මිනී මරපු ලුතිනන් වසර හතකට පස්සේ මාට්ටු

1506

හැංගිලා හිටියේ පුතාට උගන්වන්න

බිස්නස් කරලා කෝටිපතියෙකුත් වෙලා

“මට විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. මට අහිමි වූ ඒ ලෝකය මගේ පුතාට උරුම කර දෙන්න. මට ඕනෑ වුණා…. ඒ හින්දා මගෙ අතින් බරපතළ වරදක් වෙලත් මට හැංගි හැංගි ඉඳගෙනයි පුතාට විශ්වවිද්‍යාල උපාධියක් ගන්න උපකාර කරන්න සිදු වෙලා තිබුණේ.”

මිනීමැරුමක් සිදු කොට පලා ගොස් වසර හත (07)ක් කිසිවෙකුටත් නොදැනෙන, නොපෙනෙන සේ සැඟවී සිටි හිටපු හමුදා උප ලුතිනන්වරයෙක්, ආණමඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන සිටියදී ආණමඩුව පොලිස් ස්ථානාධිපති කේ. එන්. සිරිමෙවන් මහතා ඉදිරියේදී හඬා වැටෙමින් එසේ පැවසී ය.

ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ හෝටලයකදී දෙදරු පියෙකුට පිහියෙන් ඇන මරා දමා පලා ගොස් වසර හතකට (07) පසුව හොරණ බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු මෙන් සැකකරු සැඟවී ව්‍යාපාර කටයුතු කරමින් සිටියදී ආණමඩුව පොලිසියේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පො.ප. ජයන්ත (පො.කො) එම්. එස්. යූ. වර්ණසූරිය (76743) පො.කො රංග 76336 මහත්වරු දින ගණනාවක් වෙහෙස මහන්සි වී මෙම අය අත්අඩංගුවට ගන්නා ලදි.

සැකකරු ශාන්ත (නම ව්‍යාජය) පොල්පිතිගම නිකවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි එක්දරු පියෙකි. ඔහු ප්‍රදේශයේ වඩු කර්මාන්තයේ නියැළෙමින් ලී මඩුවක් පවත්වාගෙන ගොස් තිබුණි. පසුව ඔහු හමුදාවට උප ලුතිනන්වරයෙකු සේ බැඳී කලක් සේවය කොට එය අත්හැර දමා පැමිණියේ ඒ වන විටත් ඔහු විවාහ වී සිටි බිරිය ඔහුද වසර එකහමාරක් වයසැති පුතුද අත්හැර දමා විදේශයකට පලා ගිය හෙයින් තම පුතු රැක බලා ගැනීම පිණිසය.

ශාන්ත වසර ගණනාවක්ම තම පුතු බලාගනිමින් පාසල් යවමින් වඩුකර්මාන්තයේ නියැළී සිටියේය. මේ අතර දරුවෙක් සමග තනිවී සිටි ළඳක් ඔහුට මීගමුව පෙදෙසින් හමුවී නීත්‍යනුකූලව විවාහ කර ගත්තේය. එසේ වුවද ඇය ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ රියැදුරෙකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වන බවට කන වැකී කිහිපවරක්ම ඇයට අවවාද දුන්නේය. රියැදුරාද හමුවී මෙය නවත්වන ලෙස පවසා තිබුණි. එසේ වුවද ඇය වරක් දෙවරක් නොව කීප වතාවක්ම ඔහු දමා පලා ගොස් තිබුණි. අවසන් වර ඇය පලා ගොස් තිබුණේ ඔහුගේ ලක්ෂ දාහතරක (14) මුදල්ද රත්තරන් බඩුද රැගෙන ඇයගේ පුතුද සමගිනි. ඔහු වහාම මීගමුවේ විසූ ඇයගේ මවගෙන් විමසුවේ ය. පුතු තමා ළඟ දමා ඇය ආණමඩුවට ගිය බව ඇය ඔහුට පැවසුවා ය. ඔහු අනුමාන කළේ තම දෙවන බිරිඳ සිය අනියම් ස්වාමි පුරුෂයා සොයා තෝනිගල යන්නට ඇති බවයි. ඔහු දින ගණනාවක් විමසිල්ලේ සිටියේ ය. කුරුණෑගල සිට පුත්තලම බසයෙන් මෙම යුවළ පැමිණෙන බවට ඔහුට තොරතුරක් ලැබුණි. මෙම බසය තෝනිගල හෝටලයක් අසල නවත්වනවාත්, යුවළ බසයෙන් බැස හෝටලයට ඇතුල් වනවාත්, ඔහු නෙත ගැටුණ. ඔහුද වහා එහි ඇතුල් විණි. යුවළ දිවා ආහාර ගැනීමට සූදානම්ව සිටියහ. තම බිරිය රියැදුරු සමඟ සිටිනු දැක ඔහුගේ යක්ෂයා එලියට පැන්නේ ය. වහා දිව ගොස් රියැදුරු අල්ලා ගත් ඔහු බහින් බස් වෙමින්ම ඔහු මෙතෙක් සඟවා ගෙන සිටි පිහියෙන් රියදුරුට කිහිප වරක් ඇන්නේ ය. රියැදුරු බිම ඇද වැටුණු පසු ඔහුගේ බිරිඳට ඇනීමට පැන්නත් හෝටල් සේවක පිරිස හා අවට සිටි අය ඔහු අල්ලා පිහිය ද උදුරා ගත්හ. ගම්මු ඔහුට පහර දුන්හ. පහර කාගෙන පලා ගිය ඔහු තම ගමෙන් ද පලා ගොස් සැඟවුණේ ය.

මිනී මරපු ලුතිනන් වසර හතකට පස්සේ මාට්ටු

ඔහු කොළඹ ප්‍රදේශයේ සැඟවෙමින් සුළු සුළු ව්‍යාපාර කළේ ය. ඒවායෙන් ඉපැයූ සහ තමා ළඟ තිබූ මුදල් ද යොදවා කුඩා ඩීමෝ බට්ටියක් (කුඩා වර්ගයේ ලොරියක්) ගත් ඔහු එයින් එළවළු, පලා ආදිය ගෙන යමින් ව්‍යාපාරයක් කළේ ය. ඉන් තරමක ව්‍යාපාර සරු වූ ඔහු තරමක් ලොකු ලොරියක් මිලදී ගෙන බුලත්සිංහල ප්‍රදේශයේ තේ දලු, රබර් දර, ප්‍රවාහනය කරමින් ව්‍යාපාරය සරුවට කර ගෙන ගියේ ය. ඔහුගේ අත මිට දින දින සරු විය. ඔහු තේ වගා අක්කර දෙකක් මිලදී ගත්තේ ය. තේ දලු විකිණීමෙන් මසකට ලක්ෂ ගණන් ලැබුණි. තවත් ඉඩම් කීපයක්ද ඔහු මිලදී ගත්තේ ය. දැන් ඔහු ධනවත් ව්‍යාපාරිකයෙකි. කාරයක්ද මිලදී ගත් ඔහු අවිවාහක තරුණියක්ද ඔහු බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි නිවසට කැන්දා ගත්තේ ය. ප්‍රදේශයේ කාටත් උපකාර කරමින්, ව්‍යාජ නාම යොදා ගනිමින්, කාටත් සැක නොසිතන අන්දමින් ඔහු සැඟවෙමින් තම ව්‍යාපාර සරුවට කර ගනිමින් සිටියේ ය.

මේ අතර තුර ආණමඩුව ප්‍රදේශයේ අපරාධ අංශයට මෑතදී පැමිණි ඩබ්ලිව්. එම්. එස්. යූ. වර්ණසූරිය පොලිස් කොස්තාපල්වරයාට නොවිසඳුනු අපරාධ ලිපි ගොණුවේ මිනීිමැරුමක් සිදු කොට පලා ගොස් වසර 07ක් තිස්සේ සොයා ගත නොහැකි වූ අපරාධකරුවෙකු පිළිබඳ වාර්තාවක් හමුවිය. ඔහු මෙම අපරාධකරුවා සෙවීමට අදිටන් කළේය. ඔහු ආණමඩුවේ පොලිස් ස්ථානාධිපති කේ. එන්. සිරිමෙවන් මහතාගෙන් අවසර ඉල්ලී ය. අපරාධ අංශ ස්ථානාධිපති පො. ප. ජයන්ත කැඳවා අදාළ සැලසුම් සකස් කළේ ය. එම අංශයේ පො.කො. රංග (76336) ද සහායට ගන්නා ලදි.

වර්ණසූරිය සැකකරු විසූ නිකවැව පෙදෙසට ගියද කිසිදු හෝඩුවාවක් ලැබුණේ නැත. අඩුම තරමේ දුරකථන අංකයක් හැඳුනුම්පත් අංකයක් හෝ ආ ගිය ඉසවුවක්ද සොයා ගත නොහැකි විය. ඔහුට සිටි පුතු අ.පො.ස උසස්පෙළ විභාගයෙන් “බී” සාමාර්ථ තුනක් ලබා සිටිය ද විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයට යෑමට වරම් ලැබ නොතිබිණි. ඔහු කොළඹ ප්‍රදේශයේ පුද්ගලික විශ්වවිද්‍යාලයක මුදල් ගෙවා උපාධිය හදාරමින් සිටියේ ය. එහි පැමිණියද සැකකරු ගැන කිසිම හෝඩුවාවක් එම විමර්ශන කණ්ඩායමට සොයාගත නොහැකි විය. සිය විදෙස්ගත මව මුදල් එවන බව පුතු පැවසී ය. පිරිස තම ප්‍රයත්නය අත්හැරියේ නැත. සැකකරුගේ සොයුරා, ඥාතීන් හා පුතුගේ දුරකථන අංක රැගෙන ඒවායින් හුවමාරු අංකයක් පිළිබඳව නීත්‍යනුකූලව දුරකථන කුලුනු හා ඒ සමාගම් ආශ්‍රයෙන් සොයා බලන ලදි. ඒ කිසිවකින් හෝඩුවාවක් ලැබ ගැනීමට හැකි නොවුණි. එසේ වුවත් පුතුට ලැබී තිබූ දුරකථන ඇමතුම්
රැසක් ඔස්සේ කෙටි දුරකථන ඇමතුම් දෙක තුනක් ලැබුණු දුරකථන අංකයක් ගැන පොලිස් උකුසු ඇස යොමු විය. එහි අයිතිකරු කවුදැයි පරික්ෂා කරන විට එය අයිතිකරුවෙක් නොමැති දුරකථනයක් බව පැහැදිලි විය. යළිත් පිරිස අසරණ වුවත් සටන අත්හැරියේ නැත. අයිතිකරු ප්‍රකාශ නොවී තිබීම ඔවුනට තවත් සැකයට හේතුවිණි. දුරකථන ඇමතුම් ලැබුණු පිටිපන, හෝමාගම, ඉංගිරිය, බුලත්සිංහල, ඈගල්ඔය ප්‍රදේශවල ඔවුහු දින පහක් තිස්සේ කරක් ගැසූහ. පුතුගේ ගිණුමට මුදල්ද ලැබෙමින් තිබූ මුත් විවිධ පුද්ගලයන් මුදල් එවා තිබුණි.

කෙසේ නමුත් ඔවුනට අවසානයේ සැකකරු ගැන නිවැරදි තොරතුරු ලැබිණි. ඔහු යනෙන ලොරියේ අංකය පවා නිවැරදිව ලැබුණු පිරිස ලොරිය පසුපස ඔහු පදිංචි නිවසටම ගියේය. ඔහුගේ නියම නම පවසා අප සමග පැමිණෙන්නැයි දැනුම් දුන්නේය. සර්ලට වැරදිලා මම බන්දුල යැයි බේරීමට බොරු කීවේ ය. ඒත් සමඟම ඔහුගේ දුරකථන අංකයට පොලිස් පිරිසේ අයෙක් ඇමතුමක් ගත්තේ ය. සාක්කුවේ තිබූ දුරකථනය නාද වූයෙන් ඒ පොලිසියේ අයගේ දුරකථන ඇමතුම බව ඔහු පිළිගත්තේ ය. සර් මන් දැන් නිදහස් මං මෙතෙක් කල් හැංගි හැංගි හිටියේ මම දැනගෙන හිටියා මම කවද හරි අහුවේවි කියලා මම ඒ කාලේ උසාවිය ළඟටත් ගියා භාර වෙන්න. ඒත් මට හිතුනා පුතාට උගන්වන්න ඕනේ කියලා. ඒ හින්දා මම හැංගුනා සර් මං මේ හම්බකරපු දේවල් සේරම පුතාගේ නමටයි ලියලා තියෙන්නේ මෙහෙ කවුරුත් මම ශාන්ත කියලාවත්, ගම් කොහෙද කියලවත්, දන්නේ නැහැ මගේ බැංකු ගිණුම් නෑ, හැඳුනුම්පත් නෑ, ලයිසන් ඉන්ෂුවරන්ස් නෑ.

එතකොට ඔය බඩු පටවගෙන හැම තැනම යනකොට පොලිසි වලින් පරික්ෂා කළේ නැද්ද? පොලිස් පිරිස ප්‍රශ්න කළහ. ඒ අය මාව හුඟක් අඳුනනවා හැමදාම තේ දලු, රබර් දර, ගෙනියනවනේ බලන්නේ නෑ. පෝන් එකත් මම යාළුවෙක්ට කියලා ගත්තේ හොරට. මගේ පුතා මම දැකලා නෑ. මම ටිකයි කතා කරන්නේ සල්ලිත් දානවා මම එයාට උදවු කරන්නයි හැංගුණේ.

ඒවා උසාවියේදී කියනවා මිනීමරලා හැංගිලා දැන් සාධාරණය කරන්න හදනවා.

මිනී මරපු ලුතිනන් වසර හතකට පස්සේ මාට්ටු

සැකකරු ආණමඩුව පොලිසිය වෙත රැගෙන ආ පසු ඔහුගේ පුතා පොලිසියට කැඳවන ලදී. පියාට ඔහු හඳුනාගත හැකි වූයේ නැත. පුතා පියාගේ කුඩා කල දුටු රුව අනුව හඳුනා ගත්තේ ය.

“මම ලොකු වෙනකොට මට බොහෝ දේ ආරංචි වුණා. මම තාත්තා කතා කරද්දි කිව්වා පොලිසියට භාර වෙන්න කියලා” පුතා හැඬූ කඳුළින් කීය.

සැකකරු ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදි රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. පෙරට්ටුවක් පවත්වා හෝටලයේ එදා සිටි අය කැඳවා හඳුනා ගැනීම ඉදිරියේදී සිදු කෙරෙණු ඇත. පුතුට සෙනෙහසක් දැක්වූ පියෙකු ගැන හා මරණයක් සිදු කර සැඟවී සිටි අපරාධකරු ගැන ඉදිරි නඩු වලදී දෙපස නීතිඥයන් තර්ක මතු කරනු ඇත. අධිකරණය කුමන තීරණය ගනී දැයි දැන ගැනීමට ඉදිරියේදී හැකි වනු ඇත.

වයඹ පළාත් නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, පුත්තලම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නාලක සිල්වා, සහකාර පොලිස් අධිකාරී එස්. පී. රූපසිංහ ආණමඩුව සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත, මහත්වරු පොලිසියේ කටයුතු මෙහෙය වූහ.

ටෙරන්ස් වනිගසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment