හෙට මැයි දිනය

486

(අධිරාජ්‍යවාදී පාන් සමග වැඩවසම් පරිප්පු)

ලෝකයේ පළමු මැයි දින සැමරුම පිළිබඳ කථාව ලෝකය තරමටම පැරණි සූරාකෑම තරමටම කවුරුත් දන්නා කම්කරු ව්‍යාපාරය තරමටම එක තැන පල්වෙන පරණ පුවතකි. 1886 මැයි 1 දා ඇමරිකාවේ චිකාගෝ නුවරදී කම්කරු අයිතීන් වෙනුවෙන් කළ සටනකින් මැයි දිනය නමැති මල පිපුණේය. මේ මල අද මළකඩ කා තිබේ. ඉතාම වැදගත් කාරණය වන්නේ ලෝක කම්කරු අයිතීන් සංකේතවත් කරන ජාත්‍යන්තර දිනය රුසියාව වැනි සමාජවාදී රටකින් නොව ඇමරිකාව වැනි උග්‍ර දක්ෂිණාංශික රටකින් මතුවීමය. මේ අවුරුද්දේ මැයි දිනය හෙටට යෙදී තිබේ. ඒ ගැන කතා කිරීමට පළමු ලංකාවේ මැයි දින ඉතිහාසය පිළිබඳ කෙටි කරුණු ස්වල්පයක් මෙහි බහාලනු ලැබේ.

ලංකාවේ පහළ වූ පළමුවැනි කම්කරු නායකයා ඇලේක්සැඩර් ඒකනායක ගුණසිංහය. ඔහු දේශපාලන අරමුණු සහිත පුද්ගලයෙකි. එවකට මේ රටේ තිබූ සුදු ජාතික පාලනය සමග දේශපාලනය නොකර ස්වදේශික බහුජනතාවට හරියන දේශපාලන ක්‍රමයක් ඔහු සොයමින් සිටියේය. එකල මේ රටේ සමස්ත ශ්‍රම බළකායෙන් 99% ක්ම සෑදී තිබුණේ කම්කරුවන්ගෙන් සහ ගොවියන්ගෙනි. ඒ නිසා කම්කරුවන් සමග එකතුවීම යහපතැයි ඔහු කල්පනා කළේය. සිය දේශපාලන අරමුණේ කොටසක් වශයෙන් ඔහු කම්කරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් සටන් කළේය. ඔහු සිවිල් නීතිද කැඩුවේය. ඒ නිසා ලංකාවේ බි්‍රතාන්‍ය ආණ්ඩුව හැකි හැම විටම ඔහු දණ්ඩනයට යටත් කළේය. ගුණසිංහ මේ කට්ට කාගෙන ඉස්සරහටම ගියේය. තමා යටතේ කම්කරු බලය ඒකරාශී කරගැනීමට නම් ලංකාවේ සිටින සියලු කම්කරුවන් පක්ෂ භේද නොසලකා එක දේශපාලන කේන්ද්‍රයකට කැඳවිය යුතු බව ඔහු සිතුවේය. මෙය ගුණසිංහ විසින් අනුගනමය කළ හොඳම දේශපාලන ක්‍රමෝපාය විය හැකිය. ඒ අනුව චිකාගෝ නුවර මැයි දින සැමරුම ගුරුකොට ගනිමින් 1928 මැයි 1 දා ඔහු මැයි දින සැමරුමක් කැඳවීය. එකල ලංකාවේ සිටි කම්කරු පන්තිය රා සහ කසිප්පු ගසන සූස්ති උරණ බීඩි බොන නාවර පෙරාගෙන සිටින පරිහානිගත කොට්ඨාසයකි. මේ පරිහානිය ඇතිවුණේ ලංකාවේ කම්කරු පන්තිය නිතරම නාගරිකය මුල්කරගෙන බිහිවූ නිසාය. එක්දහස් නවසිය ගණන්වල මේ රටේ නාගරික සංස්කෘතිය බෙහෙවින් කුජීත වූ සංස්කෘතියකි. එයට හේතුව අධිරාජ්‍යවාදී පීඩනය, මත් පැන්වල බලපෑම, සඵලභාවය වැනි කාරණා හේතුවෙන් මේ රටේ නාගරික කම්කරු පන්තියේ මනස කුපාඩිකරණය වී තිබීමය. මේ තත්ත්වය සම්බන්ධයෙන් එදා සිටි කම්කරු පන්තියට අප දොස් නොනැඟිය යුතුය. එදා සිටි මිනිසුන් භුක්ති වින්දේත් ආපසු සමාජයට දුන්නේත් තමන් අත්විඳින අත්දැකීම් හා සමාන අත්දැකීම්ය. මෙකල කම්කරු පන්තිය 1800 ලන්ඩනයේ ජීවත්වූ බි්‍රතාන්‍ය නාගරික කම්කරු පන්තිය මෙන් නූගත් අය වූහ. ඔවුන් පත්තර කියවූයේ නැත. කියවීමට පත්තර ඔවුන්ට තිබුණේද නැත. පොත්වල තිබූ දේවල් ඔවුන්ට තේරුණේ නැත. ඒ නිසා ඔවුහු සිය විනෝදාංශ වශයෙන් මත්පැන් පානය කිරීම සහ රති කෙළියෙහි යෙදීම තෝරා ගත්හ. අප මෙහිදී ලංකාවේ කම්කරු පන්තිය ලෙස හඳුන්වන්නේ පිරිමි ජනතාවය. එකල මේ රටේ කම්කරු පාන්තික බහුතරය බිහිවී තිබුණේ පිරිමින්ගෙනි. එකල සිටි ජනයා තමන් සිටින තැනින් අඟලක් හෝ උඩට පැමිණිය යුතු බව කල්පනා කළේ නැත. එසේ කල්පනා කිරීමට අවශ්‍ය මානසික පරිසරයද ඔවුන්ට තිබුණේ නැත. කොටින්ම මනුෂ්‍යයන් වශයෙන් දියුණුව කරා යා යුතු බව ඔවුන් දැන සිටියේම නැත. ඇලේක්සැඩර් ගුණසිංහ මේ නරුම, පාෂාන්ඩ පිරිමි ප්‍රජාව එක අරමුණකට තල්ලු කිරීම සඳහා මාරම පරිප්පුවක් කෑවේය.

ලංකාවේ පළමු මැයි දින රැස්වීම 1927 මැයි 1 දා පැවති බව අපි ඔබට කීවෙමු. 1933 දී පළමු වන මැයි දින රැළිය පැවැත්වීමට ඇලේක්සැඩර් ගුණසිංහ ට හැකි විය. එනම් ඔහුට මේ රටේ කම්කරු පන්තිය මේච්චල් කරගැනීමට අවුරුදු 5 ක්ම ගතවිය. පළමුවන මැයි දින රැළියට පැමිණි අයගෙන් සෑහෙන පිරිසකට රතු කමිස ඇන්දවීමට ගුණසිංහට හැකි විය. මේ බව දුටු කාල් මාක්ස්ගේ ආත්මය එකෙනෙහිම දෙව්ලොව යන්නට ඇති බව අපගේ විශ්වාසය වේ. සමාජවාදය පිළිබඳ මූලධර්ම සියල්ල මේ ලෝකයට ඉදිරිපත් කරන ලද්දේ ජර්මනියේ උපන් කාල් මාක්ස් ය. එහෙත් ඔහුගේ ජීවිත කාලය තුළ සමාජවාදී රාජ්‍යයක් මිහිතලය මත බිහිවුණේ නැත. එය පළමුවරට බිහිවන්නේ රුසියවේය. එවිට කාල් මාක්ස් මිය ගොසිනි. ලංකාව වැනි රටක සමාජවාදයට අනුකූල දේවල් කළ හැකි බව මාක්ස් කිසිසේත්ම කල්පනා නොකරන්නට ඇත. පළමුවන මැයි රැළිය පිළිබඳ ආරංචියෙන්ම ඔහු දිව්‍ය ලෝකයට යන්නට ඇති බව අප කියන්නේ ඒ නිසාය. 1900 මුල් කාලයේ පවා ලංකාව ඉතා අන්ධකාර වැඩවසම් ගැමි රාජ්‍යයකි. එකල මේ රට පාලනය කළෝ සුදු හැතිකරයත්, ප්‍රභූ ජනතාව නමැති හැතිකරයත් ය. මෙහි ඉතිරි හරිය මෙයිට වඩා හොඳ වචනවලින් ලිවීම අපගේ අරමුණ ය. ඒ සඳහා හෙට පුවත්පතේ කතු වැකියත් ඔබ කියවිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment