තහනම් ගහේ ගෙඩි කන්න ගිය පදියතලාව ඕඅයිසී මෝල්ගස් පහරකා අයිසීයූ එකේ

1513

සැමියා මහියංගණ පොලිසියට භාරවෙයි

සැමියා නොමැති අවස්ථාවක බිරිඳ සමග අනියම් ඇසුරක් සඳහා පසුගිය 04 වැනිදා අලුයම 2.00ට පමණ පදියතලාව සරණගම ප්‍රදේශයේ නිවසකට ගිය පදියතලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට අනියම් බිරියගේ සැමියා විසින් මෝල්ගසකින් පහර දී බරපතළ තුවාල සිදු කර ඇතැයි වාර්තා වේ.

හිසට බරපතළ තුවාල සිදු වී ඇති පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. සැමියා නිවසේ නැතැයි සිතා පොලිස් ස්ථානාධිපතිවරයා සිය අනියම් බිරිඳ හමුවීමට මෙම නිවසට ගොස් ඇතත් දැනුම් දීමකින් තොරව හිටිහැටියේම නිවාඩු ලබාගෙන සැමියා නිවෙසට පැමිණ මෙම දෙදෙනාගේ අනියම් සම්බන්ධය අතටම හසු කරගෙන ඇත. මෙම අවස්ථාවේදී කුස්සියේ තිබූ මෝල්ගස රැගෙන විත් යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයකු වන සැමියා පොලිස් ස්ථානාධිපතිවරයාට මෝල්ගස දෙකඩ වන තුරුම පහරදී ඇති අතර පහර දීමෙන් පොලිස් ස්ථානාධිපතිවරයා සිහිසුන්ව ඇදවැටී තිබේ. මෙම අවස්ථාවේදී සැකකාර සැමියා තිස් දෙහැවිරිදි තම බිරිඳට ද පහර දී බරපතළ තුවාල සිදු කර ඇත.

පහරදීමෙන් අනතුරුව ලාන්ස් කෝප්‍රල්වරයා කැලෑ පාරක් ඔස්සේ ප්‍රධාන මාර්ගයට පැමිණ අලුයම 5.30ට පමණ බස් රථයකට ගොඩවී මහියංගණය පොලිසියට පැමිණ භාර වී ඇත. එහිදී පහරදීම සම්බන්ධයෙන් සැකකරු මහියංගණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දියතලාව මානික්කකන්ද යුද හමුදා කඳවුරේ සේවයේ නිරත හතළිස් හතර හැවිරිදි ලාන්ස් කෝප්‍රල්වරයෙකි.

නිවෙස තුළ සිහිසුන්ව ඇද වැටී සිටි පදියතලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා හා ඔහුගේ අනියම් බිරිඳ ප්‍රදේශවාසීන් විසින් ත්‍රිරෝද රථයකින් පදියතලාව ප්‍රාදේශීය රෝහලට ගෙන ගොස් ඇති අතර එම අවස්ථාවේදීම වැඩිදුර ප්‍රතිකාර සඳහා තුවාලකරුවන් මහියංගණය මූලික රෝහලට මාරු කර යවා ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ තත්ත්වය අසාධ්‍ය බැවින් ඔහු වැඩිදුර පුතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. පදියතලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට පහරදුන් බවට මහියංගණ පොලිසියට භාර වූ ලාන්ස් කෝප්‍රල්වරයා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව පදියතලාව පොලිසියට භාර දී ඇත. පහර කෑමට ලක්වූ තිස් දෙහැවිරිදි කාන්තාව තවදුරටත් මහියංගණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

දැනට පදියතලාව පොලිස් අත්අඩංගුවේ පසුවන ලාන්ස් කෝප්‍රල්වරයා ඊයේ (05දා) දහවල් දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.එච්.එම්.එන්. ජයපද්ම මහතාගේ උපදෙස් පරිදි මහඔය සහකාර පොලිස් අධිකාරි මීඇල්ල මහතාගේ මූලිකත්වයෙන් අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් මහතා ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
පදියතලාව විශේෂ – භාෂණ සත්‍යප්‍රිය, බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment