කච්චතිව් දූපත, ශ්‍රී ලංකාවට අයත් දූපතක් බව ඉන්දියාව විසින් පිළිගන්නා ලද්දේ 1974 ජුනි 28 වන දින අත්සන් කරන ලද ගිවිසුමක් මගිනි. එම ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් එවකට මෙරට අගමැතිනිය ලෙස කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අත්සන් කර ඇත. මෙම ගිවිසුමට අත්සන් තැබීම ස්ථාන දෙකකදී සිදුවී ඇති අතර ඉන්දියාව වෙනුවෙන් ඉන්දිරා ගාන්ධි මැතිනිය අත්සන් තබා ඇත්තේ ඉන්දියාවේදීය. ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද සමහරුන් සිතා සිටින්නේ ඉන්දිරා ගාන්ධි මැතිනිය සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතර පැවති මිත්‍රත්වය නිසා ඉන්දිරා ගාන්ධි මැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට “ඔන්න ඕක ඔයා තියාගන්න” කියා එම දූපත මැතිනියට ලබාදී ඇති බවය. කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් පැවති ගැටලුව සාමකාමීව සුහඳව බේරා ගැනීමට දෙරටේ නායකයන් අතර පැවති සුහදත්වය මෙන්ම දේශපාලනමය කරුණු කාරණා පිළිබඳව පැවති ගැළපීම ද බලපා ඇති බව පැහැදිලිය. ඒ බව පැහැදිලි වන්නේ 1968 වර්ෂයේදී එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුව ද එම ගැටලුව නිරාකරණය කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක වී ඇති බැවිනි.

එම දූපතේ අයිතිය තීරණය කිරීමේදී ප්‍රධාන වශයෙන්ම ඓතිහාසික සාධක පිළිබඳව අවධානය යොමු කර ඇත. එහිදී ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගෙන ඇත්තේ 1857 දී ජොන් ඇරෝස්මින් විසින් අඳින ලද සිතියම සහ 1800දී අඳින ලද සිතියමකි. යුරෙන් අතුකෝරල මහතා විසින් 2011 ජූලි 10 වන දින ‘ඉරිදා දිවයින සංග්‍රහය’ට ලියන ලද ලිපියක් මගින් පෙන්වා දී ඇත්තේ 1857 ජනවාරි 15 වන දින ජොන් ඇරෝස්මින් විසින් ලන්ඩනයේ දී අඳින ලද සිතියමෙහි කච්චතිව් දූපත ද ඉංග්‍රීසින් විසින් පාලනය කළ ලංකාවට අයත් දූපතක් ලෙස සටහන් කර ඇති බවයි. ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ 1950 දී ආර්. එල්. බ්‍රොහියර් විසින් සම්පාදනය කළ Land Maps and Surveys නම් කෘතියේ දෙවන වෙළුමේ ලංකාවේ උතුරු කොටස හා එයට අයත් ප්‍රදේශ දක්වන 1800 දී සම්පාදනය කරන ලද සිතියම අන්තර්ගත වන බවයි. එම සිතියම මුලින්ම අඳින ලද කඩදාසියේ Water mark එකට අනුව එම සිතියම 1800දී අඳින ලද්දක් බව බ්‍රෝහියර් සඳහන් කර ඇති බවත් එහි සඳහන් කර ඇත. එම සිතියමේ ද කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයත් දූපතක් ලෙස සඳහන් කර ඇත.

1974 ජුනි 28 වන දින කච්චතිව් දූපතේ අයිතිය තීරණය කළ ඓතිහාසික ගිවිසුම අත්සන් කළත් එම අවස්ථාව වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුහුදු සීමාවන් තීරණය කර තිබී නැත. දෙරට අතර මුහුදු සීමාවන් තීරණය කර ඇත්තේ 1976 මාර්තු මාසයේදී අත්සන් කරන ලද තවත් ගිවිසුමක් මගිනි. එසේම කච්චතිව් දූපත අසල ඉන්දීය ධීවරයන්ට මසුන් ඇල්ලීම ද තහනම් කර ඇත.

ඒ අනුව මේ වන විට කච්චතිව් දූපත ඓතිහාසික සාධක අනුවත්, මුහුදු සීමාවන් අනුවත් ශ්‍රී ලංකාවට අයත් භූමියක් ලෙස ඉන්දියාව විසින් නිත්‍යනුකූලවම පිළිගෙන අවසන් බව පැහැදිලිය. එසේ තිබියදී තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ජාත්‍යන්තර අධිකරණය හමුවේ එම දූපතේ අයිතිය ඉල්ලා නඩු පවරන බව ප්‍රකාශ කර ඇත. ඔවුන් ඒ සඳහා හේතු සාධකයන් ලෙස එම දූපතේ අයිතිය තමිල්නාඩුවේ රජ පරම්පරාවකට හිමිවන බවත්, තමිල්නාඩුවේ ධීවරයන්ට මුහුණ දීමට සිදුවී ඇති බව පවසන ගැටලුවත් ඉදිරිපත් කර ඇත. ඒ සමගම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ද මෙම දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දීම සම්බන්ධයෙන් කොංග්‍රස් පක්‍ෂයට දොස් පැවරූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මෝදි අගමැතිවරයා එක් අවස්ථාවකදී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව පිළිගැනීම අර්ථකථනය කර තිබුණේ භාරත මාතාව බෙදා වෙන් කිරීමක් වශයෙනි. තමිල්නාඩු දේශපාලනඥයන් ඒ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ අප්‍රේල් 19 වන දා ආරම්භ වන මහ මැතිවරණය හේතුවෙන් අගමැතිවරයාට හදිසියේම කච්චතිව් දූපත පිළිබඳව මතක් වී ඇති බවය.

අතීතයේදී නම් මෙම දූපතේ අයිතිය තීරණය කිරීම සඳහා ප්‍රධාන හේතු සාධකයන් ලෙස බලපා ඇත්තේ එම දූපත හරහා මෙරටට පුද්ගලයන් සංක්‍රමණය වීමත්, හොර බඩු ජාවාරමේ මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමත් නිසාය. නමුත් මේ අවස්ථාව වන විට හේතු සාධකයන් වී ඇත්තේ රජ පරම්පරාවක් ඉදිරියට දමා දූපතේ අයිතිය ලබාගැනීම සහ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අයත් මත්ස්‍ය සම්පත කොල්ලකා ගැනීමය.

පිළිගත හැකි සාධක තිබියදී මෙම දූපතේ අයිතිය තීරණය කිරීමට රජ පරම්පරාවක් ඉදිරියට දැමීම එක් අතකින් විහිළුවක් වන අතර අනෙක් අතට භයානකය. විහිළුවක් වන්නේ ජාත්‍යන්තර වශයෙන් පවා පිළිගැනෙන සාධක තිබියදී රජ පරම්පරාවක උරුමය අනුව තීන්දු තීරණ ගැනීමට යෑමයි. භයානක වන්නේ රජ පරම්පරාවක උරුමය අනුව තීන්දු තීරණ ගැනීමට ගියහොත් ශ්‍රී ලංකාවේම උරුමය පවා තමිල්නාඩු රජ පරම්පරාවකට හිමිවිය හැකි බැවිනි. එසේ පැවසිය හැක්කේ මෙරට පාලනය කළ අවසන් රජ පරම්පරාව වූ නායක්කාර වංශිකයන් පවා ද්‍රවිඩයන් වන බැවිනි. මීට කලකට ඉහත පුවත්පතක පළවූ ලිපියක සඳහන් වී තිබුණේ එම රජ පරම්පරාව ලංකාවේ උරුමය හිමි කුමාරයා ‘ලංකා කුමරු’ ලෙස නම් කර සිටින බවයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment