මගේ දුවයි තාත්තයි දෙන්නම මට නැති වුණා – දුවගේ අම්මත් අවුරුදු 4කට පෙර මැරුණා

989

හත් හැවිරිදි දිනුෂිකාගේ පියා ශිවකුමාර්
මොකක්ද දෙවියනේ… අපට මේ වුණේ…
විනෝදයට කාර් රේස්වල කෝනර් මාෂල් කෙනෙක් ලෙස තාත්තා වැඩ කළා – නරියාකන්දට ගියේ අවු. 5කට පසුවයි
මියගිය මාතර ගනේෂ්ගේ බිරිඳ
චමත් නිරෝෂන් මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙක්
මියගිය දෙදෙනෙක් උසස් පෙළ විභාග ප්‍රතිඵල එනතුරු සිටි අය|

දියතලාවේ ඛේදවාචකය

මගේ දුවයි තාත්තයි දෙන්නම මට නැති වුණා - දුවගේ අම්මත් අවුරුදු 4කට පෙර මැරුණා
මියගිය ගනේෂ් පවුලේ සාමාජිකයින් සමග

උපන් සැම මරණයෙන් කෙළවර වීම සදාතනික සත්‍යයක්. නමුත් එකී මරණය සිදුවන දිනය හා මියයන ආකාරය අනුව කෙනකුගේ මරණය නිසා ආදරණීයයන්ට ඇතිවන වේදනාව විවිධාකාර වේ.

සතුට, සොම්නස දෝරෙ ගලමින් තිබෙන මොහොතක මරණයේ අමිහිරි වේදනාව කෙනකු වෙත ළඟා වේ නම් එතරම් අවාසනාවක් තවත් කොහිද?

දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවන පථයේදී සිදුවූ අනතුරෙන් දිවි අහිමිවූවන්ගේ ඛේදවාචකය මුළු මහත් සමාජයේම හදවත කීරිගැහෙන සිදුවීමක් විය. එම ඛේදවාචකයෙන් දිවි අහිමි වූවන් කිහිපදෙනකු පිළිබඳ නැඟෙන සෝසුසුම් වදන් පෙළකි මේ.

මගේ දුවයි තාත්තයි දෙන්නම මට නැති වුණා - දුවගේ අම්මත් අවුරුදු 4කට පෙර මැරුණා
හෂේන් විනෝද චාරිකාවක් ගිය අතරතුර

මියගිය ගනේෂ් ජයවර්ධනගේ බිරිඳ නිල්මිණී දීපිකා,

“මියගිය මගේ සැමියා මාතර සදරින් මෝටර්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රියාකාරි සාමාජිකයෙක්. රස්සාවට කරන්නේ රියැදුරු රැකියාව. විනෝදාංශයක් හැටියට ඔහු මෝටර් රථ තරගවල කෝනර් මාෂල්වරයෙක් විදිහට වැඩ කරනවා. වැටුපක් බලාගෙන නොව විනෝදාංශයක් හැටියටයි එයා මේක කරන්නේ. මගේ මහත්තයට දුවලා තුන්දෙනෙක් ඉන්නවා. ලංකාව පුරාම තියෙන තරගවල එයා කෝනර් මාෂල්වරයෙක් විදිහට කටයුතු කරනවා. නරියාකන්දේ තරග බිමට එයා හැමදාම වගේ එනවා. මෙදා පාර තිබ්බේ අවුරුදු පහකට පස්සේ. ඒකයි එයා මාතර ඉඳලම ආවේ. කොඩිය වනද්දි අනතුරට ලක්වුණේ මගේ සැමියා.

මගේ දුවයි තාත්තයි දෙන්නම මට නැති වුණා - දුවගේ අම්මත් අවුරුදු 4කට පෙර මැරුණා
මියගිය දිනුෂිකා සහ මුත්තුසාමි විසූ නිවස

මට දුව කතා කරලා කිව්වා ‘අම්මේ ටීවී එකේ ප්‍රවෘත්ති බලන්න’ කියලා. ඒ වෙලාවේ තමයි මේක දැනගත්තේ. දුව මුලින්ම තාත්තාගේ දුරකථන අංකයට කතා කළා. ඒ වෙලාවේ දුරකථනය ගත්තේ පොලිසියෙන්. පොලිසියෙන් මගේ දුවට කිව්වා අනතුරක් වෙලා කියලා. මමත් මාතර මහා විiාලයේ ගුරුවරියක් විදිහට සේවය කරනවා.”

මෙම අනතුරින් මියගිය මාතර රාහුල හරස් පාරේ පදිංචිව සිටි ගනේෂ් ජයවර්ධන මහතාගේ දියණිය අදහස් දක්වමින් “තාත්තා ඊට ඉස්සෙල්ලා දවසෙ රෑ තමයි ගියේ. නවයයි ගාණෙ නුවරඑළිය බස් එකේ තමයි ගියේ. එපා කියද්දී තමයි ගියේ ඉතින්. කියන දේ අහන්නේ නෑ, එයා හරි ආසයි වාහනවල දේවල් දකින්න. මෝටර්ස් ජකමඉ එකෙත් ඉන්නවා. එපා කියද්දිම ඒ ආසාව නිසා තමයි ගියෙත්. එහිදී අපිට කෝල් කරලා කිව්වා රේස් එක බලන්න කියලා හතට විතර. එතකොට අපි නිදාගෙන හිටියෙ. ඊට පස්සේ නංගි නැඟිටලා ගිහිල්ලා රේස් එක බැලුවා. ඒ වෙලාවෙත් ඇක්සිඩන්ට් වෙලා එයා බලපු වෙලාවෙත්. මට මගේ තාත්තා ගැන වචන කියන්න නැහැ. මේ ලොකේ ඉන්න හැම ගෑනු ළමයකුටම ඉන්න එකම හීරෝ තාත්තා. ඉතින් ඒ වගේ තමයි මටත්. මට තාම හීනයක් වගෙයි. ඒක ඇත්තක් කියලා මට හිතාගන්න බැහැ. ඩෙත් බොඩි එකේ ෆොටෝ එකක් එවලා තිබුණා. ෆොටෝ එකවත් විශ්වාස කරන්න බැහැ. හවස තමයි අපි දැනගත්තේ අනතුරක් වෙලා තියෙන බව. නමුත් තාත්තගෙ යාළුවෝ ඊට කලින් දැනගෙන තිබුණා අනතුර ගැන. ඒත් අපිට කිව්වේ නැහැ මේ අනතුර ගැන. ටීවී එකේ බ්‍රේකින් නිව්ස් එකක් ගියා අපි ඉතින් නිවුස් එක දැක්ක ගමන් තාත්තට කෝල් කළා. ඒක ආන්සර් කළේ පොලිසියේ ලේඩි කෙනෙක්. පුළුවන් නම් එන්න කියලා කිව්වා තාත්තට අමාරුයි කියලා තමයි කිව්වේ.

මගේ දුවයි තාත්තයි දෙන්නම මට නැති වුණා - දුවගේ අම්මත් අවුරුදු 4කට පෙර මැරුණා

ඊට පස්සේ අපි යන්න සූදානම් වුණා. පස්සේ තාත්තගේ යාළුවෝ කිව්වා කලබල වෙන්න දෙයක් නැහැ දැන් යන්න එපා කියලා. පැය තුනකට පස්සේ තමයි අපි දැනගත්තේ තාත්තා නැතිවෙලා කියලා ගමගේ අංකල්ගෙ ගෙදර අයත් කතා කරලා කිව්වට පස්සෙ. ගමගේ අන්කලුයි අපේ තාත්තයි පොඩි කාලේ ඉඳලා යාළුවො. ගොඩක් ලොකු සම්බන්ධකමක් තමයි ඒ දෙන්නගෙ අතර තියෙන්නේ. ඒක හින්ද තමයි එකම තැන ඒ දෙන්නගෙ අවසන් කටයුතු කරන්න තීරණය කරගෙන තියෙන්නෙ.”

මෙම අනතුරින් මාතර ප්‍රදේශයේම ගනේෂ් සමග මියගිය උපාලි ගමගේ මහතාගේ මරණය සම්බන්ධයෙන් දියණිය පැවසූ අදහස්.

තාත්තා ඉතින් අපි වෙනුවෙන් හැමදෙයක්ම කළා. ජීවිතය ජයගන්න නම් බයවෙන්නෙ නැතුව හැමදේකටම ඉස්සරහට යන්න ඕන කියලා එයා තමයි අපිට ඒ හැමදේම පුරුදු කළේ.

මට නම් තාම තාත්තා ඉන්නවා වගේ තමයි දැනෙන්නෙ. තාත්තා හැමදේම අපි වෙනුවෙන් තමයි කළේ. තාත්තා අපි හැමදේකටම ඉස්සරහට දානවා. තාත්තා කියන්නෙ මිනිස්සු අඳුරගන්න සමාජයේ හොඳින් හැසිරෙන්න අපිට ගුණදහම් දියුණු කරගෙන ඉදිරියට යන්න ඒවා තමයි එයා නිතරම කිව්වේ. එයා රේස් එක යන වෙලාවෙත් මට කතා කළා. මේක බලන්න මේක බලන්න කියලා. අපි ඉතින් හිතුවෙ නැහැ මෙහෙම දෙයක් වෙයි කියලා. අපේ ෆැමිලි එකයි ජයවර්ධන අංකල්ගේ ෆැමිලි එකයි දෙගොල්ලම එකට ඉන්න කට්ටිය. ඉතින් අපි කට්ටිය කතා කරලා තීරණයක් ගත්තා ඒ දෙන්නගෙ අවසන් කටයුතු එකටම ගන්න ඕන කියලා. තාත්තගෙ දෙයක් කිව්වත් අංකල් එනවා, අංකල්ගෙ දෙයක් කිව්වත් තාත්තා යනවා. ඉතින් ඒ දෙන්නා අවසන් ගමනත් එකටම යන්න ප්‍රාර්ථනා කරලා ඇති.

මියගිය චමත් නිරෝෂන්ගේ (අවු. 19 සීදුව) මව ආර්.කේ. දමයන්ති රේණුකා, – “මගේ පුතා චමත් 18 වැනිදා මගේ මල්ලිලාගේ ගෙදර ගියා ඇටම්පිටියේ. 21 වැනිදා උදේ මට කෝල් කරලා කිව්වා ‘අම්මේ මම අද ෆොක්ස් හිල් බලන්න යනවා’ කියලා. ඊට පස්සේ බණ්ඩාරවෙල ටවුමට ඇවිල්ලා නැවත කතා කළා 11.30ට විතර. ඒ වෙලාවේ කිව්වා මම දියතලාව – බණ්ඩාරවෙල බස් එකේ ඉන්නේ ෆොක්ස් හිල් බලන්න යනවා කියලා. ඊට පස්සේ දහවල් 2.30ට විතර මායි මහත්තයයි කෝල් කරලා බැලුවා. ඒත් දුරකථනය ඇමතුවේ නැහැ. ඊට පස්සේ ආපහු ගන්නකොට දියතලාව රෝහලේ නිලධාරියෙක් කතා කරලා කිව්වා එයාට අනතුරක් වෙලා ඔපරේෂන් තියටර් එකට ගත්තා කියලා. ඊට පස්සේ ආපහු කතා කරලා කිව්වා පුතා මියගියා කියලා. දියතලාව රෝහලට ඇවිත් අපි පුතාගේ දේහය අඳුනගත්තා.”

සීදූවේ සිට ඇටම්පිටියේ නෑගම් ගොසින් දියතලාවේ මෝටර් රථ ධාවන තරගය නැරඹීමට ගොස් ධාවන පථයෙන් පිටතට පැමිණි කාර් රථයට යටවී අනතුරට පත් සීදූවේ ආර්.පී. 186 නිවසේ පදිංචි 19 හැවිරිදි චමත් නිරෝෂන්ට දිවි අහිමි විය. ඔහු සමග එම ධාවන තරගය නැරඹීමට ගිය ඥාති සොහොයුරා අනතුරෙන් දිවිගලවාගෙන ඇති මුත් ඔහු ද දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එසේ අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ චමත් මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ මාධ්‍ය ඒකකයේ සිටි දක්ෂ ඡායාරූප ශිල්පියෙක් සේම ග්‍රැෆික් නිර්මාණ ශිල්පියා ද වෙයි. ඔහු අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනීසිට ප්‍රතිඵල එනතුරු බලාසිටි සිසුවෙකි. ඔහු මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලේ දීප්තිමත් සිසුවෙක් ද විය. චමත්ට එක් සොහොයුරියක් සිටින අතර ඇය මිනුවන්ගොඩ ජනාධිපති විදුහලේ 8 වසරේ ඉගෙනුම ලබමින් සිටී. මියගිය චමත්ගේ පියා අවුරුදු 50ක් වූ සමන් නමැති රෙදි ව්‍යාපාරයක් කරගෙන යන තැනැත්තෙකි. මව අවුරුදු 45ක් වූ රේණු යන අය වන අතර ඇය ගෘහණියකි.

චමත් ගමේ සහ පාසලේ පොදු කටයුතුවලට නිරන්තරයෙන් තම හිතවතුන් ඒකරාශි කරගෙන කටයුතු කරන බවත් ඔහුගේ දැනුම රටට නොලැබීයෑම ඉතා කනගාටුවක් බවත් ඔහුගේ මිතුරකු වන ඉමේෂ දේවින්ද්‍ර සිසුවා පැවසීය.

දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවන පථයේ පැවති ෆොක්ස් හිල් ධාවන තරගය නැරඹීමට ගිය සීයා සහ මිනිබිරිය ද ඉතා අවාසනාවන්ත ලෙස මෙලොව හැරගොස් තිබේ. මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගත්තේ වැලිමඩ ඩයරබා වතුයායේ පහළ කොටසේ පදිංචි අට හැවිරිදි ශිව කුමාර් දිනුෂිකා දැරිය සහ ඇගේ සීයා වන මුත්තු සාමි උදයකුමාර් මහතාය. දිනුෂිකා ඩයරබා දෙමළ විදුහලේ ඉගෙනුම ලබයි. ඇය මියගිය තම සීයා වන මුත්තු සාමි උදය කුමාර් සහ ඔහුගේ බිරිඳ සමග මුත්තු සාමිගේ නිවසේ වාසය කර තිබේ. දිනුෂිකාගේ මව ද මීට වසර කිහිපයකට පෙරදී මෙලොව හැරගොස් තිබුණි. මේ නිසා ඇයව රැකබලා ගත්තේ මියගිය ඇගේ සීයා සහ ආච්චි විසිනි.

ඥාතියකු වන ශිව දර්ශනී මහත්මිය මෙසේ පැවසුවාය.

“දිනුෂිකා අධ්‍යාපනයටත් ගොඩක් දක්ෂ දැරියක්. අම්මා නැති නිසා ආච්චි – සීයා තමයි මෙයා රැක බලාගත්තේ. ආච්චියි සීයයි මේ දරුවට ගොඩක් ආදරෙයි. දරුවගේ ඉල්ලීමට දරුවා සතුටු කරන්න හිතාගෙන තමයි දියතලාවේ කාර් රේස් බලන්න ිගියේ. එහෙම ගියාට පස්සේ තමයි මේ අනතුරට ලක්වුණේ. මැරුණු අය ගැන අපිටත් ආරංචිය දුන්නේ රෝහලෙන්. මේ අවාසනාවන්ත මරණ ගැන අද මුළු රටම දුක් වෙනවා.”

ඥාතියෙක් වන එම්. මනෝජ් මහතා,

“මාමා දුවවත් එක්කරගෙන බස් එකක තමයි දියතලාවේ ගියේ. අපේ ගමේ අයත් කිහිපදෙනෙක් ගියා. ගමේ අය කියපු විදිහට නම් බබාට හරියට ධාවන තරග පේන්නේ නැති නිසා මාමා අනතුර සිද්ධ වෙච්ච තැන ආසන්නයටම ගියා කියලා තමයි කිව්වේ. කොහොමහරි දෙන්නාගේම ජීවිත නැති වුණා. අම්මත් නැති මේ දරුවා ගොඩක් ආදරෙන් තමයි මාමයි නැන්දයි හදාගත්තේ. හරිම කනගාටුයි වෙච්ච දේ.”

මියගිය දිනුෂිකාගේ පියාවන සවුන්දර රාජ් ශිවකුමාර් මහතා,

“මගේ තාත්තා වන උදයකුමාර් වගේම මගේ දුව දිනුෂිකත් මේ අනතුරින් මියගියා. මට දුවයි මගේ තාත්තයි උදේ කතා කරල කිව්වා ෆොක්ස් හිල් බලන්න යනවා කියලා. ඉතින් මම හා කිව්වා. අන්තිමේ ඒ දෙන්නා මේක බලන්න ගියා. පස්සේ හවස 3.00ට විතර දියතලාව රෝහලෙන් මට කතා කරලා කිව්වා මගේ දුවට සනීප නෑ කියලා. මම රෝහලට එනකොටවත් දැනගෙන හිටියේ නෑ මගේ දුව නැතිවෙලා කියලා. මම මෙතැනට ආවට පස්සේ තමයි දැනගත්තේ මගේ දුවයි මගේ තාත්තයි දෙන්නම නැතිවෙලා කියලා. මගේ බිරිඳත් මීට අවුරුදු හතරකට කලින් සියදිවි හානි කරගත්තා. අන්තිමේ මට මගේ බිරිඳත් නෑ, දුවත් නෑ, තාත්තත් නෑ. පුතාලා දෙන්නයි මායි තනි වුණා. මගේ පොඩි පුතාගේ ඉස්සරහ තමයි මේ අනතුර වෙලා තියෙන්නේ. පුතා නංගි නෑ කියලා අඬනවා. මට තේරෙන්නේ නෑ මොකක්ද මේ වුණේ කියලා.”

අනතුරින් මියගිය 32 හැවිරිදි රසික අත්තනායක ශ්‍රී ලංකා යුද හමුදාවේ රගර් කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු කොස්ගම යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී නිවාඩු ලබා එම තරගය නැරඹීමට ගොස් තිබේ.

මියගිය රසිකගේ බිරිඳ එස්.පී.ඊ. ගීතිකා ප්‍රදීපනී අදහස් දක්වමින්,

“මගේ මහත්තයා 18 වැනිදා ගෙදර ආවා. 19 වැනිදා උදේ 5.00ට ගෙදරින් පිටත් වෙලා ගියා ෆොක්ස් හිල්වලට යන්න ඕනෑ කියලා. ඊට පස්සේ 21 වැනිදා 12.30ට විතර මට කෝල් එකක් අරගෙන කිව්වා ටීවී එක බලන්න මම ඉන්නවා කියලා. ඊට පස්සේ මම 11.30ට විතර එයාගෙන් කෝල් එකක් අරගෙන ඇහැව්වා ඔයා හරියටම ඉන්න තැන කියන්න මට ටීවී එකෙන් බලන්නම් කියලා. එයා එතකොට කිව්වා මම ඉන්නේ ආරම්භක තැනට මීටර් 50ක් දුරින් ඉන්නේ කියලා. ඊට පස්සේ මම ටිකක් බලලා මහත්තයාව දැක්කේ නැති හින්දා ටීවී එක ඕෆ් කළා. අන්තිමේ ආමි එකේ මෙලෝ කියලා මහත්තයෙක් මට කෝල් එකක් අරගෙන මහත්තයාගේ ගම වන ඇඹිලිපිටියේ ඉන්න අයියාගේ නම්බරය මගෙන් ඉල්ලුවා. ඊට පස්සේ මහත්තයාගේ අයියට කතා කරලා කියලා තියෙනවා මහත්තයා මැරුණා කියලා. මහත්තයාගේ අයියා අම්මාට කෝල් කරලා කියලා අන්තිමේ මහත්තයාගේ අම්මා තමයි මට මහත්තයා නැතිවෙලා කියලා කිව්වේ. ඊට පස්සේ තමයි අපි දියතලාවට ඇවිත් මහත්තයාගේ මිනිය අඳුන ගත්තේ.”

දියතලාව මෝටර් රථ ධාවන තරගයේ අනතුරෙන් මියගිය අකුරැස්ස වලව්වත්ත තරංගා නිවසේ පදිංචිව සිටි හෂේන් හීනටිගල තරුණයා එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු පසුගිය උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සමාජයේ ක්‍රියාකාරී තරුණයකු බව අසල්වැසියන් පවසයි.

පවුලේ වැඩිමහල් පුතු වූ හෂේන්ට නැඟණියන් දෙදෙනකු සිටින අතර ඔහුගේ පියා වන තරංග රුක්මන් මහතා නැවක සේවය කරන කැප්ටන් කෙනෙක් වන අතර ඔහු මේ වනවිට තම පුතුට සිදුවූ අවාසනාවන්ත සිද්ධිය දැනගත් වහාම ලංකාවට පැමිණ ඇතැයි ද වාර්තා වේ.

හෂේන් හීනටිගල මාතර රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර ඔහුගේ විසිවන උපන් දිනය ලබන මැයි මස 07 වැනිදාට යෙදී ඇත.

සියලු දේ සිදුවී ඇත. මිනිසුන් කර්මය සොයාගෙන නොගියත් කර්මය මිනිසුන් සොයාගෙන පැමිණේ. කර්මය පැමිණි පසු අහසේ සිටිය ද පොළොවේ සිටය ද මහා සාගරය මැද සිටිය ද කොතැනක හෝ සැඟවී සිටිය ද සියල්ල අත්හැර දමා යෑමට සිදුවේ. එහෙත් සමාජය තුළ අප රැස් කරගත් හොඳ දෑ පිළිබඳව හැම දිනෙකම සමාජය කතා කරනු ඇත. දරුවන්, පවුලේ ඥාතීන් මෙන්ම අසල්වාසීහු ඔවුන්ගේ හොඳ කියති. ඔවුන් සමාජයට ඉතිරි කර ඇත්තේ ඒ හොඳ ගතිගුණයි. මෙම අනතුරෙන් මියගිය සියලුදෙනාට නිවන් සුව පතමු.

හපුතලේ – නයානන්ද බුවනෙක
බොරලන්ද – සමන්ත කුමාර
කටුනායක – ආනන්ද නිශ්ශංක
මාතර අතිරේක – ලලිත් පද්මසිරි

advertistmentadvertistment
advertistmentadvertistment