ගමනාන්තයට පෙර මරණාන්තයට ගෙන යන මදාවි ඩ්‍රයිවර්ලා…

357

මත්ද්‍රව්‍ය පාවිච්චි කර රිය පදවන අය වැඩිවෙලා

‘ගාණ කපන්න’ රේස් ගිහින් මිනිස් ජීවිත බිල්ලට

රියැදුරු රැකියාවට අමතරව ‘පාතාල රැකියාව’ කරන රියැදුරෝත් ඒ අතර

පළපුරුද්දක් නොමැතිකමත් රිය අනතුරුවලට හේතුවක්

ඉකුත්දා පොලොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාලම අසලින් ධාවනය වූ බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 11 දෙනකු මියගොස් 42 ක් පමණ රෝහල්ගත කළේය. මෙම බස් රථය පොලොන්නරුව කදුරුවෙල ප්‍රධාන බස් නැවතුමේ සිට කාත්තන්කුඩි බලා ගමන් කළ පෞද්ගලික බස් රථයක් වන අතර බස් රථය ගමන් ආරම්භයේ සිටම පවනට බඳු වේගයෙන් පැමිණි බව එම බස් රථයේ ගමන් කර දිවි බේරාගත් අයෙක් කියා සිටියහ. මෙම අනතුරත් සමඟ විවිධ මතභේදාත්මක ගැටලු රැසක් පැනනැගී තිබිණි. එනම් එම බස් රථයට ගමනාගමන කොමිසමෙන් නිකුත් කරන ලද ධාවන බලපත්‍රයක් නොමැතිවීමයි. එසේ නම් එම බස් රථය අනතුර සිදුවූ කාලය දක්වාද ධාවනයේ යෙදුණේ කෙසේද යන්න ප්‍රශ්නයකි. එසේනම් මෙම අනතුරට තවත් වගකිවයුතු පාර්ශ්ව රැසක් ඇත. තවද පසුගියදා අඹන්පොලදී සිදුවූ බස් රථ – කන්ටේනර් රිය අනතුරින්ද දෙදෙනකුට දිවි අහිමිව මගීන් හතකට අධික පිරිසක් තුවාල ලැබීය. මෙරට මෙවැනි සිදුවීම් පසුගිය දින කිහිපය පුරාම අපට අසන්නට දකින්නට ලැබෙන්නේද මෙරට රියැදුරන්ගේ නොසැලකිල්ලේ තරම කියාපාමිනි.

● 2023 වසරේ මුල් මාස හතරට රිය අනතුරුවලින් මරණ 709 ක්

2023 වසරේ මුල් මාස 4 තුළ මෙරටින් වාර්තා වූ රිය අනතුරු ගැන විශේෂ හෙළිදරව්වක් ශ්‍රී ලංකා පොලිසිය මගින් සිදුකොට ඇත. එනම් මෙම වසරේ මුල් මාස හතර තුළ සිදුවූ රිය අනතුරු මගින් පුද්ගලයන් 700 කට අධික පිරිසක් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. එම අනතුරු වලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරු පැදි අනතුරු මගින් සිදුවූ අනතුරු බව හෙළිවී තිබුණි. 2023 අප්‍රේල් 30 වැනිදා වන විට රිය අනතුරු 8,202 ක් වාර්තා වී ඇති බවද මාර්ග අනතුරු අතරින් පුද්ගලයන් 709 දෙනකු මියගොස් 2,160 දෙනකු බරපතළ ලෙස තුවාල ලබා ඇති අතර 3,201 දෙනකු සුළු අනතුරුවලට ලක්වී ඇත. මෙම අනතුරුවලින් සිදුවී ඇති මරණ සංඛ්‍යාවෙන් 709න් 220 ක්ම යතුරු පැදි අනතුරුය. එයින් 102 ක් මගීන් සහ 179ක් පදිකයන් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පසුගියදා ප්‍රකාශයට පත් කොට තිබුණි.

● දිනෙන් දින ඉහළ යන රිය අනතුරු

මෙරට වාර්ෂිකව මාර්ග අනතුරු 37,000 ක් පමණ සිදුවන බව සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දී ඇත. එම අනතුරුවලින් 2500 ක් මාරක රිය අනතුරු වන අතර මෙම අනතුරුවලට මුහුණ දෙන බොහෝ දෙනකු ජීවිතක්‍ෂයට පත් නොවූවත් සදාකාලික ආබාධික තත්ත්වයට පත් වේ. තවද මාර්ග අනතුරු හේතුවෙන් එක් දිනකට පුද්ගලයන් 08 දෙනකු පමණ මියයන අතර 2019 වසරදී පමණක් පුද්ගලයන් 1500 කට අධික පිරිසක් ජීවිතක්‍ෂයට පත්වී ඇත. රිය අනතුරු වලින් වැඩිමනක්ම ජීවිතක්‍ෂයට පත්වන්නේ මෙරට ආර්ථික වර්ධනයට, සංවර්ධනයට උරදෙන අවුරුදු 15 ත් 44 ත් අතර කාණ්ඩයේ පිරිස්ය. පොලිස් වාර්තාවලට අනුව 2016 වර්ෂයේදී සිදුවූ මාරක රිය අනතුරු 2798 ක් සිදුව ඇති අතර 2017 වර්ෂයේදී එම සංඛ්‍යාව 2922 දක්වා ඉහළ ගොස් ඇත. එම දෙවසර තුළ පිළිවෙළින් පුද්ගලයන් 2961 ක් සහ 3100 වශයෙන් පුද්ගල මරණ වාර්තා තිබුණි. 2017 වසරේදී එක් දිනක් තුළ පුද්ගලයන් 8 කට වැඩි සංඛ්‍යාවක් මාර්ග අනතුරු හේතුවෙන් මියගොස් ඇත. තවද 2018 වර්ෂයේ පළමු මාස හය තුළ සිදුවූ මාරක අනතුරු හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3000 කට අධික බවද පොලිස් වාර්තා මගින් පෙන්වා දෙයි. මේ අනුව පෙනී යන්නේ දිනෙන් දිනම මෙරට රිය අනතුරු සංඛ්‍යාව ඉහළ යෑමක් සිදුවන බවයි.

● “දොරේ අප්පලා” සහ බුරුල් පොලිස්

දිනපතා මෙරට සිදුවන අනතුරුවලට සෘජුවම වගකිව යුත්තන් වන්නේ මෙරට නොහික්මුණු රියැදුරෝය. මාර්ග දෙපස දිනපතා රථ වාහන රාජකාරියේ යෙදෙන පොලිස් නිලධාරීන්ටද අල්ලස් දීමට පුරුදුව සිටින මෙම නොහික්මුණු රියැදුරෝ මෙරට මගී ප්‍රවාහනයේ යෙදෙන ආකාරය බස් රියකට ගොඩවී ගමන් කරනා අයෙකුට ඉතා පහසුවෙන්ම අවබෝධ කරගත හැකි කාරණයකි. බොහෝමයක් මෙරට රථවාහන රාජකාරිවල යෙදී සිටින පොලිස් නිලධාරීහුද මෙම නොහික්මුණු රියැදුරන්ගේ අල්ලසට, දොල පිදේනියට හුරුව සිටිති. ‘පොලිසියේද සිටින්නෝ මනුෂ්‍යයෝය’ යන කියමන ඔවුන් සනාථ කරන්නේ ලැබෙන වැටුපෙන් ගෙදර වියදම දැරීමට අපොහොසත්වන මේ කියන පොලිස් නිලධාරීන්ට පාරට පැන පියඹා යන (High Speed) යන හෝ ඉරක් කපා, වැරදි ලෙස ඉස්සර කිරීමක් අල්ලාගෙන පොලිස් පොතෙන් ‘දඩ කොළයක්’ දීමට හදන්නේද මෙම නොහික්මුණු රියැදුරාගෙන් සන්තෝසමක් ලැබෙන බවද දැනගෙනය. එමෙන්ම මේ අතර අවංකවම තම රාජකාරිය ඉටුකරන පොලිස් නිලධාරීන්ද නැතුවාම නොවේ. එහෙත් බොහෝමයක්ම පොලිසියෙන් සිදුවන වැරදි නිසා මේ නොහික්මුණු රියැදුරන් හෙවත් මඟමරුවන්ටද “චාන්ස් එකක්” ලැබෙන අවස්ථාද අප අනන්ත අප්‍රමාණව දැක තිබේ. මේවාද මෙරට සිදුවන රිය අනතුරුවලට සෘජුවම බලපාන බව අප කිව යුතුමය. නැතහොත් සිදුවන්නේද විශාල අඩුපාඩුවකි. මෙරට රියැදුරන් අතර බොහෝමයක්ම රියැදුරන් අඩුවයස් සීමාවල පසුවන අය වෙති. ඔවුන් තම ‘ආවේගකාරී’ සිතට එන දේ කිරීමට නිතරම ක්‍රියා කරයි. බස් අතර සිදුවන “රේස් යෑම” මීට සරලම උදාහරණයකි. වැඩිමනක්ම මේ “රේස් යෑම” සිදුවන්නේද ඉහත රියැදුරන් අතිනි. බොහෝ විට රේස් යෑම සිදුවන්නේ වැඩිපුර මගීන් පටවාගෙන ගොස් බස් රථයේ අයිතිකරු දිනකට බලාපොරොත්තුවන ගානට වඩා වැඩි මුදලක් උපයාගෙන තම දවසේ වැටුපට අමතරව ඉතිරි වූ මුදල රියැදුරු තැන හෝ කොන්දොස්තර අතර බෙදාගැනීමටය. බස් රථයේ හිමිකරුට දවසේ ආදායම දී ඉතිරි මුදලෙන් සමහර රියැදුරන් හා කොන්දොස්තරවරුන් අරක්කු බී සප්පායම් වන්නේද තමන් ගේමක් දී යහමින් ඉපයූ මුදලිනි. තවත් අය මේ මුදලින් ‘ගංජා කෑල්ලක්’ ගනිති. ඔවුන්ගේ අමතර වියදම් වන ෆෝන් කාඩ් සඳහාද වියදම් වන්නේ මේ මුදල්ය. ඇතැමෙක් සුපුරුදු පරිදි ‘රේස් දැමීම’ට මුදල් හොයන්නේද ‘රේස්’ ගොස් කපාගත් ගානෙනි. මේ අතර “ඇටෑක්” එකටද රේස් යන රියැදුරන්ද බහුල වෙති.

පසුගියදා මනම්පිටිය කොටලීය පාලම අසලදී අනතුර සිදුවූයේද මේ “රේස්” යෑමේ ප්‍රතිඵලයකි. මෙරට මගී ප්‍රවාහනයේ යෙදෙන බොහෝ රියැදුරන්ගෙන් වැඩිමනක් පිරිස කුමක් හෝ මත්ද්‍රව්‍යකටද හුරුවී සිටියි. අයිස්, ගංජා, අරක්කු එම මත්ද්‍රව්‍ය වලින් කිහිපයකි. ඇතැම් රියැදුරන් හා කොන්දොස්තරලා කොළඹ පිටුකොටුවේ කොහේ හෝ අස්සක මුල්ලක සිට ගංජා පන්දමක් උරා සිය බසයට නැගී ගමන් ආරම්භ කිරීම පුරුද්දකට ගෙන තිබේ. ගංජා සහ අයිස් පාවිච්චි නොකරන ඇතැම් රියැදුරන් කරන්නේ මත්වතුර කටේ හලාගෙන ගඳ යන්නට බුලත් පුවක් අඩුවැඩියද එක්කොට කටේ බුලත් විටක් ඔබා ගැනීමය. ඒ මහමග රැක සිටින පොලිස් නිලධාරීන්ට තම මුවෙන් වහනය වන “මද්‍යසාර” ගඳ යටපත් කර ගැනීමටයි. එමෙන්ම බස් රථ ධාවනයේදී රියැදුරාට නැතිව බැරි අංගයක් වන්නේ ජංගම දුරකථනයයි. මෙම ජංගම දුරකථන භාවිතයද රථ වාහන අනතුරකට බොහෝ සෙයින්ම අතවැනීමකි. බොහෝ රියැදුරන් තම රථයේ රියැදුරු අසුනට නැගී බස් රථය පණගන්වා තම ගමන් ඇරඹීමට ගියරයක් දමනවාත් සමඟ අතට ගන්නේ ජංගම දුරකථනයයි. “මචං උඹ කොහෙද, අපි දැන් අදින්න යන්නේ” ආදී වදනින් අමතමින් අදාළ ගමන් මාර්ගයේම ගමන් ගන්නා බස් රථ විස්තරය විමසමින් රිය ධාවනයේ යෙදෙන ආකාරය අපට දැකිය හැක. මෙසේ දුරකථනයෙන් වාහනය පදවන මෙරට බොහෝමයක් රියැදුරන් මගී ප්‍රවාහන බස් රථ කෙරුවාවේදී සිය ගමන් පටන්ගත් තැනම කරන්නේ මාර්ග නීති කඩකිරීමකි. දිනපතාම පාහේ බස් රථයේ ගමන් කරන මගීන්ට මේ රියැදුරු මහත්වරුන්ගේ නෙයියාඩගම් බලාගැනීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. මෙරට බොහෝමයක්ම බස් රියැදුරන් රියැදුරු රැකියාවට අමතර ‘චන්ඩීන්’ සේ ක්‍රියා කරන්නේද මෙම බස් රථ කෙරුවාව නරකින්ම මිස හොඳින් කරගැනීමට තරම් මගී ප්‍රවාහනයේ අවංක, ගුණගරුක රියැදුරන් අල්පව සිටින නිසා විය හැකිය. මෙවන් රියැදුරන් පාරේ රේස් ගොස් පිටිපසින් පැමිණෙන බස් රථයට ඉදිරි මාර්ගය අවහිර වන සේ පාරේ හරහට නැවැත්වීමට මේ “මඟ මරුවන් නොහොත් නොහික්මුණු රියැදුරන්” මනාව දනී. හුදෙක් රියැදුරන් අතර විවිධ වැරැදි ඉරියව් සහිත රිය ධාවනයේ යෙදෙන රියැදුරෝද වෙති. ඇතැම් රියැදුරන් ගමන් කරන්නේ තම රියැදුරු ආසනයේ නොව අසල දොරට බරදීගෙනය. බස් රථ රියැදුරන් අතර ඔවුන් “දොරේ අප්පා” වැනි නාම වලින් අමතන අවස්ථාද අප දැක ඇත. එසේ ඔවුනට ඇමතීමට හේතුවන්නේ රියැදුරු ආසනයේ දකුණු පසට වෙන්නටම ඉඳගන්නා මේ “දොරේ අප්පලා” ගේ වැඩිමනක් ශරීරයේ බර දරා සිටින්නේ රියදුරු අසල ඇති දොරය. මේ ඔවුන්ගේ වැරැදි පුරුද්දක් වුවත් එයද භයානක රිය අනතුරකට මඟපාදන්නකි. බොහෝ රියැදුරන්ගේ අත්දෙකම සුක්කානම මත රඳා පවතින්නේ බොහෝ අඩුවෙනි. එක් අතකින් එළවීමටත් අනෙක් අතින් සිය ජංගම දුරකථනය දැරීමටත් ඔවුහු පුරුදුව සිටිති. මේ ආදී මෙරට රියැදුරන්ගේ අතින් සිදුවන වැරදි වලට බොහෝමයක්ම වන්දි ගෙවීමට සිදුන්නේ අහිංසක ජීවිත වලටය. වැඩිමනක්ම මේ වැරැදි ක්‍රියා දැකිය හැක්කේ පෞද්ගලික මගී ප්‍රවාහන රියැදුරන්ගෙනි. බොහෝ සෙයින් අවිනීත ලෙස හැසිරෙන රියැදුරන් ධාවනය කරනු ලබන බොහෝමයක් බස් රථ ප්‍රදේශයේ නම ගිය අපරාධකරුවන් හා පාතාල සාමාජිකයන් සතු බස් රථය. එසේත් නැතිනම් ධනකුවේරයකුගේ සතු බස් රථය. පොලිසියට අසුවන රියැදුරු බේරුගැනීම මෙම බස් රථ හිමියන්ට ගැටලුක් නොවන තරම්ය. සිය රියැදුරුව උසාවියට රැගෙන නොගොස් බේරාගැනීමටද බස් රථ හාම්පුතුන් සැදී පැහැදී සිටින්නේ මේ බස් රථ රියදුරුන් මහ පාරේ වරදක් නොකරන දිනයක් කිසි දිනක නැති නිසාවෙනි. එසේ නම් මෙරට රථ වාහන අනතුරු පිළිබඳව නීතිය මීටත් වඩා දැඩි විය යුතු බවද, මෙරට පොලිසියද මීටත් වඩා අවංකව, නීතිගරුකව වැඩකළ යුතු බවද පෙනී යයි.

● රිය අනතුරට බලපාන හේතු

මෙරට බොහෝමයක් රියැදුරන් තුළ ඉවසීම නොමැතිවීම රිය අනතුරු සිදුවීමට ප්‍රධාන බලපවත්නා කරුණකි. රියැදුරු තුළ “හික්මීමක්” නොමැතිකම මෙම රථවාහන අනතුරුවලට ප්‍රධාන ලෙස බලපා ඇත. අධික වේගයෙන් රිය පැදවීම, බීමත්ව රියපැදවීම, ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීම හා මාර්ග නීති පිළිනොපැදීම ආදී කරුණු හේතුවෙන් මෙරට සිදුවන රිය අනතුරු දිනෙන් දින වැඩිවෙමින් පවතී. තවද ඇතැම් බස් රථ තුළ සැරසිලි, විදුලි බුබුළු, අධික ආලෝකය, හා වාහනයේ වෙනස් කිරීම්ද යන මේවා රිය අනතුරුවලට මඟ පාදන්නකි. බොහෝ බස් රථවල ඉදිරිපස විවිධ සැරසිලි වලින් යුක්තය. විවිධ පූජනීය පිළිම, පින්තූර වැනි දෑ නිසා රියැදුරුට රිය ධාවනයට ඉදිරිය පැහැදිලිව පෙනෙනවාද යන්න ගැටලුවකි. රියැදුරු ඉදිරියේ ඇති වීදුරුවෙන් ඉදිරිය පැහැදිලිව දර්ශනය නොවීමෙන් භයානක රිය අනතුරු සිදුවූ අවස්ථා පසුගිය දින කිහිපයේම වාර්තා විය. පසුගියදා අඹන්පොල මහා විද්‍යාලය අසලදී සිදුවූ කන්ටේනර් බස් රථ අනතුර මීට කදිම උදාහරණයකි. ‘බඹර පැටික්කී’ යන නාමයෙන් හඳුන්වන එම අනතුරට පත් බස් රථයේ ඉදිරිපස විවිධ සැරසිලි වලින් යුක්ත වූවක් බව පෙනී ගියේය. විවිධ සැරසිලි නිසා මෙම බස් රථයේ රියැදුරුට ඉදිරිය පැහැදිලිව දර්ශනය වන බවක් නොපෙනේ. මගීන් දෙදෙනකුට මරු කැඳවමින් තවත් මගීන් හත් දෙනකුට බරපතළ තුවාල සිදුවෙමින් එම අනතුර සිදුවීමට රියැදුරුගේ ඉදිරි දර්ශනය බලපා ඇති බව එම බස් රථයේ ඉදිරිපස නිරීක්‍ෂණය කළ විට පෙනී යනු ඇත. එමෙන්ම වාහනයක ආසන පටි සවිකර ඇත්තේ ගමන් ගන්නා ආරක්‍ෂාවටය. එහෙත් අපේ රටේ බොහෝමයක් රියැදුරන් ආසන පිටිය පැලද ගන්නේ රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියකු දුටු විටය. ඇතැම් වාහනවල මෙම ආරක්‍ෂක ආසන පටිය නිසියාකාර ක්‍රියාත්මක වන්නේද නැත. රිය අනතුරු වළක්වා ගැනීම සඳහා වාහනයක් හොඳ ධාවන තත්ත්වයේ තිබීමද ප්‍රධාන කරුණකි. හදිසි අවස්ථාවක නැවැත්වීම සඳහා තිරිංග නියමාකාරයෙන් ක්‍රියාත්මක විය යුතුය. පොලිසිය මගින් පෙන්වාදෙන ආකාරයට රිය අනතුරුවලට බලපානු ලබන හේතු වන්නේ මාර්ග භාවිත කරන්නන්ගේ හික්මීම නොමැතිකම, නොසැලකිලිමත් රිය ධාවනය, රියැදුරන් අධික ලෙස තෙහෙට්ටුවට පත්ව සිටියදී රිය ධාවනය හා බීමත් රිය පැදවීම වැනි කාරණාය.

● අනතුරට අතවනන අධික වේගය

අධික වේගය රිය අනතුරකට බොහෝ සෙයින්ම බලපාන්නා වූ කරුණකි. බොහෝ රියැදුරන් අධික වේගය හා නොසැලකිලිමත්ව රිය ධාවනය නිසා මහමඟ ගමන් ගන්නා අනෙකුත් රථ වාහන හා මිනිස් ජීවිත තුට්ටුවකටවත් සලකන්නේ නැතුව ගමන් ගන්නා ‘මදාවි’ නොහික්මුණු රියදුරෝ අනන්තවත් සිටිති. බොහෝ විට රියදුරන් වන්නේ අවුරුද්දක් පමණ කොන්දොස්තර රැකියාවේ නිතර වූවන්ය. ඔවුන්ට මෙම රියැදුරු රැකියාව පිළිබඳ අත්දැකීමක්, අවබෝධයක්, පළපුරුද්දක් ඇත්තේම නැත. යන්තමින් ඉස්සරහට පිටුපසට ධාවනය කිරීමට හුරුවන මේ කොන්දොස්තරලා ඉතාම ඉක්මනින් ‘ඩ්‍රයිවර්ලා’ බවට පත්වෙති. කොන්ඩය වවාගත්, මාල කරාබු දමාගෙන, බුලත්විට කාගෙන සිටින මෙම රියැදුරන්ගේ කිසිදු සංවරකමක්, නීතිගරුක බවක් දක්නට නැත. කිසිදු පළපුරුද්දක් නොමැති මෙම රියැදුරන් බොහෝ විට අධික වේගයෙන් ධාවනය කරති. එමෙන්ම ඔවුන් හැමවිටම සිටින්නේ බීමත්වය. ඔවුන්ට අන් අයගේ ජීවිත තබා තමන්ගේ ජීවිතය ගැනවත් නොසලකන බව දකින ඕනෑම අයෙකුට තේරුම් යන්නේ ඔවුන්ගේ “කුලප්පු” ධාවන විලාසයටය. “අධික වේගය මරු කැඳවයි”, “බීමතින් රිය පදවන්න එපා”, “අනතුරු සහිත වංගුවකි”, “වේග සීමා සඳහන් පුවරු ආදී අවවාදාත්මක පුවරු මහා මාර්ග අයිනේ සවිකර තිබෙනු අප කොතෙක් දැක ඇතත් අපේ රටේ “මදාවි රියැදුරන්” මේ කිසිවක් නොදැක්කා නොපෙනුනා සේ අපරීක්‍ෂාකාරී ලෙස ධාවනය කරන්නේ මෙරට මගීන්ගේද තදබල අපලයකැයි අපට සිතිය හැක. මෙසේ නොහික්මුණු ලෙස ධාවනයේ යෙදෙන රියැදුරකු මරාගෙන මැරෙන බෝම්බකරුවකුටත් වඩා භයානක විය හැකි බවද සිදුවන අනතුරු දුටු විට අයෙකුට සිතීම සාධාරණය.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment