කෝටිපතියා සුද්ද කරන්න සී.අයි.ඩී. වෙස් අරන්

301

පොලිස් පිරිසකුත් ඇවිත්:අල්ලස් ගන්න ආ කාන්තාවක ඇතුළු පිරිසක් අත්අඩංගුවට

විමර්ශන ඇරැඹෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යැයි කියමින් ධනවත් ව්‍යාපාරිකයකුට මරණීය තර්ජන එල්ල කර රුපියල් දෙකෝටි තිස්පන් ලක්ෂයකට අධික මුදල් කොල්ලකෑමක් සහ අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම සිද්ධියට අදාළව ධනවත් ව්‍යාපාරිකයාගෙන් රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට පැමිණි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් පෙරේදා (29 වැනිදා) සවස කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගනු ලැබූහ.

මහාපරිමාණයෙන් ඔරලෝසු වෙළෙඳසැල් පවත්වාගෙන යන කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට මීට සති දෙකකට පමණ උඩ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි කියමින් පිරිසක් කඩා වැදී ඇත.

මෙම පිරිස අතර පොලිස් නිල ඇඳුම් ඇඳගත් පුද්ගලයන් ඇතුළු පස්දෙනකු සිට ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

නිවස පරීක්ෂා කිරීමට යැයි කියමින් එහි ඇතුළු වූ පිරිස ව්‍යාපාරිකයා සතුව තිබූ රුපියල් එක් කෝටි තිස්පන් ලක්ෂයකට අධික වටිනාකමෙන් යුත් ඩොලර් සහ ශ්‍රී ලංකා රුපියල්වලින් මුදල් කොල්ලකා ගෙන පලා ගොස් තිබිණි.

මෙම මුදල් කොල්ලය සහ නිවස පරීක්ෂා කිරීම පිළිබඳව පොලිසියට පැමිණිලි කළහොත් මරා දමන බව කියමින් මේ පිරිස නිවැසියන්ට තර්ජනය කර තිබේ. එම තර්ජන නිසා ව්‍යාපාරිකයා මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර නැත.

මෙම මුදල් කොල්ලයෙන් දින කීපයකට පසු මුලින් කොල්ල කෑමට පැමිණි කණ්ඩායමේ සිටි එක් අයකු ඇතුළු තවත් සිව් දෙනකු ව්‍යාපාරිකයාගේ නිවස වෙත නැවත පැමිණ ඇත. මෙම පිරිස නැවතත් ව්‍යාපාරිකයාගේ නිවස පරීක්ෂා කර එහි තිබූ ඉන්දීය ජාතියකුට අයත් විදේශ ගමන් බලපත්‍රයක් රැගෙන ගොස් තිබේ. එම ඉන්දීය ජාතිකයා ව්‍යාපාරිකයා යටතේ සේවය කරන පුද්ගලයෙකි.

විදේශ ගමන් බලපත්‍රය රැගෙන ගොස් දින කීපයකට පසුව ව්‍යාපාරිකයාට දුරකථනයෙන් කතා කර එය ආපහු ලබාදීමට නම් රුපියල් කෝටි 4ක අල්ලස් මුදලක් ලබාදෙන ලෙස තර්ජනය කර ඇත.

අදාළ අල්ලස් මුදල රුපියල් කෝටියක් දක්වා අඩුකර ගැනීමට කථා කර ගත් ව්‍යාපාරිකයා මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතා වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ වැටලීම් ඒකකයේ පොලිස් නිලධාරීහු ව්‍යාපාරිකයා ද සමග ගොස් අදාළ අල්ලස් මුදල කොල්ලුපිටිය ප්‍රදේශයේදී ලබාදෙද්දී එය ගැනීමට පැමිණි සිටි සංවිධානාත්මක පිරිසව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.

මෙම පිරිස අතර කාන්තාවක් ද සිට ඇති අතර ඇය පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන තැනැත්තියකි. සැකකරුවන් පිරිස අල්ලස් කොමිසම වෙත රැගෙන ගිය අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මුල් ආරම්භයේදී ව්‍යාපාරිකයාගේ නිවස කොල්ල කෑමට පැමිණි පිරිස අතර පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ නිලධාරීන් පිරිසක් සිට ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමේ විමර්ශන අවශ්‍ය සහ කොල්ලුපිටිය පොලිසිය ඒකාබද්ධ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වැටලීම් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment