ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය එහෙමත් නැතිනම් සංචාරක ගමනාන්තයක් ලෙස ගත් කල මන්නාරම හා තලෙයිමන්නාරම අපට කිසිසේත් අමතක කළ හැකි තැනක් නොවේ. විදේශීය සංචාරකයින්ගෙන් කුරුල්ලන්ට කැමැති සංචාරකයින් හා දේශීය සංචාරකයින් අතරින්ද කුරුල්ලන්ට කැමැති හා කුරුල්ලන්ගේ ඡායාරූපකරණයට කැමැති අයට මන්නාරම හා තලෙයිමන්නාරම ගැන අලුතෙන් කියා දිය යුතු නැති තරමට ඔවුහු මේ අපූරු දූපත ගැන මෙන්ම එහි සොබා සිරිය ගැනත්, මීටම ආවේණික වූ පරිසර පද්ධති ගැනත් දනිති.

අපේ රටට එන සංචාරක කුරුල්ලන්ට මරු කැන්දන සුළං විදුලි කුලුනු මන්නාරමට ඕනද?

කොටින්ම මන්නාරම හා තලෙයිමන්නාරම ගැන කතා නොකර ශ්‍රී ලංකාවේ සංචාර ගැන හා ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයක් ගැන කතා කළ නොහැකිය. මේ නිසාම අපගේ ‘දිවයින – සංචාරේ’ වැඩසටහන මන්නාරම අමතක නොකර, මන්නාරමේ කිහිප වරක් කරක් ගැසූ බවද ඔබට මතක ඇත. විශේෂයෙන්ම, මන්නාරම දූපත පටන්ගන්නා ස්ථානයේ පටන් තලෙයිමන්නාරම දෙසටත්, මන්නාරම් දූපත පටන් ගැන්මේ සිට උතුරුකරයට වන්නට වෙඩිතලතිවු පැත්තට වන්නට හා දකුණු කරයේ වන්කාලේ පැත්තට වන්නට පිහිටි සමස්ත තෙත් බිම පරිසර පද්ධතිය නොහොත් “වන්කාලේ අන්තර්ජාතික රැම්සා තෙත් බිම” වනාහි දහසකුත් තෙත් බිම් කුරුල්ලන්ට තෝතැන්නක් බඳු පරිසර පද්ධතියක් වන බැවින් කුරුල්ලන් නරඹන සංචාරක කර්මාන්තයේදී මන්නාරම කිසිලෙසකින්වත් අපට අමතක කළ හැක්කක් නොවේ.

අපේ රටට එන සංචාරක කුරුල්ලන්ට මරු කැන්දන සුළං විදුලි කුලුනු මන්නාරමට ඕනද?
මන්නාරම් දූපත තුළ කුරුල්ලන්ගේ නිදහස් සංචරණ රටාව දැක්වෙන සැටලයිට් ටැග් සිතියමක් (කොළඹ විශ්වවිiාලයේ පර්යේෂණයක් ඇසුරෙනි.)
අපේ රටට එන සංචාරක කුරුල්ලන්ට මරු කැන්දන සුළං විදුලි කුලුනු මන්නාරමට ඕනද?
යෝජිත අදානි සුළං විදුලි කුලුනු පද්ධතිය (රතු පැහැයෙන් දැක්වේ) කහපාටින් දක්වා ඇත්තේ කුරුල්ලන්ට ගමන් කිරීමට යෝජනා කරන මාර්ගයයි.

එනිසාම ඉඩ ලද සෑම අවස්ථාවකම අප මේ අපූරු පරිසර කලාපය ගැන කතා කළා පමණක් නොව, මෙහි වෙසෙන, මන්නාරමට කාලයකට පැමිණෙන කුරුලු අමුත්තන් හා ඔවුන්ගේ චර්යාවන් පිළිබඳව ද අප විටින් විට කතා කර ඇත්තෙමු. ඔබට මතක නම්, ඈත එපිට උතුරු අර්ධ ගෝලයේ ආර්ක්ටික් ප්‍රදේශයේ සිට මන්නාරමට පැමිණෙන කුරුල්ලන් කිලෝමීටර් 20,000 ක් පමණ දුර ගෙවා වසරකදී කරන සංචාරය ඔස්සේ ශ්‍රී ලංකාවට ඇති ආදරය, ලැදියාව ගැන ලිපි පෙළක්ම අප විසින් සිදුකරන ලදි. කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම මගින් මෙසේ හඳුනාගන්නා ලද නව දැනුම සම්භාරයකි. නවීන තාක්ෂණික මෙවලම් (සැටලයිට් ටැග්ස්) යොදාගනිමින් කරන ලද මෙම පර්යේෂණ මගින් අන්තර්ජාතිකව හා මන්නාරම දූපත තුළත්, මන්නාරම හා උතුරේ වෙනත් තෙත්බිම් අතරත්, පෝක් සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්දියාව හා අනෙකුත් කලාපීය රටවල් අතරත් සිදුකරන කුරුල්ලන්ගේ සංචරණ රටා මගින් අති විශාල තොරතුරු ප්‍රමාණයක් ලබාගෙන ඇති අයුරු ද අප ඔබට කීවා ඔබට මතක ඇත.

නමුත්, අද අපට ‘සංචාරේ’ තුළින් කතා කරන්නට සිදුව ඇත්තේ එවන් කන් පිනවන, නෙත් පිනවන කතාවක් නොවේ. අපට සංචාරක ක්ෂේම භූමියක් වූ මේ අපූරු පරිසර කලාපය, එසේත් නැතිනම් වසරකදී දෙවතාවක් මෙරටට පැමිණෙන මිලියනයකට වැඩි කුරුල්ලන්ගේ කුරුලු මංකඩ අදිසි හස්තයකට බඳුන්වී කුරුලු බාධකයක් නිර්මාණය වී මෙසේ පැමිණෙන කුරුල්ලන්ට මරණ මංචකයක් නිර්මාණය වීමේ බිහිසුණු කතාවක් කියන්නට දැන් අපට සිදුව තිබේ.

එනම්, පුනර්ජනනීය බල ශක්තිය ප්‍රවර්ධනය වෙනුවෙන් යයි පවසමින් සම්පූර්ණ මන්නාරම දූපතම මේ වන විට සුළං බලාගාර පද්ධති සංකීර්ණයක් සඳහා ඉන්දියාවේ අදානි නම් සමාගමකට ලබාදී ඇති අතර එහිදී සම්පූර්ණ මන්නාරම දූපතම ආවරණය වන පරිදි සුළං බලාගාර 110 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කිරීම සඳහා අවසර ලබාදී ඇත. මෙසේ අවසර ලබාදෙන්නේ විදුලි බල මණ්ඩලය මගින් ක්‍රියාත්මක වන “තම්බපවනි” නම් සුළං බලාගාර 30 කට ආසන්න ප්‍රමාණයට අමතරවය.

ගැටලුව වන්නේ ශ්‍රී ලංකාවේ සුළං බලාගාර පද්ධතියක් ඉදිකිරීමේ නොව, මේ සියලු සුළං කුලුනු නොහොත් බලාගාර ඉදිකරනු ලබන්නේ ලෝකයේ ප්‍රධානම සංක්‍රමණික පක්ෂි මාර්ගයක් වන “මධ්‍යම ආසියානු සංක්‍රමණික පක්ෂි මාර්ගයට (Central Asian Flyway) ඍජුවම බාධකයක් සේ මෙම බලාගාර පද්ධතිය ඉදිකිරීමට නියමිත නිසාය. එනම්, සැතපුම් දහස් ගණනක් දුර සිට ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙන කුරුල්ලන් භූමි ගතවන (Landing) ස්ථානය වන මෙම තලෙයිමන්නාරම හා මන්නාරම ගොඩබිම මෙසේ අඩි 50 කට වඩා උසැති පෙති සහිත කරකැවෙන සුළං කුලුනු 110 කින් බාධාවට ලක්වන්නේ නම්, එම කුරුල්ලන්ගේ ජීවිත ගැන අපට කියන්නට ඇත්තේ තවත් කුමන කතාවක්ද? පැහැදිලිවම මෙය නම් එම කුරුල්ලන්ගේ නිදහස් සංචරණයට එල්ල කරන අයිතිවාසිකම් උල්ලංඝනයකි.

මේ නිසා උතුරු අර්ධ ගෝලයේ සිට අන්තිම ගොඩ බිම වන ශ්‍රී ලංකාව බලා වසර සිය දහස් ගණනක උරුමයක් ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණෙන කුරුල්ලන්ට හිතා මතා සිදුකරන සදාචාර නොවන කෙනෙහෙළි කිරීමක් මේ වන නිසා සත්ත්ව අයිතීන් වෙනුවෙන් අප සියලු දෙනා මෙම ඉදිකිරීම්වලට එරෙහිව හඬ නැගිය යුතු බව ‘සංචාරේ’ අපේ හැඟීමයි.

තත්ත්වය එසේ හෙයින් අද අපගේ ‘සංචාරේ’ විශේෂාංගය තවදුරටත් සෞන්දර්යය ගැන කතා නොකර මේ මහා විනාශයට එරෙහිව හඬක් නැගීම වෙනුවෙන් වෙන් කෙරෙන අතර, පරිසර හිතකාමී ජනයා නැගී සිට මෙම අදානි සමාගමේ සුළං බලාගාර පද්ධතිය පුනරීන් වැනි මන්නාරමෙන් තවත් උතුරු ප්‍රදේශයට රැගෙන යන්නට බල කළ යුතු වෙමු යන්න අපගේ අදහසයි. මන්ද අප පුනර්ජනනීය බලශක්තියට සහ විශේෂයෙන්ම සුළං බලාගාරවලට කිසිදු විරුද්ධත්වයක් නොමැති නමුත්, එවන් සුවිසල් කුලුනු පද්ධතියක් ඉදිකිරීමේදී පරිසරයට සිදුවන හානියට පමණක් විරුද්ධත්වය දක්වන නිසාය. ඒ නැතත් මෙසේ දැවැන්ත කුලුනු සංකීර්ණයක් මන්නාරම් දූපතේ ඉදිකිරීමේදී තවත් පාරිසරික සහ සාමාජයීය ගැටලු රැසක් තමන්ට අත්විඳින්නට සිදුවන බව මන්නාරම හා තලෙයිමන්නාරම වැසියෝ පවසති. ඉකුත්දා පේසාලේ දේවස්ථානයෙදී පැවති ජනතා එකමුතු විරෝධතාවකදී පේසාලේ දේවස්ථානයේ පාලක පියනම ඇතුළු ජනයා කියා සිටියේ මෙම දැවැන්ත කුලුනු පද්ධතිය සවි කිරීමේදී අවම වශයෙන් අඩි 20 කට වඩා පොළොව විද මේවා සවිකිරීමේදී මන්නාරම දූපතේ පානීය ජලය දූෂණයට ලක්වීම නොවැළැක්විය හැකි බවයි. ඒ මෙම කුලුනු ලෝහවලින් නිමා කර ඇති නිසා සහ දැවැන්ත පාදම් කම්බි සහ කොන්ක්‍රීට් යොදා සවිකරන නිසාය.

අපේ රටට එන සංචාරක කුරුල්ලන්ට මරු කැන්දන සුළං විදුලි කුලුනු මන්නාරමට ඕනද?

එසේම, මේ සඳහා මන්නාරමේ තෙත්බිම් හා ලඳු කැලෑ එළිකිරීම නිසා සිදුවන පාරිසරික හානිය හා යෝධ ෆෑන් කැරකීමට පටන් ගැනීමේදී පැය 24 පුරාම සිදුවන කම්පනය සහ ශබ්දය නිසා මෙතෙක් නිදහසේ ගත කළ තම ජන ජීවිතය අවුලෙන් අවුලට පත්විය හැකි බවද ඔවුහු බිය පළ කළහ. එබැවින් මෙම සුළං බලාගාර පද්ධතියට තමන් විරුද්ධවන්නේ සවි කරන තැන අනුව බවත් බලාගාර පද්ධතිය පුනරීන් වැනි මිනිස් ජනාවාසවලින් තොර ප්‍රදේශයකට රැගෙන යන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

පරිසරවේදීන් හා කුරුලුවේදීන් පවසන්නේ ද මේ නිසා සිදුවන නොගිනිය හැකි පාරිසරික විනාශය ගැනය. මහාචාර්ය සම්පත් සෙනෙවිරත්නට අනුව මෙම කුලුනු පද්ධතිය සම්පූර්ණයෙන්ම කුරුල්ලන්ට මාරකයක් බවද, තමන් විසින් දැනටමත් විශාල මුදලක් වැයකර සිදුකරන කුරුල්ලන් පිළිබඳ නවීන පර්යේෂණ වතුරේ යෑමක් සිදුවන බවද පවසන මහාචාර්ය සෙනෙවිරත්න කියා සිටින්නේ සදාචාරාත්මක හා ජෛව සම්මුතිවලට අත්සන් කර ඇති රටක් ලෙස මෙලෙස වාර්ෂිකව ශ්‍රී ලංකාවට සංක්‍රමණය වන මිලියන ගණනක කුරුල්ලන්ට මාරකයක් වන පරිදි දැවැන්ත ඉදිකිරීමක් සිදුකිරීම වරදක් බවයි.

එන නිසා මෙම බලාගාර පද්ධතිය මන්නාරම් දූපතෙන් පිටත සවිකරන ලෙස අප ද ඉල්ලා සිටින අතර, මන්නාරම නමැති අතිශය වටිනා පරිසර කලාපය රැකගැනීමට කැපවන ලෙස ශ්‍රී ලාංකික ජනයාගෙන් ඉල්ලා සිටින්නට ද අප මෙය අවස්ථාවක් කරගන්නට කැමතිය. එසේ හෙයින් අපගේ ‘සංචාරේ’ විශේෂාංගය ඒ උතුම් කාර්යය සඳහා මෙසේ පුදකරන්නට අප මැලි නොවන අතර මන්නාරමට සාධාරණය ඉටුවේවායි යන්න අපගේ ප්‍රාර්ථනයයි.

අපේ රටට එන සංචාරක කුරුල්ලන්ට මරු කැන්දන සුළං විදුලි කුලුනු මන්නාරමට ඕනද?

සටහන – ජගත් කණහැරආරච්චි
ඡායාරූප සහ සිතියම් – සුජාතා ජයරත්න සහ
ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය / WNPS

advertistmentadvertistment
advertistmentadvertistment