දුකින් අත්මිදීමට සත්‍ය තේරුම් ගැනීම

173

“අත්තදීපා භික්ඛවේ විහරථ අත්තසරණා අනඤ්ඤසරණා – ධම්මදීපා ධම්ම සරණා” සැදැහැති පින්වත්නි,

“මහණෙනි, තමා දූපතක් බඳු කොට වාසය කරව්. තමා සරණට ගනිව් අන් කෙනෙකු සරණට නොගනිව්. ධර්මය දූපතක් බඳු කොට වාසය කරව්. ධර්මය සරණට ගනිව්. අන් දෙයක් සරණට නොගනිව්.”

බුදුරජාණන් වහන්සේ මගධ රටේ මාතුලානි නම් නියම් ගමෙහි වැඩවසන කල්හි භික්ෂුන් අමතා මේ ධර්මය දේශනා කළහ. දීඝ නිකායේ චක්කවත්ති සිහනාද සූත්‍රයේ මෙය සඳහන් වේ.

තමා පිහිට කොට, ධර්මය පිහිට කොට වාසය කිරීම සඳහා සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිය යුතු බව උන්වහන්සේ එහිදී පෙන්වා දෙති. එය බුදුරජාණන්වහන්සේ නමැති පියාගේ ස්ථානය බවත්, එහි හැසිරෙන තැනැත්තා අල්ලා ගැනීමට මාරයාට හෙවත් ක්ලේශයන්ට නොහැකි වන බවත් පැහැදිලි කර දීම සඳහා බුදුරජාණන් වහන්සේ අතීත කථාවක් හා අනාගත වාක්‍යයක් භික්ෂුන්ට වදාළහ.

“මහණෙනි, අතීතයේ දළ්හනේම් නම් සක්විති රජෙක් සිටියා. චක්‍ර, හස්ති, අශ්ව, මානික්‍ය, ස්ත්‍රී, ගෘහපති, පුත්‍ර යන සප්ත රත්නයක් ඔහුට තිබුණා. ඔහු බොහෝ කාලයක් ධර්මයෙහි රජකම් කොට, එක්තරා දිනෙක එක්තරා පුරුෂයකු අමතා “මගේ දිව්‍යමය වූ චක්‍රරත්නය යම් දිනෙක එය තිබූ තැනින් බැහැරවී තිබෙනු දුටුවොත් මට දැනුම් දෙව“ යි නියම කළා. එතැන් සිට වසර දහස් ගණනක් ගිය පසු කී පුරුෂයා පැමිණ චක්‍ර රත්නය තිබූ තැනින් බැහැර වී ඇති බව ප්‍රකාශ කළා. ඔහුගේ බස් ඇසූ දළ්හනේම් සක්විති රජතුමා වැඩිමහල් පුතු කැඳවා තමන්ගේ ජීවිතයේ අවසාන කාලය ආසන්න බැවින් තපස් රැකීමට යා යුතු බව පවසා පුතාට රජකම පවරා තාපසයකු බවට පත්වුණා. පැවිදි වී සත්වන දිනයෙහි චක්‍ර රත්නය අතුරුදන් වුණා. රජකම ලත් දෙටු පුතා චක්‍ර රත්නය අතුරුදන් වී ඇති බව දැන දුක්මුසුව තම පියාවූ රාජර්ෂින් වහන්සේ වෙත ගොස් ඒ බව සැළ කළා. දරුව දිව්‍ය වූ චක්‍ර රත්නය ඔබට පියාගෙන් උරුම වන දායාදයක් නොවෙයි. ඔබ චක්‍රවර්තී රාජ්‍ය ප්‍රතිපත්තියෙහි පිහිටා පසළොස්වක පොහොය දිනයක නා පිරිසිදු වී පෙහෙවස් සමාදන්ව උඩුමහලෙහි සඳලුතලයෙහි සිටින විට එය නැවත පහළ වේවි යැයි ඍෂිවරයා කිව්වා.

ඒ සක්විති වත් කවරේදැයි පුතා ඇසූ විට දස කුසල ධර්මයන් වඩමින්, යහපත් පැවතුම් ඇතිව අන්තඃපුර ජනයා කෙරෙහිද, හමුදාවන් කෙරෙහිද, ක්‍ෂත්‍රියයන් කෙරෙහිද, බ්‍රහ්මණ ගෘහපතිවරුන් කෙරෙහිද, නියම් ගම් ජනපද වැසියන් කෙරෙහිද, මහණ බමුණන් කෙරෙහිද, මෘග පක්ෂීන් කෙරෙහිද, ධාර්මික රැකවරණය ලබාදෙන ලෙසත්, තම රටෙහි අධාර්මික ක්‍රියා මැඩ පවත්වන ලෙසත්, දුප්පතුන්ට ධනය ලබාදෙන ලෙසත්, පැවිදි උතුමන් වෙත වරින් වර එළඹ කුසල් අකුසල් කවරේදැයි විමසා කුලයෙහි සමාදන්ව වසන ලෙසත් රාජර්ෂිවරයා පුතාට අවවාද කළා. ඒ උපදෙස් අනුගමනය කළ විට පුතාටත් චක්‍ර රත්නය පහළ වුණා.

ඉන් පසු රජතුමා පන්සිල් රකින ලෙස වැසියන්ට අනුශාසනා කළා. එසේ කරන විට සතර දිශාවෙහිම සිටි රජවරුන් ඔහුට පක්ෂපාතී වුණා. මෙසේ සක්විති රාජ පරම්පරා හතක් ගිය පසු අටවැනි රජ බවට පත් තැනැත්තා සක්විති වත් අනුගමනය නොකළ නිසා රට පිරිහුණා. එවිට මැති ඇමැති පිරිස රජු වෙත ගොස් ආර්ය වූ චක්‍රවර්තී පිළිවෙතෙහි නොයෙදුණු නිසා රට පිරිහී ඇති බව පවසා රජුට සක්විති වත් කියා දුන්නා. ඒ ඇසූ රජු සියලු දෙනාට ධාර්මික රැකවරණය ලබාදුන්නත් දුප්පතුන්ට ධනය දුන්නේ නහැ. ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දමන්නට පියවර ගත්තේ නැහැ. ඒ නිසා දුප්පත් අය සොරකමට යොමු වුණා.

සොරකම් කර හසුවූ අයට රජු ධනය දුන්නා. ඉන් පසු මිනිස්සු රජුගෙන් ධනය ලබා ගැනීමේ අරමුණෙන් සොරකම් කළා. මෙවර රජු ධනය නොදී සොරාට මරණීය දණ්ඩනය නියම කළා. ඉන් පසු සොරු ආයුධ ගෙන ගම් වැදී තමන් සොරකම් කළ බවට ඇසින් දුටු සාක්ෂි නැතිවන සේ ඇසූ දුටු සියලුම දෙනා මරා දමා සොරකම් කරන්න පටන් ගත්තා. මෙසේ මිනිසුන් අතර පව්කම් වැඩි වනවිට ඔවුන්ගේ ආයුෂ පිරිහී ගියා. පැහැය පිරිහී ගියා. කලක් ගතවන විට සොරකම, ප්‍රාණඝාතයට අමතරව මුසාවාද ආදී තවත් අකුසල් මිනිසුන් අතර පැතිරී ගියා.

මෙසේ රජු තම රටේ දිළිඳු බව තුරන් කිරීම සඳහා ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මිනිසුන් අතර පව්කම් වැඩි වී ආයුෂයෙනුත් වර්ණයෙනුත් පිරිහී ගියා. මෙසේ මිනිස් ආයුෂ අනාගතයේ දස වර්ෂයක් දක්වා පිරිහී ගොස් සමාජයේ ධර්මය යටපත් වී අධර්මය මතු වෙනවා. එකිනෙකා කෙරෙහි දරුණු වෛරයක් හට ගන්නවා. මව් පිය දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාම තද වෛරයෙන් පසුවී ආයුධ ගෙන එකිනෙකාට පහර දෙනවා මරා ගන්නවා.

මේ දුටු සමහර අය වෛරය, ප්‍රාණඝාතය නිසා සමාජයට වූ හානිය දැක එයින් වෙන්වෙනවා. ඔවුන්ගේ දරුවන්ගේ පරමායුෂ අවුරුදු විස්සක් වෙනවා. ශරීර වර්ණයත් පැහැපත් වෙනවා. මේ තත්ත්වය දුටු ඒ දරුවෝ තවත් අකුසල් අත් හරිනවා. මෙසේ පරම්පරා ගණනක් යන විට මිනිස්සු දස අකුසලයෙන් ඈත්වී ආයුෂයෙනුත්, ශරීර වර්ණයෙනුත් වැඩෙනවා. ක්‍රමයෙන් මිනිස් ආයුෂ අවුරුදු අසූදහසක් වෙනවා. එකල මිනිසුන්ට ඇති වන්නේ ලෙඩ තුනක් පමණයි. එනම් ආහාර තෘෂ්ණාව, ආහාර නැති විට ඇති වන ක්ලාන්තය සහ වයසට යාම පමණයි. මේ කාලයේ කේතුමති නම් රාජධානියෙහි මෛත්‍රී නම් බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඒ බුද්ධ ශාසනයෙහිත් මෙකල මගේ බුද්ධ ශාසනයෙහි මෙන් භික්ෂුන් මාර්ගඵල ලබනවා. එහෙයින් ඔබ සැම දෙනාත් බුද්ධ නම් වූ පියාගේ උරුමය වූ, පියාට අයත් වූ සතර සතිපට්ඨානයේ හැසිරුනොත් ඔබලාගේ ආයු, වර්ණ සැප, භෝග, බල වැඩිවෙනවා.

මෙහි සඳහන් පරිදි අපට සම්බුදු පියාණන් වහන්සේගේ ගෝචර විෂය වූ සතර සතිපට්ඨානය ගැන අවධානය යොමු කරන්න වෙනවා. නිර්වාණය නමැති පරම සැපයෙන් පිරිහෙන්නේ නැතිව, මේ ජීවිතයේ දීම එය ලබාගන්නට නම් සතර සතිපට්ඨානයන් වැඩිය යුතු වෙනවා. හරියට එය වැඩුවොත් දින හතක් තුළ මාර්ගඵල ලද හැකි බව බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කළහ. සිහිය පිහිටුවා ගත යුතු ස්ථාන හතරක් බුදුරජාණන් වහන්සේ වදාළහ. එනම් කය, වේදනා, සිත, ධර්ම මේ සතර තැන සිහිය පිහිටුවා ගන්නා ලෙස උන්වහන්සේ වදාළේ සත්‍ය අවබෝධ කර ගැනීමට එය එකම මග නිසාය. (ඒකායනෝ අයං බික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා) සත්‍ය යනු කුමක්ද? අනිත්‍ය බවයි. වෙනස් වන බවයි. අන් ස්වභාවයක් ගන්නා බවයි. එය වටහා ගැනීමට පහසු ක්‍රමය ලෙස මුලින්ම කායානුපස්සනාව දේශනා කළහ. දුක ඇති වෙන්නේ මේ වෙනස් වන ස්වභාවය හෙවත් අනිත්‍ය බව නිසාය. මේ පංචස්කන්ධ එකතුවේ මුලින්ම අපට දක්නට ලැබෙන්නේ මේ රූපස්කන්ධය හෙවත් කයයි. අරමුණු ගැනීමේදිත් මුලින්ම අවධානය යොමු වන්නේ, අරමුණු වෙන්නේ රූපයයි. අප ඇලෙන්නේ රූපයට, ගැටෙන්නේ රූපයට, එනිසා නිත්‍ය දැකීම, සත්‍ය සෙවීම කයෙන් පටන් ගැනීමට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්හ. එහි පළමු වැනි ආනපාන පබ්බයෙන් මේ යථාර්ථය දැකීමට අවශ්‍ය පරිදි අපේ සිත සකස් කර දෙනවා. දෙවැනි ඉරියාපථ පබ්බයෙන් සිව් ඉරියව් නමැති රළු ක්‍රියාකාරීත්වයට සිත යොමු කරනවා. තුන්වැනි සම්පචඤ්ඤ පබ්බයෙන් ශරීරයේ සෑම වලනයක් ගැනම සියුම් ලෙස සිත යොමු කරවනවා. මේ හැමතැනකම අනිත්‍ය ස්වභාවය අත්දකින්න හැකි වෙනවා. ඊළඟට වේදනානුපස්සනා හෙවත් සුඛ, දුක්ඛ, උපේක්ඛා වශයෙන් බාහිර රූප අරමුණු වීමේදී අපට දැනෙන වේදනාවන් ගැන සිහි කරනවා. එහි සිහිය පිහිටුවා ගන්නවා. එතකොට ඇලෙන ගැටෙන ස්වභාවයෙහි ඇති නිසරු බව වැටහෙනවා. තුන්වැනි විත්තානුපස්සනාවේදී ඒ ඒ අරමුණු ගෝචර වන විට අප තුළ පහළ වන සරාග සිත, චිතරාග සිත, සදෝස සිත, වීත දෝස සිත ආදී වශයෙන් ඒ ඒ සිත හඳුනා ගන්නවා. එක් එක් සිතේ හට ගැනීම, විනාශය දකිනවා.

සතර වැනිව ධම්මානුපස්සනාවෙන් බලන්නේ බාහිර ලෝකය හා අභයන්තර ලෝකය සම්බන්ධ වීමෙන් මේ සිත සකස් වන ආකාරයයි. සිත හට ගන්නේ සිතුවිලි සමගයි. නීවරණ පබ්බ, බන්ධ පබ්බ, ආයතන පබ්බ, බොජ්ඣංග පබ්බ, වතුසච්ච පබ්බ යනුවෙන් මෙහි කොටස් පහක් තිබේ.

මේ සතර ආකාරයෙන් නුවණ මෙහෙයවන විට මේ ලෝකය දුක් සහගත බව පෙනේ. (දුක්බේ ලෝකෝ සතිට්ඨිතෝ) ලෝකය කියන්නේ ඉන්ද්‍රිය හා අරමුණු සම්බන්ධ වීමෙන් අප ඇති කර ගන්නා පංච උපාදාන ස්කන්ධ නමැති ලෝකයයි. මේ ලෝකේ ප්‍රකෘති ස්වභාවය දුකයි. දුක අපට නොවැටහෙන්නේ ලෝකයේ පවතින අනිත්‍ය ස්වභාවය නිසයි. ටිකක් වෙලා වාඩිවී හිටියාට පසු අපි හිටගන්නවා. එවිට වාඩිවී සිටීම නිසා ඇතිවන දුක අපට නොපෙනී යනවා. ඉරියව් වෙනස්වීම නමැති තාවකාලික පිළියම සැපක්සේ පෙනෙනවා. මේ වෙනස් වන ස්වභාවය අවබෝධ කරගත් විට, නුවණින් දුටුවිට අපට දුක කුමක්ද කියා අවබෝධ වේ. (දුකඛේ ඤාණ) එය අවබෝධ වූ විට ඊට හේතු, ඉන් මිදීම, ඉන් මිදෙන මග යන ඉතිරි සත්‍යයන්ද අපට පැහැදිලි වෙනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි!

දුකින් අත්මිදීමට සත්‍ය තේරුම් ගැනීම

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය ප්‍රමුඛ අෂ්ට මහාවිහාරාධිකාරී
දෙහිවල ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති කොළඹ මහානාම විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත

ලේල්වල සමිත නාහිමි

advertistmentadvertistment
advertistmentadvertistment