පැය භාගයක් පස්සට කරකවා තිබූ උසාවියේ ඇගිලි සටහන් යන්ත්‍රය යළි ඉදිරියට

770

පැය භාගයක කාලයක් ආපස්සට කරකවා තිබූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය භාවිත කළ ඇඟිලි සළකුණු සටහන් යන්ත්‍රය පැය භාගයක් ඉදිරියට කරකවා නියමිත පරිදි පැමිණීම හා පිටවීම සටහන් කිරීමට පියවර ගනිමින් කොළඹ නව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස තිළිණ ගමගේ මහතා ඊයේ (22දා) රාජකාරි ආරම්භ කළේය.

අධිකරණ කාර්ය මණ්ඩලය රාජකාරියට වාර්තා කිරීම සනිටුහන් කිරීම සඳහා භාවිත කළ එම ඇඟිලි සලකුණු සටහන් යන්ත්‍රය පැය භාගයක කාලයක් ආපස්සට කරකවා තිබීම නිසා උදෑසන 9.00ට රාජකාරියට වාර්තා කරන කාර්ය මණ්ඩලය උදෑසන 9.30ට පැමිණියත් නියමිත වේලාවට පැමිණි බවට සටහන් වී ඇති බවට නිරීක්‍ෂණය කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වහාම එම යන්ත්‍රය නිවැරදි වේලාව දැක්වෙන පරිදි සකස් කරන ලෙසට ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කොට ඇත.

තිළිණ ගමගේ මහතා ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත්කර තිබිණි. නව තනතුරේ වැඩ ආරම්භ කිරීම සඳහා ඊයේ (22දා) උදෑසන 8.00ට තිළිණ ගමගේ මහතා අධිකරණ සංකීර්ණයට පැමිණ තිබූ නමුත් බොහෝ නිලධාරීන් පෙරවරු 9.00 පසුවන තුරුත් රාජකාරි සඳහා වාර්තා කර නොතිබීම නිසා නව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඇඟිලි සලකුණු සටහන් යන්ත්‍රය නිරීක්‍ෂණය කර තිබේ.

එහිදී එම යන්ත්‍රය පැය භාගයක කාලයක් ආපස්සට කරකවා සකස් කර ඇති බවට නිරීක්‍ෂණය කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තමුන් පිළිගැනීම සඳහා පැවැත්වූ තේ පැන් සාදයේදී පවා එකී ක්‍රියාව ඉතාමත් අනීතික ක්‍රියාවක් බවත් යුක්තිය ඉටුකිරීමේ කාර්යභාරය පැවරී ඇති අධිකරණ කිහිපයක් පිහිටි අධිකරණ සංකීර්ණයක එවැනි අනීතික ක්‍රියාවක් සිදුවීමට ඉඩහැරීම හා ඒ පිළිබඳව අධීක්‍ෂණය නොකිරීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන්ට දැඩිව අවවාද කොට තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment