2024 උග්‍ර සෞඛ්‍ය අර්බුදයක්

සැත්කම් නවතී

රසායනාගාර පරීක්‍ෂණවලට බාධා

ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ගැටලු

නිදහස් සෞඛ්‍ය සේවය යනු ජනතාවට නොමිලයේ රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලැබීමේ අවස්ථාවයි. ලොව බොහෝ රටවල මෙය ක්‍රියාත්මක නොවේ. ඒ වෙනුවට ඇත්තේ මුදල් ගෙවා ප්‍රතිකාර ලැබීමෙ ක්‍රමවේදයකි. දියුණු රටවල සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයන් ක්‍රියාත්මක වේ. නමුත් ඒ වෙනුවෙන් ජනතාව වාර්ෂිකව මුදල් ගෙවිය යුතුය. නමුත් මෙරට වැසියන් ගේ වාසනාවට තවමත් මෙරට තුළ නිදහස් සෞඛ්‍ය සේවය පණ අදිමින් හෝ ක්‍රියාත්මක වේ. පණ අදිමින් හෝ යැයි පැවසුවේ මේ වන විට රෝහල් බොහෝමයක් ක්‍රියාත්මක වන්නේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගියෙකුගේ තත්ත්වයෙන් වීම නිසාය. බහුතරයක් රෝහල් තුළ කුමන ආකාරයේ හෝ අඩුපාඩුවක් පවතී. එහි අවසන් ප්‍රතිඵලය මේ වන විට ඇස් පනා පිටම දැක ගැනීමට හැකිව තිබේ. ඒ මෙරට රෝහල් පද්ධතිය දිනෙන් දින, එකින් එක වැසී යෑමයි. ඒ බව අනාවරණය වූයේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකළ අනාවරණයක් හේතුවෙනි. මේ වන විටත් රජයේ රෝහල් රැසක් වැසී යෑමේ තර්ජනයට මුහුණ පා ඇතැයි එහිදී අනාවරණය විය.

පණ අදින රජයේ රෝහල්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කරන අන්දමට මේ වන විටත් රෝහල් 20ක් පමණ වසා දමා ඇත. 95ක් වසා දැමීමේ දැඩි අවදානමක පවතී. ඉදිරි මාස වලදී රෝහල්, සායන සහ වෛද්‍ය ඒකක හාරසියයක් පමණ අවදානමට ලක්ව ඇත. එසේම රෝහල් 44ක සේවය රජයේ උපාධිධාරී වෛද්‍යවරයකු නොමැතිව ලියාපදිංචි වෛද්‍යවරුන් විසින් පවත්වාගෙන යන බවත් එහි දී අනාවරණය විය.

වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන ආකාරයට වැඩි වශයෙන්ම රෝහල් වසා දමා ඇත්තේ උතුරු පළාතේ දිස්ත්‍රික්කවලය. ඊට අමතරව පුත්තලම සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලද රෝහල් වසා දමා ඇත. මේ තත්ත්වය එතරම් හොඳ ප්‍රවණතාවක් නොවේ. විශේෂයෙන්ම උතුරු පළාත යනු තිස් අවුරුදු යුද්ධයට මුහුණ දුන් පළාතයි. එහි ජනතාවට නොමිලයේ ලබා ගැනීමට තිබෙන වෛද්‍ය පහසුකම් නොලැබී යෑම ඔවුන්ගේ සිත් තුළ මානසික අසහනය වර්ධනය වීමට පවා හේතුවක් වීමට පුළුවන. එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් සිටින්නේ තේ වතු ආශ්‍රිත දමිල ප්‍රජාවය. රටට විශාල ශක්තියක් වන එදාවේලවත් හොයාගන්න බැරි ජනතාවට උණට හෙම්බිරිස්සාවට බෙහෙත් ටිකක් ගැනීමට තිබෙන කුඩා ග්‍රාමීය රෝහල් වැසී යෑම බරපතළ අන්දමින් එම ජනතාවට දැනෙනු ඇත. ඒ විතරක් නොව මෙම දිස්ත්‍රික්කවල දෙමළ දේශපාලඥයන් නිරන්තරව ඉන්දියාව සමග සමීප සම්බන්ධතා පවත්වන නිසා දේශපාලන ස්ථාවරත්වයටද මෙම කරුණු හේතු විය හැක. රෝහල් අකර්මණ්‍ය වීමට බලපා ඇති කරුණු රාශියක්ම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විස්තර සහිතව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

වෛද්‍ය හිඟය

රෝහල් පද්ධතිය කඩා වැටීමට මූලික වශයෙන්ම බලපා ඇති කරුණක් වන්නේ වෛද්‍යවරුන්ගේ හිඟකමයි. පසුගිය වසරේ ජුනි 1 වැනිදා සිට මේ වසරේ මේ මැයි 31 දක්වා කාලය තුළ පමණක් වෛද්‍යවරු 842 දෙනෙක් විදෙස්ගත වී ඇත. විශේෂඥ වෛද්‍යවරු 274 දෙනක් විදෙස්ගතවී ඇත. සීමාවාසික පුහුණුව අවසන් කළ 250ක් ඔවුන්ගේ පත්වීමේ තනතුරු පවා පිළිගෙන නැත. දැනට රට තුළ ඉතිරි වී සිටින වෛද්‍යවරුන් හැම කෙනෙක්ම පාහේ විදෙස්ගත වීමට අවශ්‍ය වන පරිසරය ගොඩනගා ගෙන අවසන්ය. එම පිරිසත් රට හැර ගිය හොත් ලෙඩ්ඩුන්ට දෙවියන්ගේම පිහිටය.

සමහර ප්‍රාදේශීය රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සිටි එකම වෛද්‍යවරයා ස්ථාන මාරුවී හෝ රට හැර ගිය විට එම රෝහල වසා දැමීම හැර වෙනත් විකල්පයක් නැත. ඒ ඔහු වෙනුවට අනුයුක්ත කිරීමට මේ වන විට වෛද්‍යවරු රට තුළ හිඟවීම නිසා ය. එසේම එකම විශේෂඥ වෛද්‍යවරයෙක් පමණක් සිටි ඒකකවල සිටි විශේෂඥ වෛද්‍යවරයා ස්ථාන මාරු වුවහොත් වෙනුවට පත් කරන්නටත් කෙනෙක් නැති තත්ත්වයට අද රට පත් ව ඇත. එවැනි පුවත් කිහිපයක්ම පසුගිය දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් අසන්නට ලැබිණි.

වෛද්‍යවරුන්ට අමතරව අනෙකුත් ක්ෂේත්‍රවල පිරිස් ද දිගට හරහට විදෙස්ගත වෙයි. හෙද හෙදියන්, රෝහල් උපස්ථායකයන්, විකිරණ ශිල්පීන් ආදී ලෙසින් රෝහලක් හා බැඳුණු අනෙකුත් ක්ෂේත්‍රවල පිරිස්ද විදෙස් ගත වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මේ අතරිනුත් වැඩි වශයෙන් ම විදෙස් ගතවන්නේ හෙද හෙදියන්ය. ඉතාමත් නුදුරු දිනකදීම හෙද හෙදියන්ගේ හිඟකම හේතුවෙන් රෝහල් වැසී යන දිනය වැඩි ඈතක නැත. වසර ගණනකට පසු පසුගියදා හෙද වෘත්තිය සඳහා 2000කට අධික පිරිසක් බඳවා ගනු ලැබුවද එය දැන් පවතින තත්ත්වයට කිසිසේත් ප්‍රමාණවත් නොවේ.

2024 අයවැයෙන් සහන නොලැබීම

වෛද්‍යවරුන් හෙද හෙදියන් තාක්ෂණ ශිල්පීන් ඇතුළු වෘත්තියවේදීන් රට හැර යෑමට ප්‍රධාන වශයෙන් බලපෑ කාරණය වන්නේ ඔවුන් මත අසීමිත ලෙස බදු පැනවීම ය. ඔවුන් එම බදු ඉවත් කර ගැනීමට අවස්ථා කීපයකදීම ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් හමු වුවත් එම සාකච්ඡා සාර්ථක වූයේ නැත. මෙම පිරිස වැඩි වශයෙන් ම බලාපොරොත්තු තබාගෙන සිටියේ 2024 අයවැය කෙරෙහිය. නමුත් මේ අයවැයෙනුත් වෘත්තීයවේදීන්ට බදු සහන නොලැබීමත් බලාපොරොත්තු වන තරම් වැටුප් වර්ධකයක් නොලැබීමත් හේතුවෙන් මෙම වෘත්තිකයන් රට හැර යෑම තව තවත් වේගවත් විය හැක.

රසායනාගාර පරීක්ෂණත් ඇනහිටී

රෝහල් පද්ධතිය කඩා වැටීමට මානව සම්පත හා සමානවම වෛද්‍ය උපකරණ හිඟය ද බලපා ඇත. මෙරට පිහිටි රෝහල් බොහොමයක වෛද්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතී. රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය සහ වෛද්‍ය පරීක්ෂණ උපකරණ (MRI, CT, X- Ray) දිවයින පුරා රෝහල්වල අකර්මණ්‍ය වී තිබේ. සමහර උපකරණ සම්පූර්ණයෙන්ම කැඩී ගොස් ඇති අතර තවත් සමහර ඒවා නඩත්තු කර ගත නොහැක. තවත් සමහර ඒවාහි සේවා ගිවිසුම් අලුත් කරගත නොහැක. මේ හේතුවෙන් එල්ල වන බලපෑම සුළුපටු නොවේ. දිවයින පුරා රෝහල්වල ශල්‍යකර්ම, රසායනාගාර පරීක්ෂණ, අවයව සහ වකුගඩු බද්ධ, හෘද ශල්‍යකර්ම, පමණක් නොව දන්ත ශල්‍යකර්මවලට පවා මේ හේතුවෙන් බාධා එල්ල වී තිබේ. අද වන විට රෝහලට ඇතුළු වන රෝගීන්ට වැඩි හරියක් පරීක්ෂණ සිදු කර ගැනීමට සිදුව ඇත්තේ පෞද්ගලික අංශයෙනි.

2024 උග්‍ර ඖෂධ හිඟයක්

රෝහල් පද්ධතිය පද්ධතිය කඩා වැටීමට තවත් ප්‍රබල හේතුවක් වන්නේ ඖෂධ හිඟය සහ තත්ත්වයෙන් බාල ඖෂධ රෝහල් පද්ධතිය තුළට ඇතුළු වීමයි. 2023 වසරේ ඖෂධ විෂ වීමෙන් වටිනා ජීවිත රැසක් අහිමි විය. එමෙන්ම වසර පුරාම රට තුළ පැවතියේ උග්‍ර ඖෂධ හිඟයකි. එයද රෝහල් පද්ධතිය කඩා වැටීමට ප්‍රබල ලෙසින් බලපා ඇත.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන ආකාරයට 2024 වසරේ මීටත් වඩා ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩ තිබේ. ඔහු පවසන ආකාරයට ඊට හේතු වී ඇත්තේ ප්‍රශ්නසහගත ප්‍රසම්පාදන ක්‍රියාවලිය, තොරතුරු අනාවරණය සහ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බොහෝ අංශ අඩපණ වී ඇත. එම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය, ඖෂධ නියාමන අධිකාරිය සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ක්‍රියාකාරීත්වය බරපතළ අභියෝගයකට ලක් වී ඇත. සමහර ඖෂධ මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ මේ වන විට යම් ඇනහිටීමකට ලක්ව ඇත. ප්‍රමාද වීම්වලට ලක්ව ඇත.

මේ දිනවල සිදුවන විමර්ශන කටයුතුවලදී මින් පෙර ඖෂධ ගෙන්වූ නිලධාරීන් අත්අඩංගුවට පත්ව තිබේ. මේ නිසා දැන් සිටින නිලධාරීන් මෙම කටයුතු සඳහා හසු වේවි යන බිය නිසා අනුමත කිරීමට මැලිකමක් දක්වයි. එය එහි ඍජු ලෙසම ලබන වසරේ ඖෂධ හිඟයක් ඇතිවීමට බලපෑ හැක.

ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලට ඇති බිය නිසා රුධිර බැංකුව ඇතුළු සෞඛ්‍ය ආයතන රැසක වැඩ නවතින ලකුණු පහල වී තිබේ. සෞඛ්‍ය ආරංචිමාර්ග පවසන අන්දමට රුධිර බැංකුවේ රුධිර කට්ටල අවසන් වීමට ආසන්න වී තිබේ.

ඖෂධ හිඟය, රසායනාගාර පරීක්ෂණවලට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සහ පරීක්ෂණ උපකරණ හිඟකම, අවශ්‍ය තරම් වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලවල හිඟකම හේතුවෙන් 2024 වසර රෝහල් පද්ධතියේ කඩා වැටීම පිළිබිඹු කරන වසර විය හැක.

ජනතාවට නරක වුණත් මන්ත්‍රීවරුන්ට සුබයි

රටේ ජනතාවට සැත්කම් සඳහා ජනාධිපති අරමුදලින් උපකාරයක් කරන බව සත්‍යයකි. සම්පූර්ණ වියදම ම නොලැබුණත් යම්කිසි මුදලක් එයින් ප්‍රදානය කරනු ලැබේ. පසුගිය වසරේදී ඒ ආකාරයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා 5101 දෙනකු ඉල්ලීම් ඉදිරිපත් කොට තිබුණද ගෙවීම් කර ඇත්තේ 2752 දෙනකු සඳහා පමණි. නමුත් ජනාධිපති අරමුදලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකුට පමණක් ප්‍රදානය කර ඇති මුදල රුපියල් එක්කෝටි අනූ ලක්ෂයකට අධික ය.

ආණ්ඩුව හිතාමතාම සෞඛ්‍ය සේවාව කඩා වැටීමට සලස්වන්නේ ජාත්‍යන්තර අරමුදලේ වුවමනාවට විය හැක. නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රම ක්‍රමයෙන් නැති කර මුදල් ගෙවා ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමට මේ අයුරින් කටයුතු කරනවා විය හැක. ආණ්ඩුව ඒ සඳහා මින් පෙර අවස්ථා කිහිපයකදීම උත්සාහ දැරූවද ඒ හැම අවස්ථාවකම එල්ල වූ දැඩි විරෝධය හමුවේ ආණ්ඩුවට එම උත්සාහයන් අකුලා ගැනීමට සිදුවිය. නමුත් සෞඛ්‍ය සේවයට ස්වභාවික මරණයක් ලබා දී එම අරමුණු ඉටුකර ගැනීමට ආණ්ඩුව සැලසුම් කරනවා විය හැක.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment