ඇල්පිටිය එස්එස්පීට එරෙහිව පොලිසියේ දෙදෙනකුගෙන් පැමිණිල්ලක්

279

ඇල්පිටිය පොලිස් වසමේ කහදූව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් නිසි පරිදි රාජකාරී නොකළ බවට චෝදනා කරමින් ඇල්පිටිය පොලිස් ස්ථානයේ නඩු කටයුතු මෙහෙයවන උප පොලිස් පරීක්ෂක අයි. ඩී. ශ්‍යානදාස සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ යන මහත්වරුන් ඇල්පිටිය පොලිස් අධිකාරි කාර්යාලයට කැඳවා ඔවුන්ට පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන් දෙදෙනා ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට එරෙහිව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි කොට ඇත. එමෙන්ම ඔවුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානයේ ඍෂඊ පොතේ ද පැමිණිල්ලක් සටහන් කොට ඇති බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ තර්ජනයට ලක්වූ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ මහතා සිද්ධියෙන් අනතුරුව අධික රුධිර පීඩනය සහ ශරීරයේ සීනි වැඩිවීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මේ පිළිබඳව ගාල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ මේ වනවිට මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ වැඩ තහනමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයා සිද්ධිය සම්බන්ධයෙන් දුරකථනය මගින් තමා වෙත පැමිණිල්ලක් කර ඇති බවත් පොලිස් ස්ථානයේ ඇති ඍෂඊ පොතේ ද පැමිණිල්ලක් සටහන් කර ඇති බවත්ය.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම කරුණු විමසා විනය කඩ කිරීමක් සිදුව ඇත්නම් තරාතිරම නොබලා අවශ්‍ය පියවර ගන්නා බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

ඇල්පිටිය – විදානාරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment