කුඩු නැව් ගෙන්වන මෙහෙයුම බූස්සෙන්

579

මීට දශක කිහිපයකට පමණ ඉහතදී සොත්ති උපාලි, චින්තක අමරසිංහ සහ නාවල නිහාල් වැන්නන් මෙරට කුඩු පාතාලයේ රජවී සිටි සමයේ රටත් සමාජයත් භීෂණයෙන් හෙම්බත් කළ එක්තරා දරුණු ව්‍යසනයක් තිබිණි. එය වූයේ කුඩු පාතාලයේ කිරුළ දිනා ගැනීම වෙනුවෙන් එකිනෙකා මරා ගැනීම විය. එකල දෙනෝ දාහක් දෙනා බලා සිටියේදී මහමඟ ගිනි දවාලේදී මෙන්ම අධිකරණ පරිශ්‍රයන් තුළදී මෙන්ම වෙනත් ඕනෑම තැනකදී කුඩු පාතාලයේ ගිනි අවි පත්තු වන්නට වූයේ තරගයට මෙනි. හෙරොයින් ජාවාරමෙන් ලැබෙන මහා ධනස්කන්ධයේ තනි උරුමක්කරුවා බවට පත්වීම හෝ එසේ නැතහොත් තමන්ගේ වැයික්කියේ තවෙකෙකුට මතුවීමට ඉඩ නොතැබීම වැනි කරුණු මුල්කර ගනිමින් මෙකී මිනිස් ඝාතන සිදුවිය.

කුඩු පාතාලයේ එක් කල්ලියක ප්‍රහාරයකින් වෙනත් කල්ලියක එකකු පරලොව ගිය කල්හි පැය විසිහතරක් ගතවීමටත් මත්තෙන් ප්‍රතිප්‍රහාරය එල්ල කරමින් උණ්ඩයෙන් රිටන් එක දෙන්නට අනෙක් කල්ලිය පසුබට නොවීය. එදා මේ අන්දමට කුඩු පාතාලයේ සාමාජිකයන් වී ගිනියම් වෙඩි වරුෂාවකට ගොදුරුව හතර රියන උරුම කර ගත්තෝ බොහෝ වූහ. එහෙත් මේ තත්ත්වය දිනෙන් දින දරුණු වීමත් සමඟ එයට එරෙහිව පොලිසිය හා ආරක්ෂක අංශ ක්‍රියාත්මක වීම හමුවේ අවසානයේ කුඩු පාතාලයේ ගිනි කෙළි සෙල්ලම් බොහෝ දුරට නතර විය. පසුගිය අතීතයේ රත්ගම විදුර, මනෝජ් මෙන්ඩිස්, කොස්ගොඩ තාරක, කොස්ගොඩ සුජී ආදී ලෙසින් දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කුඩු ජාවාරමුන් අතර එකිනෙකා මරා ගැනීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.

එසේම කරාටේ ධම්මික ඇතුළුව කොළඹ බ්ලූමැන්ඩල්, මාළිගාවත්ත, පෑළියගොඩ, වත්තල, ගනේමුල්ල වැනි තදාසන්න ප්‍රදේශ කෙන්ද්‍රීයව නැගී සිටි කුඩු පාතාලයන් අතරේද එවැනි තත්ත්ව පැවතිණි. එහෙත් කුඩු පාතාලය එසේ පසුගිය කාලයේ හිස ඔසවා තිබියදී හිටි හැටියේ කොහෙන්දෝ මතුවූ සුදු වෑන් භීෂණය හමුවේ සියල්ල වාෂ්ප වූයේ අදහාගත නොහැකි පරිදිය. සුදු වෑන් භීෂණය මතුවීමත් සමඟ ඇඳිවතේ මළපහ වූ ඇතැම් කුඩු පාතාලයෝ හිස ගිනිගත්ත වුන් සේ රටින්ද පලා ගියහ. මෑතක් වනතුරුම මෙරට පාතාලය පැවතියේ එසේ නිශ්ක්‍රීයවය. ඉකුත් කාලයේ එය යළි සක්‍රීය කරනු ලැබුවේ මාකඳුරේ මධුෂ් යැයි කිවහොත් එය නිවැරදිය.

එසේ මතුවූ කුඩු පාතාලයේ කතාව අද තිබෙන්නේ කොතැනකද? එකිනෙකා මරා ගැනීම දැන් යළි ආරම්භ වී ඇත. රට පුරා භීෂණය ඔඩු දුවමින් ඇත. එය කොතෙක් බරපතළ තත්ත්වයකට පත්ව ඇතිදැයි කිවහොත් පාතාලයට එරෙහිව කටයුතු කරනු ලබන පොලිස් නිලධාරීන්ගේ පවුල් පිටින් ඝාතනය කරන බවට තර්ජනය කරන තැන දක්වා එය දැන් ගමන් කර අවසන්ය. තර්ජනය කිරීම පමණක් නොව, එසේ තර්ජනයට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයකු දකුණේ ගාල්ල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමටද පසුගියදා කුඩු පාතාලයෝ පියවර ගත්හ.

මේ වන විට ලෙයට ලෙය සොයා යන මෙරට කුඩු පාතාලයේ කතාව එසේ වෙද්දී අද කුඩු ජාවාරම පවතින්නේ කුමන තැනකද? අප ඉපදුණු මේ මාතෘ භූමිය දැන් ජාවාරමුන්ගේ ප්‍රබල මර්මස්ථානයක් බවට පත්ව අවසන්ය. ඉකුත් සතියේදී රාජ්‍ය බුද්ධි සේවයේ සහ පොලිස්, නාවික බුද්ධි අංශවල තොරතුරු අනුව යමින් නාවික හමුදාව මගින් මෙරටට විශාල හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එමින් තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් ගැඹුරු මහුදේදී අත්අඩංගුවට ගැනීමම එයට උදාරණ සපයන්නේය.

පොලිස් හා නාවික බුද්ධි තොරතුරු අනුව ගාල්ලට බටහිරින් වූ නාවික සැතපුම් 91 ක් හෙවත් කිලෝ මීටර් 168 ක් දුරින් වූ ගැඹුරු මුහුදේදී වෙරළ ආරක්ෂක බළකායේ සමුද්‍රාරක්ෂක නෞකාව මගින් ඉකුත් විසි වැනිදා එක් ධීවර යාත්‍රාවක් සැකකරුවන් සිව් දෙනකු සමඟ අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඉකුත් 22 වැනිදා එය දෙවුන්දර ධීවර වරාය වෙතට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරනු ලැබීය. ධීවර වරායට ගෙන ඒමෙන් පසු සිදු කළ සෝදිසියේදී සූක්ෂම ලෙස එම යාත්‍රාවේ සඟවා තිබූ රුපියල් මිලියන හාරදහසක් පමණ වටිනා හොරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 212 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 31 ක් සොයා ගැනීමට වැටලීම සිදුකළ නිලධාරීහු සමත් වූහ.

දෙවුන්දරට දකුණු දෙසින් නාවික සැතපුම් 292 ක් හෙවත් කිලෝමීටර් 540 ක් ගැඹුරු මුහුදේදී නාවික හමුදාවේ විජයබාහු නෞකාවේ නිලධාරීන් විසින් අනෙක් ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබිණි. රාජ්‍ය බුද්ධි සේවය ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකින් එම ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඉකුත් 24 වැනිදා කොළඹ වරායට රැගෙන එනු ලැබූ එම යාත්‍රාවේ තිබී රුපියල් මිලියන 4500 වටිනා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 219 ක් සොයා ගැනීමට නාවික හා පොලිස් නිලධාරීහු සමත් වූහ.

පාර්සල් 200 ක එම හෙරොයින් තොගය අසුරා තිබුණු අතර බුද්ධි තොරතුරු අනුව යමින් නාවික හමුදා මෙම ධීවර යාත්‍රා දෙක අත්අඩංගුවට ගනු ලැබුවේ දින පහක් වැනි කෙටි කාලයක් තුළය. දින පහක කාලයක් තුළ එසේ රුපියල් මිලියන 8500 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙරට බහුදින ධීවර යාත්‍රා තුළ තිබී මෙසේ අත්අඩංගුවට ගැනෙන්නේ නම් ආරක්ෂ අංශ දැල්වලින් රිංගා තවත් මෙවැනි ධීවර යාත්‍රා කීයක් නම් මෙරට වෙරළ තීරයට ළඟා වනවා විය හැකිද? මෙම සිදුවීම පසුපස තිබෙන බරපතළම උභතෝකෝටිකය වන්නේ එය නොවේද?

කුඩු නැව් ගෙන්වන මෙහෙයුම බූස්සෙන්

නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ මෙම මත්ද්‍රව්‍ය තොගයද සුපුරුදු පරිදිම මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකට දෙනු ලැබුවේ ඇෆ්ගනිස්තාන සහ පාකිස්තාන මහුදු තීරය ඔස්සේ යාත්‍රා කෙරුණු නෞකාවකින් විය හැකිය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කළ වත්මන් ප්‍රධාන පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එසේ පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන මුහුදු තීරයේ සිට මත්කඩු පටවාගෙන යාත්‍රා කරමින් තිබූ නෞකාවක් අත්අඩංගවට ගැනීමට සමත් විය. එය ඉරාන ධජය යටතේ ඉන්දීය සාගර කලාපයට පිවිස යාත්‍රා කරමින් තිබූ නෞකාවක් වූ අතර එහිදී නෞකාවේ සිටි ඉරාන ජාතිකයන් පිරිසක්ද රංගජීව ඇතුළු නිලධාරීහු අත්අඩංගුවට ගනු ලැබූහ. මේ දක්වා ආරක්ෂක අංශ සහ පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ කලකට ඉහත දෙවුන්දර ප්‍රදේශය රාජධානිය කරගෙන සිටි දෙවුන්දර තමිල් නමැත්තා විසින් මෙම මත්කුඩු තොගය මෙරටට එවා තිබෙන බවකි. තමිල් අද සිටින්නේ විදේශයකට පලා ගොසිනි.

දෙවුන්දර තමිල් මෙතරම් මත්කුඩු තොගයක් මෙරටට පොම්ප කරනු ලැබුවේ කාගේ ඇනවුමකට අනුවද? මෙරට බන්ධනාගාර පද්ධතියට අයත් අධි ආරක්ෂිත යැයි කියනු ලබන බූස්ස බන්ධනාගාරයේ නිරුවත අපි මීට දෙසතියකට ඉහතදී මේ රටටත් ජනතාවටත් හෙළි කළෙමු. මොනර කොළ ඉදිරියේ ඇතැම් බන්ධනාගාර නිල ඇඳුම් අස්සේ සිටින කුණු පංචස්කන්ධ ක්‍රියාත්මක වන ආකාරයද එහිදී අපි අනාවරණය කළෙමු. අපේ ඒ අනාවරණයේදී ලද මල් මිටවල් බොහෝය. එසේම ගල් පෙරළුවෝද සිටියහ.

එහිදී බූස්ස බන්ධනාගාරය පිළිබඳ සොයා බැලිය යුතු බන්ධනාගාර මූලස්ථානයද සඳහන් කර සිටියේ කිසිසේත්ම බූස්ස බන්ධනාගාරය කුඩු ජාවාරමුන්ගේ තිප්පළක් වී නොමැති බවය. එහෙත් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් මිලියන 8500 ක් වටිනා මෙම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය දෙවුන්දර තමිල් මෙරටට එවා ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල කුඩු ජාවාරමුන් තිදෙනකුගේ ඇනවුමකට අනුව බව දැන් කියැවෙමින් ඇත. එකී ජාවාරමුන් තිදෙනාගෙන් එකකු ගල්කිස්ස ප්‍රදේශයේ සිටියෙකි. හේ දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින්නේ මරණීය දණ්ඩනය හිමිවය.

අනෙක් දෙදෙනා රත්ගම සහ රොටුඹ ප්‍රදේශයේ පදිංචි ජාවාරමුන් වන්නාහ. මත්කඩු රැගත් අදාළ ධීවර යාත්‍රා දෙක ගැඹුරු මුහුදේ සිට මෙරටට රැගෙන එමින් සිටි සැකකරුවන් සම්බන්ධයෙන් දැනට කර ඇති විමර්ශන අනුව ඔවුන් සමඟ ඍජු සබඳතා පැවත්වූ කිහිප දෙනකු සම්බන්ධවද මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත. එම කිහිප දෙනා හොර රහසේ රටින් පිටවීමට උත්සහ දරණ බවට වාර්තා වීම හමුවේ ගුවන් තොටුපළ මෙන්ම බහුදින ධීවර යාත්‍රා පිටත්ව යන ධීවර වරායන් කිහිපයක් සම්බන්ධයෙන් දැනටමත් බුද්ධි අංශ ඇස යොමුවී අවසන්ය. මෙසේ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙකේ සිටි සැකකරුවන්ට පසුගිය කාලයේ බොහෝ දුරකථන ඇමැතුම් ලැබී ඇත්තේ කුමන ප්‍රදේශයකින්ද?

මේ දක්වා කරන ලද සොයා බැලීම් අනුව අනාවරණය වී තිබෙන්නේ බොරැල්ල ප්‍රදේශයේ දුරකථන කුලුනකින් ඔවුන් වෙත දුරකථන ඇමතුම් රාශියක් ඉකුත් කෙටි කාලයකදී ලැබී තිබෙන බවකි. මෙරට කුඩු ජාවාරම සම්බන්ධයෙන් කතා කිරීමේදී ඉහතකී බොරැල්ල ප්‍රදේශයේ දුරකථන කුලුනෙන් ඇමතුම් යන්නේ ඇමතුම ලබා ගන්නා කොතැනක සිට ක්‍රියාත්මක වුවහොත්ද? එසේ සිදු වන්නේ ඇමතුම ලබා ගන්නා ජාවාරම්කරුවන් වැලිකඩ, මැගසින් හෝ කොළඹ රිමාණ්ඩ් යන බන්ධනාගාර ත්‍රිත්තවයෙන් එකක සිට ක්‍රියාත්මක වීමේදීය. වාර්තා වන පරිදි බූස්ස අධි ආරක්ෂිත යැයි කියන අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙකේ ගෙන ආ දෙවුන්දර තමිල් එවන ලද කුඩු තොගය ඇනුවුම් කළ එක් ජාවාරමකු වන රොටුඹ ප්‍රදේශයේ ජාවාරමා මීට ටික දිනකට පෙර සිට ඇත්තේ වැලිකඩ බන්ධනාගාර රෝහලේය. රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාදීම සඳහා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි ඔහුව බන්ධනාගාර බලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාර රෝහලට රැගෙනවිත් සිට ඇත.

එසේ නම් මේ කියැවෙන්නේ අප දෙසතියකට පෙර කළ අනාවරණය සමඟ බූස්ස බන්ධනාගාරයේ රැකවල් තර කිරීමට බන්ධනාගාර බලධාරීන් ක්‍රියාත්මක වීමත් සමඟ හදිසි රෝගී තත්ත්වයක් පෙන්නුම් කළ රොටුඹ ජාවාරමා පහසුවෙන් ක්‍රියාත්මක වීම සඳහා බූස්සේ සිට උපක්‍රමශීලීව වැලිකඩ බන්ධනාගාර රෝහලට පැමිණි බවද? එසේ නැතහොත් ඔහුගේ කටයුතු පහසු වීම පිණිස බූස්සේ සිට වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කළේ යැයි යන්නද? ධීවර යාත්‍රා දෙකේ සිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සමඟ සම්බන්ධ වී සිටි කිහිප දෙනාට බොරැල්ල දුරකථන කුලුන හරහා දිගින් දිගටම ඇමතුම් ලබා දුන්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටි මෙකී රොටුඹ ප්‍රදේශයේ ජාවාරමාද? එය නිවැරදිව සොයා ගැනීම අදාළ වගකිවයුත්තන්ට භාරය.

නාවික හමුදාව සඳහන් කරන මෙම 2023 වසර තුළ මේ දක්වා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇති මත්කුඩු තොගවල වටිනාකම රුපියල් මිලියන 15160 කි. පසුගිය කාලයේ අවස්ථා රාශියකදී මේ අන්දමට නාවික හමුදාව මගින් විශාල වශයෙන් මෙරටට මත්කුඩු තොග රැගෙන ආ ධීවර යාත්‍රා ගණනාවක් අත්අඩංගුවට ගත්තා අපේ මතකයේද ඇත. එහෙත් අද දවසේ රටේ ජනතාවට මෙන්ම අපටද විශාල ගැටලුවක් වී තිබෙන්නේ මේ අන්දමට අත්අඩංගුවට ගනු ලැබූ මත්කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය විශාල තොගය දැන් තිබෙන්නේ කොතැනකද යන්නය. එය බරපතළ අන්දමේ ගැටලුවක් වී තිබෙන්නේ අධිකරණ ගබඩාවල තිබෙන මත්කුඩු තොග පවා හොර රහසේ ජාවාරමුන් අතට පත්කළ අවස්ථා කිහිපයක් පසුගිය දිනවල වාර්තා වූ නිසාය.

අත්අඩංගුවට ගන්නා විශාල මත්කුඩු තොගවලින් සාම්පලයක් පමණක් අධිකරණ කටයුතු සඳහා තබාගෙන අනෙක් ඒවා විනිසුරුවරුන්ගේ නියෝග පරිදි නිසි අධීක්ෂණයකින් යුතුව ප්‍රසිද්ධියේ විනාශ කිරීමට පියවර ගන්නා බවක් පසුගිය කාලයේ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය. එහෙත් ඇමැතිවරයා එසේ කීවද මේ දක්වා ඒ අන්දමට අවම තරමේ මත්කුඩු ග්‍රෑම් සියයක්වත් විනාශ කරනු මේ දක්වා අප මෙන්ම රට්ටු දුටුවේද නැත. එසේ නම් නාවික හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැනි රට වෙලා ගත් මතට එරෙහිව ක්‍රියාත්මක ආරක්ෂක අංශ සහ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා මත්කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය තොගවලට සිදුවන්නේ කුමක්ද? එය සමාන්‍ය ගැටලුවක් නොව අතිශය බරපතළ කාරණයකි.

අද කොතෙක් වැටලීම් සිදු කළද රට තුළ මත් කුඩු හිඟයක් ඇති නොවන්නේ යම් ආකාරයකින් මෙසේ අත්අඩංගුවට ගන්නා විශාල මත්කුඩු තොග වෙනත් වටයකින් ජාවාරමුන් අතටම පත්වන නිසාද? එකී ප්‍රශ්නය මෙහිදී අප මතු කරනුයේ මත් ජාවාරම යනු මුදල් පොදි පිටින් උනන එකක් වී තිබෙන නිසාය. ඒ ගැටලුවට වගකීමෙන් පිළිතුරු දියයුතු වන්නේ ආණ්ඩුවය. අප ඒ වගකීම ආණ්ඩුවට පවරනුයේ හෙරොයින් ඇතුළු මත් ද්‍රව්‍ය ව්‍යසනය රට වෙලා ගනිමින් කුඩු පාතාලය පොලිස් නිල ඇඳුමට ගිනි අවිය එල්ල කරන තැන දක්වා සියල්ල නහයටත් උඩින් ගොස් තිබෙන වටපිටාවක බවද කාගේත් අවධානය පිණිස සටහන් කළ යුතුව ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment