සිංහරාජයේ ගිනි තැබූ හෝටලය අයිති කාටද?

8372

සිංහරාජයට දැඩි හානි

හෝටලය බලෙන් පවරගෙන

ආරක්ෂාවට නාවික සෙබළුන්

රටේ මිනිස්සු හිඳින්නේ තම වටපිටාව පිළිබඳව සැකයකිනි. බියකිනි. ඒ අතරම තම පැවැත්මට හානිකර දේ ගැන විමසිල්ලකිනි. විමසිල්ල හොඳය. එහෙත් වර්තමාන දේශපාලනය විසින් ඇතිකර ඇති විකෘතිය නිසා හට ගන්නා විමසිල්ල, සැකය තරමක් නරක අතට හැරෙමින් පවතී.

පසුගිය දිනක සිංහරාජ කඳු පන්තියේ ගෝනිගල හේයස්වත්ත ආසන්නයේ පිහිටි හිටපු අගමැතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් යැයි කියන හෝටල් සංකීර්ණයක් ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර තිබිණි.

මේ හෝටලය ගැන පසුගිය කාලයේ විශාල වශයෙන් කථාබහට ලක්විණි. හෝටලයත් ඊට ප්‍රවේශ වන මාර්ග සංවර්ධනයත් නිසා සිංහරාජය ට සිදුවන හානිය පිළිබඳ පරිසර සංවිධාන ගණනාවක් අනතුරු අඟවා තිබිණි.

සිංහරාජයේ ගිනි තැබූ හෝටලය අයිති කාටද?

එම ව්‍යාපෘතිය සිදු කෙරෙමින් පවතින්නේ දෙනියාය – රක්වාන මාර්ගයේ හේයස්වත්ත හන්දියේ සිට ගොංගල කඳුමුදුන දක්වාය. මෙම මාර්ගය සංවර්ධනය කිරීමේ ප්‍රධාන අරමුණ යෝෂිත රාජපක්ෂට අයත් යැයි කියන නමුත් ඔහුගේ නමට නොමැති හෝටලයට පිවිසීමටය. කාපට් අතුරා සකස් කරන කිලෝමීටර් 7 ක් පමණ දිග මෙම මාර්ගයෙන් ගමන් කිරීමට ඇත්තේ ගොංගාල කඳු මුදුනේ පිහිටි විවිධ මාධ්‍ය ආයතනවලට අයත් රූපවාහිනී හා ගුවන් විදුලි විකාශන කුලුනුවලට හා ආරක්ෂක අංශවල සංඥා කුලුනුවලට පමණි. මෙම මාර්ගයේ පහළ හේයස් වත්තේ කම්කරු ජනතාව පදිංචිව සිටින වතු නිවාස සංකීර්ණයක් පමණක් පිහිටා තිබේ. ඊට අමතරව මෙම මාර්ගයේ පිවිසිය හැකි වන්නේ මෙම හෝටලයට පමණි.

මෙම මාර්ගය සංවර්ධනය කරන බොහෝ ප්‍රදේශ සිංහරාජ වන රක්ෂිතයට අයත් වන අතර කිසිදු සංරක්ෂණ ක්‍රමවේදයක් හෝ පාරිසරික අනුමැතිය ලබා ගැනීමක් හෝ සිදු නොකර මෙම මාර්ගයේ ඉදිකෙරමින් පැවති බව කියති.

මෙම මාර්ගයේ ඉදිවන හෝටලය පිහිටි සිංහරාජ අඩවියේ නැඟෙනහිර කලාපය මුළු ලොවෙන්ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික සත්ත්ව විශේෂ අතුරෙන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන කලපයයි. එම කලාපය හඳපාන්ඇල්ල, මෝර්නිග් සයිඩ්, ගොංගාල හා එන්සල්වත්ත යන ප්‍රදේශවලින් සමන්විත වේ. මෙම කලාපයේ ජීවීන් වසර මිලියන ගණනක් හුදෙකලාව පරිණාමය වී තිබේ.

සිංහරාජයේ ගිනි තැබූ හෝටලය අයිති කාටද?

හෝටලය පිහිටා ඇත්තේ ගොංගාල කන්දේ නැඟෙනහිර බෑවුමේ සිංහරාජ වන රක්ෂිතයට ආසන්නයේය. රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරළුවාගේ අයින ග්‍රාම නිලධාරි වසමේ මෙය පිහිටා තිබේ. අක්කර 12 ක පමණ භූමි ප්‍රදේශයක පිහිටා ඇති මෙම හෝටලයේ මුල් හිමිකරු වන්නේ දෙනියායේ, ආසිරි කේක් ව්‍යාපාරයේ හිමිකරු වන රොෂාන් විජේසිංහය. ඔහුගෙන් බලහත්කාරයෙන් රුපියල් කෝටි 4 කට එම හෝටලය මිලදී ගෙන තිබෙන බව කියවේ. එය මිලදී ගෙන ඇත්තේ රාජපක්ෂ පවුලේ සේවකයකු ලෙස කටයුතු කරන පුද්ගලයකුගේ නමට බව වාර්තාවේ. දැනට එම හෝටලයේ පාලන කටයුතු සිදුකරනු ලබන්නේ ද ඔහු විසිනි. හෝටලය අක්කර 12 ක භූමිභාගයක පැතිර පවතී.

පසුගිය කාලය තුළ මෙම හෝටලයේ සිදු කළ සියලු අලුත්වැඩියා කටයුතු හා නව ඉදිකිරීම් සියල්ල හා හෝටලයට ආරක්ෂාව සැපයීම සිදු කළේ නාවික හමුදාවේ සෙබළුන් විසිනි. එපමණක් නොව යෝෂිත රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මෙම හෝටලයට පැමිණෙන විට නාවික හමුදාවේ නිලධාරීන් හා සෙබළුන් යොදවා විශේෂ ආරක්ෂාවක් ද ලබා දේ. මෙම හෝටලයේ හෙලිකොප්ටර් ගොඩබෑම සඳහා විශේෂ හෙලිකොප්ටර් අංගනයක් ද ඉදිකර තිබේ. එය ඉදිකර ඇත්තේ ප්ලාස්ටික් කාපට් ඇතිරූ පාපන්දු පිටියක ස්වරූපයෙනි.

මෙම හෝටලය මෑතක් වනතුරුම පළමු හිමිකරු සඳහන් කර තිබූ සිංහරාජ ග්‍රීන් ඉකෝ ලොජ් (Sinharaja Green Eco Lodge) නාමයෙන් පවත්වාගෙන ගිය නමුත් අද වනවිට එම නාමය සඳහන් පුවරුව ඉවත් කර හෝටලය දක්වා පිවිසීමට ඇති කිලෝමීටරයක් පමණ වන අතුරු මාර්ගය අලුත්වැඩියා කරමින් තිබිණි.

සිංහරාජයේ ගිනි තැබූ හෝටලය අයිති කාටද?

මෙම හෝටලයෙන් ඇති වෙමින් තිබෙන ප්‍රධාන අවදානම් තත්ත්වය වන්නේ ගොංගල කඳුවැටියට අයත් අක්කර 1000 ක වනාන්තර ප්‍රමාණයක් අත්පත් කර ගෙන මෙම හෝටලය හා සම්බන්ධ සමස්ත සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැළසුම් සකස් කිරීමයි. ඒ යටතේ ගොල්ෆ් ක්‍රීඩාංගනයක් හා කේබල් කාර් ව්‍යාපෘතියක් ඇතුළත් වේ. 2011 මාර්තු 01 වන දින අංක 1695/16 දරන ගැසට් නිවේදනය මගින් එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඔහුට ඇති බලතල භාවිතා කර ජාතික රාජ්‍ය සභාවේ 1972 අංක 01 දරණ ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 27 අ (4) උප වගන්තියට අනුව හේයස් වත්තට පවරා තිබූ අක්කර 2210 ක භූමි ප්‍රමාණයෙන් අක්කර 1000 ක් නැවත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත පවරා ගෙන තිබේ. මෙම සමස්ත වනාන්තර ප්‍රදේශය දැනට සිංහරාජ වන රක්ෂිතයට අයත් වේ.

වැඩි කොටසක් සිංහරාජ වන රක්ෂිතය තුළින් විහිදී ඇති ගොංගල මාර්ගයේ සංවර්ධන කටයුතු හේතුවෙන් වනාන්තර පද්ධතියට හා ජෛව ප්‍රජාවට දැඩි බලපෑම් එල්ලවී තිබේ. මාර්ගය පුළුල් කිරීම හා පස් ලබා ගැනීම සඳහා කැණීම් කිරීම හේතුවෙන් වනාන්තර පද්ධතියට දැඩි හානි සිදුකර තිබේ.

මෙවන් තත්ත්වයක් තුළ අනාගතයේදී ගොංගල කඳුවැටිය ඛේදජනක ඉරණමකට ගොදුරුවීම වළකාලිය නොහැක. බෙවර්ලි වත්තේ සිට සූරියකන්ද දක්වා පැතිරුණු මෙම කඳුවැටිය මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කන්දිල්පාන හා විහාරහේන යන ග්‍රාම නිලධාරී වසම් දෙකට හා රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උල්ලිදුවාව හා බොරළුවාගේ අයින යන ග්‍රාම නිලධාරී වසම් දෙකට අයත් වේ. පනිල්කන්ද හා සම්බන්ධව ඇති මෙම කඳුවැටි පද්ධතියෙන් ගිං, නිල්වලා, වලවේ හා කළු ගංගා පෝෂණය වෙයි. මේ නිසා මෙම ප්‍රදේශයේ සමස්ත ආර්ථිකය රැඳී ඇත්තේ තේ වගාව සුරක්ෂිත වී ඇත්තේ මෙම ජල පෝෂක වනාන්තර පද්ධතිය මතය.

සිංහරාජයේ ගිනි තැබූ හෝටලය අයිති කාටද?

හෝටලයට ගිනි තැබීමට හේතු වී ඇත්තේ මෙච්චර කරුණු කාරණා ගැන ඉතා හොඳින් දැන සිටි පිරිසක් බව පැහැදිලිය. එහෙත් මෙවැනි තත්ත්වයකදී ආවේගශීලී නොවී, පරිසර පද්ධතියට හානියක් නොවන සේ එය සංචාරක ව්‍යාපාරය නැංවීම සඳහා යොදා ගැනීමට ක්‍රමවේදයක් වුව සකස් කිරීමට හැකිව තිබේනම් යහපත්ය. එහෙත් ව්‍යාපාරික තත්ත්වය තුළ සමස්ත දේශපාලනඥයින් ‘තක්කඩිකම්’ නොඉවසනසුලු ප්‍රජාවක් බිහිව තිබීම අවධානය යොමුවිය යුතු කාරණයකි. පරිසරය පමණක් නොව සමස්ත සමාජයම විනාශ කරමින් දේශපාලනඥයන් තම සුඛවිහරණය හේතුවෙන් කරන ‘අමනකම්’ තවදුරටත් ජනතාව ඉවසන්නේ නැති බව පෙන්වීමට හොඳම නිදසුනද මෙවැනි සිදුවීම්ය.

(සජීව චාමිකර මහතාට ස්තුතිය.)

ටයිරසි බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment