ගනුදෙනු කළ ආයතනයේ හිමිකරු රටෙත් නෑ

වැටුණු වළේ දවල් වැටෙන්නට එපා යැයි අපේ පැරණි කතාවක් තිබේ. රෑට කරුවලේ ගොස් වළේ වැටීම සාමාන්‍ය කරුණකි. නමුත් හොඳ හැටි පෙනෙන සියල්ල හොඳින් අවබෝධ කරගත හැකි දහවලේ දැන දැනම ගොස් වළේ වැටීම කෙසේවත් සාධාරණීකරණය කළ නොහැක. නමුත් අද වන විට සිදුවෙමින් ඇත්තේත් ජනතාව දැන දැනම මහ දවාලේ වළේ වැටෙන වැඩය. ජනමාධ්‍ය මගින් මෙන්ම නොයෙකුත් අංශ මගින් ජනතාව කොතරම් වළේ වැටේවි යැයි දැනුවත් කළත් ඒ කිසිවක් සත පහකට ගණන් ගන්නා බවක් පෙනෙන්නට නැත.

අප මේ කතාව කීවේ නිකම් නොවේ. ඒ පසුගිය අවුරුදු පහ දෙස බැලීමේදී අනාවරණය වූ සුවිශේෂී කරුණක් හේතුවෙනි. ඒ එම කාලය තුළ රට තුළ විටින් විට ඉස්මතු වූ විවිධ වේශයන්ගෙන් පැමිණි පිරමිඩ වංචාකරුවන්ට හසු වී ජනතාව කෝටි ප්‍රකෝටි ගණනක් මුදල් අහිමි කර ගැනීම නිසාය.

පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ පිරමිඩ ජාවාරම් කිහිපයක් වන්නේ

1 Tiens Lanka Health Care (Pvt) Ltd

2 Best Life International (Pvt) Ltd

3 Global Lifesyle Lanka (Pvt) Ltd

4 Mark-Wo international (Pvt) Ltd

5 V M L International (Pvt) Ltd

6 Fast 3Cycle International (Pvt) Ltd

7 Sport Chain App, Sports Chain ZS Society

8 OnmaxDT

9 MTFE SL Group

යන සමාගම්ය. මේ මහා පරිමාණ සමාගම්ය. මීට අමතරව රට තුළ ක්‍රියාත්මක වූ පිරමිඩ සමාගම් සංඛ්‍යාව 70 -80 කට අධිකය.

රටේ ජනතාවගෙන් බොහෝ පිරිසක් මේ කුමන හෝ ජාවාරම්කාරයෙකුට හසු වී මුදල් අහිමි කරගෙන අවසානය. කනගාටුවට කරුණ වන්නේ සමහර පුද්ගලයන් මෙවැනි වංචාකරුවන් දෙතුන් දෙනකුට හසුව මුදල් අහිමි කරගෙන තිබීමය. රෑ වැටුණු වළේ දවලුත් වැටුණු පිරිස අති විශාලය. මේ නිසාම අප එලෙස මුදල් අහිමි කරගත් පුද්ගලයන් පිළිබඳ සොයා බලා අනාවරණය කිරීමට තීරණය කළේ ඉදිරියටවත් මෙවැනි වංචාවලට හසු නොවීමට එය උපකාරයක් වේවි යැයි සිතන නිසාය.

රෑ වැටුණු වළේ දවලුත් වැටීම

ඒ. ආර්. ජයසූරිය මහතා එක් වරක් වංචාකාරයකුට හසුව ලක්ෂ ගණනක් අහිමි කරගත් පුද්ගලයෙකි. ඔහු එයින් පාඩමක් ඉගෙන නොගෙන යළිත් වරක් රුපියල් ලක්ෂ ගණනක් අහිමි කරගෙන මේ වන විට උන්හිටි තැන් පවා අහිමි කරගෙන සිටී. මේ ඔහුගේ කතාවයි.

“මම කොරියාවෙ අවුරුදු දහයකට වැඩි කාලයක් රස්සාව කළා. ශ්‍රී ලංකාවෙන් කොරියාවට මුලින්ම ශ්‍රමිකයෝ යවන්න කටයුතු කරපු කාලෙම තමයි මම ගියේ. එහෙන් ලක්ෂ ගාණක් හොයාගෙන ඇවිත් මෙහෙ කුලියට වෙඩින් හෝල් එකක් අරගෙන බිස්නස් එක හොඳින් කරගෙන ගියා. ඊට අමතරව තව තව බිස්නස් ගාණක් තිබුණා. කසාද බැන්දගෙන් පස්සේ එහෙනුත් යම් දේපළක් හම්බ වුණා. ඊට අමතරව පරම්පරාවෙන් උරුම වුණු තට්ටු තුනක ගොඩනැගිල්ලක් බේකරියක් සහිත පර්චස් පර්චස් 80ක ඉඩමක් වගේම තව ගොඩක් දේවල් ලැබුණා. තට්ටු තුනේ බිල්ඩින් එකේ එක මහලක අපි පදිංචි වුණා. ඉතිරි සියල්ලම කුලියට දුන්නා. කාටවත් අත නොපා හොඳට කාල බීල සැපට ඉන්න පුළුවන් ගාණට හොඳ ආදායමක් මාසිකව ලැබුණා. ඒ වෙනකොට සමාජයේ හොඳ පිළිගැනීමකුත් තිබුණු පුද්ගලයෙක් මම.

ඔහොම කාලය ගතවෙලා යනකොට යාළුවෙකුගේ මාර්ගයෙන් සෙන්හිරු කියලා ආයෝජන සමාගමක් පිළිබඳ දැනගන්න ලැබුණා. ඒ දවස්වල මේ තරම් කපටි වැඩ සිද්ධ නොවුණු නිසාත් විශාල ලාභාංශයක් ගෙවනවා කියලා තිබුණු නිසා වගේම අතේ සල්ලි තිබුණු නිසා බය නැතුව ලක්ෂ විස්සක් දැම්මා. දාලා මාස දෙක තුනක් යනකොට සල්ලි ටිකත් අරගෙන ඒකෙ අයිතිකාරයො රටින් පැන්නා. අන්තිමට සත පහක් හම්බවුණේ නැහැ ඔක්කොම ඉවරයි.

ඔහොම ඉන්නකොට දවසක් යාළුවෙක් ඇවිත් කිව්වා නියම බිස්නස් එකක් තියෙනවා කියල. මම ඇහුව වැඩේ ෂුවර්ද කියල. මොකද එකපාරක් රැවටිලනෙ හිටියෙ. වැඩේ ෂුවර් මමත් සල්ලි දැම්මා කියලා කිව්වා. අපි ආයෝජනය කරන ඩොලර් ප්‍රමාණය වගේ දෙගුණයක් මාස දෙකෙන් ගන්න පුළුවන් කියලා කිව්වා. එකපාරක් වංචාකාරයකුට අහුවෙලා හිටිය මම යාළුවා විශ්වාස කරලා ආපහු ලක්ෂ දහයක් දැම්මා MTFE එකේ. දාලා මාස දෙක යනකොට ඇප් එකෙන් පෙන්නනවා සල්ලි දෙගුණයක් වෙනවා කියලා. හැබැයි කවදාවත් සල්ලි ගන්න නෙමේ උනන්දු කරන්නේ තව තව සල්ලි දාන විදිහට. මම සත පහක්වත් අතට ගත්තේ නැහැ. අන්තිමට මම කළේ මට මැරෙනකම් වැටිලා ඉන්න තිබුණු ගේයි කාටවත් අත නොපා කීයක් හරි හොයාගන්න තිබුණු බිල්ඩින් එකයි පර්චස් අසූවේ ඉඩමයි මේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පොලී මුදලාලි කෙනෙක් ගාව තියලා රුපියල් කෝටියක් ගත්තා. ඒ ගත්ත මුදලින් විශාල මුදලක් MTFE එකේ ආයෝජනය කළා.

ගියපාර වගේම මේ පාරත් වුණේ සල්ලි දාලා මාස දෙක තුනක් යනකොට ඒ කොම්පැනියත් රටින් පැනපු එක. මුලින් මුලින් අනිත් බිස්නස් වලින් ආපු සල්ලි දාලා පොලී සල්ලි ගෙව්වා. ඊට පස්සේ කරපු බිස්නස් ටිකත් කඩන් වැටුනා. ඒ බිස්නස් වලින් ආපු සල්ලි ටික අරන් පොලී සල්ලි ගෙවපු නිසා. දැන් ඒ බිස්නස් ඔක්කොමත් ඉවරයි. ඊට පස්සෙ යාළුවන්ගෙන් අතමාරුවට ඉල්ලගෙන පොලී සල්ලි ගෙව්වා. දැන් රට වටේටම ණයයි. ඒ ඔක්කොටම හපන් මාසෙකට ලක්ෂ ගාණක් ආපු බිල්ඩින් එකත් එක්ක අපි හිටපු ගේත් දැන් සින්න වෙලා ඉවරයි. දැන් කොයි වෙලාවෙ හරි අපිව ගෙයින් එළියට ඇදලා දානවා. දැන් අපට වෙලා තියෙන්නේ අපේ ගෙයිම රුපියල් 30,000ක මුදලකට කුලියට ඉන්න.

මම කියන්නේ කවදාවත් වැඩි තණ්හාවට ඉක්මනින් දියුණු වෙන්න හිතාගෙන කවුරුවත් මේ වගේ දේවල්වල ආයෝජනය කරන්න නම් එපා. මට තවම වයස අවුරුදු 42යි. ලක්ෂ ගාණක දේපළක් තිබිලත් මේ පොඩි කාලය තුළ ගත්ත වැරදි තීන්දු තීරණ නිසා දැන් හිඟන්නෙක් වෙලා ඉවරයි. නෝනයි ළමයින්ගෙයි අනාගතේ අඳුරු කරල ඉවරයි.”

අනන්‍යතාව තහවුරු නොවන පරිදි අපේ ඔහුට එස්. ප්‍රසන්න යැයි හඳුන්වමු. ප්‍රසන්න මහතා මේ වන විටත් රාජ්‍ය ආයතනයක ලිපිකරු තනතුරක් දරන පුද්ගලයෙකි. ඔහුත් මේ ලෙසම පිරමිඩ ජාවාරම්කරුවන්ට හසුව මුදල් අහිමි කරගත් පුද්ගලයෙකි. මේ ඔහු තමන්ට මුහුණපාන්නට සිදු වූ පාඩුව පිළිබඳ විස්තර කළ ආකාරයයි.

ආකර්ෂණීය පොලීවලින් සීට්ටුවලින් පිරමීඩ ජාවාරමෙන් අමාරුවේ වැටුණු මිනිස්සු

මගේ නම ගම ෆොටෝ පත්තරේ දාන්න එපා එපා. ඒත් මගේ කතාව විතරක් ජනතාවට දැනගන්න දාන්න. මම කොරෝනා එන්න කලින් වාහන දෙකක් පාවිච්චි කරා කරා. එකක් ගෙදර පාවිච්චියට තිබුණු කාර් එක. අනික ටුවරිස්ලා අදින්න කම්පැනි එකකට දාලා තිබුණු වෑන් එක. ඒකට මාසිකව හොඳ මුදලක් ලැබුණා. ඒත් කොරෝනත් එක්ක ඒවට වැඩ නැතිවෙනකොට ෆිනෑන්ස් ගෙවා ගන්නත් බැරිව ගියා. ඒක නිසා මම වාහනේ විකුණුවා. ඔය අතරේ මගේ යාළුවෙක් වට්ස්ඇප් පණිවිඩයක් එවලා තිබුණා මාස දෙකෙන් දාන මුදල දෙගුණයක් කරගන්න පුළුවන් බිස්නස් එකක් තියෙනවා කියලා. කොරෝනත් එක්ක රට වැටිලනෙ තිබුනෙත්. ඉතින් මම වාහනේ විකුණලා ගත්ත සල්ලි වලින් ලක්ෂ පහක් දැම්මා. දාපු මුල් මාස දෙක තුනේ සල්ලි දෙගුණ වෙනවා කියලා ඇප් එකකින් පෙන්නුවා. මම හැබැයි කවදාවත් දෙගුණ වුණු මුදල් ගන්න ගියේ නෑ. ඒ සල්ලි එහෙම්මම තිබ්බා. ඒත් අන්තිමට වුණේ දෙගුණ කර කර කරගන්න ගිහිල්ලා බින්දුවටම වැටිච්ච එකයි.

මම වගේම තව මගේ ඔෆිස් එකේ යාළුවෝ ගොඩ දෙනෙක් මේ වගේ පිරමිඩ ජාවාරම්වල මුදල් ආයෝජනය කරලා සල්ලි නැති කරගෙන තියෙනවා. සමහරු කියන්න ලැජ්ජාවේ ඉන්නේ කරන මෝඩ වැඩ නිසා. මගේ ලක්ෂ පහක් නැතිවුණා කියලා අඩුම

ගානේ නෝනවත් දන්නේ නැහැ. ඒකයි මම මගේ නම ගම දාන්න එපා කියලා කිව්වේ. සද්ද නැතුව පාඩුව විඳ ගත්තා. ඒකෙන් මම ලොකු පාඩමක් ඉගෙන ගත්තා. ඒක ලක්ෂ පහකට වඩා වටිනවා.

සුගත් අරුණ ශාන්ත මහතා තණමල්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු මේ වන විට පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කරයි. ඔහුත් මෙවැනි වංචාවකට හසුව මුදල් අහිමි කරගත් පුද්ගලයෙකි.

මම රස්සාවකට කියල කළේ සත්තු ඇතිකරපු එක. මගේ ළඟ එළහරක් පනහක් හැටක් විතර රංචුවක් හිටියා. ඊට අමතරව කුකුළු තිහ හතළිහක් විතර හිටියා. කිරියි බිත්තරයි විකුණුවහම දවසෙ වියදම හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් ටිකක් මහන්සි වෙන්න ඕනෙ. ඒ අතරේ මගේ යාළුවෙකුගේ මාර්ගයෙන් ජොබ් එකක් ලැබුණා සිකුරිටි කෙනෙක් විදිහට ජොබ් එකක් කරන්න. හැමදාම හරක් පස්සේ කැලේගානේ රිංගනවට ගෙදරිනුත් අකැමැති නිසා මම කරේ හිටපු හරක් ටික විකුණලා මේ ජොබ් එකට සෙට් වෙච්ච එක. හරක් විකුණපු සල්ලි පොතේ දාලා තිබුණේ. මෙතන වැඩ කරන මහත්වරු වගයක් දවසක් කතා වුණා මොකක්ද ආයෝජනයක්

ගැන. අන්තිමට වුණේ ලෙඩ ඇඳේ ඉන්න අම්ම තාත්තට සලකන්න කියලා ඉතුරු කරගෙන හිටිය ලක්ෂ දහයක විතර සල්ලි පල් හොරු කට්ටියකට පූජා කරන්න. මම දීපු සල්ලි ගන්න විදියක් නැති තැන මේකට මාව සම්බන්ධ කළ කෙනා එක්ක ගහමරා ගන්නත් ගියා. ඒත් පස්සෙ තේරුම් ගත්තා මම වගේම ඒ මහත්තයත් තවත් හොරෙකුට අහුවෙලා කියල. අපේ ගමේ විතරක් දහයක් පහළොවක් මේ වගේ වංචාකාරයන්ට අහු වුණා. ඒ හැමෝම දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි. මුන්ට හෙණ හත ගහනවා මේ කරන වැඩවලට.

සීලවතී ලොකුවිතාන මහත්මිය

නුගේගොඩ පොළේ කීර විකුණන කාන්තාවකි. ඇයත් පිරමිඩ වංචාකාරයන්ට හසුව මුදල් අහිමි කරගත් තැනැත්තියකි. මේ ඇගේ කතාවයි.

“මම දැන් අවුරුදු විසිපහක තිහක විතර ඉඳලා මෙතන පොළේ පලා වර්ග විකුණනවා. අපි කට්ටිය දාලා තිබුණා මාසෙකට රුපියල් 10,000ක් ගානේ සීට්ටුවක්. ඒකෙන් මට රුපියල් 150,000ක් ලැබුණා. මේ පොළට බඩු ගන්න එන නෝනා කෙනෙක් කිව්වා මාස දෙක තුනෙන් සල්ලි දෙගුණ කරගන්න පුළුවන් බිස්නස් එකක් ගැන. ඉතින් මමත් සීට්ටු සල්ලි 150,000ම ඔය මොකක්ද මන්ද කොම්පැනියක දැම්ම. පස්සෙ තමයි දන්නෙ ඒක පිරමිඩ කොම්පැනියක් කියල. අනේ අන්තිමට උගුර ලේ රහ වෙනකං කෑ ගහලා හම්බු කරපු සල්ලි ගඟේ මුහුදේ දැම්මා වගේ වැඩක් වුණේ.

මතුගම ප්‍රදේශයේ පලතුරු වෙළෙඳ සලක හිමිකරු වූ ආනන්ද මහතා පිරමීඩ ජාවාරමෙන් බැට කෑ තවත් පුද්ගලයෙකි.

“මම ගේ හදන්න කියල රුපියල් ලක්‍ෂ තිහක් එකතු කරගෙන හිටියා. හැබැයි ගේ හදන්න අපට හරියන නැකතක් ඒ කාලෙ තිබුණෙ නැති නිසා මම සල්ලි ටික තියාගෙන ඉන්නකොට යාළුවෙක් කිව්වා කොම්පැනියක් තියෙනවා ඒකෙ ආයෝජනය කළොත් සල්ලි වලට ලොකු පොලියක් දෙනවා කියලා. නැකතුත් නැති එකේ මම මේ කියන අයගේ ගිණුමට ලක්‍ෂ 20ක් දැම්මා. මාස දෙකකින් විතර ගන්න බලාගෙන තමයි දැම්මෙ. හරියටම මාස දෙකකට පස්සේ අපිව මේකට සම්බන්ධ කරපු කෙනාට කෝල් ගත්තට වැඩ කළේ නෑ. පස්සේ දන්න කියන හැමතැනටම කියල හොයල බැලුවා. බලද්දී ඒකේ අයිතිකාරයා රටේත් නෑ. අපට තිබුණ සල්ලිත් නෑ.”

මේ අදහස් දැක්වූයේ මෙයට පෙර ක්‍රියාත්මක වූ පිරමිඩ ජාවාරම්වලට හසු වූ පුද්ගලයන්ය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට යළිත් එවැනි වංචාකාර පිරමිඩ සමාගම් අටක් තහනමට ලක් කොට තිබේ. එම සමාගම් අට වන්නේ

1 Beecoin App / Sunbird Foundation

2 Fast Win (pvt) Ltd

3 Fruugo Oline App/ Fruugo Oline (pvt) Ltd

4 Genesis Bñiness School/ Era Miracle (pvt) Ltd

5 Isimaga International (pvt) Ltd

6 Ledger Block

7 Qnet/Questnet

8 Ride to Tree Freedom (pvt) Ltd

යන සමාගම්ය.

මෙම සමාගම් අට තහනම් කළායින් පසු මෙම ජාවාරම නතර වන්නේ නැත. හෙට දින වෙනත් නමකින් වෙනත් මුහුණුවරකින් මෙවැනි වංචාකරුවන් ඔබ හමුවට පැමිණිය හැක. ඔබ දුක් මහන්සියෙන් හරිහම්බ කළ මුදල් ඉක්මනින් දියුණු වෙන්න යැයි සිතාගෙන මෙවැනි ස්ථානවල ආයෝජනය කරන තාක් මෙවැනි වංචා නැවැත්විය නොහැක. මොන තරම් නීති රීති තිබුණත් ඒ හැම එකකින්ම රිංගන කපටි පිරමීඩ කාරයන් මට්ටු කළ හැක්කේත් ඔබටමය. ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මුදල් ආයෝජනයට අවසර ඇති සමාගම්වල පමණක් මුදල් ආයෝජනය කිරීමෙනි. එසේ නොමැති වුවහොත් සිදු වන්නේ හෙට දින මෙම රැවටිලිකාර ලැයිස්තුවට ඔබේ නමද ඇතුළත් වීමය.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment