සරුංගලයේ නූල පැටලී යතුරුපැදියේ ගිය – පුතා මරුට

457

කැඞීගිය සරුංගලයක නයිලෝන් නූලක් පැටලී යතුරුපැදිය පෙරලීයෑමෙන් වූ අනතුරකින් එකම පවුලේ මවක් හා වයස අවුරුදු එකහමාරක දරුවෙකු මියගොස් ඇති අතර යතුරුපැදිය පැදවූ මියගිය කාන්තාවගේ සැමියා සහ හය හැවිරිදි දරුවෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට ඇති බැව් රත්ගම පොලිසිය පවසයි.

17 රාත‍්‍රි 8.20ට පමණ ගාල්ල කොළඹ ප‍්‍රධාන මාර්ගයේ බූස්ස පිටිවැල්ල නිපුන නාවික හමුදා කඳවුර අසලදී මෙකී අනතුර වී ඇත. කැඞීගිය සරුංගලයේ නයිලෝන් නූල පාර හරහා තිබී ඇති අතර යතුරුපැදිකරු විසින් එය අතින් අල්ලා ඉවත්කිරීමට යෑමේදි යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. යතුරුපැදිකරු තම දරු දෙදෙනා හා බිරිඳ සමග තම දෙමව්පියන් බැලීම සඳහා ගාල්ල දෙස සිට රත්ගම දෙසට ගමන් කරමින් සිටියදී මෙකී අනතුරට ලක්ව ඇත.

මෙම අනතුරෙන් සුදසිංහලියනගේ මේනකා ප‍්‍රසාදනි (34) අනතුර වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර වයස අවුරුදු එකයි මාස 06ක් වියැති හින්දෙනියගේ අනුක රන්දුල නමැති දරුවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මොවුන් ගිංතොට පියදිගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

යතුරුපැදිකරු හා ඔහුගේ හය හැවිරිදි පුතු සුළු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත. යතුරුපැදිකරු කොග්ගල ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සැරයන්වරයෙකු බවද පොලිසිය පවසයි. මියගිය කාන්තාවගේ හා කුඩා පුතුගේ හදිසි මරණ පරීක්‍ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

කැඞීගිය සරුංගලය නූල හා අනතුරට අදාළ යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment