කවියේ දී අප වැඩි වශයෙන් යොදාගන්නා සංකේත භාවිතය කෙටිකතාව වැනි සංක්ෂිප්ත ගද්‍ය නිර්මාණයක දී එහි කථා සන්දර්භයට උචිත අයුරින් යොදාගැනීමෙන් ඊට ලැබෙන්නේ ප්‍රබල ආලෝකයකි. එහි දී එය කෙටිකතාවක් නොව, කවියක් තරමට ම රසවත් වෙයි. ඒ සඳහා ඕනෑ තරම් උදාහරණ එවැනි දෙස් විදෙස් බොහෝ උසස් කෙටිකතාවල දී අපට හමුවේ.

නිර්මාණ සඳහා සංකේත භාවිත කිරීමට පෙර සංකේතවාදය යන්න අවබෝධ කරගැනීමත්, සංකේතයක් යනු කුමක් ද යන්න දැන සිටීමත් බෙහෙවින් වැදගත් වේ. එසේ වූ විට එමගින් නිර්මාණයට එක්වන ව්‍යංගාර්ථ එම නිර්මාණයට ලබාදෙන්නේ සුළුපටු අපූර්වත්වයක් නොවේ.

එසේ සංකේත භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් යුතුව කළ කෙටිකතා එකතුවක් පසුගිය දා අපට කියවන්නට ලැබිණි. ඒ ප්‍රකට ලේඛිකාවක මෙන් ම ග්‍රන්ථ ප්‍රකාශිකාවක ද වන කාංචනා ප්‍රියකාන්තගේ ‘මං චිත්‍රපටයක’ නම් කෙටිකතා සංග්‍රහය යි.

‘සිත්තරා සහ සිතුවම’ (2013) නම් කෙටිකතා සංග්‍රහයෙන් නිර්මාණකරණයේ අත්පොත තබන කාංචනා ඇගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන ‘කර්මක්ෂ’ (2016) පළකරන්නේ වසර තුනක ඉවසීමකින් පසුව යග එය 2017 වසරේ ගොඩගේ සම්මාන අවසන් වටය නියෝජනය කළේ කෙටිකතාකරණය පිළිබඳ ඈ තුළ වන ශඛ්‍යතාව අගයමිනි. ඉන් අනතුරුව ‘ප්‍රගාමී’ (2013) විද්‍යා ප්‍රබන්ධය, ‘සුළඟ සහ රතු මල් ගස’ (2015) කාව්‍ය සංග්‍රහය, Verging Wife (2014) ඉංග්‍රීසි කාව්‍ය සංග්‍රහය සහ Dream Catchers (2018) ඉංග්‍රීසි කෙටිකතා සංග්‍රහය ඇගේ නිර්මාණ අස්වැන්නට එකතු වෙයි. ඉන් Verging Wife ඉංග්‍රීසි කාව්‍ය සංග්‍රහය 2015 ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටය සඳහා නිර්දේශ වන අතර Dream Catchers ඉංග්‍රීසි කෙටිකතා සංග්‍රහය 2019 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන අවසන් වටය සඳහා නිර්දේශ වී එම වසරේ ගොඩගේ සාහිත්‍ය සම්මානය ද හිමිකර ගනී.

සංකේත භාවිතය මැනවින් යොදාගත් කෙටිකතා සංග්‍රහයක් !

වසරකට වරක් කුමන හෝ පොතක් එළිදක්වන්නට නොඉවසිලිමත් වන ලේඛකයන් සිටින රටක කාංචනා සිය තෙවන සිංහල කෙටිකතා සංග්‍රහය ‘මං චිත්‍රපටයක’ නමින් ප්‍රකාශයට පත්කරන්නේ වසර හතක ඉවසීමකින් පසුව වීම විශේෂත්වයකි. ‘ඔරලෝසු කණුව’, ‘පිටපත් ලිවීම’ , ‘දහිර වාට්ටුව’, ‘රඟමඬලක’, ‘මං චිත්‍රපටයක’, ‘කප්පිත්තන’ සහ ‘විශේෂණ’ යනුවෙන් වන අපූරු කෙටිකතා හතකින් සමන්විත මෙම කෙටිකතා සංග්‍රහයේ එන බොහෝ කෙටිකතා සංකේත ඇසුරු කරගනිමින් රචනා කිරීමට ඇය ගෙන ඇති උත්සාහය අතිශයින් ප්‍රශංසනීය ය.

එසේ ම මෙහි එන කෙටිකතා සියල්ල ම එක්තරා ආකාරයකින් සමාජ කියවීමක් ද වෙයි. කාංචනා කෙතරම් සාවධානව ජරාජීර්ණව පවත්නා මේ සමාජ දේහය කියවාගෙන ඇත් ද යන්න ඇය මේ සමාජ දේහය ව්‍යවච්ඡේදනය කර ඇති ආකාරයෙන් අපට වටහාගත හැකි ය. එහි දී ඇය එකී සමාජ සිද්ධීන් හි පවත්නා සැබෑ තත්ත්වයන් සොයා කොතෙක් ගැඹුරට ගමන් කළ ද, එම අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීමේ දී ඒවා අමුවෙන් නොකියන්නට ද වග බලා ගනී. එනිසා ම පාඨකයාට එදිනෙදා හමුවන වඩාත් සමීප අත්දැකීමක් වුව ද වඩාත් අපූර්වත්වයකින් යුතුව රසවිඳින්නටත්, එම කටුක යථාර්ථය පිළිබඳව ඥානනය වන්නටත් ඔවුනට අවස්ථාව සැලසේ.

මෙහි පළමු කෙටිකතාව වන ‘ඔරලෝසු කණුව’ නම් කෙටිකතාවෙන් ගම්‍යවන්නේ මෙරට මහජන මුදලින් නඩත්තු වන කිසිදු මහජන සේවයක් නොසලසන රාජ්‍ය ආයතන පද්ධතිය යි. ‘සුදු අලින්’ වන ඒවා නඩත්තු කරන දූෂිත දේශපාලුවන් සහ නිලධාරි තන්ත්‍රය යි. කිඹුල් කඳුළු හෙළමින් එයින් දේශපාලන වාසි ලබාගන්නා විපක්ෂයේ දේශපාලනය යි. අප සමාජයේ බොහෝ කලෙක පටන් දක්නට ලැබෙන මෙම ඛේදවාචකය පිළිබඳව පාඨක මනස අවදිකරන්නට කාංචනා උත්සාහ කරන්නේ ඒ කිසිවක් පාඨකයාට ඍජුව පවසමින් නොවේ. දූෂිත දේශපාලුවන්ගේ සහ නිලධාරීන්ගේ මෙන් ම අමනෝඥ ජනතාවගේ ද නොහොබිනා ක්‍රියාකාරකම් කෙටිකතාව තුළ අපූරුවට ප්‍රතිනිර්මාණය කිරීම මගිනි. ඇය මෙම කෙටිකතාව අවසන් කරන්නේ ‘කටු රහිත ඔරලෝසු කණුව’ බිඳවැටීමත් සමග ‘කටු සහිත ඔරලෝසු කණු පැලයක්’ අතින් ගත් කුඩා දරුවකු එතැන පොළොවෙන් මතු වීමත් සමඟිනි. ‘කටු රහිත ඔරලෝසු කණුව’ ජරාජීර්ණ අද්‍යතන සමාජ ක්‍රමය සංකේතවත් කරන්නේ යම් සේ ද ‘කටු සහිත ඔරලෝසු කණු පැලය’ අනාගතයේ දී අප අපේක්ෂා කරන වඩාත් යහපත් සමාජ ක්‍රමය සංකේතවත් කරයි. එසේ ම එහි එන ‘කුඩා දරුවා’ වෙතින් සංකේතවත් වන්නේ එකී සමාජ ක්‍රමයේ සැබෑ අයිතිකරුවන් වන අනාගත පරපුර යි.

අපේ රටේ බොහෝ ආයතනවල පවත්නා සුදුස්සන්ට සුදුසු තැන නොලැබීමත්, සුදුස්සන් නුසුදුස්න්ගේ අත නැටවෙන රූකඩ බවට පත්වීමේ ඛේදවාචකයත් මනාව විග්‍රහ කෙරෙන කෙටිකතාවකි ‘පිටපත් ලිවීම’ එහි දී ඇය ඊට උචිත උපහාසයෙන් පිරි බස්වහරක් භාවිත කරන්නට වගබලා ගෙන තිබේ.

මෙහි එන කෙටිකතා අතරින් සංකේත භාවිතයත්, චරිතයන් හි මනෝභාවයන් විස්තර කෙරෙන සිද්ධි කථනයත්, පාඨකයා වෙත ගෙන යන සමාජ පණිවුඩයත් අතින් වඩාත් සාර්ථක කෙටිකතාව ලෙස අප දකින්නේ ‘දහිරවාට්ටුව’ නම් කෙටිකතාව යි. එහි එන මළ මිනිස්සු කිසිදු දේකට කිසිදු ප්‍රතික්‍රියාවක් නොදක්වමින් මළාක් මෙන් ජීවත් වන අද්‍යතන සමාජයේ වෙසෙන බොහෝ මිනිසුන් සංකේතවත් කරයි.

කතා කළයුතු බොහෝ තැන්වල දී දිගු කලක් කතා නොකර සිටීම නිසා කතා කරන්නට අවැසි තැනදීත් ඔවුන්ගේ මුවින් වදන් පිටනොවෙයි. බොරුවෙන් මුලා වී සිටින මේ නිර්වින්දිත මිනිස්සු ඇත්තට හෙවත් යථාර්ථයට බිය වෙති. කාංචනා ඔවුන්ගේ පසුගාමී මනෝභාවයන් කෙටිකතාවේ එන වැකියක් වැකියක් පාසා රඳවමින් සංකේතානුසාරයෙන් පාඨකයාට විස්තර කරන්නී අප ද ඒ පීඩාකාරී මනෝභාවයන් තුළ සිරකරමිනි.

මේ දහිරවාට්ටුව තුළ සිරගත වන්නට තමා කළ වරද කුමක් දැයි මෙහි කථානායකයා ප්‍රශ්න කරයි. ඊට ප්‍රතිචාර දක්වන්නේ ඔහුගේ යටි සිතයි. යටි සිත මෙසේ පවසයි.

“වැරැද්ද? වැරැද්ද ඇස් කන් ඇරගෙන ම අන්ධයෝ, ගොළුවෝ, බීරෝ වගේ ඉඳපු එක, අනික දැන් කටහඬ නැතිවුණා කියලා, ඕකේ මහා අරුමයක් නැහැ. හිටිය වගේ ම ඔහේ කට වහගෙන ඉන්න එකයි ඇත්තේ.”

ඒ වදන් පෙළ කෙටිකතාවේ සමස්තය ම හකුළුවා දක්වන්නකි. මෙහි එන නිර්වින්දිත මිනිසුන් නිර්වචනය කෙරෙන තවත් සංවාදයක මෙසේ සඳහන් වෙයි.

“ඉහෙන් බහින ලෙඩක් නොතිබ්බ එක නොවෙයි ඔහෙලගෙ ප්‍රශ්නෙ වුණේ. ලෙඩ වෙන්න කියලවත් ඉහක් නොතිබ්බ එක”

කෙටිකතාවක එන සිද්ධි කථයකින්, චරිත නිරූපණයකින් පමණක් නොව, සංවාදයකින් ද එහි කතා ශරීරය වර්ණවත් කරන්නටත්, එමගින් පාඨකයා ඥානනය කරන්නටත් බොහෝ දෑ කළ හැකි බව කාංචනා මේ කෙටිකතාව තුළ පමණක් නොව, වෙනත් බොහෝ කෙටිකතාවල දී ත් අපට පෙන්නා දී තිබේ. මෙහි එන ‘රඟමඬලක’ නම් කෙටිකතාවේ ආරම්භය පාඨකයාට තරමක් පැටලිලි සහගත වුව ද කෙටිකතාව ඉදිරියට කියවාගෙන යෑමේ දී ඒ ගැටලුව ඔවුනට නිරවුල් වේ. මුල සිට අග දක්වා ම පාඨකයා කුතුහලයෙන් ඇඳ බැඳ තබාගන්නට සමත් මානුෂීය ගුණාංගවලින් පිරිපුන් චරිත ඇසුරින් නිර්මිත මෙම කෙටිකතාව අවසානයේ එහි කථානායිකාව පිළිබඳ අනුකම්පාවක් හා ආදරයක් ද විදුහල්පතිවරයා පිළිබඳ ගෞරවයක් ද පාඨක සිත තුළ ජනිත කරයි.

‘මං චිත්‍රපටයක’ නම් පොතේ නමින් ම වන කෙටිකතාව මගින් මේ සමාජයෙන් ප්‍රතික්ෂේප වන අසම්මත යුවතියක කාංචනා අපට හඳුන්වා දී තිබේ. ඇය හුදකලාව වෙසෙන තම මවට මනාලයකු සොයා දෙන්නට වෙහෙසෙන්නියකි. එය මවගේ මානුෂීය අවශ්‍යතාවක් ලෙස ඇය සිතන්නී, තම පවුලේ අන් අයගේ ගැරහුම් ද ලබමිනි. තම පෙම්වතාට ද පවා නොදන්වා ඇය තනිව බලන්නට යන චිත්‍රපටයේ ඇයත් ඔවුන් සියලුදෙනාමත් රඟපාති. එහි එන බොහෝ ජවනිකා මගින් ඇගේ පවුලේ අයගේ නොපනත්කම් අපට හෙළිදරව් වේ. සියලු නොපනත්කම්වල යෙදෙමින් සිටින ඔවුන්ගේ විරෝධය හමුවේ කථානායිකාවගේ මව ද අවසානයේ සිය මානුෂීය අවශ්‍යතාව හකුළා ගන්නී ය. කාංචනා මෙමගින් හඟවන්නට උත්සාහ කළේ අප රටේ කාන්තාවගේ පසුගාමී චින්තනය යැයි අපට හැඟේ.

මෙහි එන ‘කප්පිත්තන’ නම් කෙටිකතාව සුපැදිලි බෞද්ධ දර්ශනයක් තිබියදීත් ගස් ගල් සරණ යන අපේ බෞද්ධයන් යැයි කියා ගන්නා මිත්‍යා දෘෂ්ටිකයන් සදය උපහාසයට ලක්කිරීමකි. එමගින් පාඨක නැණැස පෑදීමට කාංචනා ගෙන තිබෙන උත්සාහය ප්‍රශසනීය ය.

සංකේත භාවිතය මැනවින් යොදාගත් කෙටිකතා සංග්‍රහයක් !

‘විශේෂණ’ නමින් වන මෙහි අවසන් කෙටිකතාව තමා අවලස්සන යැයි සිතා මානසිකව වැටී සිටින යුවතියකගේ මනෝභාවයන් නිරූපණය කරන්නකි. එසේවුව ද ඇය නිරායාසයෙන් පිබිදෙන කාමාසාවන්ගෙන් ද යුක්ත තැනැත්තියකි. එහෙත්, ඈ තුළ වන පසුගාමී චින්තනය හේතුවෙන් තවත් අයෙකු සමග මුව පුරා සිනාසීමට පවා නොයා පශ්චාත්තාපයෙන් යුතුව දිවි ගෙවන ඇගේ ඒ ගොළුබෙලි ජීවිතය එක මොහොතකින් වෙනස්වන්නේ මගීන් පිරි දුම්රිය මැදිරියක දී ඇය ලබන පිරිමි පහසකින් පසුව ය. එහි දී ඇය ඒ පහසට විරුද්ධ නොවී ඒ පහසින් ප්‍රමෝදයට පත්ව ඇගේ ඒ පසුගාමී චින්තනය වෙනස් කරගත් ආකාරයට ඒ කතාවේ අවසානය ගොඩ නැඟුණේ නම්, කථානායිකාවගේ පශ්චාත්තාපී මනෝභාවයන්ට මීට වඩා වැඩි සාධාරණයක් සිදුකරන්නට තිබුණා නොවේ දැයි අපට සිතෙන්නේ ඇගේ විරෝධය හමුවේ ඇයට ම අපහාස කරමින් වෙනත් මැදිරියකට යන පිරිමියා ගෙන්වත්, ඈ අසල සිටින මගීන් ඈ වෙත එල්ල කරන ඇනුම් බැණුම්වලින්වත් කෙටිකතාවේ කූටප්‍රාප්තියට අගතියක් මිස මෙහෙයක් සිදුව නැති හෙයිනි.

ලේඛකයන්, පුවත්පත් කතුවරුන්, විද්‍යුත් මාධ්‍යවේදීන් ඈ සියලුදෙනා ම සිංහල බස නසමින් සිටින සමයක බසේ වියරණය, උක්තාඛ්‍යාත පද සම්බන්ධය ගැන පමණක් නොව, අක්ෂර වින්‍යාසය ගැන පවා සැලකිලිමත් වෙමින් නිර්මාණකරණයේ යෙදෙන්නට කාංචනා ප්‍රියකාන්ත ලේඛිකාව දක්වන පරිචය සිංහල භාෂාවට ආදරය කරන්නන් ලෙස අප අගය කළ යුතු ම ය.

එසේ මල මෙම කතා පෙළ නිර්මාණය කිරීමේ දී සිය භාෂා පාණ්ඩිත්වය පෙන්වන්නට නොයන ඇය සරල සුගම වදන්වලින් සහ ඉතාමත් කෙටි වැකිවලින් පාඨක මනසට සමීපවන්නට උත්සාහ දරා තිබේ. තව ද ‘කර්මක්ෂ’ නම් ඇගේ දෙවන කෙටිකකා සංග්‍රහය හා සසඳන කල කාංචනා ප්‍රියකාන්ත ලේඛිකාවගේ ‘මං චිත්‍රපටයක’ කෙටිකතා සංග්‍රහය වඩාත් සාධනීය ලක්ෂණ පෙන්වන සාර්ථක කෙටිකතාවලින් සමන්විතව ඇය තැබූ ඉදිරි පියවරකි. ඒනිසා ම එය පාඨක විචාරක වෙසෙස් අවධානයට බඳුන්විය යුතු ම කෘතියක් බවත් නොපැකිලිව සඳහන් කරනු කැමැත්තෙමු.

● අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment