ග්‍රෝන් ෆී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා බලාපොරොත්තු පස්සට යයි

732

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඩුබායි අගනුවරදී ක්‍රියාත්මක කෙරුණු ග්‍රෝන් ෆී මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සැලකිය යුතු දස්කම් ප්‍රදර්ශනය කිරීමට එම තරගාවලියේදී අසමත් වූහ.

කාන්තා මීටර් 800 ඉසව්වේ ආසියාතික වාර්තා ලාභිනී තරුෂී කරුණාරත්න තම ඉසව්ව අතර මග නවත්වා ඉවත් වූ අතර ගයන්තිකා අබේරත්න නියමිත දුර ප්‍රමාණය සාර්ථකව අවසන් කළ නමුත් ඇයට සැලකිය යුතු ස්ථානයක් තහවුරු කර ගැනීමට නොහැකි විය.

ඉතාලියේ දී පුහුණුවීම් ලබන යුපුන් අබේකෝන් මෙවර මීටර් 100 ඉසව්වට ඉදිරිපත් වෙමින් තෙවන ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වූයේය. යුපුන් අබේකෝන් ගේ තරග නිමි කාලය තත්පර 10.18 ක් ලෙසින් සටහන් වූ අතර එම දක්ෂතාව මීළඟ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය.

එහෙත්, තම ආබාධයෙන් අනතුරුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා කෙළි බිමට ප්‍රවිෂ්ට වෙමින් ප්‍රදර්ශනය කළ දක්ෂතාව පිළිබඳව සෑහීමට පත්වන බව යුපුන් අබේකෝන් අනාවරණය කළේය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී පැවැත්වෙන තරග ආශ්‍රිතව ඉහළම දක්ෂතා ප්‍රදර්ශනය කරන බවට ද විශ්වාසය පළ කළේය.

කාන්තා මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගනිමින් කැපී පෙනෙන්නට නදීෂා රාමනායක සමත් වූවාය.

සුසන්ත ප්‍රනාන්දු මහතා සහ මුද්දික තුෂාර මහතා මෙම කණ්ඩායමට පුහුණුකරුවෝ ලෙස එක්ව සිටියහ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරය ආසන්නයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩාවට ආදරය කරන බොහෝ පිරිසක් තරග ඉසව් නරඹමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ධෛර්යමත් කිරීමට පැමිණ සිටීම ද ඉහළ අගයක් ගත්තේය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment