රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ පමණක් නොව ලෝකයේම අවධානය පසුගියදා දිනාගත්තේය. ඒ ඉරාන – ඊශ්‍රායලය අතර නොනවතින සහ අතිශය සංකීර්ණ ගැටුම තුන්වන ලෝක යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි වාතාවරණයක් තුළ ඉරාන ජනාධිපතිවරයා ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි ශ්‍රී ලංකාව ඉහළින්ම පිළිගැනීමයි.

ඊශ්‍රායලය විසින් සිදුකරනු ලබන ගාසා සංහාරයට එරෙහිව ඉරානයේ සහය ලබන හූති ත්‍රස්තවාදීන් රතු මුහුදේ වෙළඳ සහ යුද යාත්‍රා වලට ප්‍රහාර එල්ල කරන මෙම අවස්ථාවේ ඉරාන ජනාධිපතිවරයාගේ එක් දින සංචාරය අතිශය ආන්දෝලනාත්මකය, අනතුරුදායකය.

ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය ඇමෙරිකාවේ බරපතළ නොසතුටට හේතු වූ බව අවධාරණය කළ යුතුය. එවැනි තත්ත්වයක් තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලයේ ඉරානය ‘නායකත්වය’ දුන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතාවට භාරදෙන අවස්ථාවට මොනයම්ම තත්ත්වයක් යටතේ වුවද ඉරාන ජනාධිපතිවරයාට ආරාධනා කිරීම සිදු විය යුතුව තිබිණි. වික්‍රමසිංහ ජනාධිපතිවරයා එය සිදු කළේය.

එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට එවකට ඉරානයේ ශ්‍රී ලංකා තානාපති හිටපු පොදු පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. එම්. සුහෙර් කළ දායකත්වය අමතක කළ නොහැක. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වසර ගණනාවකින් ප්‍රමාද වූයේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර ඉරානයට පැනවූ ආර්ථික සම්බාධක සහ එවකට ශ්‍රී ලංකා විපක්ෂය, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සංවිධාන එල්ල කළ විරෝධයයි.

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ඇමෙරිකානු නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලයේ ඒකාබද්ධ විශේෂ පුහුණු වීමක යෙදී සිටින අවස්ථාවක (අප්‍රේල් 22 සිට 26 දක්වා) ඉරාන ජනාධිපතිවරයාගේ පැමිණීම සිදුවීමයි. එතුමා පකිස්ථානයේ සිට පැමිණි විශේෂ ගුවන්යානය චීනය ඉදිකළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට අප්‍රේල් 24 ගොඩ බැස්සවීමද වැදගත් අවස්ථාවකි.

කෙසේ වෙතත් බටහිර බලපෑම් නොසලකා මැතිවරණ වසරකදී වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉරානය සමඟ සම්බන්ධතා වර්ධනය කර ගැනීමට ගත් ඍජු ක්‍රියාමාර්ගය එජාප නායකයාගේ උපායමාර්ගය සම්බන්ධයෙන් ජනතාවට පණිවිඩයක් දී ඇත. ජනාධිපතිවරයා තමන්ට ආවේණික වූ ක්‍රියාදාමයක යෙදී සිටින බවයි.

එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ඉරණම තීරණය වන්නේ ව්‍යවස්ථානුකුලව මෙම වසරේ සැප්තැම්බර්/ ඔක්තෝම්බර් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ප්‍රතිපලය මතයි. එම තත්ත්වය සම්බන්ධයෙන් කිසිවෙකුට, විශේෂයෙන්ම එජාපයට සැකයක් තිබිය නොහැකියි. ජනතාවගේ තීරණය මත වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දේශපාලන ඉරණම ද තීන්දුවීම වැළැක්විය නොහැක.

මිට දශක 8 කට පෙර පිහිටවූ එජාපය දේශපාලන භුමියේ මුහුණ දෙන ප්‍රබලම අභියෝගයට වර්තමානයේ මුහුණ දී ඇති බව පැහැදිලිය. එය ජයගැනීමේ වගකීම මෙන්ම අභියෝගය එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කරපිට බව අමුතුවෙන් කිව යුතු නැත. එතුමාගේ නිසැක අපේක්ෂකත්වය සහ තරඟ කිරීමට බලාපොරොත්තුවන්නේ එජාප හෝ පොහොට්ටු ලකුණින් නොවන බවට පක්ෂය දැනටම ප්‍රකාශ කර ඇත. එජාප නායකයාගේ අපේක්ෂකත්වය එළැඹෙන මැයි දින නැවත තහවුරු කරනු ඇත. නමුත් හිටපු එජාප මන්ත්‍රී සුජීව සේනසිංහ (සමගි ජන බලවේගයේ/සජබ සාමාජික) සහ සජබ මන්ත්‍රී එස්. එම් . මරික්කාර් අවධාරණය කරන්නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවසන් මොහොතේ තරඟයෙන් ඉවත් වෙනු ඇති බවයි.

පාර්ලිමේන්තුවේ එජාප නියෝජනය එක ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයකට (වජිර අබේවර්ධන) සීමාවී තිබෙන අවස්ථාවක ජනාධිපතිවරණයක් ජය ගැනීම සුළුපටු අභියෝගයක් නොවේ. එවැනි තත්ත්වයක් තුළ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගත හැකි සන්ධානයක් ගොඩනැගීය හැකිද? සන්ධානයක් ගොඩනැගීමේදී ශක්තිමත් පදනමක් අත්‍යවශ්‍යය. එම අත්‍යවශ්‍ය පදනම වන්නේ පක්ෂයයි. එනම් අදාළ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමයි. නමුත් පක්ෂය බිංදුවට වැටී ඇති මෙම අවස්ථාවේ එජාපය ගොඩනැගීමට බලාපොරොත්තු වන සන්ධානයේ අත්තිවාරම වික්‍රමසිංහ ජනාධිපතිවරයාද? ඒ බව අමුතුවෙන් කිවයුතු නැත.

පාර්ලිමේන්තුව සමන්විත වන්නේ ජනතා ඡන්දයෙන් පත්වෙන නියෝජිතයින් 196 සහ ජාතික ලැයිස්තුව හරහා නම් කරන 29 දෙනෙකුගෙනි. අවසන් වරට පැවැත්වූ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 සමඟ ආසන 145ක් ලබා ගත් අතර එජාපයට හිමිවුයේ එක ජාතික ලැයිස්තු අසුනක් පමණි. එජාපයට අමතරව වර්තමාන පාර්ලිමේන්තුව තුළ එක ආසනයක් පමණක් හිමි තව පක්ෂ 8 ක් ඇත. එක ජාතික ලැයිස්තු අසුනකට පමණක් සීමාවූ පක්ෂ දෙකකි. ඒ එජාපය සහ අතුරලියේ රතන හිමි නියෝජනය කරන පක්ෂයයි.

එජාපයට හිමිවූ එකම ජාතික ලැයිස්තු අසුන ද පිරිනැමුවේ කොළඹ ජනතාව ප්‍රතික්ෂේප කළ එජාප නායක වික්‍රමසිංහයි. පොහොට්ටු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීමට එම පක්ෂය විසින් වික්‍රමසිංහ පත් කර ගැනීමෙන් පුරප්පාඩු වූ එම ජාතික ලැයිස්තු අසුන නැවත පිරිනැමුවේ ද ජනතාව ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයෙකු වීම විශේෂයකි. ඒ ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කර පරාජය වූ වජිර අබේවර්ධනයි. ඇත්තවශයෙන්ම ජනාධිපති කවුරු වුවත් ජාතික ලැයිස්තුවක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් ඇත.

ජනාධිපතිවරණය ඉදිරියේ එජාපයට අතිශය තීරණාත්මක තීන්දුවක් ගැනීමට සිදුවෙනු ඇත. එනම් දැනටම සී සී කඩ වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) හෝ එම පක්ෂයේ මැති-ඇමති කණ්ඩායමක් මත ඡන්ද ව්‍යාපාරය ගොඩනගනවාද? නැතහොත් අවසන් මහමැතිවරණයේදී (2020 අගෝස්තු 5 පැවැත්වූ) එජාපය සම්පූර්ණයෙන්ම හැරගිය පාක්ෂිකයින් නැවත පක්ෂ නායක වික්‍රමසිංහ, පොහොට්ටුවේ දෙවැනි ජනාධිපතිවරයා ලෙස රට ස්ථාවර කිරීමට කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් පැහැදී ජනාධිපතිවරණයේදී ඔහුට ඡන්දය දෙන බවට විශ්වාස කර කටයුතු කරනවාදැයි?

වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටුව සමග ‘සැතපෙන’ තුරු එජාප පාක්ෂිකයින් සජබ අතහැර එජාපයට නොඑන බව තේරුම් ගැනීම අපහසු නැත.

එජාපයෙන් වෙන්වූ එම ඡන්දදායකයින් සමගි ජන බලවේගය (සජබ) ගොඩනැගුව බව රහසක් නොවේ. එජාපය එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට සීමාවන විට සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සජබට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 7 සමඟ ආසන 54ක් දිනා ගැනීමට හැකිවිය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුහුණ දෙන ‘හිමාලිය’ අභියෝගය සජබ මන්ත්‍රීවරු දිනා ගැනීම නොවේ. එජාපය හැරගිය පාක්ෂිකයන් නැවත එම කඳවුරට ආකර්ෂණය කර ගැනීමයි. නමුත් එජාපය හැර ගිය මන්ත්‍රීවරු ද නැවත පක්ෂයට එකතු වීමට කළ ආයාචනා ඉවත දමා ඇත. වික්‍රමසිංහ ජනාධිපතිධුරය භාර ගත් පසුව එකම සජබ මන්ත්‍රීවරයෙකුවත් ඔහු සමඟ එකතුවී නැත. කෙසේ වෙතත් හරින් ප්‍රනාන්දු (ජාතික ලැයිස්තුව) සහ මනුෂ නානායක්කාර (ගාල්ල දිස්ත්‍රික්කය) මන්ත්‍රීවරු දෙදෙනා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් වික්‍රමසිංහ 2022 මැයි මාසයේදී අග්‍රාමාත්‍යධුරය ලබා ගත් පසුව අමාත්‍යධුර භාරගත්තේය.

2019 පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂට චෝදනා කළ එම මන්ත්‍රීවරු දෙදෙනා කිසිදු හිරිකිතයක් නොමැතිව එතුමා ඉදිරියේ නව අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන්නේය. නමුත් අද එම දෙපල සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කළ චෝදනාවල කිසිදු සත්‍යයක් නොමැති බවට පෙනී සිටි කංචන විජේසේකර වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේය. මෙය පුදුමාකාර කැබිනට් මණ්ඩලයකි. විනාශකාරී ශ්‍රීලනිප නායකත්ව ගැටුමට සම්බන්ධ වී සිටින කිහිප දෙනෙකුම මෙම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් වීම ඇත්තවශයෙන්ම විහිළුවකි. අධිකරණ වාරණයකට යටත් වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරයට ඉන්දියාව සම්බන්ධ බවට කළ ප්‍රකාශය හේතුවෙන් ශ්‍රීලනිප අර්බුදය අමුතුම මුහුණුවරක් ගෙන ඇත.

එවැනි තත්ත්වයක් තුළ වික්‍රමසිංහ – රාජපක්ෂ රජය ද මීට වසර 5 කට පෙර සිදුවූ පාස්කු ලේ වැගිරීම සම්බන්ධයෙන් සත්‍ය යටපත් කිරීමට වෙර දරන බවට කතෝලික පල්ලිය කරන චෝදනාව සුළුකොට තැකිය නොහැක.

කවුරු කෙසේ කීවත් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ බලයේ සිටි එක පාර්ශවයක් වූ එජාපයට වගකීමෙන් ගැලවිය නොහැක. එම තත්ත්වය වික්‍රමසිංහ ජනාධිපතිවරයාටද අදාළය. සජබ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ තත්ත්වයද එයමය. එම පක්ෂයේ නායක එදා එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසටද අදාළය. සාමූහික වගකීමෙන් ඔය කිසිවෙකුට පැනගිය නොහැක.

එදා එජාපය නියෝජනය කළ අද සජිත් ප්‍රේමදාසගේ පක්ෂයේ සිටින වෛද්‍ය රාජිත සේනාරත්න පාස්කු ප්‍රහාරය සිදු වූ විගස තම පක්ෂය/ආණ්ඩුව ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් වී සිටි බවට පිළිගෙන ඇත. හරින් ප්‍රනාන්දු ද තමන් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගේ පියාගෙන් දැනුවත් වී ඇති බව ඒ කාලයේදීම පිළිගත්තේය. එවකට විපක්ෂයේ සිටි මහින්ද රාජපක්ෂද තමන් ප්‍රහාරය සම්බන්ධයෙන් දැනුවත් වූ පසුව තම සහෝදර ගෝඨාභය රාජපක්ෂට ඒ සම්බන්ධයෙන් පැවසූ බවත් පිළිගෙන ඇත. එදා අග්‍රාමාත්‍ය වික්‍රමසිංහගේ ක්‍රියාකලාපය මුස්ලිම් අන්තවාදීන්ට රුකුලක් වූ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසම ද අවධාරණය කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ ඉහළින්ම ජයග්‍රහණය කළ 2019 නොවැම්බර් පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව වසර 2 1/2 තුළ සම්පූර්ණයෙන්ම කඩා වැටුන ජාතික ආර්ථිකය යම් ස්ථාවරත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය ලෙසද කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයාට සැලකිය යුතු ගෞරවයක් හිමිවන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. නමුත් එම ගෞරවය එලෙසින්ම ඡන්දවලට පරිවර්තනය විය හැකි බවට පක්ෂයට අනවශ්‍ය බලාපොරොත්තුවක් තබාගත යුතු නැත.

‘අරගලයට’ බියවී කිසිවක් කර කියාගත නොහැකිවූ තත්ත්වයට පත්වූ පොහොට්ටු පක්ෂයේ අනුග්‍රහයෙන් 2022 ජුලි 20 දින 8 වන ජනාධිපති ලෙස පත්වී පැය 24 ක් තුළ අතිශය ප්‍රචණ්ඩකාරී ‘අරගලය’ මැඩපැවැත්වීමට කටයුතු කළ වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජාතික ලැයිස්තු, මන්ත්‍රී වජිර අබේවර්ධන අවධාරණය කරන ආකාරයට ‘ජාතික නායකයා‘ ලෙස පිළිගැනීමට රට සූදානම්ද?

අරගලයේ පීඩනය දරා ගත නොහැකිව ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්වූ ගෝඨාභය රාජපක්ෂද ඔහුගේ ‘ජනාධිපතිධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ යන කෘතියේ කිසිදු ලෝබ කමක් නොමැතිව 2022 අභියෝගය ජය ගැනීමට හැකි එකම පුද්ගලයා ඒ වනවිට අග්‍රාමාත්‍ය වූ රනිල් වික්‍රමසිංහ බවට සඳහන් කර ඇත. ‘අරගලය’ දේශපාලන භූමිය උඩුයටිකුරු කළ ආකාරය පුදුමාකාර නොවේද? ඡන්ද මිලියන 7 කට ආසන්න ප්‍රමාණයක් ලබා ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂට මහා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ තම ආසනය රැක ගැනීමට නොහැකිවූ රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් කළ පහත සඳහන් ප්‍රකාශය නැවත නැවතත් අවධාරණය කරන්නේ රට උඩුයටිකුරු වීම නොවේද? ‘ජනාධිපතිධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ යන කෘතියේ මෙලෙස සඳහන් වේ. “ඒ වනවිට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිධුරය දීමට මම හිත හදාගෙන තිබුණේ රටේ නීතිය සහ සාමය යළි ස්ථාපිත කළ හැකි එකම පුද්ගලයා ඔහුය යන නිගමනයට මා පැමිණි සිටි නිසාය.” (178 වන පිටුව).

ජනාධිපතිවරණයත් පළාත් පාලන ඡන්දය මෙන් අතුරුදන් කළ නොහැකිනම් එජාප නැවත ගොඩනැගීමට එජාපයට ඇති එකම අවස්ථාව පක්ෂ නායකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමයි. එම ජයග්‍රහණය මත පක්ෂය නැවත ගොඩනැගීමට සුදුසු වාතාවරණයක් ගොඩනැගේ. ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය කැඳවීමට පොහොට්ටු පක්ෂය බල කරන්නේ එජාපයේ නැවත නැගිසිටීමට ඇති අවස්ථාව වැළැක්වීමටය.

ආසන 106 සිට 01 බැසීම

2015 අගෝස්තු පැවති මහා මැතිවරණයේදී ඡන්ද 5,098,927 (45.66%) ලබා ආසන 106 ලබා ගැනීමට තම ලාංඡනයෙන් තරඟ කළ එජාපයට හැකිවිය. යහපාලන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාගැනීමට හැකි වූයේ ආසන 95 පමණි. ශ්‍රීලනිපය නායකත්වය දුන් එම සන්ධානය ඡන්ද 4,732,669 (42.38%) ලබා දෙවන ස්ථානයට පත්විය. එදා එජාපයේ ජයග්‍රහණයට ප්‍රධානතම හේතුවක් වූයේ ජනාධිපති සහ ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන ඡන්දයට පෙර කළ ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයයි. සන්ධානය ජයග්‍රහණය කළත් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ මහින්ද රාජපක්ෂ කිසිසේත් අග්‍රාමාත්‍යධුරයට පත් නොකරන බවට කළ ප්‍රකාශය පාක්ෂිකයින්ට ප්‍රබල බලපෑමක් කළේය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය එජාපයට ඉමහත් වාසිදායක තත්ත්වයක් ඇති කළ බව රහසක් නොවේ. ඒ වනවිට 2015 පෙබරවාරි අග ක්‍රියාත්මක කළ පළමුවන මහා බැංකු බැඳුම්කර කොල්ලය හේතුවෙන් දැඩි අපකීර්තියට පත්වී සිටි එජාපයට සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මහත් රුකුලක් විය. ඊට මාස 8 කට පසුව දෙවන මහා බැංකු බැඳුම්කර මංකොල්ලය ක්‍රියාත්මක කළේය. මහා මැතිවරණය ජයග්‍රහණය (2015 අගෝස්තු ) සහ දෙවන මහා බැංකු බැඳුම්කර කොල්ලය (2016 මාර්තු) අතර බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී පාවා දුන්නේය. ඒ 2015 ඔක්තෝබර් 1 වන දිනය.

යහපාලන ක්‍රියාදාමය තුළ එජාපය ආසන 106 සිට එක ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයකට සීමාවිය. ශ්‍රීලනිපය ආසන 95 සිට ආසන 14 ට අඩුවිය. එම 14 න් අදවන විට අදාළ නඩුවල අවසන් තීරණය ලැබෙන තුරු පක්ෂ සභාපති ලෙස ක්‍රියා කිරීමට තහනම් කිරීමේ අධිකරණ නියෝගයන්ට යටත් වී ඇති හිටපු ජනාධිපති සිරිසේන සමඟ සිටින්නේ එම මන්ත්‍රීවරයෙකු පමණි.

වර්ධනය වෙමින් පවතින ශ්‍රීලනිප අර්බුදය තුළ එජාප නායක වික්‍රමසිංහට එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් බහුතරය දිනා ගැනීමට හැකිවී ඇත. එම කණ්ඩායමට එරෙහිව වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලයේම තවත් සාමාජිකයෙකු වන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ශ්‍රීලනිපයේ වැඩබලන සභාපති ලෙස පත්කිරීම අවධාරණය කරන්නේ එම පක්ෂය දේශපාලන මඩ ගොහොරුවක එරී ඇති බවයි. නමුත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු දිනාගත් පමණින් ශ්‍රීලනිප පාක්ෂිකයා වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පක්ෂව ඡන්දය නොදෙන බව අමුතුවෙන් කිව යුතු නැත.

එජාප ජනාධිපතිවරණ ජයග්‍රහණය සජබ, පොහොට්ටු පක්ෂය සහ ශ්‍රීලනිපය කඩා බිඳ දමා (එම පක්ෂවල තෝරාගත් කණ්ඩායම්වල සහයෝගයෙන්) ලබා ගැනීමට නොහැකි බව එම පක්ෂය තේරුම් ගත යුතුය.

කලකට පෙර රටේ ප්‍රධානතම පක්ෂ දෙක වූ එජාපයට සහ ශ්‍රීලනිපයට අත්වූ තත්ත්වය ජාතික මැතිවරණයකින් වෙනස් කළ නොහැකි තත්ත්වයට පත්වී ඇත. දැනට රඟදක්වන එජාප සහ ශ්‍රීලනිප නාට්‍ය අවධාරණය කරන්නේ වැරදි විධායක සහ ව්‍යවස්ථාදායක ක්‍රියා මාර්ග තුළ පක්ෂ නැවත ගොඩනැගීමට නොහැකි ලෙස විනාශ විය හැකි ආකාරයයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment