සංවර්ධනය සඳහා අවශ්‍ය බව පවසමින් ඒ මුවාවෙන් බොරලු පස් සහිත ශේෂ කඳු කපා ඉවත් කිරීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරින් ගේ සහායෙන් සිදුවන බරපතළ පරිසර හානියකි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ මේ තත්ත්වය සුලබව දැකිය හැකි වේ. මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ ශේෂ කඳු රැසක් අවසන් ගමන් ගොස් ඇත. ශේෂ කඳු අවසන් ගමන් යෑම යනු ඒ කඳු හරහා පෝෂණය වන දිය කඳුරු වැනසී යෑමට බලපාන සාධකයකි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 න් 10ක ම බොරලු පස් ඉවත් කිරීම සඳහා ශේෂ කඳු කපා දැමීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව නගර හා කඩවත්, කන්තලේ, කින්නියා, කුච්චවේලි, පදවි ශ්‍රී පුර, මොරවැව, ගෝමරන්කඩවල, මුතූර්, තඹලගමුව හා සේරුවිල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි බොරලු පස් ඉවත් කිරීම සඳහා කඳු කපා දැමීම සිදුවේ. ව්‍යාපාරික අරමුණින් සිදුවන මේ මහා පරිසර සංහාරය සීමා කළ යුතු වුවද දේශපාලන රැකවරණය ලබන පස් ව්‍යාපාරිකයෝ ඊට ඉඩ නොදෙති. ඇතැම් බොරලු කැණීම් බලපත්‍ර ලාභීන් අතර දේශපාලකයන් ගේ පුතුන් හා ළඟ ම ඥාතීන් ද ප්‍රබල දේශපාලන පක්ෂවල කොට්ඨාස සංවිධායකවරුන් ද පරිසර සංවිධානවල නියමුවන් ද වෙති.

කඳු කපා ටිපර් රථ යොදා ගෙන අදින පස් සාම්බල්තීව් කළපුවේ අනවසර අත්පත් කර ගැනීම් පිරවීමටත් කුච්චවේලියේ කුඹුරු ඉඩම් ගොඩ කිරීමටත් භාවිත කර තිබෙනු දැකිය හැකිය. 2016 වසරේ දී බොරළු කපා ඉවත් කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය කැණීම් බලපත්‍ර 24ක් නිකුත් කර තිබුණි. 2017 වසරේ දී බලපත්‍ර 9ක් ද 2018 වසරේ දී බලපත්‍ර 22ක් ද 2019 වසරේ දී බලපත්‍ර 20ක් ද 2020 වසරේ දී බලපත්‍ර 33ක් ද 2021 වසරේ දී බලපත්‍ර 42ක් ද 2022 වසරේ දී බලපත්‍ර 42ක් ද 2023 වසරේ ජූලි වනවිට බලපත්‍ර 17ක් ද වශයෙන් බලපත්‍ර 209ක් නිකුත් කර ඇති බව තොරතුරු දැන ගැනීමේ පනත අනුව කළ සොයාබැලීමක දී තහවුරු විය. සෑම වසරක දීම බලපත්‍ර ලබාදීම වැඩිවුවා මිසක අඩුව ගොස් නැති බව මේ අනුව පෙනී යයි. කැණීම් බලපත්‍ර ලබාදීම වැඩි වනවිට දිස්ත්‍රික්කය තුළ ශේෂව පවතින කඳු පන්ති අහිමිව යෑම ඉක්මන් වන බව නිලධාරින් නො දන්නවා නොවිය යුතුය.

නිලාධාරීන් ගේ සහායෙන් ත්‍රීකුණාමලයේ ශේෂ කඳු සමතලා වෙයි!

නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිංහපුර, මිහිඳුපුර, පීලියඩි හා කින්නියා යන කඳු ද තඹලගමුව කොට්ඨාසයේ උල්පත්වැව හා පාලම්පටාරු යන කඳු ද මොරවැව කොට්ඨාසයේ කිතුල් උතුව, රජයේ වනාන්තරයේ ශේෂ කන්දක් ද කුච්චවේලි කොට්ඨාසයේ ඉලුප්පුකුලම හා පෙරියකුලම වැනි ශේෂ කඳු හා කඳු වැටි ද ඇතුළුව කඳු බොහෝමයක් සංවර්ධනයේ නාමයෙන් අවසන් ගමන් යමින් තිබේ. කෙසේ වෙතත් මෙකී කටයුතු නිසි අධික්ෂණයකින් හෝ නියාමනයකින් සිදුනොවීම තුළ පරිසරයට සිදුවන හානිය බරපතළ එක කි. ඒ අනුව පසුගිය වසර අටක කාලය තුළ බොරළු අවශ්‍යතාවට කපා දමා ඇති ශේෂ කඳු ද ඇතුළත් කැණීම් ස්ථාන ගණන 85කි. ඉන් කඳු පහක් මුළුමනින්ම පොළොවෙන් ඉවත් කර තිබේ. කපා දැමුණු සෙසු කඳු දැකිය හැකි වන්නේ කඳු භාග ලෙසිනි. එය පරිසරයට සිදුකර ඇති බරපතළ හානියකි.

අවිධිමත් හා ගැඹුරු පස් කැණීම් හේතුවෙන්, ප්‍රදේශයේ ජනයා සිදුකළ පැමිණිලි හා විරෝධතා සැලකිල්ලට ගෙන නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉලුප්පන්කුලම කඳු වැටියේ බොරළු කැණීම් ස්ථානයට ලබා දී තිබූ බලපත්‍ර 16ක් අත්හිටුවීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කටයුතු කර තිබුණි. බලපත්‍ර අත්හිටුවනවිට කන්ද මුළුමනින්ම අහිමිව ගොසිනි. ඒමෙන් ම පීලියඩි ගෝන කන්ද කඳු වැටියේ බොරළු කැණීම් ස්ථානය සඳහා තවදුරටත් පස් කැණීම් සිදු කිරීම නුසුදුසු බව හඳුනාගත් බව පවසමින් ඒම කඳු වැටියේ පස් ඉවත් කිරීමට ලබාදී තිබූ බලපත්‍ර 15ක් අවලංගු කර දැමීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කටයුතු කර තිබුණි. ඒ වනවිට කඳු වැටියේ භාගයක් කපා දමා එහි සුන්දරත්ය හා පාරිසරික තුලනය අවසන් ගමන් යැවීමට පස් වෙළෙන්දෝ කටයුතු කර තිබුණි. කැණීම් බලපත්‍ර නිකුත් කිරීමෙන් පසු පසුවිපරම් කිරීම භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශයේ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයාගේ වගකීම වුවද ඒවැන්නක් සිදු නොවීම ශේෂ කඳු හා ඒ අවට පරිසරයට සිදුවන විනාශය වැඩි කරවයි.

ත්‍රිකුණාමලය පීලියඩි හා ඉලුප්පුකුලම ප්‍රදේශයන් හි වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා රජයට අයත් ඉඩම් තුළ බොරළු පස් කපා ඉවත් කිරීමේ දී බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කිරීම නිරතුරුව සිදුවන්නකි. බලපත්‍රලාභීන් සිය ලාභය තකා පරිසරයට සිදුවන හානිය ගැන තැකීමක් නොකර පස් ඉවත් කිරීම සිදුකරති. ඔවුහු මාර්ග හා අවට නිවාස ගැන තැකීමක් නොකරන අතර ගැඹුරු ප්‍රපාත ඇතිවන සේ සිදුකරන ගැඹුරු කැණීම් ද පස් ඉවත් කිරීමෙන් පසු පරිසර සංරක්ෂණයට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම තුළ ද හායනයට පත්වු කඳු සෝදා යෑම හා කඩා වැටීම වැළැක්විය නො හැකිවේ. ඉන් ජන ජීවිතයට සිදුවන බලපෑම ගැන කිසිවකුත් සොයා නොබලති. ඊට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන්ගේ සහාය වක්‍රව හිමිව ඇති බව පෙනී යන්නේ 2021 අගෝස්තු 6 වැනිදා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිවරයා වෙත මගේ අංක 02/03/විම/ භූ විද්‍යා/510 යටතේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් යොමුකළ ලිපියක සඳහන් වන කරුණු හේතුවෙනි.

ඒම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් වනුයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අවිධිමත් පස් කැණීම් හේතුවෙන් සිදුව ඇති පාරිසරික හානිය පිළිබඳ සිදුකළ විමර්ශන වාර්තාවට අනුව ප්‍රදේශයේ පරිසරයට හානි සිදු කරමින් බොරළු පස් කපා ඉවත් කිරීමේ කටයුතු සිදුකර ඇති අතර බලපත්‍ර නිකුත් කිරීමෙන් පසු අධීක්ෂණය හා පසුවිපරම් කටයුතු නිසිලෙස ඉටු නොකිරීම වගකිව යුතු නිලධාරින් විසින් සිදුනොකර ඇති බව අනාවරණය වන බවයි.

අවිධිමත් බොරළු පස් කැපීම හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ සිදුව ඇති පරිසර හානිය සුළුපටු නොවේ. ඉලුප්පුකුලම පස් කන්ද කපා බොරළු ඉවත් කර ගැනීමට පමණක් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය කැණීම් බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර තිබේ. කඳුවැටියක් සේ පැතිර තිබූ පස් කන්දෙහි අක්කර 22 ක බිමක් පුරාවට බොරළු කපා ඉවත් කර ඇති අතර කින්නියා – නිලාවෙලි ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පොළොව අභ්‍යන්තරයේ ගැඹුරට ප්‍රපාතයක් ඇතිවන ලෙස කපා දමා පස් ඉවත් කරගෙන තිබේ. නමුත් මේ අවිධිමත් හා බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය වන ආකාරයේ කැණීම් පිළිබඳව සොයාබැලීමට භූ විද්‍යා නිලධාරීන් කටයුතු කර නැත. එ මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හෝ වෙනත් වගකිවයුතු ආයතනයන් මෙහි බොරළු පස් ඉවත් කිරීමෙන් පසු සිදුකරන්නාවූ පුනුරුත්ථාපන සැලසුමක් හෝ වෙනත් ව්‍යාපෘතියක් කරන්නේ ද යන්න පිළිබඳ හෝ මූලික සැලසුමකට අනුව කටයුතු කර නැති බව පරිසර අමාත්‍යාංශයේ නියමයෙන් ත්‍රිකුණාමලයේ අවිධිමත් පස් කැපීම සොයාබැලීමට පත්කළ කමිටු වාර්තා වෙහි නිරීක්ෂණයන් හි දැක්වේ.

එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනුයේ අක්කර 22ක භූමිය තුළ අනාරක්ෂිත බව ඉවත් කිරීම සඳහා සුදුසු පුනරුත්ථාපන ක්‍රමවේදයක් සැසුම් කර ඒය ක්‍රියාත්මක කිරීමට වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය වෙත දන්වා යැවිය යුතුවන බවයි. මෙම පරිසර විනාශයට මදක් දුරින් පිහිටි පෙරියකුලම් ප්‍රදේශයේ සිදුකර ඇති කැණීම් කටයුතු ද අවිධිමත්ව සිදුකර තිබේ. අවිධිමත් පස් ඉවත් කිරීම හේතුවෙන් එකී භූමිය හා ඒ අවට පරිසරය ද අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව කමිටුව වාර්තා කර තිබේ. එපමණක් නොව, කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ පීලිඅඩි ප්‍රදේශයේ පර්චස් 320ක භූමියක පස් කැපීම සඳහා පුද්ගලයන් සිව් දෙනෙකුගේ නමට “සී” කාණ්ඩයේ කාර්මික කැණීම් බලපත්‍ර 4ක් ලබාගෙන ඒකී බලපත්‍ර හතරම යාකොට ඒක් අයකු විසින් කැණීම් කටයුතු සිදුකිරීමෙන් “ඒ” කාණ්ඩයේ බලපත්‍රයකට අදාළව පස් ඉවත් කිරීමක් සිදුවන බවත් ඊට අවශ්‍ය වන පරිසර නිර්දේශ හා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබානොගෙන කටයුතු කිරීම රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බව විමර්ශන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.

“සී” කාණ්ඩයේ කාර්මික කැණීම් බලපත්‍රයක් හේතුවෙන් පරිසර නිර්දේශ ලබාගැනීම මඟහැර ඇති බලපත්‍රලාභීන් මෙම බලපත්‍ර 4 හරහා මාසයකට බොරලු හා පස් කියුබ් 3600ක් ඉවත් කිරීමට අනුමැතිය හිමිකරගෙන ඇතත් එය වැළැක්වීමට භූ විද්‍යා නිලධාරින් කිසිදු පියවරක් අනුගමනය කර නැති බව අනාවරණය වේ.

මේ අනුව ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලයේ සේවය කළ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුවරයා සහ ක්ෂේත්‍ර සහකාරවරුන් දෙදෙනෙකු රාජකාරි පැහැර හරිමින් කටයුතු කර ඇති බව විමර්ශන වාර්තාවට අනුව තහවුරුව ඇති බවත් ඒ බැවින් එම නිලධාරින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම සුදුසු බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහයන් සඳහන් කිරීමෙන් හා එය ක්‍රියාවට නැංවීමෙන් භූ විද්‍යා නිලධාරින් ත්‍රිකුණාමලයේ බොරළු පස් කපන්නන්හට ලබා දී ඇති සහයෝගය කොතෙක් ද යන්න පැහැදිලි වේ.

මේ හේතුවෙන් බොරලු පස් ඉවත් කිරීම නිසා රජයට අයවිය යුතු රාජ්‍යභාගය පවා ඇතැම්විට නිසිලෙස අය නොවීමත් සිදුවන පරිසර හානිය කළමනාකරණය නොවීමත් පෙන්වනුයේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරින් ගේ අකාර්යක්ෂමතාව හා දූෂිත බවයි. ඔවුන් විසින් ඍජුව හා වක්‍රව බොරලු පස් කපන්නන්හට දක්වන සහයෝගය තවදුරටත් පාලනය නොවුණහොත් දිස්ත්‍රික්කයේ පරිසර පද්ධතියට අහිමිවන ශේෂ කඳු ගණන තවදුරටත් ඉහළ යෑම වැළැක්වීමට නො හැකිවේ.

ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

advertistmentadvertistment
advertistmentadvertistment