නළුවන් යැයි කියාගන්නා ඇතැම් පිරිස් විසින් සිදුකරන යම් යම් ක්‍රියා හේතුවෙන් සමස්තයක් ලෙස රංගන ක්‍ෂේත්‍රයම හෑල්ලුවට ලක්වූ අවස්ථාවන් ඇත. ඇතැම් වංචනික පුද්ගලයන් විසින් මෙරට ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ නම් විකුණමින් කූට ජාවාරම් ආදියේ නිරත වූ අයුරුත්, තවත් තැනක සටකපට කාන්තාවන් මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියන් නමින් පෙනී සිටිමින් දුරකථන මාර්ග ඔස්සේ ‘අමුතු ගේම්’ ක්‍රියාත්මක කරන අයුරුත් කාට අලුත් දෙයක් වුවත් මෙරට බහුතරයක් ජනතාවට එම කියුම් කෙරුම් තවදුරටත් අලුත් දෙයක් නොවන්නේ එවැනි සිදුවීම් සම්බන්ධව මාධ්‍ය මගින් වරින් වර වාර්තා කිරීම හේතුවෙන්ය.

එවැනි වටපිටාවක් තුළ ඉකුත් දිනක ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් ලෙස රට හමුවේ පෙනී සිටි ‘නළු බට්ටෙක්’ ඇතුළු තවත් දෙදෙනෙක් වලාන මධ්‍යම දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගත් අතර එම පිරිස පොලිස් අත්අඩංගුවට පත්වන්නේ විදේශීය ගමන් බලපත්‍ර, ඉතාලි රජය විසින් නිකුත් කරන ලද බවට හැඟවෙන ව්‍යාජ වීසා, ව්‍යාජ ගුවන් ටිකට්පත් සහ ව්‍යාජ ලියකියවිලි ඇතුළත් ජංගම දුරකථන කීපයක් ද සහිතවය. වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාර ඒකකය සඳහන් කළ ආරංචි මාර්ගවලට අනුව එම පිරිස අත්අඩංගුවට පත්වන්නේ මේ ආකාරයෙන්ය.

පසුගිය දිනක වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාට ලැබෙන එක්තරා තොරතුරකින් කියැවෙන්නේ පුද්ගලයන් නොමග යවමින් මුදල් වංචාවේ යෙදෙන එක්තරා පුද්ගලයකු තවත් පිරිසක් නොමඟ යවමින් එක්තරා මුදල් වංචාවක් පිණිස සැලසුම් සකස් කරමින් සිටින බවත් එම මුදල් ලබාදෙන පුද්ගලයන් සහ වංචාව සිදුකරනු ලබන තැනැත්තා එකිනෙකා මුණගැසීම පිණිස පිටකොටුව මල්වත්ත පාර අසලට පැමිණීමට නියමිත බවත්ය.

එම ගනුදෙනුව සිදුකරන දිනය, වේලාව ඇතුළු තවත් වැදගත් තොරතුරු රැසක් එම තොරතුරු ලබාදුන් පුද්ගලයා විසින් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතා හමුවේ තබන අතර එහිදී ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ එම වංචාව සිදුකරන පුද්ගලයා චිත්‍රපට හා ටෙලිනාට්‍ය නළුවකු ලෙස පෙනී සිටිමින් මෙම වංචාවේ නිරත වන බවත් ඒ වන විටද එම පුද්ගලයා විරුද්ධව පොලිස් ස්ථාන කීපයක යම් යම් පිරිස් විසින් පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත්ය.

එම තොරතුරු මත ක්‍රියාත්මක වන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් සැරයන්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් සිවිල් ඇඳුමින් සැරසී පිටකොටුව මල්වත්ත පාර සහ ඒ ආසන්නයේ රාජකාරි පිණිස යොමුකොට ඇත. එලෙස සාමාන්‍ය වැසියන් ලෙස හැසිරෙමින් අවට වටපිටාව පිළිබඳ නිරන්තර සෝදිසියෙන් පසුවූ බුද්ධි නිලධාරීන් පිරිස ජනාකීර්ණ පිටකොටුව දුම්රියපළ අසල ආවේක්ෂණ රාජකාරියේ නිරත වන අතරතුර ස්ථානාධිපතිවරයා විසින් ලබාදුන් තොරතුරුවලට බෙහෙවින් සමාන පුද්ගලයකු නිරීක්‍ෂණය වන අතර පොලිස් ඇස ඔහු පසුපස ලුහුබඳින්නේ ඉන් අනතුරුවය. ඒ අනුව තවත් නොබෝ වේලාවකින් බුද්ධි නිලධාරීන් හට දකින්නට ලැබී ඇත්තේ සැකකටයුතු පුද්ගලයා තවත් පුද්ගලයන් පිරිසක් මුණගැසෙන අයුරු සහ කිසියම් ලියකියවිලි සහිත ලිපිගොනු කීපයක් හුවමාරුකර ගන්නා ආකාරයක්ය. ඒ අනුව බුද්ධි නිලධාරීන්ගේ ඉලක්කය නිවැරදිය. වහාම ක්‍රියාත්මක වන ඔවුන් ඒ බව මෙම වැටලීම සඳහා සම්බන්ධ පොලිස් නිලධාරීන් කණ්ඩායමේ තවත් නිලධාරීන් පිරිසක් වෙත දැනුම් දී ඇත. වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බළකායේ ප්‍ර.පො.ප. මහේන්ද්‍ර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා අතර සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව කිරිබත්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක ලැගුම් ගෙන සිටියදී මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

ඉතාලි රාජ්‍යයේ රැකියාවන් සඳහා නිකුත් කරන ලද වීසා බලපත්‍ර සහ ඒ සඳහා ලබාගන්නා ලද ගුවන් ටිකට්පත් බව අඟවමින් විදේශීය
රැකියා ඒජන්සි ආයතනයක ප්‍රධානියකු බව පවසන, දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් රවටා කෝටි ගණනින් මුදල් වංචා කර ඇති පිටකොටුව දුම්රියපළ අසලදී අත්අඩංගුවට පත් වූ පුද්ගලයා දිගින් දිගටම මෙම ජාවාරමේ නිරතවූ අයෙක් බව පොලිස් විමර්ශනවලින් තහවුරු වී ඇත. අන්තර්ජාලය හරහා මහජනතාව වෙත ව්‍යාජ තොරතුරු සපයමින් අවිස්සාවේල්ල, රුවන්වැල්ල, වැල්ලවාය ඇතුළු තවත් ප්‍රදේශ රැසක පුද්ගලයන්ගේ මුදල් මොහු විසින් මේ ආකාරයට වංචනික ලෙස ලබාගෙන ඇති අතර ඔහු විසින් මෙම ජාවාරම ක්‍රියාත්මක කර ඇත්තේ Whatsapp තාක්‍ෂණය උපයෝගී කර ගනිමින්ය. මෙම වංචනික කල්ලියේ ප්‍රධානියා ලෙස පෙනී සිටි චිත්‍රපට නළුවා යැයි කියාගත් පුද්ගලයා එසේ ලබාගත් මුදල් යොදවමින් කැසිනෝ සූදුව සඳහා දිනකට ලක්‍ෂ ගණනින් මුදල් වැය කළ අයකු බවට ද පොලිසිය විසින් හඳුනාගෙන ඇත.

නීතියේ රැහැනින් බේරීම පිණිස සුපිරි හෝටල්වල පමණක් නවාතැන් ගෙන ඇති සැකකරු එවැනි උපාය මාර්ග අනුගමනය කර ඇත්තේ ඔහු ගැවසෙන ස්ථාන පිළිබඳ කිසිවකුටත් දැනගැනීමට නොහැකිවනු පිණිසය. මෙම සැකකරුට විරුද්ධව දිවයිනේ පොලිස් ස්ථාන කීපයක පැමිණිලි සටහන්ව ඇති බවද පොලිස් විමර්ශනවලින් හෙළිදරව් වී ඇත.

ඉතාලි රැකියා ලබාදෙන බව පවසමින් ව්‍යාජ ලෙස උපයාගත් මුදල් යොදවමින් සුපිරි ජීවිතයක් ගතකර ඇති මෙම පුද්ගලයා එම මුදල් වැය කර විදේශ සංචාර ආදියේ ද නිරතව ඇති අතර අත්අඩංගුවට පත්වීමට පෙර දින රාත්‍රියේ ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති බවට ද අනාවරණය වී ඇත. මෙරට ප්‍රසිද්ධ ගුවන්විදුලි හා රූපවාහිනි නාලිකා කීපයක සේවය කර ඇති මෙම සැකකරු තිරගතවීමට නියමිත චිත්‍රපට කීපයක, දැනට විකාශනය වන ටෙලිනාට්‍ය සහ වෙළෙඳ දැන්වීම් කීපයක පෙනී සිටින පුද්ගලයෙක් බවට ද වැඩිදුරටත් අනාවරණය වී ඇත.

රැවටිලිකාරයන් සහ රැවටීමට ලක්වන්නන් බහුල රටක ‘නළු බට්ටෙක්’ ඇතුළු කණ්ඩායමක් විසින් කරන ලද රැවටීමේ තරම රුපියල් කෝටි ගණනක් ඉක්මවා යන අගයක්ය. එතෙක් දිනක් ඔවුන් විසින් කරන ලද ව්‍යාජ රංගනයේ තරම රට හමුවේ අනාවරණය වන්නේ ඉකුත්දා මෙම වංචනික නඩය පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමගය. මෙවැනි වංචනිකයන් පිළිබඳවත් ඔවුන්ගේ ‘ජිල්මාට්’ පිළිබඳවත් මාධ්‍ය මගින් කොතෙක් දැනුවත් කළ ද ඔවුන්ගේ ‘ගොදුරු’ බවට පත්වන පිරිසගේ අඩුවක් දකින්නට නැත. ජාවාරම්කරුවන් විසින් විවිධ උපක්‍රම යොදවමින් මෙවැනි ජාවාරම් දිගින් දිගටම සිදුකරන අතර ඔවුන් විවිධ වේශයන්ගෙන් සාමාන්‍ය සමාජය තුළ හැසිරෙමින් ඇත. ජනප්‍රිය නළුවන්, නායකයන්, ක්‍රීඩකයන් පමණක් නොව ඉහළ රාජ්‍ය නිලධාරීන්, ලේඛකයන් ලෙසින්ද මෙවැනි හොර නඩ ඉදිරියේදී ඔබ අප රැවටීමට ඉඩ ඇති බැවින් සහ ඒ සඳහා ඔබේ අත රැඳි ස්මාර්ට් දුරකථනය මෙවලමක් බවට පත්කර ගැනීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.

මෙම අත්අඩංගුවට ගැනීම වලාන මධ්‍යම දූෂණ මර්ධන බළකායේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චාමික වික්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ වලාන මධ්‍යම දූෂණ මර්ධන බළකායේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ ප්‍ර.පො.ප. මහේන්ද්‍ර පෙරේරා ඇතුළු උ.පො.ප. සඳරුවන්, පො.සැ. (428) ජයලාල්, පො.කො. (84889) උදය, (77090) බාලසූරිය, (91287) සංජීව, (93681) ජයසේකර, (94009) සියන්ත, (104678) කුමාර, (104547) කුරකුලසූරිය, කා.පො.කො. (11352) දිල්හාරා, (12617) ශාලිකා, පො.කො.රි. (16227) උදාර, (105529) සිල්වා යන නිලධාරීහු කණ්ඩායම විසින් මෙම මෙහෙයුම සිදුකරන ලදී.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment