මෙම පනත මූලික ඓතිවාසිකම්වලටත් පරමාධිපත්‍යයටත් පටහැනියි – ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

70

ආණ්ඩුව පසුගිය මාර්තු 17 වනදා ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව පනතක් ගැසට් කර ඇත. එම පනත තව නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට සූදානම් වන බවත් වාර්තාවේ. එසේ වුවද එම පනත සඳහා මේ වන විටත් විවිධ විවේචන එල්ල වී ඇත. එම පසුබිම තුළ අප එම පනත පිළිබඳව ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මතාගෙන් විමසා සිටියෙමු. ඒ මහතා එම පනත පිළිබඳව කළ විග්‍රහය පහත පරිදි වේ.

ප්‍රශ්නය – නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මාර්තු 17 වන දින ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම පනත තව නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මේ වන විටත් එම පනත පිළිබඳව විවිධ මත පළවී තිබෙනවා. එම පනත පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර- ලෝකය පුරාම ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා සිදුකරන සාකච්ඡා තුළදී මතුවී තිබෙන මූලික ප්‍රශ්නයක් තමයි ත්‍රස්තවාදය කෙසේද අර්ථ නිරූපණය කරන්නේ කියන එක. ඊට හේතුව තමයි ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ගන්නා පියවර. එය අර්ථ නිරූපණය කර ඇති ආකාරය මත තීරණය වීම. මීට මාස දෙකකට පෙර එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට වාර්තා කළා එක්සත් ජාතීන්ගේ ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳව. එහිදී වාර්තා වූ දෙයක් තමයි ත්‍රස්තවාදය ඉතා පුළුල් ලෙස අර්ථ නිරූපණය කර ඇති නිසා ත්‍රස්තවාදයට කිසිම සම්බන්ධයක් නොමැති සිවිල් ක්‍රියාකාරීන්, මානව හිමිකම් ආරක්‍ෂකයන් පවා ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැහිල සිරගත වී ඇති බව. ලෝකය පිළි අරගෙන තිබෙන දෙයක් තමයි ත්‍රස්තවාදය ඉතා පටුවට අර්ථ නිරූපණය කළ යුතු බව. එසේ නොවූවහොත් සාමාන්‍ය නීතිය යටතට වැටෙන වරදක් පවා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස සලකා කටයුතු කරන තත්ත්වයක් ඇති වෙනවා.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාංශය මගින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා ත්‍රස්තවාදයට අපරාධ යුක්තිමය ප්‍රතිචාර දැක්වීම පිළිබඳව අත් පොතක්. එය සකස් කළේ ලෝකය පුරාම සිටින අපරාධ යුක්තිය සහ මානව හිමිකම් පිළිබඳ විශේෂ දැනුමක් ඇති අය සම්බන්ධ කරගෙන. ඒ පිළිබඳව වියානා නගරයේදී දවස් 3 ක සමුළුවකුත් පැවැත්වූවා. එම සමුළුවට මටත් ආරාධනය කළා. එම නිසා මෙම කාරණය පිළිබඳ මටත් ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් තිබෙනවා. එහිදීත් සඳහන් වූ දේ තමයි වෙනත් නීතිවලින් දඬුවම් ලැබිය හැකි වරදවල් ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අර්ථ දැක්වීමක් නොවන ලෙස ත්‍රස්තවාදය අර්ථ නිරූපණය කළ යුතු බව.

දැන් ඉදිරිපත් කර තිබෙන පනත ආකාරයේම පනතක් යහපාලන ආණ්ඩුව කාලයේදීත් ගෙන ආවා. එම පනත හඳුන්වා තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියලා. ඒ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි මමත් එම පනතට විරුද්ධ වූවා. එම අවස්ථාවේදී මම ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික කාරක සභාවට ගිහිල්ලා කරුණු පැහැදිලි කළා. එම පනත 1953 හර්තාලය සිදුකළ අවස්ථාවේදී තිබුණා නම් ඊට සම්බන්ධ වූ එය කැඳවූ සහ ඊට උදව් කළ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා ඇතුළු සියලු දෙනාම ත්‍රස්තවාදීන් ලෙස දඬුවම් ලබන බව මට එම අවස්ථාවේදී පෙන්වා දුන්නා. එම පනතට එදා ආණ්ඩුවේම කොටස් සහ විපක්‍ෂය විරුද්ධ වූ නිසා වැඩිදුර ගියේ නැහැ.

අලුත් පනතේ ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීම තිබෙන්නේ එම පනතේ තුන්වන වගන්තියේ. අපරාධයකට කොටස් දෙකක් අයත් වෙනවා. එකක් තමයි වැරදි චේතනාව. අනෙක් එක තමයි වැරදි ක්‍රියාව. එම කාරණා දෙකම එකතු වූ විට අපරාධයක් වන්නේ. මෙම පනතේ වැරදි චේතනාව අර්ථ දක්වලා තිබෙන්නේ ඉතාම පුළුල් ආකාරයට. ජනතාව බිය වැද්දීමත්, ලංකාවේ ආණ්ඩුවේ හෝ වෙනත් ආණ්ඩුවක යම් කටයුත්තක් වැළැක්වීම හෝ එම කටයුත්තක් නොකර සිටීමට බල කිරීම, භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කිරීම, ජාතික, ආගමික හෝ වාර්ගික වෛරය ඇති වන ලෙස කටයුතු කිරීම ආදී වශයෙන් එහි සඳහන් කර තිබෙනවා. ඒ වගේම තමයි වැරදි ක්‍රියාවන් පිළිබඳවත් සඳහන් කර තිබෙනවා. එය සඳහන් කර තිබෙන්නේ ඉතාම පුළුල් ආකාරයට. එහි මිනී මැරුම් ආදියට අමතරව ආණ්ඩුවේ ගමනාගමන කටයුතුවලට යටිතල පහසුකම්වලට බාධා කිරීම අත්‍යවශ්‍ය සේවාවන්ට බාධා කිරීම ආදිය පිළිබඳව සඳහන් කර තිබෙනවා. නමුත් එහි අත්‍යවශ්‍ය සේවාවක් කියන්නේ කුමක්ද යන්න අර්ථ දක්වා නැහැ. අපි දන්නවා මහජන ආරක්‍ෂණ පනත යටතේ අත්‍යවශ්‍ය සේවාවන් නම් කළ හැකි බව. මේ ළඟදී ජනාධිපතිවරයා සඳහන් කළා ගරු වෘත්තීය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමට මැලි නොවන බව.

වැඩ වර්ජන, උද්ඝෝෂණ ආදිය ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අර්ථ දැක්වීම වැරදියි. ඒ සඳහා උදාහරණ කිහිපයක් ගෙන බලමු. 1953 හර්තාලය නිසා රටේ බොහෝ ප්‍රදේශවලදී ආණ්ඩුවේ කටයුතු අකර්මණ්‍ය වූවා. එදා තිබුණ කැබිනට් මණ්ඩලය රැස්වූයේ වරායේ නැංගුරම් ලා තිබුණු නිව් සවුන්ඩ් ලෑන්ඩ් නම් නැවේදී. එම අවස්ථාවේදී බලපිටිය රන්දොඹේ ලංකා සමසමාජ පක්‍ෂයට සම්බන්ධ කාන්තාවන් ගාලු පාර සහ රේල් පාර අවහිර වන ආකාරයට ආප්ප පිච්චුවා. සමහර ස්ථානවලදී යම් යම් නීති විරෝධී කටයුතු සිද්ධ වී තිබෙනවා. ඒ වගේම ප්‍රචණ්ඩාකාරී කටයුතුත් සිද්ධවී තිබෙනවා. නමුත් එම කටයුතු කිසිම ආකාරයකින් ත්‍රස්තවාදී ක්‍රියා වන්නේ නැහැ. ඒ වගේම පසුගිය කාලයේදී පැවති අරගලය සම්බන්ධයෙනුත් අපට උදාහරණ ඉදිරිපත් කිරීමට පුළුවන්. එම අරගලය පැවති අවස්ථාවේදී තිබූ බොහෝ උද්ඝෝෂණ සාමකාමී ඒවා. නමුත් සමහර අවස්ථාවලදී සාමාන්‍ය නීතිය උල්ලංඝනය වූ බවට සැකයක් නෑ. මම සඳහන් කළේ ගාලු මුවදොර ප්‍රදේශයේ සිදුවූ සිදුවීම්. ජනාධිපති ලේකම් කාර්යාලය අවට සිදුවූ සිදුවීම් සහ ජනාධිපති මන්දිරය අවට සිදුවූ සිදුවීම් පිළිබඳව. නමුත් එම අවස්ථාවේදී සිදුවූ ක්‍රියා ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වන්න බැහැ. මොකද එතන ත්‍රස්තවාදී අරමුණක් නැහැ.

ඉන්දියාවේ තිබෙනවා බන්ට් යනුවෙන් හඳුන්වන ක්‍රමයක්. එම ක්‍රමය යටතේ යම් පළාතක් හෝ නගරයක් සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යය කරලා කඩවල් වස්සලා, ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවත්වනවා. එම ක්‍රමය මුළු භාරතයේම සිද්ධ කරනවා නම් භාරන බන්ට් යනුවෙන් හඳුන්වනවා. 2020 සහ 2021 දී නවදිල්ලියේ සුප්‍රසිද්ධ බන්ට් එකක් තිබුණා. එය මාස ගණනක් පැවතියා. එම බන්ට් එක කළේ ගොවීන් විසින්. එම බන්ට් වලට සම්බන්ධ වන ගොවීන් සම්බන්ධයෙන් ඉන්දියාව කවදාවත් ත්‍රස්තවාදී නීති යටතේ කටයුතු කරන්නේ නැහැ. බොහෝ වෙලාවට ඉන්දියාවේ ආණ්ඩු බන්ට්වලට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේවත් කටයුතු කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට තිබෙන අයිතියට ඉඩදීම. එයින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වඩා පුළුල් ඉඩක් විවර වෙනවා.

එහෙත් මෙම පනත යටතේ සිද්ධ වන්නේ කුමක්ද?

වෘත්තිය සමිති ආඥා පනත යටතේ වැඩවර්ජන පිළිඅරගෙන තිබෙනවා. නමුත් මෙම පනත යටතේ වසර 20 ක සිරදඬුවමක් ලබාදීමට පුළුවන්කම තිබෙනවා. එසේ වන්නේ මෙම පනත යටතේ වැඩවර්ජනයක් පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් සේ සලකා කටයුතු කිරීමට තිබෙන හැකියාව නිසා. ඒ සඳහා උදාහරණ සඳහන් කිරීමට පුළුවන්. අපි හිතමු සෞඛ්‍ය අංශයේ වැඩවර්ජනයක් කියලා. වැඩ වර්ජනයක් කියන්නේ තේ පැන් සංග්‍රහයක් නොවෙයි නේ. වැඩවර්ජනයකදී උද්ඝෝෂණය කරනවා. අදාළ ආයතන අකර්මන්‍යය කරනවා. එහෙම කළොත් තමයි වැඩවර්ජනය ආණ්ඩුවට දැනෙන්නේ. එහෙම කළොත් තමයි වැඩවර්ජනය සාර්ථක වන්නේ. නමුත් මෙම පනතේ 3. 1. බී වගන්තිය යටතේ එම වැඩවර්ජනය වරදක් වනවා. මොකද මෙම වැඩ වර්ජනය නිසා ජනතාවට සෞඛ්‍ය සේවා පහසුකම් දීම අවහිර වනවා. ඒ වගේම සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවයක්. එසේ නොවුණත් මෙම පනත යටතේ පොලිස් නිලධාරියෙකුට පුළුවන් සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කියලා වැඩ වර්ජනයට සම්බන්ධ වූ පුද්ගලයන් අත්අඩංගුවට ගන්න. සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවයක් නොවන බවට නීති තර්ක ඉදිරිපත් කිරීමට පුළුවන් වන්නේ ඊට පස්සේ. ඒ සඳහා මාස ගණනක් ගත වීමට පුළුවන්. එතෙක් අත්අඩංගුවට ගන්න වෛiවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවයේ නිලධාරීන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ පසුවන්න සිද්ධ වෙනවා. මේ ආකාරයේ තවත් උදාහරණ සඳහන් කිරීමට පුළුවන්. ඒ අනුව පෙනී යන දේ තමයි කුමන ආකාරයෙන් හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන සිදුවීම්වලට සම්බන්ධ වන පුද්ගලයන් පවා මෙම පනත යටතේ ත්‍රස්තවාදීන් සේ හඳුන්වා අත්අඩංගුවට ගෙන රඳවා තබාගත හැකි බව.

ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතියක් යටතේ ක්‍රියා කළ හැක්කේ භීතියක් ඇති වන ක්‍රියාවන් කළහොත් පමණයි. එම ක්‍රියාව මගින් මිනිසුන් අතර භීතිය ඇති කිරීම හෝ භීතිය ඇති කිරීම මගින් යම් කිසිවක් කිරීම හෝ නොකිරීම සඳහා ආණ්ඩුවට බලපෑම් කළ යුතුයි. භීතියක් නැතිව ත්‍රස්තවාදයක් පැවතිය හැක්කේ ඉතාම කලාතුරකින් පමණයි. ඒ සඳහා උදාහරණයක් සඳහන් කිරීමට පුළුවන්. ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයෙකු පරිගණකයක් යොදා ගනිමින් අන්තර් ජාලය හරහා විදුලිබල මණ්ඩලයේ පරිගණක පද්ධතියට ඇතුළු වෙලා එම පද්ධතිය අකර්මන්‍යය කරනවා. එම සාමාජිකයා එම කටයුත්ත කරන්නේ ත්‍රස්තවාදී සංවිධානයක අරමුණ සාක්‍ෂාත් කිරීම සඳහා. එම අවස්ථාවේදී භීතියක් ඇති වූයේ නැතත් එය ත්‍රස්තවාදී අරමුණක් සඳහා කළ ත්‍රස්තවාදී ක්‍රියාවක් වනවා. අපි හිතමු එම කටයුත්ත ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයෙකු නොවන තරුණයෙකු විසින් සිදුකරනවා කියලා. එම අවස්ථාවේදීත් ආණ්ඩුවට හානියක් සිද්ධ වෙනවා. නමුත් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් වන්නේ නැහැ.

එම නිසා ත්‍රස්තවාදය ඉතා පුළුල් ලෙස අර්ථ දැක්වීම නොකළ යුතු වනවා. ත්‍රස්තවාදය අර්ථ දැක්විය යුතු වන්නේ ජාත්‍යන්තරවත් පිළිගත් ආකාරයට ඉතා පටුව තමයි. සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කළ හැකි, දඬුවම් ලබාදිය හැකි ක්‍රියාවන්, කටයුතු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී නීති යොදා නොගත යුතු වනවා.

ඒ සම්බන්ධයෙනුත් උදාහරණ සඳහන් කිරීමට පුළුවන්. ප්‍රංශයේ දණ්ඩ නීති සංග්‍රහයේ 421 වන වගන්තියේ සඳහන් වනවා ත්‍රස්තවාදයක් ඇති වන්නේ බලපෑම් කිරීමෙන් සහ බය කිරීමෙන් භීතියක් ඇති කිරීමෙන් කියලා. ඒ වගේම මහජන සාමය ඉතා බරපතළ ලෙසත් කඩවෙන්න ඕනි. එසේ නොමැතිව ඕනෑම ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් වන්නේ නැහැ. යුරෝපා සංගමයත් තමන්ගේ සාමාජික රටවල්වලට ත්‍රස්තවාදය අර්ථ දක්වා තිබෙන්නේ ඉතාම පටු ආකාරයට.

සාමාන්‍ය නීතිය යටතේ දඬුවම් ලබාදිය හැකි වරදවල් ත්‍රස්තවාදී වරදවල් ලෙස අර්ථ නිරූපණය කිරීම නිසා සිද්ධ වන්නේ මිනිසුන් තිබෙන නීතිය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කලකිරී අන්තවාදය වෙත යොමුවීම.

ත්‍රස්තවාදය පිළිබඳව පුළුල් අර්ථ කථනයක් ලබාදීම නිසා වෙනත් ප්‍රතිඵල පවා ඇති වනවා. ඒ පිළිබඳව උදාහරණයක් සඳහන් කිරීමට පුළුවන්. මෙම පනතේ සඳහන් වනවා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන ප්‍රකාශයක් කිරීම වැරදි බව. ඒ සඳහා දීර්ඝ කාලීන දඬුවමක් පනවන්න පුළුවන්.

එලෙස හඳුන්වන ප්‍රකාශයක් පුවත්පතක පළ කරනවා නම් එයත් වරදක් වනවා. එම ප්‍රකාශය පුවත්පතේ පළ කළේ සද්භාවයෙන්ද නැද්ද කියල ඔප්පු කරන්න මාස ගණනක් අවුරුදු ගණනක් ගත වෙනවා. එම කාලය තුළ එම ප්‍රකාශය කළ පුද්ගලයා එම ප්‍රකාශය මාධ්‍යවල පළකළ මාධ්‍යවේදීන්ව අත්අඩංගුවට ගන්නවා.

අලුත් පනත යටතේ වරදක් කළ බවට චෝදනා කර ඕනෑම සංවිධානයක් තහනම් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබෙනවා. රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය හෝ හෙද සේවා සංගමය වැඩවර්ජනයක් කළහොත් එම සංගමය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කර තහනම් කිරීමට පුළුවන් කම තිබෙනවා. එම නිසා ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වන අය නීතියට හසුකර ගන්නා අතර ත්‍රස්තවාදී නොවන සංවිධාන විසින් පුද්ගලයන් විසින් තමන්ගේ විරෝධය ප්‍රකාශ කිරීම සඳහා වෘත්තීය ඓතිහාසිකම් දිනාගැනීම සඳහා කරන කටයුතු සම්බන්ධයෙන් ත්‍රස්තවාදයට අදාළ නීති යටතේ කටයුතු නොකළ යුතු වනවා. එසේ කටයුතු නොකළ හොත් ජනතාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නීති ක්‍රමය පිළිබඳව කලකිරීමක් ඇති වනවා.

ප්‍රශ්නය- අධිකරණ ඇමැතිවරයා වන විජයදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා ත්‍රස්තවාදී කටයුතුවල යෙදීමට අපේක්‍ෂා කරන පුද්ගලයන්ට මිස වෙන කිසිවෙකුට මෙම පනතට විරුද්ධ වීමට හේතුවක් නොමැති බව. ඒ සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර- එම ප්‍රකාශය මා ප්‍රතික්‍ෂේප කරනවා. මෙම පනත මූලික ඓතිවාසිකම්වලට පටහැනියි. එම නිසා පරමාධිපත්‍යයට පටහැනියි. එම නිසා මෙම පනත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දය සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව තමයි මගේ මතය.

සාකච්ඡා කළේ –
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment