෝබර්ට්ගේ මැඩම් බෝවාරි නවකතාව බව ලෝසා බොහෝ අවස්ථාවල පැවසීය. තමා නිරන්තරව මැඩම් බෝවාරි කෘතිය පරිශීලනය කරන බව හා එය කියවන සෑම අවස්ථාවකම එය යළි යළි අලුත් වන බව පවසන ලෝසා තම මුල් නවකතාව වූ The Green House ලියන්නේ ඉන් ලද පන්නරය නිසාවෙන් බව ද කියයි. ඊට කෘතගුණ පිණිස ෆ්ලෝබර්ට්ගේ සාහිත්‍ය භාවිතාව හා නිර්මාණකරණය පිළිබඳව විශේෂයෙන් මැඩම් බෝවාරි පිළිබඳව අගනා විචාර කෘතියක් ඔහු 1975 වසරේදී ලියා පළ කළේය. ඒ The Perpetual Orgy නම් කෘතියයි. මෙම කෘතිය ලේඛකයනට අගනා අත්වැලක් බව විචාරක මතය යි. ඔහු 1986 දි පළ කළ Aunt Julia and the Script Writer ඔහුගේ ස්වයංලිඛිත චරිතාපදානය ලෙස සැලකෙයි.
බොහෝ ලතින් ඇමරිකානු බුද්ධිමතුන් මෙන්, වර්ගාස් ලෝසා ද මුලින් ෆිදෙල් කැස්ත්‍රෝගේ කියුබානු විප්ලවවාදී රජයේ ආධාරකරුවකු විය. ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු ලෙස මාක්ස්වාදය ගැඹුරින් හැදෑරූ අතර පසුව කියුබානු විප්ලවයේ සාර්ථකත්වයෙන් පසු කොමියුනිස්ට් ප්‍රතිපත්ති කෙරෙහි නැඹුරුවක් දැක්වීය. එහෙත් පසුව වර්ගාස් ලෝසා විශ්වාස කළේ ඔහු නිදහස ලෙස සැලකූ දේ සමග සමාජවාදය ගැටෙන බවයි. ලෝසා සහ කියුබානු රජයේ ප්‍රතිපත්ති අතර නිල බිඳවැටීම සිදු වූයේ 1971 දී කැස්ත්‍රෝ පාලනය විසින් හෙබර්ටෝ පැඩිල්ලා කවියා මාසයක් සිරගත කළ සිද්ධිය සමගිනි. එකල සිටි අනෙකුත් බුද්ධිමතුන් සමග වර්ගාස් ලෝසා කියුබානු පාලන ක්‍රමයට සහ කවියා සිරගත කිරීමට විරෝධය පළ කරමින් කැස්ත්‍රෝට ලිවීය. ඉන් පසුව වර්ගාස් ලෝසා අන්ත වාමාංශික දේශපාලන මතවාදයන්ට වඩා නව ලිබරල්වාදය සමග තමාට එකඟ විය හැකි බව වටහා ගත්තේය. ඔහු තම වාමාංශිකත්ව අදහස් අත්හැරීමෙන් පසු, අන්ත වාමාංශික සහ අන්ත දක්ෂිණාංශික යන ඒකාධිපති පාලන තන්ත්‍ර දෙකටම විරුද්ධව අදහස් පළ කළේය.
පහත පළවන්නේ 2014 දී ලෝසා, ස්ටොක්හෝම් හි නොබෙල් කෞතුකාගාරය වෙත පැමිණි අවස්ථාවේ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකි.
ලේඛකයකු ලෙස ඔබට වඩාත්ම ආශ්වාදයක් ලබා දුන්නේ කවුරුන්ද?
මට ඇත්ත වශයෙන්ම ශ්‍රේෂ්ඨ ලේඛකයින්ගේ ආභාෂය තිබුණා. ඒ අතරින් මට ඉතා වැදගත් වූයේ ගුස්තාව් ෆ්ලෝබර්ට් ලේඛකයායි. උපතේ සිටම දක්ෂයින් ලෙස පෙනුණු සියලුම ලේඛකයින් මෙන් නොව, ෆ්ලෝබර්ට් තම විශිෂ්ට කෘති සඳහා බොහෝ කැප කිරීම් කළ ලේඛකයෙක්. එබැවින් ඔහුගේ දක්ෂතාව යනු නොපසුබට උත්සාහය, විනය, හොඳ ලේඛකයකු වීමේ කැමැත්ත යන සියල්ලේ ප්‍රතිඵලයක්. ෆ්ලෝබර්ට්ගේ පළමු නවකතාව වන මැඩම් බෝවරි කියවූ දා සිට මම ඔහුට ආදරෙයි, මම ඔහුගේ ජීවිතය ගැන බොහෝ දේ කියවා තිබෙනවා, ආරම්භයේදි ඔහු කිසිසේත් දක්ෂයෙකු නොවන බව මම සොයා ගත්තා. ඔහුගේ දක්ෂතාවය, විනය සහ ඉතා වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ලබා ගත් දෙයක්. ඉතින් ඒක මගේ ලිවීම සඳහා ප්‍රබල උත්තේජනයක් ලබා දුන්නා. එය ඉතා වැදගත් කියලා මම හිතන්නේ. මම කිසිසේත් දක්ෂයෙක් නොවන බව මට හැඟුණා. එහෙත් හොඳ ලේඛකයෙක් වීමට මට අවශ්‍ය වුණා. ඒ සඳහා ෆ්ලෝබර්ට් මට මහත් ආශ්වාදයක් වුණා. මන්ද, ඔහු තම දක්ෂතාවෙන්, ඉතා වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන්, ඔහුගේ වෘත්තිය සමග ඉතා ගැඹුරු කැපවීමකින්, ඔහුට සාක්ෂාත් කර
ගැනීමට අවශ්‍ය දේ ගොඩනඟා ගත් ලේඛකයෙක්. ඔහුගේ පොත්වල සුන්දරත්වය සහ පොහොසත්කම පමණක් නොව, ඔහු උපතින්ම දක්ෂයකු නොවූවත්, උත්සාහය, කැපවීම, නොපසුබට උත්සාහය, විනය තුළින් ඔහුගේම ප්‍රතිභාවක් ගොඩනඟා ගැනීමට සමත් වූ ලේඛකයෙක්.
ඔබේ ලේඛන කටයුතුවලදී ඔබේ මූලාරම්භය කෙතරම් වැදගත් වුණාද?
මම ඉපදුනේ පේරුවල. නමුත්, මම මගේ මුල් අවුරුදු දහය ගත කරන්නේ පේරුවල නෙවෙයි, බොලිවියාවේ. ඊට පස්සේ අපි පේරුවලට ආපහු ආවම, මම පියුරාවල, ලීමාවල ජීවත් වුණා, ඊට පස්සේ ස්පාඤ්ඤයේ, ප්‍රංශයේ, එංගලන්තයේ, එක්සත් ජනපදයේ ජීවත් වුණා, මම හැමතැනම ගමන් කළා. මගේ මතකය ආරක්ෂා කරගෙන තියෙන මුල් රූප පේරුවලට සම්බන්ධ නිසා මගේ පේරු මූලයන් මට ඉතා වැදගත් කියලා මම හිතනවා. මම කතා කරන ස්පාඤ්ඤ භාෂාව, පේරු ස්පාඤ්ඤ භාෂාවයි. එය ඇත්ත වශයෙන්ම ස්පාඤ්ඤ භාෂාවේ කොටසක්. මේ අර්ථයෙන්, මම පේරු ලේඛකයෙක් කියලා මට කියන්න පුළුවන්. නමුත් මම ජාතිකවාදී නැහැ. මම සියලු ආකාරයේ ජාතිකවාදයේ ප්‍රකාශිත සතුරෙක්. ඉතින්, මට පේරුවල ඉපදීම, ප්‍රංශයේ අවුරුදු ගණනාවක් ගත කිරීම හා එංගලන්තයේ අවුරුදු ගණනාවක් ගත කිරීම තරම්ම වැදගත් කියලා මම හිතනවා. මම ජීවත් වූ සෑම ස්ථානයක්ම මා වැනි ලේඛකයෙකු බිහි කිරීමට හේතුවක් බව මම විශ්වාස කරනවා.
ඔබ කරන සෑම දෙයක්ම ඔබේ පෞරුෂය ගොඩනැගීමට, ඔබේ සංවේදීතාව ගොඩනැගීමට දායක වන දෙයක්. ජාතිකවාදී දැක්ම, ගැටලු තේරුම් ගැනීමට, ජීවිතය තේරුම් ගැනීමට ඔබව සීමිත අවකාශයක තබන දෙයක්. ඉතින්, මේ අර්ථයෙන් මම ලෝක පුරවැසියකු ලෙස මට සිතෙනවා. මෙම ආකල්පය ඇති කර ගැනීමට සාහිත්‍යය මට බෙහෙවින් උපකාර කර ඇති බවයි මම හිතන්නේ. මම ඇත්ත වශයෙන්ම පේරුට අයත් වෙමි. නමුත් මම ලතින් ඇමරිකාවට අයත් වෙමි. එසේම මම ස්පාඤ්ඤ භාෂාව කතා කරන ලෝකයට අයත් වෙමි. එනම්, එයින් සම්ප්‍රදායන් රාශියක් අදහස් කරන අතර ඒ සමගම මම ප්‍රංශ සංස්කෘතියට හෝ ඉංග්‍රීසි සංස්කෘතියට, මගේ කාලයේ සංස්කෘතියට බොහෝ සෙයින් ණයගැතියි යන හැඟීම මට තිබෙනවා. ඒ වගේම මම ඇත්තටම කැමතියි, හැම තැනින්ම ආපු මිනිස්සු හැම තැනටම අයිතියි කියලා හිතන සංස්කෘතිය හරහා මේ වගේ ඉලක්කයන් සපුරා ගන්න ලෝකයක් බිහි වෙනවා නම්. සංස්කෘතිය කියන්නේ ඔබට තියෙන භූගෝලීය, සංස්කෘතික හෝ ආගමික සීමාවන් ජය ගැනීමට තිබෙන සහ අනෙක් සංස්කෘතීන්වල, වෙනත් සම්ප්‍රදායන්වල, වෙනත් රටවල යහපත්, වැදගත්, ලස්සන සෑම දෙයකටම සහභාගි වීමට ඇති ශ්‍රේෂ්ඨ මෙවලමයි.
ඔබේ ළමා කාලයේ සිහින මොනවාද?
ඒ කාලේ මට තිබුණේ සම්පූර්ණ කළ නොහැකි සිහිනයක්, ලේඛකයෙක් වෙන්න ඕනෑ කියන එක. මොකද මම කියවන්න ගොඩක් ආස නිසා. කතන්දර කියන්න, කතන්දර නිර්මාණය කරන්න, ජීවිතය සංකේන්ද්‍රණය කරගත්තොත් ඒක හරිම අපූරු දෙයක් කියලා මට හිතුනා. නමුත් ඒක කළ නොහැකි දෙයක් වගේ පෙනුනා, මොකද ඒ කාලේ වෘත්තීය ලේඛකයෝ විතරක් හිටපු ලතින් ඇමරිකානුවන් ගොඩක් හිටියේ නැහැ. මම දැනගෙන හිටපු ලේඛකයෝ නිවාඩු දවස්වලට හෝ සති අන්තවලට පමණක් ලේඛකයෝ. ඔවුන් වෘත්තිකයන්, නීතිඥයන්, විවිධ වෘත්තීන්ට සම්පූර්ණයෙන්ම කැප වුණු රාජ්‍ය තාන්ත්‍රිකයින්. ඔවුන් සාහිත්‍යයෙහි යෙදුණේ විනෝදාංශයක් විදිහට. ඉතින්, ඒ කාලේ මගේ සිහිනය වුණේ ලේඛකයෙක් වෙන එක. නමුත් ඒක කළ නොහැකි දෙයක් විදිහට පෙනුනා. ඊට පස්සේ මට තේරුණා ලෝකයේ එක නගරයක් තියෙනවා කියලා, ලේඛකයෙක් වෙන්න පුළුවන්. ඒ පැරිස්. මම පොඩි කාලේ ඉඳන්ම, පැරීසියට යන්න ඕන කියන අදහස මට තිබුණා. මොකද පැරීසියට විතරයි මාව ලේඛකයෙක් කරන්න පුළුවන් වුණේ.
අවසාන වශයෙන්, පැරීසියේදී මට ලේඛකයකු වීමට පමණක් නොව, ලිවීමට සහ කියවීමට කාලය ලබා දෙන රැකියා ලබා ගැනීමට පුළුවන් වුණා. ඉතින් මම වෘත්තීය ලේඛකයකු බවට පත් වූයේ පැරීසියේදී. මම පැරීසියේ වසර හතක් මාධ්‍යවේදියකු ලෙස සේවය කළා. මම ඉතා වාසනාවන්ත වූයේ මම ඉතා කුඩා කාලයේ සිටම ආශා කළ දෙය වූ පොත් ලිවීම, නවකතා ලිවීම, කෙටිකතා ලිවීම, නාට්‍ය ලිවීම ආදි ලෝකයේ වඩාත්ම සුන්දර වෘත්තියෙහි යෙදිමට මට අවස්ථාව ලැබුණු නිසා. මම මගේ පළමු නවකතාව, මගේ දෙවන නවකතාව පැරීසියේදී අවසන් කළ අතර, මම පැරීසියේ සිට ලන්ඩනයට යන විට මගේ තුන්වන නවකතාව ලියමින් සිටියා. මම ඇත්තටම පැරීසියේදී, ලන්ඩනයේදී, යුරෝපයේදී සැබෑ ලේඛකයකු බවට පත් වූ බව මට පැවසිය හැකියි.
අද ලෝකයේ සාහිත්‍යයට යම් කාර්යභාරයක් තිබේ යැයි ඔබ සිතනවාද?
සාහිත්‍යය කියන්නේ ඇත්ත වශයෙන්ම ඔබට අතිමහත් සතුටක් ලබා දෙන දෙයක්. එය අත්‍යවශ්‍යයි. හොඳ සාහිත්‍යය යනු ඔබේ සංවේදීතාව, ඔබේ පරිකල්පනය බෙහෙවින් පොහොසත් කරන දෙයක් කියලයි මම හිතන්නේ. හොඳ සාහිත්‍යය, ශ්‍රේෂ්ඨ සාහිත්‍යය පාඨකයින් තුළ ලෝකය කෙරෙහි විවේචනාත්මක ආකල්පයක් වර්ධනය කරන දෙයක්. ඩොන් ක්විජෝට්ගේ, වික්ටර් හියුගෝගේ, යුද්ධයේ සහ සාමයේ සුන්දරත්වය, පොහොසත්කම අත්විඳීමෙන් පසු ඔබ සැබෑ ජීවිතයට නැවත පැමිණෙන විට, ලෝකයේ අසාධාරණ හෝ ම්ලේච්ඡ වැරදි සියල්ලට හා සැබෑ ජීවිතයේ ඔබේ අඩුපාඩුවලට ඔබ වඩාත් සංවේදී වේයැයි මම සිතනවා. ඉතින්, දේවල් වෙනස් කිරීමට, සමාජය වැඩිදියුණු කිරීමට සහ සැබෑ ලෝකයේ අඩුපාඩු නිවැරදි කිරීමට අත්‍යවශ්‍ය යැයි මා සිතන ලෝකය කෙරෙහි මෙම විවේචනාත්මක ආකල්පය, ඔබ හොඳ සාහිත්‍යයෙන් සංතෘප්ත වී ඇත්නම් ඔබ ඒ කෙරෙහි වඩාත් දැනුවත් බව ඔබට සිතේවි. එය, හොඳ සාහිත්‍යයක සමාජීය, දේශපාලනික සහ සදාචාරාත්මක බලපෑම්වලින් එකක් යැයි මම සිතනවා. ජීවිතයේ වැරදි දේ කුමක්දැයි ඔබ හොඳින් තේරුම් ගන්නවා. පවතින ජීවිතය කිසි විටෙකත් ඔබේ රුචි අරුචිකම්, ආශාවන්, සිහින ඉටු කර ගැනීමට සුදුසු නොවන බව ඔබ සොයා ගන්නවා. මම හිතන්නේ මෙය සමාජ ප්‍රගතියට අත්‍යවශ්‍ය අංගයක්. මොකද දේවල් වැරදි බවත්, සමාජයේ අපේක්ෂාවන් ඉටු කිරීමට දේවල් ප්‍රමාණවත් නොවන බවත් දන්නා පුරවැසියන් ඔබ සතුව නොමැති නම්, දේවල් වෙනස් කිරීමට, වැරදි දේ ප්‍රතිසංස්කරණය කිරීමට ඔබ බලමුළු ගැන්වී නොමැති අතර මේ අර්ථයෙන් ගත් කල යහපත් සාහිත්‍යය, විශේෂයෙන් සහ පොදුවේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය යනු කුමක්ද, ප්‍රගතිය කුමක්ද යන්න සම්බන්ධයෙන් මූලික කාර්යභාරයක් ඉටු කරන බව මම සිතනවා.
ඉතින්, සාහිත්‍යය සතුටක් යැයි මම සිතනවා. එය ජීවිතය ඉදිරියට යෑමට අවශ්‍ය ඉතා වැදගත් මෙවලමක්. ඒ නිසා තමයි සියලුම ඒකාධිපතියන් සැමවිටම සාහිත්‍යය පාලනය කිරීම හෝ මැඬලීම සඳහා උත්සාහ කර ඇත්තේ. සාහිත්‍යය තුළ ඔවුන්ට සතුරකු සිටින බව ඔවුන් දැන සිටිනවා.
ඔබට නොබෙල් ත්‍යාගය ලබා දීම සඳහා ස්වීඩන් ඇකඩමියේ කාර්යභාරය ගැන ඔබ සිතන්නේ කුමක්ද?
මගේ කෘතීන්හි ප්‍රධාන අවධානය යොමු වූ දෙයක් වන්නේ බලය බව මම සිතනවා. එසේ වූයේ දේශපාලනිකව පමණක් නොව, සමාජීය හා ආර්ථික අතින්ද, බොහෝ විට බලය යනු කෲරත්වයට සමාන පදයක් වූ රටක සහ කලාපයක මම උපත ලැබූ නිසා විය හැකියි. ලතින් ඇමරිකාවේ ජීවත් වූ අපට බොහෝ ආකාරයේ ඒකාධිපතිත්වයක් අත්දකින්නට සිදු වුණා. වාසනාවකට මෙන්, දේවල් වෙනස් වෙමින් පවතිනවා. ඉතින්, මෙය මගේ කෘතිවල නිරන්තරයෙන් මතුවන තේමාවක් හෝ විෂයයක් වන අතර, බලහත්කාරයෙන් කෲර ලෙස හැසිරීමට සහ ක්‍රියා කිරීමට හේතු වන මෙවැනි පරිසරයක් තිබියදීත්, ඊට විරුද්ධ වීමට, සටන් කිරීමට සහ මෙය මෙසේ නොවන බව පෙන්වීමට හැකි පුද්ගලයින් කෙරෙහි මගේ කතාවල සැමවිටම මහත් ගෞරවයක් සහ ප්‍රශංසාවක් හිමි කර දි ඇති බව මම සිතනවා. මේ වගේ අය මගේ කතාවල වීරයන් කියලා මම හිතනවා. ඉතින් ස්වීඩන් ඇකඩමිය මට නොබෙල් ත්‍යාගය ලබා දුන්නේ ඇයි කියන එක මේ විස්තරයේ අඩු වැඩි වශයෙන් අඩංගු වෙලා තියෙනවා කියලා මම හිතනවා.
ලේඛකයන් ලෙස ඉදිරියට යෑමට කැමති අයට ඔබට කීමට ඇත්තේ කුමක්ද?
ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරන්න. ඔබ කරන දේ රස විඳින්න. ඔබ මෙවැනි හැඟීමකින් වැඩ කරන්නේ නම්, ඔබ ලියන දේ හොඳ සාහිත්‍යයක් වීමට, ඔබ ලේඛකයකු ලෙස සාර්ථක වීමට බොහෝ දුරට ඉඩ ඇති බව මම සිතනවා. එය ඉතා විශේෂ ආකාරයේ රැකියාවක් වන අතර, එම රැකියාව පුහුණු කිරීමට ඔබ දැනටමත් කරන උත්සාහයන්ට අපූරු ආකාරයේ විපාකයන් ඔබ දැනටමත් ලබා ගනිමින් සිටිප බව ඔබට වැටහේවි. ඔබ, ඔබ ගැන අවබෝධ කර ගන්නා දෙයක් කරමින් සිටින අතර, ඔබේම පෞරුෂයේ ඉතා වැදගත් අවශ්‍යතාවක් වූ දෙයක් ඔබම සාක්ෂාත් කරගන්නා බව ඔබට දැනේවි. තරුණ ලේඛකයකුට මගේ උපදෙස එය යි. ඔබ කරන දේ භුක්ති විඳින්න. ඔබ ගැන ඉතා බැරෑරුම් ස්වයං විවේචනයක් කරන්න සහ සැමවිටම ඔබ කරන දෙයින් සෑහීමකට පත්වීමට හැකි දේවල් කරන්න.
නිමල් ෆ්‍රැන්සිස්