කියවීම අහිමි පරම්පරාවට Listening Book සංකල්පයක්

රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී ගත්කතුවරුන් අතර නම් රැන්දූ යතිවරයන් වහන්සේ නමක ලෙස පූජ්‍ය බටුවන්ගල රාහුල ස්වාමීන් වහන්සේට හැදින්වූවාට කම් නැත. උන්වහන්සේ බොහෝ විට පාඨක සිත් සතන් ආකර්ශනය කර ගන්නා ඔවුන්ට වඩාත් සමීප තේමා තම වස්තු විෂය කර ගත්තේය. කුඩා කළ පටන් ලියන්නට, කියවන්නට ආසා කළ උන් වහන්සේ සමඟ වර්තමාන කලාව සහ එයට ස්වාමීන් වහන්සේලාගේ දායකත්වය කෙබඳු දැයි කරන ලද සාකච්ඡාව පහත පරිදිය.

ලාංකීය සාහිත්‍යයේ යතිවර සලකුණක් ලෙස ඔබ වහන්සේ හඳුනාගන්න පුළුවන්. ශ්‍රී ලාංකීය සාහිත්‍ය කලාවට එදා සහ අද ස්වාමීන්වහන්සේලාගෙන් සහ පන්සලෙන් ලැබෙන දායකත්වය මොන වගේද?

කියවනවාට වඩා අහන එක වැදගත් - පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි

අතීතයේ සාහිත්‍ය ආරම්භ වූයේ හා පෝෂණය වූයේ පන්සල ඇසුරු කරගෙන කිව්වොත් නිවැරදියි. පන්සල ඇසුරු කරගෙන බිහිවෙච්ච අධ්‍යාපන ක්‍රමය ඇතුලේ සාහිත්‍යයත් පෝෂණය වුණේ පන්සල පිරිවෙන ඇසුරු කරගෙන. එහිදී ම ඒ සඳහා වැඩි දායකත්වයක් භික්ෂුව ලබා දුන්නා මුල් කාලීන සාහිත්‍ය නිර්මාණ ආගමික සංකල්ප පදනම් කරගෙන බිහි වුණත් ආගමික සංකල්පවලට අමතරව සමාජයේ විවිධ පැතිකඩවල් සාහිත්‍යකරුවාට කතා කරන්නට උවමනා වුණා. ගිහි දායකත්වයත් පැවිදි දායකත්වයත් සමහර සම්මතයන් බිඳ දමමින් ඒ වෙනුවෙන් පෙළගැසුණා. සීගිරි ගී, සංදේශ සාහිත්‍යාවලිය, වංශකථා සාහිත්‍ය, ජාතක කතා සාහිත්‍යය ආදිය පමණක් නිදසුන් කොට ගත්තත් සමාජය දෙස විවිධ දෘෂ්ටිකෝණවලින් බැලීමේ වුවමනාව සාහිත්‍යකරුවාට තිබූ බව පැහැදිලියි. එහිදී භික්ෂුවත් තමන්ගේ සීමාවන් අතික්‍රමණය නොකරමින් එම යුගයට සාපේක්ෂ සාහිත්‍ය ශානරයන් තුළ ඉතා ඉහළින් තම දායකත්වය ලබා දී තිබෙනවා. අපේ රට ආක්‍රමණ තුනක් යටතේ වෙනත් සංස්කෘතීන් සමග මිශ්‍ර වෙනවා. විශේෂයෙන් ම ඉංග්‍රීසි ආධිපත්‍යයට යටත් වීමෙන් පසු ගිහි පිරිස යුරෝපීය අධ්‍යාපනයට යනවා. අන්න එතනදි ඔවුන් යුරෝපීය සාහිත්‍ය අඳුන ගන්නවා. ඒ අවස්ථාව භික්ෂූන් වහන්සේලාට හොඳින් ග්‍රහණය කරගන්නට ලැබුණාය කියලා හිතන්න අමාරුයි. ලැබුණා නම් ලැබුණේ ඉතාම සුළු පිරිසකට. යටත් විජිත යුගයට සාපේක්ෂව ලංකාවේ පාසල් අධ්‍යාපනය සංවර්ධනය වෙද්දී යුරෝපීය අධ්‍යාපන සංකල්ප ලක් පොළොවේ පැළවෙද්දි ඒ අධ්‍යාපනය මේ පිරිවෙන් අධ්‍යාපනයට වඩා වෙනස් ස්වරූපයකින් ලෝකයට විවෘත වෙනවා. යුරෝපීය අධ්‍යාපන ක්‍රමය ඇතුළේ වෙනත් සංස්කෘතීන් තුළ පවතින සාහිත්‍ය අංග අපට හමුවෙනවා. ඒ වරප්‍රසාදය බොහෝ දුරට ලැබුණේ ගිහි පිරිසට. අන්න ඒ ගිහි පිරිස හඳුනාගත් සාහිත්‍ය ලංකාවට ගෙන ඒමෙන් පසු කවියේ ආකෘතිය හා හැඩය වෙනස් වෙනවා සහ අත් හදා බලනවා. කතන්දර හා බණ කතා සාහිත්‍යයේ සිට ප්‍රබන්ධ කතා සාහිත්‍ය දක්වා විකාශනය වෙනවා. ඒ කාර්යයේදී මූලික වන්නේ ගිහි පිරිස. අන්න එය ලංකාවේ මිනිස්සු වැඩිපුර වැළඳ ගන්න උත්සාහ කරනවා. නවකතාව, කවිය, කෙටිකතාව, නාට්‍ය මේ හැමදේටම ඉංග්‍රීසි සාහිත්‍ය බලපානවා. එම කාරණා සමග භික්ෂූන් වහන්සේලාගේ දායකත්වයට වඩා ගිහි පිරිසගේ දායකත්වය මතුවෙලා පෙනෙන්න ගන්නවා. විශේෂයෙන් ම භික්ෂු සාහිත්‍ය තුළ මිනිසුන්ගේ සමාජ, දේශපාලනික, සංස්කෘතික හා දෛනික ගැටලු කතා කළ ආකාරයට වඩා ගිහි පිරිස් ඒ පිළිබඳ කතා කළ ආකාරය බොහෝ පිරිස් වැළඳ ගත්තා. අන්න ඒ දේවල් එක්ක භික්ෂූව ජනප්‍රිය සාහිත්‍යයෙන් යම් පමණකට මගහැරුණා වගේ දෙයක් පෙනෙන්න ගත්තා. ඒ සියල්ල එක්ක තවම භික්ෂූව මේකේ එල්ලිලා අල්ලගෙන ඉන්නවා. මුල් කාලයේ භික්ෂූව නවකතා, ගීත රචනා වගේ දේවල් ලියන්න ගත්තම ප්‍රශ්න ඇතිවුණා. මුල් කාලයේ නවකතාව, ප්‍රබන්ධ කතාව මිනිස්සු හඳුනගෙන හිටියේ ලාංකීය සමාජයේ නොකියවිය යුතු පොත් වර්ගයක් විධියට. අපි පොඩි කාලෙත් නවකතා පොතක් එහෙම ළඟ තිබුණොත් නායක හාමුදුරුවන්ගෙන් බැණුම් අහනවා. මට මතකයි ඩබ්ලිව්. ඒ. සිල්වාගේ සිරියලතා නවකතාව මම මුලින් ම කියවපු නවකතාව මම ඒක කියෙව්වෙ කොට්ටේ අස්සේ හංගගෙන තියාගෙන. නවකතා කලාව සාමාන්‍ය සමාජය මිනිස්සු ටික ටික තේරුම් ගන්න පටන් ගන්නවා සහ ඉන්පසුව කලාත්මක නවකතා ප්‍රවේශයක් ලංකාවට එනවා. ඉන්පසු වෙනස් විධියට මේ දේ දකින්න ගත්තා. මුල් කාලීනව තරම් නැතත් අද වන විට නවකතාවට, කෙටි කතාවට, ගීත සාහිත්‍යයට භික්ෂූව සෑහෙන්න දුරට දායක වෙලා තිබෙනවා.

ඔබවහන්සේගේ නිර්මාණ හරහා බොහෝවිට සංකේත මුදාහරිනවා. එමගින් ඔබ වහන්සේ බලාපොරොත්තු වන්නේ මොන වගේ දෙයක්ද?

මෙහෙමයි ඉතින් අපි ගත්තොත් ඔබ ඉදිරියෙන් රෝහලක් ඇත කියලා බෝඩ් එකක් ගහලා තිබෙනකොට වාහනයක යන කෙනෙක්ට ඒක කියවගන්න යන වෙලාවට වඩා ප්‍රථමාධාර ලකුණ ගහලා තිබ්බම ආ ඒ රෝහලක් කියලා ඉක්මනින් අඳුර ගන්න ලේසී. ඉදිරියෙන් පාසලක් ඇත ප්‍රවේසමෙන් රිය පදවන්න කියලා ගහලා තිබෙනවට වඩා ලේසී බෑග් එකක් එල්ල ගත්ත දරුවෙක්ගේ බෝඩ් එකක් ගහලා තිබෙනවා. සංකේත කියන එක අන්න ඒ වගේ සංකීර්ණ පුළුල් අර්ථ රාශියක් එකතු කරලා ඒක සිම්බල් එකක් විධියට අපිට දෙන්න පුළුවන්කම තිබෙනවා. සංකල්ප සංකේත බවට පත් කිරීම කියන්නෙත් පහසු කාර්යයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ඒ සංකේත පාඨකයාට අඳුන ගන්න පුළුවන් වෙන්නත් ඕන. ජීවිතේට පාඨකයාට දෘශ්‍යමාන නොවුණ සංකේත නම් අපි දෙන්නේ ඒ වටපිටාවේ ඉඟි නොදුන්නොත් එතනදි ඒ සංකේතය අඳුන ගන්න බැරි වෙනවා. මාර්ටින් වික්‍රමසිංහ ගේ කලාත්මක නවකතාව වුණ පළවෙනි නවකතාව ඇතුළෙම සංකේත බොහොමයක් අපිට අඳුන ගන්න ලැබෙනවා. මහගෙදර , පහන් පත්තු කරන මුඩු බිම, පියල්, නන්දා, අනුලා, මාතර හාමිනේ, කයිසාරුවත්තේ මුහන්දිරම් මේ හැමදෙයක්ම සංකේත. සමාජ පංති, වටපිටාව මේ වගේ දේවල් තමයි මේ සංකේතවලින් කියන්නේ. සංකේත භාවිතය අපි විතරක් නෙමෙයි බෞද්ධ සාහිත්‍ය සම්ප්‍රදායේ, ජාතක පොතේ අපිට සංකේත හම්බවෙනවා. සංකේත පිරුණු කෘතියක් ජාතක පොත කියලා කියන්නේ. ඉතින් ඒ නිසා සංකේත කියලා කියන්නේ මහ ගොඩක් කියන්න තිබෙන දෙයක් කෙටි කරලා හකුළුවලා කියන්න තිබෙන හොඳ ක්‍රමයක් විධියට පාවිච්චි කරනවා.

අපි ආකල්පමය වශයෙන් නිදහස් මිනිස්සුද?

ආකල්පමය වශයෙන් කිව්වම අපේ ආකල්ප හැදිලා තිබෙන විධියත් ප්‍රශ්නයක්නේ. කෙනෙක්ගේ ආකල්ප කියන එක හැදෙන්නෙම එයා ජීවත් වෙන පරිසරයට ආදේශව. පුද්ගලයෙක් කැලේ ඉන්නවා නම් ඒ ආකල්ප හැදෙන්නේ කැලේට ගැළපෙන විධියට. පහුගිය කාලයේ ඉන්දියාවේදි හම්බවෙනවා ගැහැනු දරුවෙක්. එයා ජීවත් වෙන්නේ වඳුරෝ එක්ක. එයා ගහෙන් ගහට පනිනවා. කන්නේ අමු ආහාර, සත්තු එක්ක ඉන්නේ. එතකොට එයා මනුස්ස සමාජයක් කවදාවත් දැකලා තිබුණේ නැහැ. මනුස්ස දරුවෙක් උනාට ආකල්ප ගොඩ නැඟුණේ වඳුරන් එක්ක ඒ පරිසරයේ. ඕනෑම පුද්ගලයෙකුගේ ආකල්ප කියලා කියන්නේ එයා ජීවත්වෙන පරිසරයෙන් උකහා ගන්නා වූ සංකල්ප සමග හැදීවැඩී එන්නක්. එතකොට තව ගත්තම තායිලන්තයේ ජීවත්වන තරුණියකට ස්ත්‍රීත්වය ගැන තිබෙන ආකල්පයට වඩා වෙනස් ලංකාවෙහි ජීවත් වන කාන්තාවක් තුළ පවතින ආකල්ප. සමහරවිට ඒ දෙන්නටම වඩා වෙනස් ආකල්ප තිබෙන්න පුළුවන් ප්‍රංශය හෝ ජර්මනිය වගේ රටක ඉන්න කාන්තාවකට. ඒක නිසා ආකල්ප කියන දෙයට ජීවත් වන පරිසරයට, සමාජයට සාපේක්ෂව වටිනාකමක් දෙන්න පුළුවන්. ඒ ආකල්පවල ඉඳලා අපි යම් දවසක අලුත් ආකල්ප අපේ හිතට ගන්නවා. අතීතයේ අපි ජීවත් වුණේ අඩු සන්නිවේදනයක් සහිත පරිසරයක. මේ ගෝලීයකරණයට අපි නිරාවරණය වෙලා තිබුණෙ නැහැ. ඒ කාලේ මනුස්සයෙක් නැව් නැගලා පිටරටකට ගියොත් එහෙට ගියාද කියලා දැනගන්න මාස ගාණක් යනවා. නමුත් නව පරපුර ඉන්නේ ගෝලීයකරණයත් එක්ක සන්නිවේදන පරිසරයක. අද වන විට ස්කයිප්, වට්ස්ඇප් තාක්ෂණය හරහා ආ මෙන්න අපි බැස්සා එයාර්පෝර්ට් එකේ කියලා කියන්න පුළුවන්. මේ ලෝකය හරි ඉක්මනට අපිට ලඝු උනා. අපිට අද ඕනෑම රටක් එක්ක ඒ රටේ තිබෙන සංස්කෘතීන් මොනවද, සම්ප්‍රදායන් මොනවද, ඒ මිනිස්සු හැසිරෙන විදි මොනවද, ඒ මිනිස්සුන්ට යම් දේවල් පිළිබඳ තිබෙන ආකල්ප මොනවද කියන එක අඳුන ගන්න පුළුවන් වෙලා තිබෙනවා. සාහිත්‍ය හා නවකතා පිළිබඳ තිබෙන ආකල්ප මොන වගේද කියල දැනගන්න පුළුවන්. අපි නිෂ්පාදනය කරපු දේ ඇතුලේ අපි දැනගෙන හිටියේ අපේ ආකල්පය විතරයි. නමුත් දැන් එහෙම නැහැ විවෘතයි. ඒ නිසා අනිත් දේවලුත් අපි අඳුන ගන්නවා. එහෙම අඳුරගත්තට පස්සේ ආ ඒක මේකට වඩා හොඳයි කියලා කෙනෙකුට හිතන්න අයිතියක් තිබෙනවා. හැබැයි අන්න එතනදි සමහර දේවල්වලට සංස්කෘතිමය බාධාවක් වැටෙනවා. වටපිටාවේ තිබෙන ආකල්ප අඳුර ගත්තට ඒ ආකල්ප තමන් තුළ පෝෂණය කරන්න සංස්කෘතිමය බාධාවක් තිබෙනවා. දැන් මෙහෙම ගත්තොත් පිටරටවල්වලින් මේ ග්‍රීෂ්ම කලාපයට ඇවිල්ලා මුහුදු වෙරළේ අඩ නිරුවතින් ඉන්න බොහෝමයක් පිරිස කැමතියි. හැබැයි දළදා මාලිගාවට, ජයසිරිමා බෝධියට යනකොට සුදු රෙද්දක් දෙනවා ඒ අයට ඇඳ ගන්න. මුහුදු වෙරළේ, හෝටල් පරිශ්‍රයේ ඒගොල්ලොන්ට ඕන විදියකට ඉන්න පුළුවන්. හැබැයි සමහර තැන් තිබෙනවා එයාලට ඒ විදියට යන්න බැහැ. අන්න එතකොට ඒ සංස්කෘතික පරිසරයට අපිට අනුගත වෙන්න වෙනවා. ඕනෑම රටකට ගියාට පස්සේ ඒ රටට අදාළ ඒ සංස්කෘතික සීමාවට අපිට අනුගත වෙන්න වෙනවා.

සාහිත්‍යයට පුළුවන් මිනිස්සුන්ගේ හදවත් ස්පර්ශ කරන්න. සාහිත්‍ය මඟින් සමාජය තුළ ඇති කරන්න පුළුවන් කවරාකාර පෙරළියක්ද?

ජයලත් මනෝරත්නගේ ගුරු තරුව කියලා නාට්‍යයක් තිබෙනවා. ඒකේ සාහිත්‍ය ගුරුවරයාගෙන් ප්‍රින්සිපල් අහනවා “ඉගෙන ගත්තම වළඳක් හරි හදා ගන්න පුළුවන්. සාහිත්‍ය ඉගෙන ගෙන මොනව කරන්නද?” කියලා. එතනදි සාහිත්‍ය ගුරුවරයා අපූරු උත්තරයක් දෙනවා “හරි ඒ කෙලින් කරගත්ත ඔළු උඩින් අර හදාපු මුට්ටිය තිබ්බට පස්සේ ඕකට අසූචි දානවද රත්තරන් දානවද කියන එක පැහැදිලි කරල දෙන්නේ සාහිත්‍යය.” කියලා. ඒ වගේ සාහිත්‍ය කියන එක ඇතුළේ මනුස්සයෙක්ව නිර්මාණය කරන ප්‍රධානම මෙවලම තිබෙනවා. දැන් මෙහෙම හිතමුකො ගිටාරයක තත් කියන ඒවා කම්බි ඇදලා තිබ්බට ඒ කම්බි ටියුන් කරලා මේකෙන් සංගීත රටාවක් නිර්මාණය කරන්නත් පුළුවන් එහෙම නැත්තම් මේක බෝල ගහන්න, අඩ තියන්න පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට ඒ හඬ නිපදවන ශක්තිය හැමෝටම නැහැ. හැබැයි කලාව ඉගෙන ගත්ත කෙනෙකුට ඒක ටියුන් කරලා හඬ නිපදවන්න පුළුවන්. අපි මොහොතකට හිතුවොත් මනුස්සයා කියලා කියන්නේ ගිටාරයක් කියලා එයාගේ බුද්ධි මට්ටම හරි විදියට පරිහරණය කරන්න ඔපමට්ටම් කරලා අවශ්‍ය වටපිටාව සාහිත්‍යකරුවන්ට නිර්මාණය කරලා දෙන්න පුළුවන්. එහෙමත් නැත්තම් අර දේශපාලනඥයාට පෝස්ටර් අල්ලන්න වගේ දේවල්වලට පුද්ගලයාව යොදාගන්න පුළුවන්. එක එක්කෙනාගෙ නූලට නැටවෙන රූකඩයක් බවට පත් කරගන්න පුළුවන්.

කියවනවාට වඩා අහන එක වැදගත් - පූජ්‍ය බටුවන්ගල රාහුල හිමි

සම්මානනීය ගත්කතුවරයෙක් වශයෙන් නව පරපුර අතරට සාහිත්‍ය රැගෙන යෑමට කළ හැකි දේවල් ලෙස ඔබවහන්සේ යෝජනා කරන්නේ මොනවද?

මම දෙදහස් හයේ සාක් කලාපීය ලේඛකයන්ගේ සමුළුවට සහභාගි වෙනවා, එදා මට තිබුණා යෝජනාවක් ඉදිරිපත් කරන්න. එදා යෝජනාව උනෙත් විවිධ භාෂාවලට පොත පත පරිවර්තනය කරන්න ඕන, E – Book සංකල්පය සමාජ ගත කරන්න ඕන. ඒ කාලේ මම කියපු දෙයක් තමයි ඉලෙක්ට්‍රොනික පොතපත පාවිච්චිය ඊළඟ පරපුරට දෙන්න ඕන කියන එක. අලුත් පරපුර ගොඩක් කැමති ස්ක්‍රීන් එකේ කියවන්න. ඊළඟට අපි පොතක් කියවනවට වැඩිය පොතක් අහන්න කැමති. අපි ඒ Listening Book කියන සංකල්පය තවම භාවිතා කරන්නේ නැහැ. නමුත් මේ වන විට එම සංකල්පය ජනප්‍රිය වෙමින් යනවා. අපි හිතුවොත් ඔයාට කුස්සියේ කෑමක් හදන ගමන් පොතක් කියවන්න ඕන උනත් කරන්න බැහැ හැබැයි ඔයාට පුළුවන් පොතක් අහන්න. මොකද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය දැන් දියුණුයි. වයර් එකක් කණේ ගහන් හිටපු ඉයර් පෝන් එකට දැන් තියෙනවා ඉයර්බඩ්ස්. ඉයර්බඩ්ස් නිසා පුළුවන් දුරකථනය ඕන නම් කාමරේ තියලා කුස්සියේ ඉඳන් උයන ගමන් සවන් දෙන්න. ඉතින් ඒකට අදාළ අප්ඩේට් අපේ සාහිත්‍ය තුළත් ප්‍රකාශන ආයතන හරහා එහෙමත් නැත්තම් කර්තෘ ප්‍රකාශනයක් නම් ඔවුන් හරහා සිදු වෙන්න ඕන. විශේෂයෙන් සාහිත්‍යකරුවා කියන කෙනා කරන්නේ පොතක් ලියන එක විතරයි. ඒක සමාජයට අරන් යන්නේ ප්‍රකාශනකරුවා විසින්. විදේශීය රටක පොතක් මුද්‍රණය කරනවා නම් E- Book, Audio Book සහ Hard copy කියලා තුනක් අවශ්‍ය වෙනවා ඇග්‍රිමන්ට් තුනක් විධියට. එතකොට දැන් ලංකාවෙත් එහෙම වෙන්න ඕන. එතකොට තමයි මේක අලුත් පරපුරට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. මේ දේවල් තමයි ලේසී. අනිත් දේ ලංකාවේ නම් බොහොම අඩුයි කින්ඩ්ල් එක පාවිච්චි කරනවා. ඒක ඇහැට හරිම පහසුයි. ඒක දුරකථනයම නෙමෙයි පොත් කියවන්නම තිබෙන එකක්. දුරකථනය කියන්නේ දැන් ඕල් ඉන් වන් නේ. ඉතින් ඒකෙන් අර වගේ දේවල් කියවන එක, අහන එක පහසුයි.

අලුත් නගරාධිපති කෘතියෙන් පසු ඔබවහන්සේගේ නිර්මාණයක් තවම පාඨකයන් අතරට ආවේ නැහැ. මේ වසරෙදි අපිට අලුත් නිර්මාණයක් පිළිබඳව බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද?

එහෙම කියන්න බැහැ. පොතක් කියන එක හිතලා ලියනවා කියන එක හරිම අමාරුයි. පොතක් ලියන්න පුළුවන් ශාස්ත්‍රීය මට්ටමේ හෝ පර්යේෂණ මට්ටමේ එකක් නම්. ඒවා කරුණු එකතු කරලා ලියන ඒවනෙ. සාහිත්‍යය කෘතියකට කරුණු එකතු උනාට වැඩක් නැහැ ඒවා පෙළගස්වන්න ඕන අමුද්‍රව්‍ය, ක්‍රමවේදය ගලපලා ෆැන්ටසි එකක් හැදෙන්න ඕන. ඒ ෆැන්ටසි එක ඇතුළේ ඉඳගෙන තමයි සාහිත්‍ය නිර්මාණයක් කරන්නේ.

මම මේ ළඟකදි ලිපියක් කියෙව්වා ඒකේ තිබුණේ රයිටර් කෙනෙක් යම් කාලයකදි හෝල්ඩ් වෙනවා ඒ කියන්නේ නතර වෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඒ පිළිබඳව කරන ලද පර්යේෂණ තිබෙනවා. මගෙත් එහෙම නතර වෙච්ච කාලයක් වෙන්න පුළුවන් මේ ගෙවෙන්නේ. ඒක සදහටම නතර වෙයිද කියලා කියන්නත් බැහැ.

● චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment