එක්දහස් අටසිය අසූහයේ මැයි 04 වැනිදා චිකාගෝ නුවර මෝටර් රථ නිෂ්පාදනයේ යෙදුණ කම්කරුවන් හේ මාකට් චතුරස්‍රයේදී විරෝධතාවක් දියත් කළේ පැය අටක වැඩ දිනයක් ඉල්ලමිනි. එකල කම්කරුවන් දිනකට පැය 13, 14ක කාලයක් සේවයේ යොදවා තිබුණි. එදා වැඩකරන මිනිසුන් පොලිසියේ බිහිසුණු බැටන් පොලු ප්‍රහාරවලට මුහුණදෙමින්, සිය සිරුරු මතු නොව ජීවිත පවා පරිත්‍යාග කළේ පැය අටක වැඩ දිනයක් දිනා දීම උදෙසාය. කම්කරුවන් 9 දෙනකු ඝාතනයට ලක් විය. ශ්‍රී ලංකාවත් ඇතුළුව මුළු ලෝකයටම ඒ ජයග්‍රහණය දිනා දීම උදෙසාය. පැය අටක වැඩ දිනය අරගල සහ කැපකිරීම් ගොන්නක ප්‍රතිඵලයක් ලෙස ලැබූ ජයග්‍රහණයකි. මැයි දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේත්, එම සිදුවීම පදනම් කරගෙනය. එහෙත්, අද කාලයේ විෂම චක්‍රය නව මොහොතකට ළඟා වී ඇත්තේ වත්මන් ආණ්ඩුව කම්කරු අයිතීන් විනාශ කරමින් පැය අටක වැඩ දිනය තනි කම්කරු නීතියක මුවාවෙන් කීතු කීතු කර දමන නිමේශයකය.

එපමණක් නොව, යෝජිත කම්කරු නීති සංශෝධනය අනුව සේවකයන් සේවයෙන් ඉවත් කිරීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් අවසර ගත යුතු බවට දැනට ඇති නීතිය ඉවත් කිරීමටත් යෝජනා කර තිබේ.

ජාත්‍යන්තර කම්කරු දිනය අද වන විට හුදෙක් ‘මැයි දිනය’ යන වචනයට සීමා කර තිබේ. කම්කරු යන වචනයම ඇතැමුන්ට අරහං වී තිබේ. ඒ මැද්දේ මෙවර මැයි දිනය තම තමන්ගේ බලය පෙන්වන අවස්ථාවක් බවට පත් කරගැනීමට දේශපාලන පක්ෂ සියල්ලම පාහේ උත්සාහ කරමින් සිටී. එක් පක්ෂයක් ගෝල්ෆේස් පිටියේය, තව පක්ෂයක් කැම්බල් පිටියේය, තවත් පක්ෂයක් තවත් තැනකය. දැන් කතාව බස්වලින් පුරවාගෙන සෙනඟ ගෙනැවිත් තමන්ගේ පක්ෂයට ‘සෙනඟ’ සිටින බව පෙන්වන්නටය. කිසිදු ප්‍රධාන පක්ෂයකට මේ මොහොතේ කම්කරුවා, ගොවියා, ධීවරයා සහ අනෙකුත් සමස්ත වැඩකරන ජනතාව මුහුණදෙන අභියෝග, ගැටලු, පීඩාවන් රාශියක් අදාළ නැත.

එවැනි මොහොතක, දේශපාලන පක්ෂවලට අනුබද්ධ නොවූ වෘත්තිය සමිති සහ අනෙකුත් සංවිධාන 32ක පමණ ප්‍රමාණයක් ඒකාබද්ධව මැයි දින සැමරුමක් කොළඹ ස්ටැන්ලි ජෑන්ස් පිටියේ පැවැත්වීමට සූදානම් කර තිබේ. ලේක්හවුස් වටරවුම ආසන්නයෙන් මැයි 01 වැනිදා උදෑසන 10ට ආරම්භ වන එම මැයි දින පාගමන තුළදී මේ වෙද්දී වැඩකරන ජනතාව මුහුණදෙන ගැටලු රාශියක් ඉස්මතු කර දැක්වීමට නියමිතය. මෙම සටහන මැයි දිනයේදී වැඩකරන ජනතාව මුහුණදෙන සැබෑ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරයි.

නීතිඥ ස්වස්තිකා අරුලිංගම් වාණිජ හා කාර්මික සේවක සංගමයේ සභාපතිය වේ. එම වෘත්තිය සමිති ඇතුළු වෘත්තිය සමිති ගණනාවක් ඒකාබද්ධව සැදුම්ලත් එක්සත් කම්කරු සම්මේලනයේද සභාපතිනිය ඇයයි. ලීනස් ජයතිලකගේ අඩුව පුරවමින් ඔහුගේ භූමිකාව ඉටු කිරීමේ වගකීම කර දරාගෙන පැමිණ පසුගිය වසර පුරා වෘත්තිය සමිති ක්ෂේත්‍රයේ වේගයෙන්ම නැගී ආ නායිකාවක් වූ ඇය, ජාතික කම්කරු උපදේශන සභාවේ එකම කාන්තා නියෝජිතවරියද වූවාය. එහෙත්, මෙවර මැයි දිනය වන විට ජාතික කම්කරු උපදේශන සභාවෙන් එකම කාන්තාවත් දොට්ට දැමීමට රජය කටයුතු කර තිබේ. ඇඟලුම් කලාපයේ කාන්තාවන් සහ රත්මලානේ කර්මාන්තශාලාවල වෘත්තිය සමිති රැසක් නියෝජනය කරන ඇය වත්මන් තත්ත්වය ගැන මෙසේ කීවාය.

‘දැන් පාර්ලිමේන්තුවේ ඉන්න අය කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්නේම නෑ. උදාහරණයක් විදියට තනි කම්කරු නීතිය එනකොට ප්‍රමාණවත් සංවාදයවත් ගත්තේ නෑ. ඊපීඑෆ් අරමුදල මංකොල්ලකමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ අර්ථසාධක අරමුදල් මත පැටවූ බද්ද පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඇතැම් දේශපාලන පක්ෂ විරුද්ධ වෙනවා. පොළොවේ බලය ඕනෑ වෙලාවට ඔවුන් පොළොවේ විරෝධය මතු කරන්නේ නෑ. මෙවර මැයි දිනයට ඔවුන් ගෙන්වන පිරිස ඊපීඑෆ් එක රැකගැනීමේ අරගලයට ගෙන ආවේ නෑ. පෞද්ගලිකකරණයට එරෙහි අරගලයට ගෙන ආවේ නෑ. අධ්‍යපානය පෞද්ගලිකකරණය කරමින් පවතින මොහොතක, ඔවුන් ඒ දිහා බලන්නේවත් නැහැ. දහස් ගණන් සෙනඟ මැයි දිනයට ගෙනෙන්න ලෑස්ති වෙන දේශපාලන පක්ෂ වැඩකරන ජනතාව වෙනුවෙන් මොනවාද කරන්නේ කියලා අපි විමසන්න ඕනෑ.

පැය අටේ වැඩ දිනයත් අහිමි කරන මොහොතක තහනම් වචනය කම්කරු දිනය
හර්මන් කුමාර
පැය අටේ වැඩ දිනයත් අහිමි කරන මොහොතක තහනම් වචනය කම්කරු දිනය
ඇන්තනි ජේසුදාසන්
පැය අටේ වැඩ දිනයත් අහිමි කරන මොහොතක තහනම් වචනය කම්කරු දිනය
චමිලා තුෂාරි

අරගලයෙන් පස්සේ, වැඩකරන මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තුවක් ලැබුණා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව කියනවා ආර්ථිකය යථාතත්ත්වයට පත්වෙමින් තියෙන බව. එහෙත්, ඇත්තටම පොළොවේ තියෙන්නේ ඒ තත්ත්වය නෙවෙයි. දවසට එක ආහාර වේලයි. කිසිදු පෝෂණයක් නෑ. දැන් බාලවයස්කාර දරුවන් රැකියාවන්ට යොමු වෙන තත්ත්වයක් ඇති වෙලා. ඔවුන්ට වැටුප් ප්‍රමාණවත් නෑ. විරැකියාව ඉහළ යනවා. කර්මාන්තශාලා වැසී යනවා. රජය මේ කිසිවකට තීරණාත්මකව මැදිහත් වෙන්නේ නෑ. අද අපේ සාමාජිකයන්ද ඇතුළත්ව ලක්ෂ ගණනක් වැඩකරන ජනතාවට විදුලි බිල් ගෙවන්න බැහැ. ජල බිල් ගෙවාගන්න බැරිවෙලා තියෙනවා.

එයට අමතරව ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලිකකරණයට යෝජනා ගේනවා. එයින් අද ඉතිරි වී තිබෙන අධ්‍යාපනය නම් වූ අයිතිය පවා වැඩකරන මිනිසුන්ගෙන් අහිමි කරනවා. අදත්, අධ්‍යාපනයට යන වියදම් දරාගන්න බැරිවයි කම්කරුවා ඉන්නේ. අත්‍යවශ්‍ය ඖෂධවලට පහසුකම් අද නැහැ. වැඩකරන මිනිස්සු රෝහල්වලදී විස බෙහෙත් ගන්නේ. මේ ඔක්කොම මැද්දේයි, ඊපීඑෆ් අරමුදල කොල්ලකෑවේ. කම්කරු නීති සංශෝධනවලට සැලසුම් හදමින් අවසාන ලේ බිඳුවත් කම්කරුවාගෙන් උරා බීමට හාම්පුතුන්ට අවකාශ සලසන්නේ. මේ විදියට ඔවුන් සුභසාධක රාජ්‍යය නැති කරලා දානවා.’

පැය අටේ වැඩ දිනයත් අහිමි කරන මොහොතක තහනම් වචනය කම්කරු දිනය
කල්ප මධුරංග
පැය අටේ වැඩ දිනයත් අහිමි කරන මොහොතක තහනම් වචනය කම්කරු දිනය
නීතිඥ ස්වස්තිකා

කල්ප මධුරංග අවිධිමත් අංශයේ සේවකයන්ව සංවිධානය කරන, ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතියේ ලේකම්වරයාය. ඔහු විශේෂයෙන්ම ගෘහ සේවක සේවිකාවන් ඇතුළු අවිධිමත් අංශයේ පිරිස් වෙනුවෙන් කාලයක් තිස්සේ පෙනී සිටී. වෘත්තිය සමිති ව්‍යාපාරය තුළ විශාල කාර්යභාරයක් ඉටු කරන තරුණ නායකයකු වන ඔහු මේ වන විට කම්කරුවන් මුහුණ දෙන තත්ත්වය මෙසේ විස්තර කළේය.

‘සාමාන්‍යයෙන් ලංකාවේ කම්කරු ජනතාව මිලියන 82ක් වගේ ඉන්නවා. එයින් සීයට 65ක් ඉක්මවා අවිධිමත් අංශයේ සේවකයන් ඉන්නේ. මේ වෙලාවේ ලංකාව ඇතුළේ විධිමත් අංශයට කම්කරු නීති ආදිය අහෝසි වෙන, අයිතීන් නැති කරන තත්ත්වයක් තියෙන්නේ. අවිධිමත් අංශයට කම්කරු නීති ඇත්තේම නැහැ. රාජ්‍ය අංශය ආයතන සංග්‍රහයෙන් ආවරණය වෙනවා. පුද්ගලික අංශය කම්කරු අණපනත්වලින් ආවරණය වෙනවා. අවිධිමත් අංශයට කිසිවක් නැහැ. ඔවුන්ට සමාජ ආරක්ෂක වැඩපිළිවෙළක පවා ආවරණය ලැබෙන්නේ නැහැ. ඒ අතරමැද්දේ, දැන් අලුත් කම්කරු නීති සංශෝධන ඇවිල්ලා තියෙන්නේ පෞද්ගලික අංශයේ රැකියා පවා තව තවත් අවිධිමත් රැකියා අතරට තල්ලු කරමිනුයි. විධිමත් අංශවලටත් අයිතීන් අහිමි වෙන මොහොතක, අවිධිමත් අංශය ගැන කතා කිරීමත් විහිළුවක් වේවි.

වෘත්තිය සමිති විදියට අවධිමත් අංශයේ ඉල්ලීම් අපි ඉල්ලුවාම, කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර යම්කිසි විදියකට පොරොන්දු දුන්නා. ගෘහ සේවකයන්ට කම්කරු අයිතීන් හදනවා කිව්වා. ත්‍රීවිල් රියැදුරන්ට හදනවා කිව්වා. ඉදිකිරීම්, පෙර පාසල් ගුරුවරුන් ආදී අවිධිමත් අංශයේ සියලු දෙනාට හදනවා කියලා පොරොන්දු දුන්නාට එහෙම වුණේ නෑ. මේ පාරත් කම්කරු ඇමැති මනූෂ කිය කියා යනවා අවිධිමත් අංශයට අභිමානනීය රැකියාවක් කියලා. අවුරුද්දක් තිස්සේ ඒ මනුස්සයා කියාගෙන යනවා. අපට පේන්නේ ඒක ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියක් විදියට. අපි කම්කරු අමාත්‍යාංශයට අනතුරු අඟවලා තියෙනවා මේ පාර ඔය පොරොන්දුවලට රැවටෙන්නේ නෑ කියලා.

ඒ විතරක් නෙවෙයි, ලංකාවේ මිනිස්සු අවුරුද්දට ලක්ෂ තුනක් රැකියා වෙනුවෙන් විදේශගත වෙනවා. මේ ශ්‍රම සංක්‍රමණිකයන් නැත්නම් රට සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙනවා. බිලියන හතක් විතර විදේශ විනිමය ඔවුන් එවනවා. සංක්‍රමණික ශ්‍රමිකයන් රටේ ආර්ථිකයේ ජීවනාලිය වගේ. ශ්‍රමිකයන් සම්බන්ධව අපට පෙන්වනවා දේවල් කරන බව. හැබැයි කම්කරු දෙපාර්තමේන්තුවට ගියාම අඩු තරමේ සංවිධානය වීමේ අයිතියවත් නෑ. කිසිදු දෙයක් කරන්නේ නෑ. ඔවුන්ව කම්කරුවන් විදියට පිළිගන්නේවත් නෑ. විදේශගත වෙලා ලංකාවට ආවාට පස්සේ ශ්‍රම දායකත්වය වෙනුවෙන් කිසිදු සැලකීමක් නෑ. ප්‍රතිපත්ති හදනවා, කිසිදු දායකත්වයක් නෑ. අපි පැහැදිලිව අවිධිමත් අංශය දකින්නේ ශ්‍රම බළකායේ බහුතරය ලෙස.

යම්කිසි විදියක විධිමත් ක්ෂේත්‍රයක් ලෙස තිබුණාට, ඇඟලුම් ක්ෂේත්‍රය පවා මේ වෙද්දී අවිධිමත් පැත්තට තල්ලු වෙමින් පවතිනවා. එවැනි මොහොතක, මෙවර මැයි දිනයේදී අපේ සටන තියෙන්නේ රටේ පාලකයන් විධිමත් අංශය අවිධිමත් අංශයට ඍජුව හා වක්‍රව තල්ලු කරමින් පවතින මොහොතක, අවිධිමත් අංශයට විධිමත් සේවක අයිතීන් දිනාගැනීම දක්වායි.’

ඇඟලුම් කලාපයේ කම්කරුවාගේ තත්ත්වය වැඩිදුරටත් පැහැදිළි කළේ ඩාබිඳු සාමූහික සංගමය නියෝජනය කරමින්, චමිලා තුෂාරිය.

‘දැන් ඇත්තටම නිදහස් වෙළෙඳ කලාපය අවුරුදු 45ක්. මේ වෙද්දී ඔවුන්ගේ ජීවිතවල කම්කරු නීතිවල රැකවරණයවත්, රස්සාවේ සුරක්ෂිතභාවයත්, සමාජ සංරක්ණය ගැනවත් කිසි දෙයක් නෑ. අපි කාලාන්තරයක් තිස්සේ ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා. සැමරීම්වල ප්‍රධාන ඉලක්කය පක්ෂවල බලය තහවුරු කිරීම. කම්කරුවන්ගේ දිනය සමරන්න ඕනෑ කම්කරුවන් විසින්. සීයට 4ක් වත් ඇඟලුම් ක්ෂේත්‍රයේ වෘත්තිය සමිතිගත වෙලා නැති මොහොතක් මේක. අයිතීන් සුරක්ෂිත වෙලා නැති මොහොතක් මේක. වැඩ කරන කාන්තාවන්ට වේදිකාවක් නෑ අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න. වැඩපළේවත් නෑ. කම්කරු කාන්තාවන්ගේ තත්ත්වය ගැනයි අපේ වැඩිපුර අවධානය. ශ්‍රම බළකායේ කාන්තා දායකත්වය ඉතා අඩුයි, ඒ වෙනුවෙන් මොනවාද රජය කරලා තියෙන්නේ. ඒවාට පහසුකම් සපයා තියෙනවාද. අම්මා කෙනෙක් වැඩට යනවා නම් ඇය ගෙදරදී කරන වැඩ ශ්‍රමයක් විදියට හඳුනාගෙන තියෙනවාද? ගෘහස්ථ හිංසනය හෝ ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයට එරෙහි ප්‍රතිපත්ති මොනවාද? ආයතනවලට දරුණු විදියට මෙවැනි හිංසනයන් සිද්ධ වෙනවා. අපි කලක් තිස්සේ සී190 කියන ජාත්‍යන්තර ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරන්න කියා ඉල්ලලා තියෙනවා. ඒත්, සිද්ධවෙලා නෑ.’

කර්මාන්තශාලා වැසී යෑම ඇය විශේෂයෙන් ඉස්මතු කළාය. මේ සියල්ලට අමතරව විදුලිය, ටෙලිකොම්, රක්ෂණ ආදී බොහෝ ක්ෂේත්‍ර විකුණා දැමීමත් ආණ්ඩුවේ සැලසුම්වල තිබේ. විදුලිය පෞද්ගලික අංශය සතු වීම එම සේවාව වැඩ කරන ජනතාවට අහිමි වීමකි. එය ව්‍යාපාරයක් බවට හැරුණු පසු, පීඩනය තවත් වැඩි වනු ඇත. අද කම්කරුවා ඉන්නේ ප්‍රවාහනය අතින් ඉතා දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙමිනි. උදෑසන වැඩට යෑම වධහිංසාවක් වන තැනට ප්‍රවාහනය දුර්වලය. ඒ මදිවාට මාසිකව ප්‍රවාහනයට වැය වන මුදල දරාගත නොහැකි තරම්ය.

ගොවියා සහ ධීවරයා ගැටලු රාශියකට මුහුණදෙමින් සිටින්නේ මේ පසුබිමේය. අධ්‍යාපන පෞද්ගලිකකරණය, සෞඛ්‍ය ප්‍රශ්න සහ ජීවන වියදම ඇතුළු සියලු ගැටලුවලට එලෙසම මුහුණදෙන ඔවුන් ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවට පැමිණීමට ඉඩ සලසන නව ධීවර පනතක් සමග ගැටෙන්නට සිදුව තිබේ. ගොවියන්ට තමන්ගේ ඉඩම් අයිතිය රැකගැනීමට මහත් අරගලයක් කරන්නට සිදුවනු ඇත.

පැය අටේ වැඩ දිනයත් අහිමි කරන මොහොතක තහනම් වචනය කම්කරු දිනය

ගොවීන්ගේ ජල අයිතිය අහිමි කරමින් පවතින්නේ ජලාශ ඇතුළු සියල්ල වාණිජකරණය වෙද්දීය. ගොවිතැන මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ වාණිජ වගා ව්‍යාපෘතිවලට පැවරෙද්දී ගොවියා තමන්ගේම ඉඩමේ කම්කරුවකු බවට පත් කිරීමට පිඹුරුපත් සකසමින් සිටී.

ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නායක හර්මන් කුමාර ධීවරයන්ගේ තත්ත්වය ගැන මෙසේ කීය. ‘දැන් කම්කරුවන් හැටියට ධීවරයන්ව දාලා තියෙන්නේ පහළම තැනට. කිසිම අයිතියක් නැති, අසංවිධානාත්මක කණ්ඩායමක් හැටියට ඉන්නේ. අයිතීන් දිනාගැනීමේ ඉඩකඩ සීමිත තැනක තියෙන්නේ. සංවිධානාත්මකව ඒකරාශී වීම තුළින් තමයි ඔවුන්ට ජයගන්න පුළුවන් වෙන්නේ. සී188 නමින් කම්කරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රඥප්තියක් තියෙනවා. ඒකවත් මෙරට සම්මත කරවා ගැනීමට ධීවරයන් ඒකාබද්ධව සටන් කරන්න ඕනෑ. ධීවර කම්කරුවන් හැටියට ඔවුන්ගේ වෘත්තිය අයිතීන් දිනාගැනීම සඳහා වන ක්‍රියාකාරීත්වයක් අපි දිනාගැනීමට බලාපොරොත්තු වෙනවා. ධීවරයන්ට බලපාන ප්‍රධාන දෙයක් තමයි මහමුහුද සූරාකෑම. ඒකටත් එරෙහිව අපි මෙවර මැයි දිනයට සහභාගි වෙනවා.’

ගොවියාගේ තත්ත්වය විස්තර කළේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂය. ගොවීන් බොහෝ දෙනකු, තමන්ගේ ප්‍රජාමූල මූල්‍ය සංවිධාන වළපල්ලට යවන ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරී පනතකට එරෙහිව සටන් කරමින් සිටියේය. දැන් එම පනත තාවකාලිකව හකුළාගෙන ඇතත්, ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය එලෙසම පවතී. ගොවියා ණයවලින් කොල්ලකෑමට ලක්වෙමින් සිටී.

‘ගොවීන් කොවිඩ්වලින් සහ ආර්ථික අර්බුදයෙන් පස්සේ පසුගිය අවුරුදු පහක වගේ කාලය ඇතුළත ඉතා බරපතළ විදියට දරුණු ආගාධයකට තල්ලු වුණා. ඒක තවත් විදියකට වර්ධනය වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය නිසා. මෙවර මැයි දිනයේදී හැම පාර්ශ්වයක්ම ඉදිරියට එනවා නම් එන්න ඕනෑ ඒ විදියට සමාජයේ පහළ ස්ථරවලට තල්ලු කෙරිලා ඉන්න ජනතාව වෙනුවෙනුයි. පීඩාකාරී, විනාශකාරී, රස්සාවලට ඉඩ නැති, මිනිස්සුන්ට කන්න දෙන්න බැරි තැනක මේ රට ඉන්නේ. මේ මැයි දිනයේ සටන් පාඨ වෙන්න ඕනෑ ඒකයි. පක්ෂ ඔක්කෝම මේ වෙලාවේ ඉතිහාසයේ දැවැනතම, ලොකුම, වැඩිම සෙනඟ සහභාගි වෙන මැයි දිනය බවට මේක පත් කරන බව කියනවා. මේක මැතිවරණ වර්ෂයක් වන නිසා දේශපාලන බලය හුවමාරු කරන එකකට මේ දිනය ලඝු කරන්නයි හදන්නේ. මේක අහම්බයක් නෙවෙයි, හැමදාම ඒක තමයි සිද්ධ වුණේ. ඒත් අඩු තරමේ මේ වෙලාවේ ඒගොල්ලන්ට බැරි වෙලා තියෙනවා ඇත්ත මිනිස්සුන්ගෙ ප්‍රශ්න ටික තමන්ගේ න්‍යායපත්‍රය ඇතුළටවත් ගන්නට. ඉතින්, අපි ගොවීන් එක්ක හම්බන්තොට දැවැන්ත මැයි රැළියක් පවත්වනවා. කොළඹදී ඒකාබද්ධ මැයි රැළියටත් ගොවි නියෝජිතයන් සම්බන්ධ වෙනවා. අපි ස්වාධීනව අපේ ප්‍රශ්න විසඳාගන්නට එකතු වෙන්න ඕනෑ.

වතු හිමියන් විවිධ ක්‍රම මගින් වතු කම්කරුවන්ට දිනකට ගෙවිය යුතු රු. 1000 ක වැටුප තවමත් ගෙවන්නේ නැත. වතු කම්කරුවන් ලෙස මෙරටට ඉන්දියාවේ සිට ගෙනැවිත් පදිංචි කළ, මලයාල දෙමළ ජනතාව ශ්‍රී ලාංකිකයන් ලෙස වසර 200ක් සමරන මොහොතක, තවමත් ඔවුන්ගේ අනන්‍යතාව බවට වතු කම්කරු රැකියාව පත් වී තිබේ. ඒ රැකියාවම ඉතා බිහිසුණු දුෂ්කර රැකියාවක්ව පවතින්නේ මෙරටට වැඩිම විදේශ විනිමය ගෙන එන ක්ෂේත්‍රයක් ලෙස එය පවතිද්දීය. වතු ක්ෂේත්‍රයට තවම අධ්‍යාපන පහසුකම් නැති තරම්ය. ඔවුන්ට ලිපිනයක්වත් නැති පසුබිමක, සාමාන්‍ය රැකියාවලට ප්‍රවේශ වීමට ඔවුන්ගේ දරු දැරියන්ට අයිතිය නැත. වත්තේ රස්සාව නැත්නම් ඔවුන්ට උරුම වී තිබෙන්නේ ගෘහ සේවක හෝ වෙන යම්කිසි අවිධිමත් අංශයේ රස්සාවකි.

වතුකරයේ ජනතා හඬ සංවිධානයේ ඇන්තනි ජේසුදාසන් මෙසේ පැවසීය.

‘ගිය සතියේත් අපි පුද්ගලික අංශයේ වතුවල සේවක පිරිසක් හම්බවුණා. උදේ හතට ගිහිල්ලා හවස එන්නේ පහට විතර. පැය 10ක වැඩ ප්‍රමාණයක් කරන්න වෙනවා. සමහර වතුවල ලොකු කැළෑවල් තියෙනවා. ඒක සුද්ධ කරන්න කාන්තාවන් දානවා. ඉතින්, සැබෑ ප්‍රශ්නය හරියටම පැය 8 වැඩ කරනවාද? ගාමන්ට් සහ වතුකරයේ පැය අටට වඩා වැඩියි. කම්කරු දිනය සමරනවා කියලා කියමින්, එයාලා ඇත්තටම එහෙම කරද්දී අවුලක් තියෙනවා.

වතුකරයේත් වෘත්තිය සමිති මහලොකුවට මෙවර මැයි දිනය සමරාවි. එයාලාට ඒකට අයිතියක් නෑ. තොණ්ඩමන් හෝ දිගම්බරම් වගේ දෙපැත්තම රජයේ පාලනයන්හි ඉඳලා තියෙනවා. තාම බැරිවෙලා තියෙනවා, ඉන්දියානු ව්‍යාපෘතියක් නැතිව වතුකරයේ අයට නිවසක් හෝ ඉඩමක් ලබා දෙන්න. ඉඩමක් තිබුණ අයට පවා ඔප්පු නෑ. රුපියල් 1000 පඩිය සමහර තැන්වල ලැබෙන්නේ නෑ. සමහර තැන්වල කිලෝ 34ක් කඩන්න ඕනෑ. සමහර තැන්වල 24ක් කඩන්න ඕනෑ. සමහර තැන්වල වතුර තියෙනවා කියලා කිලෝ පහක් අඩු කරනවා. රුපියල් 1000ක වැටුප නෑ.

තොණ්ඩමාන්ලාගේ වෘත්තිය සමිතිවලට දැනටත් වතු කම්කරුවන් බොහෝ දෙනකුගෙන් සාමාජික ගාස්තු කැපෙනවා. පවුලේ දෙතුන් දෙනා තොණ්ඩමාන්ලාට සාමාජික ගාස්තු ගෙවනවා. ඒත් ප්‍රශ්නය ඔවුන් වෘත්තිය සමිති ලෙස ක්‍රියාත්මක වෙනවාද කියන එක. උදාහරණයක් විදියට හුළංදාවේ වත්තක් තියෙනවා. තවම වැසිකිළියක් නෑ මිනිස්සුන්ට. මෙවැනි තත්ත්වයන් තමයි බොහෝ තැන්වල තියෙන්නේ.’

ඒ අනුව වතු කම්කරුවා, ඇඟලුම් කලාප සේවකයා, විදේශ ශ්‍රමිකයා, ධීවරයා සහ ගොවියා ඇතුළු තව බොහෝ දෙනකු අද ඉන්නේ තමන්ගේ අයිතීන් උදෙසා පුළුල් පෙළගැසීමක් අවශ්‍ය වූ මොහොතකය.

මේ සියල්ල මැද හාම්පුතුන්, දේශපාලන බලවතුන්, ව්‍යාපාරික බලවතුන් ආදීන් මේ රට මෙම ආර්ථික අගාධයට ඇද දැමීමට වගකිවයුත්තන් ලෙස තවමත් නිරුපද්‍රිතව සිටී. මෙරට ධනය ඩොලර් බිලියන 56ක් ව්‍යාජ ක්‍රමවලින් ව්‍යාපාරික බලවතුන් විසින් පිටරටවලට ගෙනගොස් ඇතැයි හෙළි වුණේ ස්වාධීන විමර්ශකයන් පිරිසකගේ මැදිහත්වීමෙනි. එය මෙරට අධිකරණ ඇමැතිවරයා පිළිගත් අතර, ආර්ථික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව ඒ ගැන සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකන් ඩොලර් බිලියන 2.9ක් ඉදිරිපිට ශ්‍රී ලංකාවේ සියලු ක්ෂේත්‍ර පෞද්ගලීකරණය කරමින් සිටින්නේ පෙර කී මුදල් නැවත ගෙන ඒමට කිසිදු උත්සාහයක් නොදරන අතරතුරේය. බදු පැහැරහැරීම්වලින් ලංකාවේ ව්‍යාපාරික බලවතුන් ඉදිරියෙන්ම සිටී. ඒවාට කිසිදු පියවර ගැනීමක් නැත. මෙරට රජය ලබාගෙන ඇති ණයවලින් සියයට 67ක්, වත්කම්වල නොමැති බව රාජ්‍ය ණය කළමනාකරණය පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාව හෙළිදරව් කළේය. ඒ අනුව ණය හොරකම් කර ඇත. අතුරුදන් කර ඇත. එහෙත්, ඒ ණය පිළිබඳ විගණනයක් කොට සොරකම් කළ ණය මුදල් අදාළ වගකිවයුත්තන් වෙත යොමු නොකර, වැඩ කරන ජනතාව මත ණය බර පටවා තිබේ. අද ඉහළ බදු අය කරන්නේ, එම රාජ්‍ය ආදායමෙන් සියයට 70ක් පමණ ණය පොළී ගෙවීමට වැය කරමිනි.

වැඩකරන ජනතාව මැයි දිනයේදී අදිටන් කරගත යුත්තේ, දේශපාලන පක්ෂවල බල න්‍යායපත්‍රවලට ඔබ්බෙන් තමන්ගේ අයිතීන් දිනාගැනීමට එක්සත් වීමටය. පෙළගැසීමටය. එසේ නොවන තාක් කල් දේශපාලනඥයන්ගේ අතකොළු ලෙස තව තවත් අගාධයට යෑමට වැඩ කරන ජනතාවට සිදු වනු ඇත.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment