ජ’පුර සරසවිය ළඟ කුඩු ගබඩාවක්

361

කෝටි 40ක මත්ද්‍රව්‍ය හමුවෙයි

නිවසක් කුලියට අරගෙන

යුවළක් අත්අඩංගුවට

අයිතිය ඩුබායි කපිලට!

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල කුලී නිවසක පවත්වාගෙන ගිය ඩුබායි කපිල නමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් මත්ද්‍රව්‍ය ගබඩාව වැටලූ පොලිස් විශේෂ කාර්ය බළකාය රුපියල් කෝටි 40කට අධික වටිනාකමෙන් යුත් අයිස්, කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවළක් පෙරේදා (01 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගත්හ.

වාසනා සමන්ත නමැත්තකු සහ ඔහුගේ බිරිඳ විසින් මෙම මත්ද්‍රව්‍ය ගබඩාව පවත්වාගෙන ගොස් තිබූ අතර එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13ක්, හෑෂ් කිලෝ 06ක් කොකේන් ග්‍රෑම් 500ක් සහ මත්ද්‍රව්‍ය අලෙවියෙන් ඉපයූ රුපියල් ලක්ෂ 15ක් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් වසර 02කට ආසන්න කාලයක සිට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල කුලී නිවස සිය මත්ද්‍රව්‍ය ගබඩාව ලෙස පවත්වාගෙන ගොස් ඇත.

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරියක විසින් මෙම කුලී නිවස රුපියල් 40,000ක මාසික කුලී පදනම මත මෙම ජාවාරම්කාරයන්ට ලබාදී ඇති බවද විමර්ශනවලින් හෙළි වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් මීට සති කීපයකට උඩදී හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග සැකකරුවකු මෝදරදී අත්අඩංගුවට ගෙන තිබිණි.

එම ජාවාරම්කරුගෙන් ලද තොරතුරු සහ බුද්ධි තොරතුරු ඔස්සේ විමර්ශන පැවැත් වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පෙරේදා සවස කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි වාසනා සමන්ත නමැති ජාවාරම්කරු අත්අඩංගුවට ගත්හ. සැකකරු සතුව තිබී ඒ මොහොතේ අයිස් කිලෝග්‍රෑමයක් ද සොයා ගන්නා ලදි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල කුලී නිවසක සිය මත්ද්‍රව්‍ය ගබඩාව පවත්වාගෙන යන බව පාපොච්චාරණය කර ඇත.

මෙම මත්ද්‍රව්‍ය ගබඩාව ඩුබායිහි සැඟවී සිටින ඩුබායි කපිලට අයත් බවත් එම ගබඩාව පවත්වාගෙන යන්නේ තමන් විසින් බවත් සැකකරු ප්‍රකාශ කර තිබේ.

පසුව මෙම මත්ද්‍රව්‍ය ගබඩාව පවත්වාගෙන ගිය නිවස වැටලූ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 12ක් හෑෂ් කිලෝ 06ක්, කොකේන් ග්‍රෑම් 326ක් සහ රුපියල් 15 ලක්ෂයක මුදලක් සිය භාරයට ගන්නා ලදී.

මේ අතර වාසනා සමන්ත නමැත්තා පදිංචිව සිටි කොට්ටාවේ පිහිටි තවත් නිවසක් වැටලූ විශේෂ කාර්ය බළකාය එහි තිබී කොකේන් ග්‍රෑම් 213ක් සමග ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ගබඩාවේ සඟවා තබා හෙරොයින් තොගපිටින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට අලෙවි කරන බව සැකකාර වාසනා සමන්ත ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

ඩුබායිහි සිටින කපිල නමැත්තා විසින් විවිධ පුද්ගලයන් හරහා තමාට මෙම මත්ද්‍රව්‍ය තොගපිටින් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් පාපොච්චාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර අඹු සැමි යුවළ සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීහු විසින් විමර්ශන පැවැත්වූහ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment