තායිවානයේ නැවත භූමිකම්පා මාලාවක්

238

ඉකුත් අප්‍රේල් 03 වැනිදා පුද්ගලයන් 14 දෙනෙකුට මරු කැඳවමින් මුළුමහත් තායිවානයම හෙල්ලූ දරුණු භූමිකම්පාවේ පසුකම්පනයන් වශයෙන් හටගත් ප්‍රබල භූමිකම්පාවන් මාලාවක් හේතුවෙන් උතුරු, නැගෙනහිර හා බටහිර තායිවානයේ නගර රැසක් පෙරේදා (22දා) රාත්‍රියේ දෙදරුම් කා ඇතැයි වාර්තා වී තිබේ. එම භූමිකම්පාවන් හේතුවෙන් අදාළ නගරවල සියලු ගොඩනැගිලි පෙරේදා රාත්‍රිය පුරා සෙලවෙමින් පැවති අතර ඇතැම් ගොඩනැගිලි නැවී ගොස් ඇති බව නගරවාසීන් පවසා තිබේ. කෙසේ වුවද මෙම පසුකම්පනයන් හේතුවෙන් ජීවිත හානි සිදුවූ බවක් වාර්තා වී නොමැත. මෙම පසුකම්පනයන් හේතුවෙන් නගරවාසීන් බියට පත් වී ඇති බව ඒඑෆ්පී පුවත් සේවය වාර්තා කර තිබේ.

අප්‍රේල් 03 වැනිදා තායිවානයේ ප්‍රබල භූමිකම්පාව හටගත් හුවාලියන් නගරය කේන්ද්‍ර කරගෙන පෙරේදා රාත්‍රියේ හටගෙන ඇති මෙම භූමිකම්පාවන්ගෙන් ප්‍රධාන භූමිකම්පා දෙක රිච්ටර් මාපකයේ 6 හා 6.3 වශයෙන් සටහන් වී ඇති බව තායිවානයේ අගනුවර වන තායිපේ නගරයේ මධ්‍යම කාලගුණ කාර්යාංශය නිවේදනය කර තිබේ. එම කාර්යාංශයට අනුව පෙරේදා භූමිකම්පාවන් 200ක් පමණ හටගෙන ඇති අතර ඒවා සියල්ල ඉකුත් 03 වැනිදා හටගත් ප්‍රබල භූම්කම්පාවේ පසුකම්පනයන්ය. මෙම පසුකම්පනයන් හේතුවෙන් හුවාලියන් නගරයේ මුල් භූමිකම්පාවෙන් අඩක් කඩා වැටී තිබූ හෝටලයක් හා තවත් ගොඩනැගිල්ලකට දැඩි හානි සිදු වී තිබේ. මෙම පසුකම්පනයන් හේතුවෙන් නගරයේ කඩ සාප්පු හා පාසල් වසා දැමීමට බලධාරින් විසින් පියවර ගෙන තිබේ. මෙම පසුකම්පනයන් සමග ඉකුත් අප්‍රේල් 03 දා හටගත් ප්‍රබල භූමිකම්පාවේ පසුකම්පනයන් 1100කට අධික සංඛ්‍යාවක් මේ වන විට හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment