කෙසේ හෝ මිහිඳු පෙරහරත් ආලෝක පූජාවත් කරනවා -මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැන්ගුනවැවේ ධම්මරතන හිමි

75

විදුලිබල මණ්ඩලයෙන් පොසොන් ආලෝක පූජාවට දායකත්වය ඉතා අල්ප බවට චෝදනා

පොසොන් සතිය මැයි 31 සිට ජුනි 6 දක්වා

ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන් සේම අන්‍ය ආගමික බැතිමතුන් පැමිණෙන උතුම් පොහොය දිනය ගෞරවයෙන් සැමරීමට අවශ්‍ය පහසුකම් සැපයීම අපි සැමගේ වගකීමක් සේම යුතුකමක් ද වේ. එනිසා කෙසේ හෝ මෙවර මිහිඳු පෙරහර සේම ආලෝක පූජාවත් සිදු කරන බවට මිහින්තලේ රජ මහා විහාරාධිපති හා භාරකාර, පුජ්‍ය වලවාහැන්ගුනවැවේ ධම්මරතන නායක ස්වාමින්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මිහින්තලය පොසොන් කමිටුව රැස්වූ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, අනාගත පරපුර සඳහා මෙම උරුමය ආරක්ෂා කර දිය යුතුයි. අනාදිමත් කාලයක සිට මිථ්‍යාවෙන් මිනිසුන් මුදවා ගෙන සාරධර්ම පිරි මිනිසුන් ලෙස පරිණාමය වුයේ මිහිදු මා හිමියන්ගේ වැඩමවීමෙන් පසුවයි. එම නිසාවෙන් කෘතගුණ දත් ජාතියක් ලෙස මෙවර පොසොන් උළෙල උත්සවත්ශ්‍රීයෙන් සිදු කරනවා.

මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සඳහා විදුලිබල මණ්ඩලය ආලෝක පූජාවට දක්වන දායකත්වය ඉතා අල්පයි. පෙර 50%ක දායකත්වයක් ඔවුන් දැරුව ද මෙවර එසේ නෑ. නමුත් බැතිමතුන් වැඩි පිරිසක් රාත්‍රි කාලයේයි වන්දනාවේ පැමිණෙන්නේ. ඒ ආලෝක පූජාව දැක ගැනීමට දක්වන විශාල උනන්දුව නිසා. මේ හේතු නිසාවෙන් ආලෝක පූජාව ඒ අයුරින්ම සිදු කිරීමට අපේක්ෂා කරනවා. මෙහිදී අදහස් දැක්වූ අනුරාධපුර මහ දිසාපති ජනක ජයසුන්දර මහතා, බැතිමතුන්ගේ පැමිණීම කල් දැමීමට හෝ පොසොන් උත්සවය කල් දැමීමට නොහැකියි. එම නිසා අතවශ්‍ය කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් අවම පහසුකම් යටතේ හෝ මෙවර පොසොන් පිංකම සිදු කිරීමට එක්ව කටයුතු කරමු.

පොලිතින් භාවිතය අවම කිරීම හා සතුන්ට ආහාර දීම නිසා ඇතිවිය හැකි අනතුරු පිළිබඳවද දිසාපතිවරයා මෙහි දී වන රක්ෂණ හා ආරක්ෂක අංශ දැනුවත් කළේය. රථ ගාල් සඳහා මුදල් අය නොකරන බැවින් එහි ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ආරක්ෂක අංශ වෙත දිසාපතිවරයා දැනුම් දීමටද අමතක නොකළේය. අප මහජනතාවට සේවය සපයන ආයතන බැවින් එක්ව මෙම කාර්යයන් ජය ගැනීමට උත්සහා දැරිය යුතුයි. වැඩිදුරටත් දිසාපතිවරයා නිලධාරීන්ට දන්වා සිටියේය. ජල සැපයුමේ ගැටලුවක් නැහැ. පෙර පරිදිම සාකච්ජා වූ අයුරින් එම කාර්යන් ඉටු කිරීමට හැකියාව ඇති බව ජලාපවාහන මාණ්ඩලික නිලධාරියකු ප්‍රකාශ කළේය. මැයි 31 වැනි දින සිට ජුනි මස 6 වැනි දින දක්වා පොසොන් සතිය ලෙස ක්‍රියාත්මකයි. මෙවර පොසොන් උත්සවයේ තේමාව වන්නේ, “නැගෙමු, පිඹිදෙමු, යෙදෙමු, සුරකිමු, මිහිඳු මා හිමි දෙසු දහම්”, යන්නයි.

අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කීර්ති සිරිබද්ධන, අතිරේක ලේකම් (ආගමික කටයුතු) එම්.එම්. කුමාරි, බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) නිරංජි එම්. ජයකොඩි. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායකබණ්ඩාර සහ සහකාර දිස්ත්‍රික් ලේකම් කුමාර චන්ද්‍රගුප්ත යන මහත්ම මහත්මීන් මෙන්ම ආරක්ෂ අංශ සහ පොසොන් උත්සවයට සම්බන්ධ රාජ්‍ය ආයතන නිලධාරීන්, ස්වේච්ඡා සංවිධානවල සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

නොච්චියාගම- එම්.එම්.පී.ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment