සිංහල මැණිකේට එරෙහි ඩයස්පෝරාවේ කුහකත්වය

55106

ඔබ පර්වතයක් යට ගල් ගුහාවක ජීවත් නොවන්නේ නම් අනිවාර්යයෙන්ම ශ‍්‍රී ලාංකීය ගායිකා යොහානි විසින් ගයන ‘‘මැණිකේ මගේ හිතේ” නම් වූ සිංහල ගීතය ගැන අනිවාර්යයෙන්ම අසා ඇත. මේ ගීය ලොව පුරා ජනතාවගේ හදවත් දිනාගෙන තිබේ. මේ වන විට එම ගායිකාව හයිද්‍රාබාද්හි ප‍්‍රසංගයක් සඳහා පැමිණ ඇති අතර ඇති අතර, එක් රැයකින් තරුවක් වීම, ඇගේ ඉදිරියට එන ව්‍යාපෘති, ප‍්‍රියතම බොලිවුඞ් නළුවන් සහ තවත් බොහෝ දේ ගැන ඇයගේ හැඟීම ගැන සාකච්ඡා කිරීමට අපි ඇය සොයා ගියෙමු.

ඉහත කතාව අපේ සටහනක් නොවේ. සිංහල ගායිකා යොහානි සමග සාකච්ඡාවක යෙදුනු තෙලන්ගානා ටුඬේ පුවත්පතේ ස්වේතා වොට්සන් ලියූ ලිපියේ ආරම්භ කොටසේ පරිවර්තනයකි. Singer Yohani is living an adventurous life මැයෙන් වූ එම ලිපියේ මේ 28 හැවිරිදි ගායිකාව ඉදිරියේ ලන්ඩනය ඩුබායි, ඕමානය හා මාලදිවයිනේ ප‍්‍රසංග පවත්වන බවත් සඳහන් කර තිබිණි. එසේම තමා හමුවීමට පැමිණි රසිකයකු කළ ඉල්ලීමක් ඇය මෙසේ හෙළිකර තිබිණි. ”හදිසියේම එක් අයෙක් මා වෙත දුවගෙන ඇවිත් නොමැකෙන ලෙස ස්ථීර සලකුණකින් ඔහුගේ දුරකථනයට අත්සන් කරන්නැයි කිව්වා. එයින් මම කම්පනයට පත් වුණා. එය කළ යුතුද නැද්ද යන්න ගැන ඔහුගෙන් දෙවරක් ඇහුවා ඇත්තටම මාව ඉදිරියට යන්නේ මෙවැනි රසිකයන්ගේ ආදරය තුළින් තමයි”. එයින්ම අපට යොහානි ඉන්දීය පේ‍්‍රක්ෂකයන් කොතරම් උමතුවකට පත්කර ඇත්දැයි යන්න පැහැදිලිය. හයිද්‍රාබාද් නුවරට පැමිණීමට පෙර ඇය වියොන් රූපවාහිනිය හා සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවාය. එහිදී සිංහල ගීතයක් ශී‍්‍ර ලංකාවේ සීමාවන් ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ලෙසත් තම ගීතය සඳහා ලැබුණු ප‍්‍රතිචාරය නිහතමානීව පිළිගන්නා බවත් මෙය රටක් වශයෙන් ආඩම්බර විය හැකි අවස්ථාවක් බවත් සඳහන් කළාය. වියොන් රූපවාහිනි සැමවිටම ප‍්‍රචාරය කරන්නේ ලංකාව චීන ණය උගුලක සිරවීම ගැන මිස රට ගැන යහපත් කරුණු නම් නොවේ. වියොන් රූපවාහිනිය ලංකාවේ කලාකාරියක් සමග පිළිසඳරක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර එන්ඞීටීවී රූපවාහිනිය යොහානිගේ සාකච්ඡාව ප‍්‍රචාරය කළ පසු පසු මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබිණි. ඉන්දියාව ලාංකිකයන්ව විශේෂයෙන් සිංහලයින්ව එතරම් උඩ දමන්නේ නැත. රාජපක්ෂ ආණ්ඩුවට අකැමැති වන්නේ බහුතර සිංහල ඡන්දයෙන් පත්වූ නිසාය. එය වෙනම කතාවකි. එදා ජයසූරිය ඉන්දියාවට එරෙහිව හොඳින්ම ක‍්‍රිකට් බෝලයට තැලූ නිසා ඔහු එරට තාරකාවක් විය.

සිංහල මැණිකේට එරෙහි ඩයස්පෝරාවේ කුහකත්වය

දැන් යොහානි ඉන්දියාවම වසඟ කර ඇති නිසා ඇය පසුපස ඉන්දීය නාලිකා හඹා එයි.සිංහල හඬටලෝකයේම අගයක් ලැබීම සුවිශේෂය. එසේම ඉන්දියාව අතික‍්‍රමණය කිරීම ලෙහෙසි වැඩක් නොවේ. ඔවුන් එයට ඉඩ දෙන්නේද නැත. නමුත් දැන් ඒ කතාව යොහානි වෙනස් කර ඇත. විශේෂයෙන්ම හින්දි භාෂාව ප‍්‍රධාන බස නොවන ප‍්‍රාන්තවල මෙම සිංහල ගීතයට සුවිශේෂ තැනක් ලැබී ඇත. එය බෙන්ගාලයේදී මෙන්ම ඔරිස්සාවේදී හොඳින් දැකිය හැකිවිය. එසේම දකුණු ඉන්දීය ප‍්‍රාන්ත වලද එසේමය. හයිද්‍රාබාද් නුවර ලේ මෙරිඩන් හෝටලයේදී හින්දු පුවත්පතේ දිව්‍යා කළා භාවනි සමග පැවැත්වූ සාකච්ඡවේදී යොහානි පවසා තිබුණේ කුමක්ද? සිංහල ගීතයක් අතිශය ජනප‍්‍රිය වීම හරහා ලෝවැසියන්ට සිංහල භාෂාව නමින් භාෂාවක් පවතින බව දැන්වීමට හැකිවීම ගැන බෙහෙවින් සතුටුවන බවය. මෙය සැබවින්ම පැසසිය යුතු කතාවකි. එය හින්දු පුවත්පතටම ප‍්‍රකාශ කර තිබීම චෙන්නායි වැසියන්ටද හොඳ පණිවුඩයකි. ඔවුන් සිංහල ගැන අසා ඇත. නමුත් කියන කතාව හොඳය. එසේම කුනාල් දේශ්මුක් ගේ ශිදත් චිත‍්‍රපටයේ ඇය ගයන ගීය හරහා යොහානි බොලිවුඞ් වෙත පිවිස තිබේ. මේ ගැන ඇය හින්දු පුවත් පතට මෙසේ කියා තිබුණාය. ‘‘මට එය පස් වතාවක් පමණ පටිගත කිරීමට සිදු වුණා මොකද මගේ හින්දි උච්චාරණය නිසි පරිදි නොවීම නිසා මම වැරදි වචන කිව්වේ හින්දි අර්ථය නොදන්නා නිසයි. ඒ නිසා මට වාඩිවෙලා එක් එක් වචනය බලලා එහි අර්ථය හොයන්න වුණා, උච්චාරණය කිරීමේදී තවමත් ගැටලූ කිහිපයක් තියනවා. නමුත් හින්දි භාෂාව ගැන වඩාත් දැනුවත් වන විට මට හින්දි බසින් වඩාත් හොඳින් ගායනා කරන්න පුළුවන් වෙයි.. ”

හින්දු පුවත්පතේ කතාවෙන් පසු ඩයස්පෝරා කතාවට පිවිසිය හැක. මන්ද කොටි හිතවාදී බලවේග මේ සිංහල ගායිකාව ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා මහතාගේ දියණිය වීම නිසා කලබල වී ඇත. යුද විරුවාගේ දියණිය ඉන්දියාව කැළඹීම උග‍්‍ර කොටි හිතවාදීන් ප‍්‍රශ්නයක් වී ඇති සෙයකි. මේ ගැන ඔවුන් පළ කර ඇති ට්විටර් පණිවුඩ මගින් හෙළිව තිබේ. එක පණිවුඩයක දැක්වෙන්නේ දෙමළ ඊළාම් ප‍්‍රජාව යොහානිට වසඟ නොවිය යුතු බවයි. ඒ ඇගේ පියා නිසාය. 2009 මැයි මාසයේ උතුරේ සටන් බිමේ මෙහෙයුම් කළ හමුදා නායකයන්ගේ ඡායාරූප පවා දමමින් ට්විටර් හරහා මැණිකේ විරෝධය ඉස්මතු කරන බව පෙනේ. එහෙත් තමිල්නාඩුවත් යොහානිට වසඟ වී ඇති සමයක මොවුන්ගේ ප‍්‍රචාර හරහා විශේෂ වෙනසක් නම් බලාපොරොත්තු විය නොහැක. ඇය මැණිකේ දෙමළ ගීතයක්ද එලි දක්වා ඇත. එය බෙහෙවින් ජනප‍්‍රිය වී තිබේ. මේ කොටි නැගිටින්නේ කොහේ සිටද? ගායිකාවට එරෙහි වීමෙන් සිදුවන්නේ මොවුන්ද අතුගෑවී යෑමය. වර්තමානයේ ප‍්‍රභාකරන් ජීවත්ව සිටියානම් ඔහුද මේ ගීය හොඳින් අසනු ඇත. නමුත් මේ ලංකාව ගිනිතබන්නට සූදානම් ඩයස්පෝරා කොටින්ට මැණිකේ වහකදුරු වී තිබේ. ඇය චෙන්නායි නුවර ප‍්‍රසංගයක් පැවැත්වුවහොත් දහස් ගණන් දෙමළ තරුණ තරුණියන් මේ සඳහා රොක්වන බවනම් සහතිකය. සංගීතය සමග යුද්ධ කළ නොහැකිය. මැණිකේ මගේ හීතේ ගීතය හරහා ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයේ දිගු මාවතක් විවර කරන බව පැහැදිලිව සටහන් කළ යුතුය. මෙය නව ප‍්‍රපංචයකි. සිංහල ගීතයකින් මෙය කරන්නට හැකිවේ යැයි සිහිනෙන් හෝ සිතුවේද? මීට පෙර කිසිදිනක මේවා ගැන කතා කරන්නට අපට අවස්ථාවක් ලැබුණේ නැත. නමුත් 28 හැවිරිදි කුඩා තරුණිය ඒ අවස්ථාව ලංකාවටම උදා කරදී තිබේ. මේ හරහා සතුරන් මිතුරන් කර ගැනීමටත් හැකිය. මේ ගීතය හරහා ඇතිවන සංස්කෘතික රාජ්‍ය තාන්ත‍්‍රික මෙහෙවර මගින් ලෝකයේ එහා කෙලවරට ගොස් දේශපාලන හා සංස්කෘතික දේශසීමා විනිවිද යා හැක. එය නොදැනීම සිදුවේ. ඉන්දියාව මෙය ඉතා හොඳින් සිදු කරයි. යෝග ප‍්‍රචාරය හරහා ද සිදුවන්නේ මෙයයි. එය සමහරුනට අවබෝධයක් නැත. ඔවුන් සිතන්නේ ඇඟ බඩ අඩුකර ගැනීම ගැන පමණි.

ග‍්‍රැමෆෝන් යුගයේදී අනුකාරක මාවත ඔස්සේ ගමන ආරම්භ කළ ආනන්ද සමරකෝන් එයින් මිදී, අපේ පා බිම තබා ගමන් කළ හැකි ගල් මුල්වලින් තොර මාර්ගයක් ඉදි කළේය. ඒ මාර්ගයෙහි වූ වළ ගොඩැලි ඉවත් කොට, යහපත් මාවතක් ගී සින්දු ලෝකයට තනා දුන්නේ ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ මහතාය.’ යනුවෙන් මඩවල ඇස්. රත්නායක ඔහුගේ ‘ගී සින්දු සාහිත්‍ය’ නම් කෘතියෙහි සඳහන් කර ඇත. නමුත් 2021 දී කියවෙන්නේ වෙනත්ම කතාවකි. සුහුරු ලෝකයට අවශ්‍ය සුහුරු ගීතයක් දායාද කිරීමට යොහානි සමත්ව තිබේ. පැරණි මිනුම් හා දැන් මිනුම් අහසට පොළොව මෙනි. ලෝකය වෙනස්වන විට අපද වෙනස් විය යුතුය. දූපතෙන් එහාට සිංහල ගීතය අභිෂේක ලබා ඇත. ඒ ගැන සතුටුය. දෙමළ ඩයස්පෝරාවේ ගොන් පාර්ට් ගැන කලබල විය යුතු නැත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment