හයර් නැතිව අව්වේ වේළෙනවා අපිට ජීවත් වෙන්න විදියක් නෑ

117

වර්තමානයේ ඇතිවී තිබෙන විවිධ දුෂ්කරතාවයන් නිසා ආදායම් තත්ත්වය පහත වැටීම හේතුවෙන් තම දරුපවුල් රැක ගැනීමට මාර්ගයක් නොමැතිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බව කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න පොලිස් වසමේ ලෙව්වන්දූව හන්දියේ ත්‍රීවිල් රියැදුරෝ කියති.

ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ ව්‍යාපාරය ආරම්භ වීමත් සමගම ලෙව්වන්දූව හන්දියට ත්‍රිරෝද රථයක් රැගෙන පැමිණි ප්‍රථමයා මා බව සඳහන් කළ හැකියි. මෙම හන්දියේ ත්‍රීවීල් සංගමයේ සභාපතිවරයා වන්නේ ද මමයි. ඒ කාලයේ අපට හොඳට හයර් තිබුණා. මහජනයාට ද අඩු මුදලකට ගමන් යෑමට හැකියාව ලැබුණා.

දැන් පෙට්‍රල් පමණක් නොව, අමතර කොටස්, එන්ජින් ඔයිල්වල පවා මිල ඉහළ ගිහින්. ඒ නිසා ත්‍රිරෝද ගාස්තු වැඩි කිරීමට ද සිදුවුණා.

මහජනයාගේ ආදායමද වැඩි නොවීම නිසා ඔවුන්ද බස්වලින් මෙන්ම පා ගමනින්ම යනවා. මේ පිළිබඳව අදාළ වගකිවයුත්තන්ට දැනුම් දුන්නද ප්‍රතිචාරයක් නැහැ.

නිශාන්ත ලියනගේ මහතා-

මෙම දුෂ්කර තත්ත්වය ඇතිවීමට පෙර ලැබෙන ආදායම ක්‍රමවත්ව කළමනාකරණය කර ගනිමින් අපි සතුටින් ජීවත් වුණා. එහෙත් අසාමාන්‍ය ලෙස තෙල් මිල හා අමතර කොටස්වල ද මිල ඉහළ යෑම අපට දරාගන්න බැරිවී තිබෙනවා. එමෙන්ම ආදායම් මාර්ගය ඇහිරී තිබීම නිසා දරු පවුල ජීවත් කරවීම ද විශාල අභියෝගයක් වී තිබෙනවා.

යූ. එන්. සුනිල් මහතා-

මම ත්‍රිරෝද රැකියාවට එනවිට රු. 140ක්ව තිබූ පෙට්‍රල් දැන් රු. 500 ක් පමණ වෙනවා. ඔයිල් ලීටරය තිබුණේ රු. 600ට පමණි. මේ වනවිට එය ද රු. 1900 ක් වෙලා. සමහර මිනිස්සු අපි ළඟින් යන්නේ අහක බලාගෙන. දැන් මේ රස්සාවක් එපාවෙලා තිබෙන්නේ.

ආතර් වික්‍රමආචර්චි මහතා-

ත්‍රිරෝදකරුවන්ගේ ගැටලු පිළිබඳව පසුගිය රජයට දැනුම් දුන්නා. ඔවුන් අපිව අරලියගහ මන්දිරයට ගෙන්වා කන්න, බොන්න දී කිව්වා ත්‍රීවීල් ගැටලු විසඳන බව. නමුත් ඒවා සියල්ල කඩවුණා. බලාපොරොත්තු බවට පතවුණා.

එබැවින් කළුතර දිස්ත්‍රික්කය ඇති කුලී ත්‍රිරෝද රථ එක ස්ථානයකට කැඳවා ඉදිරියේදී විශාල උද්ඝෝෂණයක් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
විල්සන් විජේරත්න-ඉත්තෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment