එදා ලක්දිව හැඳින්වුණු හැටි

356

දිවයිනෙහි පැරණි නම වූ ‘ටැප්‍රොබේන්’ යන නම 17 වන සියවසෙහි පවා අපරදිග වැසියන්ගේ මතකයෙහි පැවැති බව මිල්ටන් කිවියාණන්ගේ කෘතියකින් හෙළිවේ.

ඉතා ආදියෙහි සිට නම් කිහිපයකින් ලක්දිව හැඳින්වෙන්නට වූ බව මෙරට ගැන පෙර’පර දෙදිග රටවල ලියැවී ඇති පැරැණි ලියවිලි විමසීමෙන් හෙළි වේ. මේ ලිපියෙන් අප අදහස් කරනුයේ ඒ පිළිබඳ සමාලෝචනයක යෙදීමකි.

“තම්බපණ්ණි, තාම්රපර්ණි, ටැප්‍රොබේන් පාර, සමුද්‍රා, පැලේසිමුංඩු, සිහළදිව, හෙළදිව, සෙරෙංඩිවි, සෙරෙංඩිබ්, සීලෙඩිබ, සලිකේ, සීිංහද්වීප, ආම්රද්වීප, ලංකාදීප, ශ්‍රී ලංකාද්වීප, (සිරි) ලක්දිව, ඊළම්, සීලාන්, සීලම් සෙලන්, සිලෝන් යනු මෙසේ ලක්දිව හැඳින්වීමට ලොවැ නොයෙක් කාලයන්හි භාවිත වූ නම්ය. මේ නම් අතරෙහි සමහරක් බටහිර රටවලැ භාවිතයට පත්වූ අතර සමහරක් ඈත පෙරදිග රටවලැ ව්‍යවහාරයන්ට පත්විය.

මේ ව්‍යවහාරයන් ඔවුන්ගේ නිෂ්පත්තිය අනුව ගණ කිහිපයකට බෙදිය හැකිය.

  1. තම්මබණ්ණි, කාම්රපණ්ණි, ටැප්‍රොබේන්
  2. පාර සමුද්‍ර, පැලේ සිමුංඩු, සිමුංඩු
  3. සිහළදිව, හෙළිදිව, සිංහද්වීප, සිංහලද්වීප, සෙරෙංඩිවි, සෙරෙංඩිබ්, සීලෙඩිබ, සලිකේ, සීලාන්, සීලම්, සෙලන්, සිලෝන්
  4. ආමුද්වීප
  5. ලංකාද්වීප, (ශ්‍රී) ලංකාද්වීප, (සිරි) ලක්දිව, ලංකාව

දැන් මේ එක් එක් ගණයක් ගෙන එහි ප්‍රභවයේ ඉතිහාසය විමසමු.

‘තම්බපණ්ණි’ යනු මේ දිවයිනට දී ඇති පැරැණි නමයි. මේ නමේ කතුවරයා සත්සියක් පිරිවරින් මෙ රටට ගොඩ බට විජය කුමරුගේ පිරිස බව මහාවංසය පවසයි.

විඩාවට

ගමන් වෙහෙසින් විඩාවට පත්ව සිටි විජය කුමරු මෙහි වෙරළ බිමෙහි දෙ අත්ල ඔබා වැතුරුණු බවත් වෙරළෙහි වූ රතු පසින් තඹ පැහැ ගත් දෙඅතුල් බැලූ කුමරුගේ පිරිවර ‘තම්බපණ්ණි’ ‘තම්බපණ්ණි’ යැයි කියූ බවත් එහෙයින් එ පෙදෙසත් එ නමින් මුළු රටත් ‘තම්බපණ්ණි’ යනුවෙන් හැඳින්වෙන්නට වූ බව මහාවංසයෙහි සඳහන් වේ. මහාවංසයෙහි ඉතිහාස කතා මාර්ගය අනුව ගිය ග්‍රන්ථ සියල්ලම ‘තම්බපණ්ණි’ යන නාමයේ ඉතිහාසය පිළිබඳව ඉදිරිපත් කරන්නේ මේ විවරණයයි.

මේ ප්‍රවෘත්තියේ සත්‍යතාව කුමක් වුවත් මේ එන විස්තරයෙහි නොසීහෙන බවක් පෙනෙනුයේ ‘තම්බපණ්ණි’ යන වචනවෙහිය. අත්ල හැඟැවෙන ‘පාණි’ ශබ්දයක් මුත් ‘පණ්ණි’ ශබ්දයක් මහාවංසයේ භාෂා මාධ්‍ය වූ පාලියෙහි තබා විජය කුමරු ඇතුළු පිරිසගේ බස වන්නට ඇතැයි සැලැකිය හැකි මාගදි ප්‍රාකෘතයෙහි හෝ නොපෙනේ. ඉදින් තඹ පැහැ ගත් අත්ල නිසා මේ දිවයිනට එහි මුල්ම නම ලැබිණි නම් එය තිබිය යුතු වූයේ ‘තම්බපාණි’ යන රූපයෙනි.

තම්බපණ්ණි’

එහෙත් මේ දිවයින ‘තම්බපණ්ණි’ යනුයෙන්ම ආදියෙහි හැඳින්වුණු බවට භාරතිය ශිලා ලිපිවලින් දෙස් ලැබේ.

ක්‍රි.ව. 2 වන හෝ 3 වන සියවසට අයත් සේ සැලැකෙන නාගාර්ජුනිකොංඩ ප්‍රාකෘත සෙල්ලිපියෙකද මෙ රට හැඳින්වෙනුයේ ද ‘තම්බපණ්ණි’ යන නමිනි.

‘තම්බපණ්ණි’ යන වචනය එහි පධාර්ථ අනුව විග්‍රහ කළහොත් ලැබෙන අරුත ‘තඹ පත් ඇති’ යනුයි. මේ අදහස වඩාත් නිරයනුයේ ‘තම්බපණ්ණි’ ශබ්දය ‘තාමු පර්ණි’ යනුයෙන් සකුවට නඟා තිබීමයි. ඉදින් ‘පාණි’ ශබ්දයම විකෘතියට පැමිණීමෙන් ‘පණ්ණි’ යනු වී නම් එහි සංස්කෘත ඡායාව තිබිය යුතු වූයේ ‘තාමු පාණි’ යන සැටියෙනි.

‘තම්බපණ්ණි’ ශබ්දයෙන් ‘තඹ පැහැ අතුල්’ හැඟැවේ දැයි යන සැකය එදා ද මෙ රට උගතුන් අතරෙහි පැවැති බවටත් ඒ සැකය දුරු කරන්නට යොදාගත් පිළිතුරක් ද වූ බවටත් ධම්පියා අටුවා ගැටපදය දෙස් දෙයි. ‘තම්බපණ්ණි’ යන්නේ නිරුක්තිය විග්‍රහ කරන කසුප මහරජ මෙසේ සඳහන් කරයි.

සැකය

“තම්බපණ්ණි දීපම්හි – තඹෙන් දිව යැ – තම්බෝ පාණි එත්ථානි’ යන වාක්‍යයෙහි සමාස කළ බැවින් තම්බපාණි යනු වියැයුතුයෙහිද නෛරුක්තික විධියෙන් පකාරයෙහි අකාර හුස්ව කොටැ අනෙක් ණකාරයක් හැරැ තම්බපණ්ණි යනු කොළෝ විදෑ රජහු ලක්දිවට බට දා බිම එබූ අත් පැහැ බලා පිරිවරැ වූවෝ ‘තම්බපණ්ණි’ යුහුල. එයින් නම් දිවු ලක් දිවු තම්බපණ්ණි නම් වියැයෙත්.”

කසුප් රජ මේ විවරණයෙන් ‘තම්බපාණි’ ‘තම්බපණ්ණි’ යන ව්‍යවහාරයන් දෙකම එකරුත් දෙන ලෙස පවසාලයි. එහෙත් සැකය නිසි සේ පසිඳ ලිය නොහෙනුයේ මෙහිම විනා අන් කිසිදු තැනෙකැ ‘පාණි’ ශබ්දය ‘පණ්ණි’ යනුයෙන් නොසිටීමත් වචනයේ සංස්කෘත ඡායාවෙහි ‘පර්ණි’ යන්න දක්නට ලැබීමත්ය.

‘තම්බපණ්ණි’ යන්නට ළං වන සේ බටහිර වැසියන් දැන සිටි මෙහි පැරැණිම නම ටැප්‍රොබේන් යන්නයි. මෙය ඔවුනට ලැබෙන්නට ඇත්තේ ‘තාමුපර්ණි’ යන්න ඔස්සේ යැයි ඉතිහාසඥයෝ සිතති.

‘ටැප්‍රොබේන්’ යන නමින් මෙරට පළමුවෙන්ම හැඳින්වූවෝ ග්‍රීකයෝය. පෙරදිග රටවල් හා වෙළෙඳාම පැවැත්වීම පිණිස මහත් උනන්දුවක් දැක්වූ ග්‍රීකයෝ තමන්ගේ අත්දැකීමෙන් හෝ ග්‍රීක වෙළෙඳුන් මගින් හෝ ලබාගත් තොරතුරු අනුව පෙරදිග රටවල් ගැන විස්තර ලියා තැබූහ. ඔවුන්තුරෙහි මුල්ම තැනැත්තා මහ අලෙක්සන්දර රජුගේ නායක නියමුවාව සිටි ඔනෙසික්‍රිටස් ය.

වැන්නා චන්ද්‍ර ගුප්ත මෞර්ය රජුගේ මාලිගයෙහි ග්‍රීක තානාපති පදවිය ලැබ සිටි මීගැස්නිනීස්ය. 3 වැන්නා ලොවේ මුල්ම භූගෝල විද්‍යාඥයා වූ එරැටොස්තිනිස්ය.

මේ ග්‍රීක ලේඛකයන් තිදෙනාගේ මුල් ලියමන අද අප හමුයෙහි නැත. ඇත්තේ ඔවුන් සැපයූ වාර්තාවන්ගෙන් කරුණු උපුටා ස්ට්රැටෝ (ක්‍රි.පූ. 30-24) සහ ප්ලීන් (ක්‍රි.ව. 23-77) යන ඉතිහාසකාරයන් සැපැයූ ග්‍රන්ථය ලක්දිව පිළිබඳව ඇදහිය හැකි මෙන්ම නොඇදහිය හැකි වූද නොයෙක් තොරතුරු පළ කරන මේ ග්‍රන්ථයන්හි ද මෙරට හඳුන්වන්නේ ‘ටැප්‍රොබේන්’ යන නමිනි. භූගෝල විද්‍යාඥ්‍යයකුවූ ටොලමි (ක්‍රි.ව. 150 පමණ) කලින් ‘සිමංඬු’ යන නමින් හැඳින්වුණු ටැප්‍රොබේනය ‘සලිකෙ’ නමින් ද හැඳින්වුණු බව පවසයි. එවකට සලිකෙ යන නමින් හැඳින්වුණු රටක් ‘ටැප්‍රොබේන්’ යන නමින් සාමාන්‍යයෙන් හැඳින්වීමෙන් පෙනෙනුයේ ග්‍රීකයන් මුලින්ම මේ නම දැන සිටියේ ටැප්‍රොබේන් යන නමින් බවත් එය ඉන්පසුව සිමුංඩු යනුවෙනුත් ඉන් පසුව සලිකෙ යන නමිනුත් දැන සිටි බවයි. ක්‍රි.ව. 5 වන සියවසෙහි පවා මධ්‍යධරණිකරය අවටැ වැසියන් මෙ රට ‘ටැප්‍රොබේන්’ යන නමින් හඳුන්වන්නට වූ බව තිබ් නගරයෙහි විසූ උගතුන් විසින් ලියන ලද වාර්තාවෙකින් හෙළි වේ.

පැරණි නම

මේ දිවයිනෙහි පැරණි නම වූ ‘ටැප්‍රොබේන්’ යන නම 17 වන සියවසෙහි පවා අපරදිග වැසියන්ගේ මතකයෙහි පැවැති බව මිල්ටන් කිවියාණන්ගේ කෘතියෙකින් හෙළිවේ.

  1. පාර සමුද්‍ර – පැලේ සිමුංඩු – සිමුංඩු. මෙ රට ‘පාර සමුද්‍ර’ යන නමින් හඳුන්වන්නේ අර්ථ ශාස්ත්‍රය පමණකි. ලක්දිව මෙනමින් හඳුන්වන එකම කෘතිය මෙපමණකි. බටහිර විද්‍යා ශාස්ත්‍රයන්ගේ උණුසුම වැදෙන තෙක්ම භාරතය මුල් කොට පෙරදිග සෙසු බොහෝ රටවලැ රාජ්‍ය පාලන විද්‍යාව පිළිබඳ ගුරු පොත් ලෙස සැලකුණු මේ සංස්කෘත ග්‍රන්ථය කෞටිල්‍යයන් ද පිළිගෙන ඇතත් අද අප හමුයෙහි ඇති අර්ථ ශාස්ත්‍රයේ මුහුණුවර එයට පැමිණියේ කෞටිල්‍යයන්ගේ අභාවයෙන් සියවස් ගණනකට පසුවය. එබැවින් මෙහි එන ‘පාර සමුද්‍ර’ යන වචනය පැරණි අර්ථ ශාස්ත්‍රය ග්‍රන්ථාරූඪ වූ කාලයෙහි එනම් ගුප්ත යුගයෙහි මෙරට හැඳින්වීම පිණිස භාවිත වූ නාමයක් ලෙස සැලකිය හැකිය. ‘පාර සමුද්‍ර’ යන්නෙහි අදහස ‘මුහුදින් එතෙර රට’ යනුයි. ලක්දිව දඹදිව වැසියන්ගේ මුහුදින් එතෙර රට වූ හෙයින් මෙසේ නම් කළා විය හැකිය. එහෙත් මේ නම බහුල ව්‍යවහාරයට පත් වූ බවක් නොපෙනෙතත් ඒ එහි ප්‍රතිචීන විකෘථිය වූ ‘පැලේ සි මුංඩු’ යන නමින් පමණකි.

සාක්ෂි

එහෙත් ‘පැලේ සි මුංඩු’ යන වචනය බටහිර දිග වැසියන් අතරෙහි පවා බහුල ව්‍යවහාරයට පත් වූ බවක් නොපෙනේ. මේ නම අපට ලැබෙනුයේ ක්‍රි.ව. 60දී පමණ අවිනිශ්චිත කාර්තෘවරයෙකු විසින් සම්පාදිත සේ සැලැකෙන Periplus of the Erythrean Sea නම් ග්‍රන්ථයෙනි. කලින් මෙ රට හැඳින්වූ ‘ටැප්‍රොබේන්’ යන නම වෙනුවට ඒ ග්‍රන්ථය සැපැයුණු කාලයෙහි භාවිතා වූයේ ‘පැලේසිමුංඩු’ යන්න යැයි එහි කතුරවයා පවසයි. ‘පැලේ සි මුංඩු’ යන ව්‍යවහාරයේ පශ්චිමත්වය සනාථ කරන තවත් සාක්ෂියකි මේ.

දිවංගත ජ්‍යෙෂ්ඨ පුවත් පත් කලාවේදී
● ගුණපාල සේනාදීර
(1960දී ලියැවුණකි)

advertistmentadvertistment
advertistmentadvertistment