ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකාව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය, 78, නැවත නායකත්වයට පත්කර ගැනීම වර්ධනය වෙමින් පවතින අර්බුදයට විසඳුමක්ද?

පසුගියදා පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී යහපාලන සමයේ උතුරු මැද පළාතේ මහ ඇමැති වූ පේෂල ජයරත්න තාවකාලිකව හෝ හිටපු ජනාධිපතිවරිය (1994-2005) පක්ෂ නායකත්වයට පත්කර ගත යුතු බවට යෝජනා කළේය.

පක්ෂය දරුණු කඩා වැටීමකට ලක්වීම සම්බන්ධයෙන් වර්තමාන නායක මෛත්‍රිපාල සිරිසේනට, 72, ඇඟිල්ල දිගු කළ ජයරත්න හිටපු ජනාධිපතිවරයා (2015-2019) පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දුර්වල පක්ෂ සංවිධානය අවධාරණය කළේය.

පක්ෂය කඩා වැටීම සම්බන්ධයෙන් පසු විපරමක් කිරීමට අවංක වුවමනාවක් තිබේ නම් ජනාධිපති ධුරයේ සිටි මහින්ද රාජපක්ෂ තුන්වැනි වරටත් 2015 ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කිරීම සහ ඊට එරෙහිව මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය (එජාප) නායකත්වය දුන් ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ), ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය සමන්විත සන්ධානය පිහිටෙන් ජනාධිපති වීම යන කරුණු දෙක මතු කළ යුතුය.

වර්තමාන ශ්‍රීලනිප නායකයට එරෙහිව අධිකරණය ලබා දුන් වාරණ නියෝගය, ඔහුට අවාසිදායක අනෙකුත් නඩු කටයුතු සහ දේශපාලනය ගිනියම් කර ඇති 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවට කළ චෝදනාව පක්ෂ නායකත්වය වෙනස් කිරීම අර්බුදයට විසඳුම ලෙස හුවා දැක්වීමට උත්සහ කරන කණ්ඩායමට වාසිදායක තත්ත්වයක් උදා කර ඇත.

තමන්ට එරෙහි ව්‍යාපෘතිය කුමාරතුංග මෙහෙයවන බවත් එම මෙහෙයුමේ ඉලක්කය පක්ෂය වික්‍රමසිංහ නායකත්වය දෙන බලවේගය සමග එකතු කිරීම බව සිරිසේන පාක්ෂිකයන් සමග පවසා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) අර්බුදය පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේනගේ හිස මත පුපුරා ගොස් ඇත. ඊට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට එතුමා ද ප්‍රබල දායකත්වයක් දැරීය. ජිවිත 270 බිළිගත් 2019 පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු තමන් දන්නා බවට මාර්තු 22 දින යහපාලන ජනාධිපතිවරයා (2015-2019) මහනුවරදී කළ ප්‍රකාශය එතුමාට අවාසිදායක වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

එම ප්‍රකාශය නැවත හැරී එතුමා වෙතටම පැමිණි ඇත. යම් දෙයක් ‘බූමරැන්ග්‘ වුවා කියන්නේ මෙවැනි අවස්ථාවලදීය.

ඊට පසු දින ශ්‍රීලනිප නායකයා ප්‍රකාශ කළේ එම තොරතුර තමන්ට ලැබුණේ ඊට සති තුනකට පෙර බවයි. නමුත් එවැනි වැදගත් තොරතුරක් රහසිගතව රජයට ලබා නොදුන්නේ මන්ද? එම ප්‍රශ්නය නිරාකරණය කළ හැක්කේ එතුමාට පමණය. එම ආන්දෝලානාත්මක ප්‍රකාශය ඒ අවස්ථාවේදී ඇතිවූ යම්කිසි ආවේගශීලි තත්ත්වයක් තුළ කළාද නැතහොත් එතුමන්ගේ කණ්ඩායමේ තීරණයක් මත වූවාද යන ප්‍රශ්නයට ද පිළිතුරු දිය හැක්කේ ද එතුමාට පමණක්මය.

කෙසේවෙතත් මැතිවරණ වසරකදී හිටපු ජනාධිපතිවරයා සමස්ත දේශපාලන භූමිය උඩු යටිකුරු කර ඇත.

හිටපු ජනාධිපතිවරයාට අවශ්‍යම නම් එම ප්‍රකාශය ඉතාමත් කල්පනාකාරීව ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේදී කළ හැකිව තිබිණි. නමුත් ඊට පෙර අනිවාර්යයෙන්ම රජය දැනුවත් කළ යුතුව තිබුණි. නමුත් ඕනෑම පුද්ගලයෙකු මයික්‍රෆෝනයක් තමන් වෙතට දිගු කළ සැනින් ප්‍රකාශ නිකුත් කරන සෑම දේශපාලනඥයකුට හිටපු ජනාධිපතිවරයාට සිදු වූ හානිය ‘හොඳ’ පාඩමක්ය.

මහනුවරදී කළ ආන්දෝලානාත්මක ප්‍රකාශයේ උණුසුම නැතිවීමට පෙර හිටපු ජනාධිපතිවරයා ප්‍රබල දේශපාලන පසුබෑමකට ලක්විය. ශ්‍රීලනිප නායකත්වයෙන් එතුමා ඉවත් කිරීමේ මෙහෙයුම තීව්‍ර වී අතිශය තීරණාත්මක තත්ත්වයකට පත්වීම අහඹු සිදුවීමක් නොවේ. ශ්‍රීලනිප නායකයාට එරෙහිව අධිකරණය අප්‍රේල් 4 පැනවූ වාරණය සම්බන්ධයෙන් විමසා බැලිය යුතු වන්නේ පවතින දේශපාලන වාතාවරණය තුළය. එනම් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ආන්දෝලානාත්මක තත්ත්වය යටතේය.

ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය ගත යුතු ස්ථාවරය සම්බන්ධයෙන් එම මන්ත්‍රී කණ්ඩායමේ එකඟතාවයක් නැත. නමුත් පක්ෂය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන 14 දෙනාගෙන් අති බහුතරය එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයේදී සහයෝගය දිය යුතු බවට තීරණය කර ඇත. පක්ෂයේ සභාපතිවරයාට එරෙහිව පක්ෂයේ අනුශාශක දෙවරක් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අධිකරණයට යෑම සිදුවන්නේ ඒ පසුබිමේය.

පෙර සඳහන් කළ පරිදි වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ මන්ත්‍රී දුමින්ද දිසානායක පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැරීමට හිටපු ජනාධිපතිවරයා මෑතකදී ගනු ලැබූ උත්සාහය අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා ව්‍යර්ථ කිරීමට එම කණ්ඩායම සමත් විය. එ සමගම හිටපු ජනාධිපතිවරයාට පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම තාවකාලිකව තහනම් කරමින් අධිකරණය පැනවූ වාරණ නියෝගය එතුමාගේ පාර්ශ්වය තවදුරටත් දුර්වල කළ බව පැහැදිලිය.

ශ්‍රීලනිප පක්ෂ නායකත්ව ගැටුම උග්‍ර වී ඇත්තේ රහස් පොලිසිය හිටපු ජනාධිපතිවරයා මහනුවරදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන පසුබිමේය.

මහනුවර කළ ප්‍රකාශයෙන් පසුව රහස් පොලිසියට මාර්තු 25 දින හිටපු ජනාධිපතිවරයා දෙනු ලැබූ කටඋත්තරය මගින් ඔහු ඇඟිල්ල දිගු කළේ අසල්වැසි ඉන්දියාවටයි. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම අප්‍රේල් 04 දින අවධාරණය කළේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය රහස් පොලිස් පරීක්ෂණය නිමවෙන තුරු රහස් ප්‍රකාශයක් ලෙස සලකා කටයුතු කරනා බවයි. හිටපු ජනාධිපතිවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇති කළ අතිශය සංවේදී ඉන්දු-ලංකා රාජ්‍ය තාන්ත්‍රික ගැටලුව රහස් පොලිස් පරීක්ෂණයකින් පමණක් විසඳිය නොහැකි බව අවධාරණය කළ යුතුමය.

යහපාලන සමයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගේ ඇඳුම් විලාසිතාව අනුකරණ කළ හිටපු ජනාධිපතිවරයා ඉන්දියාව සමග සම්බන්ධතාවය නැවත යථා තත්ත්වයට පත්කර ගත නොහැකි ලෙස විනාශ කර ගෙන ඇත. භාරතීය ජනතා පක්ෂය බලයේ සිටිනා තුරු මෙම තත්ත්වය වෙනස් නොවනු ඇත. සති හයක් පුරා පැවැත්වීමට නියමිත අප්‍රේල් 19 වැනිදා ආරම්භ වන ඉන්දීය මහ මැතිවරණය අනිවාර්යෙන්ම මෝඩිට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට තවත් වාරයක් ලබා දෙන බවට සැකයක් නොමැත.

පළමුවරට අග්‍රාමාත්‍යවරයා ලෙස 2014 මැයි මාසයේ දිවුරුම් දුන් මෝඩි හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ චෝදනාවට ලක්වී ඇත්තේ 2019 මහමැතිවරණයේදී හින්දු ඡන්ද ආකර්ෂණය කර ගැනීමට නැතහොත් හින්දු ඡන්දදායකයින්ට ප්‍රබල බලපෑමක් කිරීමට පාස්කු ප්‍රහාරය මෙහෙය වූ බවයි. හිටපු ජනාධිපතිවරයා මහනුවර දී කළ ප්‍රකාශයේ හරය එයයි.

ශ්‍රීලනිපය දියවීම

පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රීලනිප කණ්ඩායම 14 දෙනෙකුගෙන් සමන්විතය. එය ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂය) තිබෙන දෙවන විශාලතම කණ්ඩායමයි. එම 14 දෙනාගෙන්, 12 දෙනකු 2020 අගෝස්තු මහමැතිවරණයේදී තරග කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලාංඡනය යටතේය. එක් අයෙකු පමණක් පොහොට්ටු පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වීම ලැබීය. ශ්‍රීලනිප ලාංඡනය යටතේ තරග කර එම පක්ෂයට හිමිවූයේ එක ආසනයක් පමණි. ඒ යාපනය දිස්ත්‍රික්කයේය. මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවට ඇතුළු වූයේද පොහොට්ටු ලකුණෙනි.(පොලොන්නරුව)

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණය අප්‍රේල් 4 දින අප්‍රේල් 18 වැනි දින දක්වා වාරණ නියෝගයක් පැනවූ අවස්ථාවේදී ඔහු සමග තවදුරටත් රැඳී සිටියේ කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන සාරතී දුෂ්මන්ත පමණි. කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන දයාසිරි ජයසේකර ‘නිදහස්’ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අතර ශාන් විජයලාල් (ගාල්ල) ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) සමග මෑතකදී එක්විය. ඉතිරි කණ්ඩායම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පිළිබඳව විශ්වාසය තබා ඇත. එම කණ්ඩායමට අයත් වන්නේ මහින්ද අමරවීර (හම්බන්තොට), දුමින්ද දිසානායක (අනුරාධපුරය), ලසන්ත අලගියවන්න (ගම්පහ), නිමල් සිරිපාල ද සිල්වා (බදුල්ල), ශාන්ත බණ්ඩාර (කුරුණෑගල), රංජිත් සියඹලාපිටිය (කෑගල්ල), කාදර් මස්තාන් (වන්නි ), ජගත් පුෂ්පකුමාර (මොනරාගල), චාමර සම්පත් (බදුල්ල ) සහ අන්ගජන් රාමනාදන් (යාපනය).

පොහොට්ටු මන්ත්‍රී සිරිසේනට ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය සම්බන්ධයෙන් යම්කිසි ස්ථාවරයක් ගැනීමට කණ්ඩායමක් නැත. ඊළඟ ජනාධිපතිවරණයේදී ජය ගැනීමට තමන්ට ශක්තිය තිබෙන බවට එතුමා පක්ෂ මූලස්ථානයේදී මීට වසරකට වඩා පෙර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. නමුත් අද වනවිට භූමියේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. එදා පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස සභාපතිවරයා සමග සිටි දයාසිරි ජයසේකර ඔහු සමග නැත. පාර්ලිමේන්තු කණ්ඩායම කොටස් හතරකට කැඩී ඇත. ලොකුම කොටස ජනාධිපතිවරයාට හිතෛෂී තමන්ට පනවා ඇති වාරණ නියෝගය හේතුවෙන් තීන්දු තීරණ ගැනීම වික්‍රමසිංහ පිලේ නිමල් සිරිපාල ද සිල්වා හරහා ගැනීමට සිදුවීම ඇත්ත වශයෙන් අදහාගත නොහැකි තත්ත්වයකි.

කුමාරතුංග මැතිනිය හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණයට කර ඇති ප්‍රධානතම පැමිණිලි දෙක එක්තරා ආකාරයකට එකිනෙකට සම්බන්ධය. ජනාධිපති, ආරක්ෂක අමාත්‍ය සහ සේනා විධායක ලෙස පාස්කු ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට අපොහොසත් වීම සහ ජනමතයට පිටුපාමින් 2018 ඔක්තෝම්බර් මාසයේ ක්‍රියාත්මක කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය මෛත්‍රිපාල සිරිසේන මන්ත්‍රීවරයාට එරෙහිව නඟා ඇත. මෙහිදී අවධාරණය කර යුතු ඉතාමත් බැරෑරුම් කාරණාවක් වන්නේ මෙම බරපතල චෝදනා දෙක සම්බන්ධයෙන් දැනටම හිටපු ජනාධිපතිවරයා රටේ ඉහළම උසාවිය විසින් වරදකරු කර ඇති බවයි.

ඉන්දියාව සම්බන්ධයෙන් කළ චෝදනාව ඔප්පු කිරීමට සැම උත්සාහයක් ගැනීමට එතුමාට සිදුවෙනු ඇත. කෙසේවෙතත්, ඇතිවී තිබෙන තත්ත්වය තවදුරටත් හිටපු ජනාධිපතිවරයා සහ ඉන්දියාව අතර ප්‍රශ්නයක් නොවේ.

හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයේ සත්‍ය/අසත්‍යභාවය සම්බන්ධයෙන් රහස් පොලිස් පරීක්ෂණය නිමවෙනතුරු එම ප්‍රකාශය ප්‍රසිද්ධ නොකර සිටීමට අධිකරණය තීන්දු කර ඇත. එවැනි පසුබිමක පාර්ලිමේන්තුව අප්‍රේල් 24, 25 සහ 26 යන තෙදින විපක්ෂය කළ යෝජනාවකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් පැවැත්වීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලට ප්‍රයෝජනවත් විය හැකිය.

ඉන්දියාව 80 දශකයේදී ද්‍රවිඩ ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවේ වපුරා කළ අදහාගත නොහැකි විනාශය අමතක කර හිටපු ජනාධිපතිවරයාගේ චෝදනාව විමර්ශනය කළ නොහැක. එවකට ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි එම විනාශකාරී මැදිහත්වීම කළේ තමිල්නාඩු ප්‍රාන්තය සමනය කිරීමට බව ශ්‍රී ලංකාවේ සේවය කළ ජේ. එන්. ඩික්සිත් ‘Makers of India’s Foreign Policy(Raja Ram Mohun Roy to Yashwant Sinha’ 2004 දී නිකුත් කළ ග්‍රන්ථයේ සඳහන් කර ඇත. (147 පිටුව). පසුව ඉන්දීය විදේශ ලේකම් මෙන්ම ආරක්ෂක උපදේශක ලෙස ද කටයුතු කළ ඩික්සිත් අවධාරණය කර ඇත්තේ අග්‍රාමාත්‍යවරිය තේරුම් ගත් ආකාරයට එසේ නොකළේ නම් තමිල්නාඩු ප්‍රාන්තයේ ද්‍රවිඩ බෙදුම්වාදී ව්‍යාපාරයක් ඇති වී හැකිව තිබූ බවයි.

හිටපු ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ තමන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පූර්ණ පැහැදිලි කිරීමක් කළ හැකිය. මෙම විවාදයට ජාත්‍යන්තරයේ ද අවධානය යොමුවනු අනුමානය. ඉන්දියාව වෙතට එල්ලවන චෝදනාවේ සත්‍ය/අසත්‍යභාවය මත පාස්කු ප්‍රහාරය 2019 නොවැම්බර් මාසයේ පැවැත්වූ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට පොහොට්ටු අපේක්ෂකයා කළ සැලසුමක් බවට කර තිබෙන ප්‍රකාශ නැවත විමර්ශනය කළ යුතු නොවේද?

ගෝඨාභය රාජපක්ෂ දිනවීමට විදේශීය බලවේගයක් මෙම ප්‍රහාර මාලාව දියත් කළ බව කිසිවකු විශ්වාස කරන්නේ නැත. එසේ නම් පොහොට්ටු අපේක්ෂකයාට ලැබුණ ප්‍රබල තල්ලුව පාස්කු ප්‍රහාරයේ අතුරුඵලයක් විය යුතුය.

හිටපු ජනාධිපතිවරයා මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ හොඳින් මතක තබා ගත යුතු කරුණක් ඇත. පාස්කු ප්‍රහාරයෙන් වසර 5 කට පසුව ඇතිවී ඇති ආන්දෝලනාත්මක තත්ත්වය 2022 ආණ්ඩු පෙරළිය අමතක කර විමර්ශනය කළ නොහැකිය. සිරිසේන ජනාධිපතිවරයා 2018 ඔක්තෝම්බර් අග ක්‍රියාත්මක කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය, 2018 නොවැම්බර් අග මඩකලපුවේ වව්නතිව් ග්‍රාමයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු මරා දැමීම, එම වසරේ දෙසැම්බරයේ මාවනැල්ල පොලිස් බලප්‍රදේශයේදී බුදු පිළිම විනාශ කිරීම සහ පුත්තලමේ ලැක්ටෝ වත්තේ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම සමස්ත රටේ ගමන් මග ක්‍රියාදාමයේ කොටස්ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීම /කඩා වැට්ට වීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ රජය ගත් අනුවණකාර තීන්දු තීරණ ගොන්නට අමතරව සිදු වූ විදේශීය බලපෑම් ද අවධානයට ලක්කරමිනි.

විදේශීය බලපෑම්

අතිශය කලහකාරී ජනතා උද්ඝෝෂණයක් මගින් 2022 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට මානව හිමිකම් කොමිසමට වුවමනාවක් නොමැත. ‘අරගලය’ සමයේ සිදු වූ විනාශකාරී ක්‍රියා සහ ආරක්ෂක හමුදා සහ පොලිසිය එම තත්ත්වයන් මැඬ පැවැත්වීමට අසමත්වීම සම්බන්ධයෙන් දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති මානව හිමිකම් කොමිසමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මාර්තු 21 දින පාර්ලිමේන්තුවේදී අවධාරණය කළ ප්‍රබල විදේශීය මැදිහත්වීම් නොසලකා කටයුතු කළ හැකිද?

මානව හිමිකම් කොමිසමේ සභාපති එල්.ටී.බී. දෙහිදෙනිය විශ්‍රාමික විනිසුරුවරයාගෙන් කථානායකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අවධානය යොමු කරනවාදැයි පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මෙම ලියුම්කරු විමසීමක් කරන ලදී. දශක 4 කට ආසන්න කාලයක් අධිකරණ ක්‍රියාවලියේ නියැලුණු විශ්‍රාම යෑමට පෙර රටේ ඉහළම අධිකරණය නියෝජනය කළ එතුමා ප්‍රකාශ කළේ විමර්ශනයක්/පරීක්ෂණයක් ආරම්භ කිරීමට තම ආයතනයට පළමුවෙන්ම පැමිණිල්ලක් ලැබිය යුතු බවයි.

දැනට මානව හිමිකම් කොමිසම ක්‍රියාත්මක කර ඇති පරීක්ෂණයකට අදාළව කථානායකවරයා කළ ඉතාමත් වැදගත් ප්‍රකාශයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට එම කොමිසමට පැමිණිල්ලක් අවශ්‍යද?

තමන් කළ පළමුවැනි ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ විශ්‍රාමික විනිසුරුවරයා අවධාරණය කළේ පැමිණිල්ලක් නොමැතිව මැදිහත්වීමට නම් අදාළ කරුණ ජාතික වැදගත්කමක්, විශාල සමාජ වගකීමක් හෝ ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක් විය යුතු බවයි. ලියුම්කරුගේ හැඟීම කථානායකවරයා කළ ප්‍රකාශය ඉහළ ජාතික වැදගත්කමක් තිබෙන හෙළිදරව්වකි.

ශ්‍රී ලංකාවේ, නයිජීරියාවේ සහ මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමට ඇමෙරිකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 585 වැය කළ බවට 2016 රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙළිදරව් කළේය. එජාප – ශ්‍රීලනිප යහපාලන රජය ස්ථාපිත කිරීමට ඇමෙරිකාව කළ ආයෝජනය කොපමණද? මුදල් ලැබුණු පාර්ශ්ව තවමත් හෙළිදරව් වී නැත.

ඊට පෙර ජනාධිපතිවරණයේදී එවකට ජෙනරාල් සරත් ෆොන්සේකා දිනවීමට ඇමෙරිකාව කළ මැදිහත් වීම රහස් හෙළි කරන ‘විකී ලීක්ස්’ වෙබ් අඩවිය හෙළිකර ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශය පමණක් නොව 2022 ආණ්ඩු පෙරළිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ කථානායක අබේවර්ධන කළ ප්‍රකාශ ද නිසි අවධානයට යොමු විය යුතුය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment