ක්‍රිකට් මෙච්චර වැටුණේ ඇයි ද කියලා හොයා බලන්න ඕනා

400

හිටපු ක්‍රිකට් නායක සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග

රටේ ක්‍රිකට් ක්‍රීඩාව මෙච්චර පහළට වට්ටන්නෙ කාගෙ හරි සැලැස්මක් මතද යන්න සොයා බැලිය යුතු බවත් මුදල්වලට ආස කරන අනවශ්‍ය පිරිසක් එකතුවෙලා ක්‍රිකට් විනාශ කරන බවත් හිටපු ක්‍රිකට් නායක සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පවසා සිටියේය.

‘රට වෙනුවෙන් ක්‍රිකට් නිර්පාක්ෂික බහුවිද ප්‍රවේශයක්’ යන තේමාවෙන් දේශපාලකයන් බහුජන සංවිධාන, සිවිල් සංවිධාන ඇතුළු පිරිසක් පසුගිය 23 වැනිදා කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වූ සම්මණ්ත්‍රණයකට එක්වෙමින් අර්ජුන රණතුංග මහතා එසේ පැවසීය.

එම සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක් වූ අර්ජුන රණතුංග මහතා එහිදී තව දුරටත් මෙසේ ද කීය.

සිවිල් සංවිධානවල ශක්තිය මොකක්ද කියලා අපි තේරුම් ගත්තේ 2015 ජනාධිපතිවරණයේදීයි. සිවිල් සංවිධානවල බලය නිසයි මහින්ද රාජපක්ෂ පරාද වුණේ. මම දේශපාලනයෙන් අයින්වෙලා හිටියේ 2020 ජනතාව අපිව ප්‍රතික්ෂේප කළ නිසයි. අනතුරුව රොෂාන් රණසිංහ ඇමැතිතුමා මට ආරාධනා කරා ක්‍රීඩා සභාවට එන්න කියලා. අද පාර්ලිමේන්තුව එකතුවෙලා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ක්‍රිකට් දූෂිතයන්ව ඉවත් කරන්න ඒකමතිකව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගත්තා. 1996 පස්සෙ තමයි ක්‍රිකට් විනාශ වුණේ. එතනින් පස්සෙ තමයි ක්‍රිකට්වලට මුදල් එන්න ගත්තේ. මුදල්වලට ආස කරන අනවශ්‍ය පිරිසක් එකතුවෙලා මේ ක්‍රිකට් විනාශ කළා.

ඇමැතිවරු 09 දෙනෙක් අතුරු පාලක මණ්ඩල දාලා තියෙනවා. කවදාවත් අපිට තහනමක් හම්බ වුණේ නෑ. ඔවුන් උසාවි ගියා. මම නඩු කියන්න ඕන මගේ සල්ලි වියදම් කරගෙන. ශම්මිලා මිලියන බිලියන ගණන් වියදම් කරනවා නඩුවලට ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි. ජනාධිපතිතුමාට මේ ලියුම් හම්බවෙලා නෑ කියනවා. එහෙත් සිවිල් සංවිධාන ළඟත් මේ ලියුම් තියනවා.

විගණකාධිපතිතුමාගේ වාර්තාව ජනාධිපතිතුමා දැකල නැත්තම් ශම්මි සිල්වා රටට විරුද්ධව ලියපු ලියුම් දැකල නැත්තම් කවුරු හරි ජනාධිපතිතුමාට මේ සියල්ල හංගනවා. අපි වෝහාරික විගණනයක් ඉල්ලනවා පාර්ලිමේන්තුවෙන්වත්. තාම අවසර දීලා නෑ. එහෙම විගණනයක් වුණොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් කීපයකුත් එළියට ඒවි. වෙන ඇමැති කෙනෙක් ගෙනෙන්න හදන්නෙ ඒ නිසයි. සිවිල් සංවිධාන සමග එකතුවෙලා මමත් ඕන දේකට එනවා. ක්‍රිකට් හදන ගමන් රටත් ගොඩදාන්න එකතුවෙමු. අධිකරණයෙන් සාධාරණයක් වේවි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ මට නෙමෙයි. මේ රටේ ක්‍රිකට්වලට. විගණකාධිපති වාර්තාවෙන් සහ ඒ කණ්ඩායම ඇස් ඇරවලා පෙන්නුවා ජනතාවට. ආසියා කුසලානෙදී ග්‍රවුන්ඩ් එක හදපු අයට ඉන්දියාව සල්ලි දුන්නා. මම මාධ්‍යයට කියනවා හොයල බලන්න ඒ ගැන කියලා. මේ ක්‍රිකට් කට්ටියගෙන් යැපෙන දේශපාලකයන්ගේ නම් ටික අපි ඉදිරි මැතිවරණයේදී එළියට දාමු. ක්‍රිකට් මෙච්චර පහළට වට්ටන්නෙ ඇයි. මේක කාගෙ හරි සැලැස්මක්ද කියලා සොයා බැලිය යුතුයි.

advertistmentadvertistment
advertistmentadvertistment