පැහැරගෙන ඝාතනය කළ කට්ටඩියාගේ මළ සිරුර කැලණි ගගෙන් හමුවේ

426

* මියගිය අයගේ සිරුරේ අත්දෙකට දම්වැල් දමා ඉබි යතුරුත් දමලා

* ඔහු අනියම් බිරිඳ සමග කාමරයක පදිංචිව සිටි කෙනෙක්

* ගුරුකම් හේතුවෙන් සතුරන් සිටි බව අනියම් බිරිඳ කියයි

පිංතූර සහ සටහන පියදාස රණසිංහ සහ කඩුවෙල- සුගත් පේ‍්‍රමතිලක

පසුගිය විසිතුන් වැනිදා රාත‍්‍රී දහයට පමණ හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම ප‍්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වූ මන්ත‍්‍ර ගුරුකම්වලට ප‍්‍රසිද්ධ කට්ටඩියෙකුගේ මළ සිරුර රනාල ජල්තර ප‍්‍රදේශයේ කැලණි ගෙග් පාවෙමින් තිබියදී නවගමුව පොලිසිය මගින් සෙනසුරාදා උදෑසන සොයාගන්නා ලදී.

මොහුගේ අත් දෙකට දම්වැලක් දමා ඉබි යතුරුද දමා තිබූ අතර සිරුර නිරුවත්ව තිබිණි. එම ස්ථානයට පැමිණි ඔහුගේ අනියම් බිරිඳ විසින් අතේ තිබූ පච්චයකින් මළසිරුර හඳුනාගත් අතර ඔහු එච්. ඒ. ගාමිණී හෙට්ටිආරච්චි නමැති (54) අඹගම්පල, රත්මල්ගුහාව, කිරිවානාගම, හල්දුම්මුල්ල පදිංචිකරුවෙකි. මොහු සිය අනියම් බිරිඳ සමග ඇඹුල්ගම ප‍්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන සිට ඇත. පසුගිය විසිතුන් වැනිදා රාත‍්‍රී දහයට පමණ තරුණයන් දෙදෙනෙකු ස්කුටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණ අපි පොලීසියෙන් ගාමිණී කෝ යනුවෙන් විමසන විට මෙම තැනැත්තා සැගවීමට උත්සහ දරා ඇත. පැමිණි දෙදෙනා අසල තිබූ හබරල ගාලක පොරබදා මොහුට පහරදී දී දම්වැලක් අත්දෙකට දමා ඉබියතුරු දමා මොහුව බලෙන්ම මෝටර් බයිසිකලයට නංවාගෙන පැහැරගෙන ගොස් ඇත. මේ සිද්ධිය අසල ඇති සී සී ටී වී කැමරා වලද සටහන්ව ඇත. කඩුවෙල වැඩබලන මහෙස්ත‍්‍රාත් පී. ඞී. කරුණාරත්න මහතා මළසිරුර තිබූ ස්ථානයට පැමිණ පරීක්‍ෂණ සිදුකළ අතර මෙම බිහිසුණු ඝාතනය කළ අය ඉක්මනින් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළේය. මෙහිදී අනියම් බිරිඳ කියාසිටියේ පැහැරගැනීමට පැමිණි කිසිවෙක් තමා හඳුනන්නේ නැති බවයි. ගුරුකම් කටයුතු හේතුවෙන් ඔහුට සතුරන් සිටින බවද ඇය පැවසුවාය. තමන්ට සල්ලි නැති බව කියමින් ඇය මියගිය අයගේ සිරුර භාරගැනීම ප‍්‍රතික්‍ෂෙප කරන බවද කීවාය.

මළ සිරුරේ හිසේ වෙඩි වැදීමක් විය හැකි තුවාලක්ද ඇති නිසා පොලිසිය සැක කරන්නේ ඝාතකයින් මොහු වෙඩිතබා ගගට දමන්නට ඇති බවයි. පැහැරගැනීමට පැමිණි දෙදෙනා හෙල්මට් පැළද සිටි බැවින් හඳුනා ගැනීමට අපහසු අතර ඔවුන් පැමිණි යතුරු පැදියේ අංක තහඩුවද රෙදි කැබැල්ලකින් ආවරණය කොට ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. හංවැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. වසන්ත කුමාර, නවගමුව පොලිස් ස්ථානාධිපති දිනේෂ් අත්තරගම, හංවැල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පො. ප. සුජිත් පො. සැ. (56992) රෝහිත යන නිලධාරීහු පරීක්‍ෂණ මෙහෙයවති.

advertistmentadvertistment
advertistmentadvertistment