පන්සලකට පැන දෙදෙනකුට පහර දීලා: මාලිමාවේ අපේක්ෂකයා අත්අඩංගුවට

456

මඟ හරස් කර නවතා තිබූ ලොරියක් ඉවත් කරවීමට ගත් උත්සාහයකදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් පිරිසක් සමග අනුරාධපුර අභය වැව විහාරස්ථානයට කඩා වැදී එහි සිටි දෙදෙනකුට පහරදුන් බව කියන ජාතික ජන බලවේගයේ පළාත් සභා අපේක්ෂකයකු ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

සැකකරු සමග විහාරස්ථානයට කඩාවැදී මෙම පහරදීම සිදුකළ බව කියන අනෙක් පිරිස ද අත්අඩංගුවට ගැනීමට ප්‍රථම පරීක්ෂණයක් අරඹා ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස පහරකෑමට ලක්වූ දෙදෙනාගෙන් එක් අයකු ආරණ්‍ය සේනාසනයක හිමිනමකගේ රියැදුරු ලෙස සේවය කරන අයකු බවත් අනෙක් පුද්ගලයා විහාරස්ථානයේ ‘ලියන මහත්තයා’ යනුවෙන් හඳුන්වන අයකු බවත් පොලිසිය පවසයි.

රියැදුරු ලෙස කටයුතු කරන පුද්ගලයා පෙරේදා (22දා) හිමිවරුන් කීපනමක් විහාරස්ථානය කරා රථයෙන් වැඩම කරවමින් සිටි අවස්ථාවේ මඟ හරස්වීම නිසා ලොරි රථය මඳකට ඉවත් කරගන්නැයි පැවසූ අවස්ථාවේ බහින්බස්වීම ඇති වී තිබේ.

අනතුරුව එම රියැදුරු විහාරස්ථානය කරා පැමිණ වාහනය නතර කළ අවස්ථාවේ පුද්ගලයන් අටදෙනකු පමණ විහාරස්ථානය වෙත පැමිණ මන්නා, යකඩ පොලු, පිහි, සවල් ඇතුළු ආයුධ කීපයක් රැගෙනවිත් මෙම රියැදුරුට සහ ලියන මහත්තයාට පහර දී ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment